'Rebuilding Sri Lanka': දිට්වා හානියෙන් රට යළි ගොඩනැගීමට මෙතෙක් ලැබී ආධාර ගැන පසුවිපරමක්

Rebuilding Sri Lanka ක්‍රියාන්විතයේ සමාරම්භක උත්සවය අද (ජන: 13) පැවැත්විණි

ඡායාරූප මූලාශ්‍රය, Facebook

ඡායාරූප ශීර්ෂ වැකිය, Rebuilding Sri Lanka ක්‍රියාන්විතයේ සමාරම්භක උත්සවය අද (ජන: 13) පැවැත්විණි
    • Author, බීබීසී සිංහල

ලෝක බැංකු සමූහයේ ඇස්තමේන්තුව අනුව දිට්වා සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවට සිදුව ඇති හානිය ඇමෙරිකානු ඩොලර් බිලියන 4.1කි. ආසන්න වශයෙන් එහි ශ්‍රී ලංකා රුපියල් වටිනාකම රුපියල් ට්‍රිලියන 1.27ක් හෙවත් රුපියල් බිලියන1,270 කි.

ලෝක බැංකු සමූහයේ ඇස්තමේන්තුව අනුව දිට්වා සුළි කුණාටුවෙන් මහනුවර දිස්ත්‍රික්කයට පමණක් සිදුව ඇති හානිය ඇමෙරිකානු ඩොලර් මිලියන 689 කි. ආසන්න වශයෙන් එහි ශ්‍රී ලංකා රුපියල් වටිනාකම මිලියන 212,895ක් (හෝ රුපියල් බිලියන 212.9 ක්) වේ.

නමුත්, මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දුට අනුව 'Rebuilding Sri Lanka' අරමුදලට අයත් බැංකු ගිණුම්වලට මේ වන විට ලැබී ඇත්තේ‍ රුපියල් බිලියන 8කට ආසන්න මුදල් ප්‍රමාණයක් පමණි.

මේ අතර, හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අඩාළ වූ ජන ජීවිත යථා තත්ත්වයට පත්කිරීම වෙනුවෙන් රජය රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුවක් සම්මත කරගෙන තිබේ.

මෙම අරමුදල් සපයා ගැනීම සඳහා ආණ්ඩුව කිසිදු බදු වැඩි කිරීමක් හෝ අමතර ණය ගැනීමක් සිදු කිරීමට බලාපොරොත්තු නොවන බව ද නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා මීට පෙර පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කර තිබිණි.

රජය පාර්ලිමේන්තුවේ අනුමත කරගෙන ඇති ණය ගැනීමේ සීමාව ඉක්වා යාමට අපේක්ෂා නොකරන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

එසේ නම් යළි ගොඩනැංවීමේ කටයුතු සඳහා අවශ්‍ය දැවැන්ත අරමුදල් ප්‍රමාණය ශ්‍රී ලංකාව රැස් කර ගන්නේ කෙසේ ද? ඒ සඳහා සූදානම කෙසේ ද?

'Rebuilding Sri Lanka' කළමනාකරණ කමිටුව

ඡායාරූප මූලාශ්‍රය, DEPARTMENT OF GOVERNMENT PRINTING | PMD

ඡායාරූප ශීර්ෂ වැකිය, 'Rebuilding Sri Lanka' කළමනාකරණ කමිටුව

ජාත්‍යන්තර සහය ප්‍රමාණවත් ද?

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දත්තවලට අනුව දිට්වා සුළි කුණාටුවෙන් සිදුව ඇති ජීවිත හානි සංඛ්‍යාව 646කි. තවත් 174 දෙනෙකු අතුරුදන්වී ඇත.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

නිවාස 6025ක් පූර්ණ වශයෙන් හානියට පත්ව ඇති අතර අර්ධ වශයෙන් හානි වී ඇති නිවාස සංඛ්‍යාව 108,591කි.

