'සිනහවෙන් සඟවන විෂාදය' යනු කුමක් ද? එය හඳුනාගත හැක්කේ කෙසේ ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty
- Author, ඉසබෙල් ෂෝ
- Role, ගෝලීය සෞඛ්‍යය, බීබීසී ලෝක සේවය
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 6
විෂාදයෙන් පෙළෙන අයෙකු ගැන සිතන විට, ඇඳෙන් නැගිටීමට පවා අකැමැත්තක් දක්වන ආකාරය ඔබට සිතට නැගෙනු ඇත.
ඇතැම්විට ඔවුන් නිතර දුකින් කාලය ගත කරන්නන් විය හැකි ය, මිතුරන්ගෙන් ඈත් වී සිටින්නෙකු විය හැකි ය, නැතහොත් දවස ගෙවා දැමීමට පවා ප්‍රමාණවත් ශක්තියක් නැත්තෙකු විය හැකි ය.
රාත්‍රී ආහාර වේල අතරතුර විහිළු තහළු කරන, කාර්ය බහුල සමාජ ජීවිතයක් සමබරව පවත්වාගෙන යන සහ රැකියාවේදී විශිෂ්ට දස්කම් දක්වන එම පුද්ගලයා ගැන ඔබ බොහෝවිට ගැඹුරින් සිතා බලන්නට නැතිව ඇත.
නමුත් "සිනහවෙන් සඟවන විෂාදය" ලෙස හැඳින්වෙන තත්ත්වය ඇති පුද්ගලයන්ට නම්, එය ඒ ආකාරයෙන් ම දිස්විය හැකි ය.
ඇතැම්විට රැවටෙන්නේ මිතුරෙකු, සහකරුවෙකු හෝ සේවා සගයෙකු නොව, ඔබ ම විය හැකි ය.
'සිනහවෙන් සඟවන විෂාදය' යනු කුමක් ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty
සිනහවෙන් සඟවන විෂාදය යනු නිල වශයෙන් පිළිගත් රෝග විනිශ්චයක් නොවන නමුත්, පසුගිය වසර පහ තුළ එම යෙදුම පිළිබඳව සිදු කෙරෙන සෙවීම්වල 50%ක වැඩිවීමක් දක්නට ලැබී ඇත.
"එයින් අදහස් වන්නේ පිටතින් සතුටින් සිටින බවක් පෙන්වමින්, ඇතුළතින් මානසික අවපීඩනයෙන් සහ කනස්සල්ලෙන් පසුවීම යි" යනුවෙන් එක්සත් රාජධානියේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ මානසික සෞඛ්‍ය පිළිබඳ පර්යේෂිකාවක වන වෛද්‍ය ඔලිවියා රෙමස් පවසයි.
අප සැමට විටින් විට මානසික අවපීඩනයක් හෝ කනස්සල්ලක් දැනෙන්න පුළුවන්. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, ලොව පුරා මිලියන 322ක ජනතාවක් සම්බන්ධයෙන් එම හැඟීම් අවසානයේදී සායනික විෂාදය දක්වා වර්ධනය වේ.
මෙය සිදුවන්නේ නොනවතින ශෝකය හෝ උනන්දුව හා සතුට අහිමි වීම වැනි රෝග ලක්ෂණ සති හෝ මාස ගණනාවක් පුරා පවතිමින්, පුද්ගලයාගේ රැකියාව, සබඳතා, නින්ද සහ එදිනෙදා ජීවිතයට බලපෑම් ඇති කරන අවස්ථාවලදී ය.
කෙසේ වෙතත්, විෂාදය සැමවිට ම අප බලාපොරොත්තු වන ආකාරයට පෙනෙන්නේ නැත. ඇත්ත වශයෙන් ම, අධ්‍යයනවලින් පෙන්වා දෙන්නේ, විෂාදය සහිත පුද්ගලයින්ගෙන් 40%ක් පමණ දෙනා එහි "සාමාන්‍ය ස්වභාවයෙන් බැහැර" ආකාරයක් අත්විඳින බවත්, එහිදී රෝග ලක්ෂණ සාමාන්‍යයෙන් අප දන්නා හඳුනන ලක්ෂණවලට වඩා වෙනස් වන බවත් ය.
උදාහරණයක් ලෙස, යමෙකුට සාමාන්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන් නොව වැඩිපුර නිදා ගැනීමට හෝ ආහාර ගැනීමට සිදුවිය හැකි අතර, යම් හොඳ හෝ උද්යෝගිමත් දෙයක් සිදුවන විට ඔවුන්ගේ මනෝභාවය තාවකාලිකව යහපත් විය හැකි ය.
විෂාදයෙන් පෙළෙන පුද්ගලයින් තමන් මුහුණ දෙන තත්ත්වය 'කැමෆ්ලාජිං' හෙවත් 'මාස්කින්' ක්‍රියාවලිය මගින් සැඟවීමට උත්සහ කරන බවට සාක්ෂි තිබේ; මෙහිදී පුද්ගලයෙකු සමාජය හා මුසු වීම සඳහා යම් යම් ලක්ෂණ හෝ හැඟීම් වසන් කිරීමට උත්සහ කරයි.
ඇතැමුන් විෂාදය සඟවා ගන්නේ ඇයි?
'සිනහවෙන් සඟවන විෂාදය' ඇති ඇතැම් පුද්ගලයින් තමන් විෂාදයෙන් පෙළෙන බව පවා නොදන්නා බැවින්, ඔවුහු එය සඟවමින් සිටින බව ද නොදනිති.