දිට්වා සුළි කුණාටුව හමුවේ අසල්වැසි ඉන්දියාව, පකිස්ථානය, ඇමෙරිකා එක්සත් ජනපදය, ජපානය, චීනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු රටවල් ගණනාවකින් හදිසි ප්‍රතිචාර වශයෙන් විශාල ලෙස අධාර ලැබෙන්නට විය.

2004 සුනාමි ව්‍යසනයෙන් පසු ශ්‍රී ලංකාව ලද විශාල ම හදිසි ආපදා ප්‍රතිචාර සහය ලබමින් විදේශීය සහන සේවා හා වෛද්‍ය කණ්ඩායම් ශ්‍රී ලංකාවට පැමිණියේ ය.

ගුවන් ප්‍රවාහන සහය සහ ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා ඉන්දියාව, පකිස්ථානය, ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු රටවලින් හමුදා ගුවන් යනා එවන ලද අතර ජපානය ඇතුළු රටවල් වෛද්‍ය කණ්ඩායම් අනුයුක්ත කරමින් හදිසි ප්‍රතිචාර දැක්වීය.

කැඩී ගිය පාලම් වෙනුවෙන් හදිසි පාලම් ඉදිකිරීම සඳහා ඉන්දියාව හා පකිස්ථානය සහය ලබා දුන්හ.

එහෙත්, සිදුව ඇති දැවන්ත හානිය සලකා බැලීමේදී යළි ගොඩනැංවීමේ කටයුතු සඳහා අවශ්‍ය ජාත්‍යන්තර සහය ශ්‍රී ලංකාවට ලැබී තිබේ ද? එය ප්‍රමාණවත් ද?

දැනට ශ්‍රී ලංකාවට ලබා දෙන සහය පිළිබඳ නිල ප්‍රකාශයක් කර ඇත්තේ, අසල්වැසි ඉන්දියාව යි.

ඒ අනුව, 'Rebuilding Sri Lanka' වැඩසටහන වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 450ක සහන පැකේජයක් ශ්‍රී ලංකාවට ලබා දීමට කටයුතු කරන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් පසුගිය මස 23 වන දා ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවූ අවස්ථාවේදී පවසා තිබිණි.

එයින් ඩොලර් මිලියන 100ක් ඉන්දීය ආධාර වන අතර ඉතිරිය පහසු පොළී අනුපාතිකයක් යටතේ ලබා දෙන ණය මුදලක් වනු ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන් විය.

මේ අතර, නැවත පදිංචි කිරීම, නැවත ස්ථානගත කිරීම සහ නැවත ගොඩනැගීමේ දෙවන අදියර සඳහා, විශේෂයෙන් හඳුනාගත් මාර්ග, දුම්රිය මාර්ග සහ පාලම් ඇතුළු බලපෑමට ලක්වූ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා තවදුරටත් සහය දෙන ලෙස විදේශ අමාත්‍ය විජිත හේරත් (ජන: 12) චීන විදේශ අමාත්‍ය වැන්ග් යීගෙන් ඉල්ලා තිබේ.

ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ, මේ සඳහා චීනයේ පූර්ණ සහයෝගය ලබා දෙන බවට අමාත්‍ය වැන්ග් යී සහතික වූ බව ය.

මේ අතර, දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ අයහපත් කාලගුණික තත්ත්වයන්ගෙන් පසු ජාතික ප්‍රතිසාධනය සහ නැවත ගොඩනැගීමේ ප්‍රයත්නයන් පිළිබඳව, ශ්‍රී ලංකා රජය විසින් පසුගිය දෙසැම්බර් මස මුලදී විදේශ රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල සහ ජාත්‍යන්තර සංවිධාන සහ විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල සහ නිර්වේතනික කොන්සල්වරුන් දැනුවත් කිරීමට පියවර ගනු ලැබී ය.

ඒ සඳහා, පැවති රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවේ සම-මූලිකත්වය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් විසින් දරනු ලැබී ය.

කෙසේ වෙතත්, ඉන්දියාව හැරුණු විට, පශ්චාත් ආපදා කාලසීමාවේ ශ්‍රී ලංකාවේ යළි ගොඩනැංවීමේ කටයුතු සඳහා ආධාර ලබා දෙන රටවල් මොනවා ද? යන්න මෙතෙක් පැහැදිලි නොමැත.

'ජාත්‍යන්තර ආධාර සමුළුවක් දැනට නැහැ'

දිට්වා සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවට සිදුවූ දැවැන්ත විනාශයෙන් පසු රට යළි සංවර්ධනය කිරීම සඳහා අරමුදල් සපයා ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර ආධාර සමුළුවක් ජනවාරි මසදී මෙරටදී පැවැත්වීමට රජය සූදානම් වන බව මීට පෙර ප්‍රකාශ වුව ද මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත බීබීසී සිංහල වෙත පැවසුවේ, මේ මස තුළදී එවැනි සමුළුවක් පැවැත්වීමේ සූදානමක් නැති බව ය.

පසුගිය දෙසැම්බර් මස 12 වන දා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා ම පැවසුවේ, "රීබිල්ඩිං ශ්‍රී ලංකා ෆන්ඩ් එක යටතේ පසුගිය රැස්වීමේදී තීන්දුවක් ගත්තා… ජනවාරි මාසයේදී ඩෝනර් කොන්ෆරන්ස් එකක් සූදානම් කරලා තියෙනවා. ඒ පිළිබඳ විස්තර ඉදිරියේදී අපි ලබා දෙන්නම්. ලංකාවේදී සිද්ධ කරන්න තමා අපි බලාපොරොත්තු වන්නේ."

කෙසේ නමුත්, දැන් එවැනි සමුළුවක් නොපැවැත්වෙන බව ආචාර්ය අනිල් ජයන්ත බීබීසී සිංහල (ජනවාරි 12 වැනිදා) කළ විමසීමකදී කියා සිටියේ ය.

ජාත්‍යන්තර ආධාර සමුළුව ගැන විමසීමේදී නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, "අපි කිව්වේ.. කමිටුව හැදුවේ ආධාර එකතු කිරීම සඳහා…ඒකේ එක එක යෝජනා ආවා, යෝජනාවක් විදිහට තමා ආවේ. නිශ්චිත එකක් නැහැ. ඒක තාම තියෙන අදහසක් විතර යි. යෝජනාවක් විතර යි ඉදිරිපත් වුණේ. ඒක තමා වැරදි විදිහට තියෙනවා කියලා ගියේ."

ඒ අනුව, මේ මස තුළ එවැනි සමුළුවක් නොපැවැත්වෙන බව ද මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, ආධාර එකතු කිරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ද අමාත්‍යවරයා පැවසීය.

"මේ තියෙන්නේ අවුරුදු දෙක තුනක වැඩක්. නමුත් අපි 2026 වැඩේට අවශ්‍ය අරමුදල් වෙන් කරලා තියෙන්නේ. ඒක කරගෙන යන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ," අමාත්‍ය අනිල් ජයන්ත අවධාරණය කළේ ය.

'Rebuilding Sri Lanka' ජාතික වැඩපිළිවෙළ යනු කුමක් ද?

රට යළි ගොඩනැගීමේ වැඩපිළිවෙළ කාර්යක්ෂමව මෙහෙයවීම සඳහා ක්‍රියාත්මක 'Rebuilding Sri Lanka' ජාතික වැඩපිළිවෙළෙහි සමාරම්භක උළෙල අද (ජන: 13) ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්විණි.

මිනිස් ජීවිතවලට මෙන් ම පෞද්ගලික හා පොදු දේපළවලට සිදු කරන ලද හානියද ඇතුළත්ව ශ්‍රී ලංකාවේ සියලු ම ප්‍රදේශ කෙරෙහි බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් සිදු වූ ව්‍යසනයට අදාළ පශ්චාත් ආපදා පුනරුත්ථාපන හා ප්‍රතිසාධන කටයුතුවලට ප්‍රතිචාර දැක්වීම සඳහා ඉහළ මට්ටමේ මනා සම්බන්ධීකරණයෙන් යුතු ජාතික ප්‍රතිසාධන යාන්ත්‍රණයක කඩිනම් සහ හදිසි අවශ්‍යතාව අනුව යමින් 'Rebuilding Sri Lanka' වැඩසටහන ක්‍රියාත්මක කරන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.

ජනාධිපති කාර්ය සාධක බළකායක්

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, රට නැවත ගොඩනැගීමේ වැඩසටහන මූල්‍යනය කිරීම මේ වන විට උපක්‍රමික ප්‍රවේශ 3ක් යටතේ සිදු කෙරෙමින් ඇති බව ය.

එහිදී ප්‍රමුඛතා මත නැවත සකස් කිරීම (Re-purposing) යටතේ දැනට ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති අතරින් තෝරා ගත් ව්‍යාපෘතිවල අරමුණු වෙනස් කරමින් ක්‍රියාත්මක කිරීම, නැවත ප්‍රතිපාදන වෙන් කිරීම (Re-allocating) යටතේ මූල්‍ය කළමනාකරණ පනතේ ඇති ප්‍රතිපාදන මත පදනම්ව අයවැයෙන් වෙන් වන ප්‍රතිපාදනවලට අමතරව අතිරේක මුදලක් වෙන් කිරීම මෙන් ම 2026 වසර සඳහා රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීම සහ 'Rebuilding Sri Lanka' අරමුදල මගින් දේශීය, විදේශීය සහ රාජ්‍ය, පෞද්ගලික පරිත්‍යාගශීලීන්ගේ සහයෝගය ලබා ගැනීම තුළින් සිදු වන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.

මෙම ක්‍රියාවලිය ඉදිරියට ගෙන යමින් 'Rebuilding Sri Lanka' සඳහා උපායමාර්ගික නායකත්වය, සම්බන්ධීකරණය, සංගත ප්‍රවේශය සහ අධීක්ෂණය කිරීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ සභාපතිත්වයෙන් යුතුව අමාත්‍යවරුන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු 25 දෙනෙකුගෙන් සමන්විත ජනාධිපති කාර්ය සාධක බලකායක් ජනාධිපතිවරයා විසින් ස්ථාපනය කර තිබේ.

මෙමගින් මූලික අවශ්‍යතා, සනීපාරක්ෂාව සහ සෞඛ්‍ය නැවත ස්ථාපනය කිරීම, මූලික යටිතල පහසුකම් නැවත ගොඩනැගීම, ජීවනෝපාය සහ වත්කම් ප්‍රමාණවත් ලෙස ඉහළ නැංවීම, දේශීය ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම, ඩිජිටල් දත්ත පද්ධති සහ තීරණ සහය යාන්ත්‍රණය ස්ථාපනය කිරීම, සන්නිවේදනය සහ පාර්ශ්වකාර සම්බන්ධතා වැඩිදියුණු කිරීම යන නැවත ගොඩනැගීමේ ක්‍රියාකාරකම්වලදී සමස්ත මග පෙන්වීම, උපාය මාර්ගික තීරණ ගැනීම, අන්තර් අමාත්‍යාංශ ගැටලු විසඳීම, ප්‍රධාන අරමුදල් සැපයීම ප්‍රතිසාධන සහ ප්‍රතිසංස්කරණවල තීරණ සඳහා මග පෙන්වීම සිදු කරනු ඇත.

එසේ ම ප්‍රධාන කමිටුවේ තීරණ ක්‍රියාත්මක කිරීම, අධීක්ෂණය කිරීම සහ ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා අදාළ ආංශික අමාත්‍යවරයාගේ සභාපතිත්වය යටතේ පහත සඳහන් උපකමිටු 8ක් පිහිටුවීමට ද නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.

ඒ අනුව,

  • ස්වභාවික ආපදාවෙන් සිදුවූ භෞතික, ආර්ථික සහ සමාජයීය බලපෑම් පිළිබඳ දත්ත රැස් කිරීම විශ්ලේෂණය හා අගැයුම සඳහා පශ්චාත් ආපදා අවශ්‍යතා අගැයුම් කමිටුව.
  • ප්‍රවාහනය, විදුලි බලය, ජලය, වාරිමාර්ග, සෞඛ්‍ය, අධ්‍යාපනය සහ විදුලි සංදේශ ඇතුළු බලපෑමට ලක්වූ යටිතල පහසුකම් පුනරුත්ථාපනය සහ ප්‍රතිසංස්කරණය කිරීමේදී සම්පත් සම්බන්ධීකරණය, ප්‍රමිතීන් පිළිබඳ සහතික කිරීම ආදිය වෙනුවෙන්, පොදු යටිතල පහසුකම් ප්‍රතිස්ථාපනය කිරීමේ කමිටුව.
  • නිවාස, ප්‍රතිසාධන සැලැස්ම මත පදනම්ව බලපෑමට ලක්වූ ප්‍රජාවන් සඳහා හානියට පත් නිවාස ප්‍රතිසංස්කරණය හෝ නව නිවාස ඉදිකිරීම වෙනුවෙන්, පීඩාවට පත් ප්‍රජාවන් සඳහා නිවාස ප්‍රතිෂ්ඨාපනය කිරීමේ කමිටුව.
  • ජීවනෝපාය සහ ව්‍යාපාර කඩිනමින් ස්ථාවර කිරීමට සහාය ලබාදීම, ප්‍රධාන සැපයුම්දාම නැවත ගොඩනැංවීම, මූල්‍ය සේවාවන් වෙත ප්‍රවේශය වැඩිදියුණු කිරීම, ආර්ථික අවස්ථා සංවර්ධනය කිරීම ආදිය වෙනුවෙන් දේශීය ආර්ථිකය සහ ජීවනෝපායන් පුනර්ජීවනය කිරීමේ කමිටුව.
  • අධ්‍යාපනය, සෞඛ්‍ය, ජලය, සනීපාරක්ෂාව සහ සුබසාධන සහාය ඇතුළු අත්‍යවශ්‍ය සමාජ සේවා ප්‍රතිෂ්ඨාපනය සම්බන්ධීකරණය කිරීම වෙනුවෙන්, සමාජ යටිතල පහසුකම් ප්‍රතිෂ්ඨාපනය පිළිබඳ කමිටුව.
  • අරමුදල් රැස් කිරීම, අයවැය සැලසුම් කිරීම, පරිත්‍යාගශීලීන් සම්බන්ධිකරණය සහ 'Rebuilding Sri Lanka' අරමුදල රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති රාමුව තුළ විනිවිදභාවයෙන් යුතුව උපයෝජනය කිරීම වෙනුවෙන්, මූල්‍ය සහ අරමුදල් කමිටුව.
  • පශ්චාත් ආපදා පුනරුත්ථාපන හා ප්‍රතිසාධන අවශ්‍යතා සහ ප්‍රමුඛත්වය ලබාදීම, ප්‍රතිසාධන සැලසුම් උපායමාර්ග මෙහෙයවීම, ක්‍රියාත්මක කිරීම, අධීක්ෂණය සඳහා උසස් විශ්ලේෂණ මෙවලම්, පුරෝකථන ආකෘති සහ නව්‍ය තාක්ෂණය අනුගත කළ තොරතුරු පද්ධති තීරණය කිරීම සහ ස්ථාපිත කිරීම වෙනුවෙන් දත්ත සහ තොරතුරු පද්ධති පිළිබද කමිටුව.
  • ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිසාධන වැඩසටහන් පිළිබඳ මහජන සන්නිවේදනය, දැනුවත් කිරීම, පාර්ශ්වකාර සම්බන්ධතා සම්බන්ධීකරණය වෙනුවෙන් මහජන සන්නිවේදනය පිළිබඳ කමිටුව.