"තමන්ගේ රෝග ලක්ෂණ කාර්ය බහුල සහ පීඩනයකින් යුතු ජීවිතයක් ගත කිරීමේ අතුරුඵලයක් පමණක් බව ඔවුන් සිතන්න පුළුවන්," යැයි රෙමෙස් පවසයි.
තවත් සමහරු තමන් අසීරුතාවකට මුහුණ දෙන බව දැන සිටියත්, එය වෙනත් කිසිවෙකුට නොපෙනෙන ලෙස තබා ගැනීමට මහත් උත්සාහයක් දරති. මෙය විශේෂයෙන් ම පරිපූර්ණත්වයට උනන්දු සහ ඉහළ වගකීමක් දරන පුද්ගලයන් අතර සාමාන්‍ය දෙයකි.
"ඔවුන් තමන් පිළිබඳ ඉතා ඉහළ බලාපොරොත්තු තබා ගන්නවා. ඒ නිසා තමන් අසීරුතාවක සිටින බව තමන්ට ම හෝ වෙනත් අයට පිළිගැනීමට අකමැති විය හැකි යි," ඇය පවසයි.
ඇතැම් පුද්ගලයන් සමාජ අපවාදයට හෝ අනෙක් අය මත බරක් වීමේ හැඟීමකට බිය වෙති. අධ්‍යයනවලින් පෙන්නුම් කරන්නේ, තවත් සමහරු විනිශ්චයට ලක්වීම හෝ රැකියාවේ සහ සබඳතාවල ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවේවි යැයි ඔවුන් කනස්සල්ලට පත්වන බව ය.
සංස්කෘතික හෝ පවුල් ආශ්රිත අපේක්ෂා ද විවෘතව කතා කිරීම ඔවුන්ට වඩාත් අපහසු විය හැකි ය.
විෂාදය සඟවා ගැනීමෙන් ඇති වන අවදානම් මොනවා ද?
විෂාදය සඟවා ගැනීමෙන් බාහිර ප්‍රතිරූපය පවත්වාගෙන යාම අනතුරුදායක විය හැකි බව විශේෂඥයෝ පවසති.
"විෂාදය අපව හුදෙකලා කරමින් තනිකමක් දැනෙන්නට සලස්වන අතර, බොහෝවිට මානසික අවපීඩනයට හෝ අඳුරු මනෝභාවයකට ඇති හොඳ ම පිළියමක් වන්නේ අන් අය සමග සම්බන්ධ වීම යි," යනුවෙන් එක්සත් රාජධානියේ එක්සෙටර් විශ්වවිද්‍යාලයේ සායනික මනෝවිද්‍යාඥ මහාචාර්ය බාර්නි ඩන් පවසයි.
එයින් අදහස් විය හැක්කේ මිනිසුන්ට තමන්ට අවශ්‍ය සහය නොලැබෙන බව ය.
"මේ මූලික ලක්ෂණ නිසි විදිහට කළමනාකරණය නොකළහොත්, ඒවා ක්‍රමයෙන් උත්සන්න වී නිදන්ගත හා බරපතළ තත්ත්වයක් බවට පත්විය හැකි අතර, සියදිවි නසා ගැනීමේ අවදානම ද ඉහළ නැංවිය හැකි යි" යනුවෙන් රෙමෙස් පවසයි.
බොහෝ දෙනා නොසලකා හරින විෂාදයේ ලක්ෂණ 7ක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
පිටතින් සියල්ල සාර්ථකව කළමනාකරණය කරන බවක් පෙනෙන විට, ඇතැම් රෝග ලක්ෂණ නොදැනීම මඟහැරී යා හැකි ය.
1. ඔබ කැමැත්තෙන් සිටි දේවලින් සතුටක් ලැබීම නතර කර තිබීම.
මිතුරන් හමුවීම, ව්‍යායාම් කිරීමට යාම හෝ ඔබ කැමති ම රූපවාහිනී වැඩසටහන නැරඹීම වැනි සාමාන්‍යයෙන් ඔබ බලාපොරොත්තු වන දේවල් කරදරයක් ලෙස හැඟෙන්නට පටන් ගන්නේ නම්, ඒ පිළිබඳව තවදුරටත් සිතා බැලීම වටී.
"සාමාන්‍ය විනෝදාංශවලින් සතුටක් හෝ උනන්දුවක් නොදැනීම කාර්ය බහුල ජීවිතයක බලපෑමක් ලෙස සැලකීම පහසු යි," යනුවෙන් රෙමෙස් පවසයි.
2. ඔබේ අත් හෝ කකුල් අසාමාන්‍ය ලෙස බර බවක් දැනීම.
අංශභාග තත්ත්වයක් (leaden paralysis) ලෙස හැඳින්වෙන මෙම හැඟීම, එදිනෙදා චලනයන් සඳහා වැඩි වෙහෙසක් දැරීමට සිදුවන ආකාරයේ අත් පා වලට දැනෙන මෙම බර ගතිය, අසාමාන්‍ය විෂාදයේ ලක්ෂණයක් විය හැකි ය.
3. නිරතුරුව ම සැලසුම් වෙනස් කිරීම.
අන් අය සමග සිටින විට ඔබට ඇතැම් අවස්ථාවලදී ඉතා හොඳ මනෝභාවයකින් සිටින බවක් පෙන්විය හැකි වුවත්, ඔබේ මනෝභාවය පහත වැටී ඔබේ සැබෑ හැඟීම් තවදුරටත් සැඟවිය නොහැකි තත්ත්වයක් උදාවන විට ඔබ සැලසුම් අවලංගු කරයි.
4. වැඩිපුර නිදාගත්ත ද, දැඩි වෙහෙසක් දැනීම.
ඔබ තවමත් ඔබේ සාමාන්‍ය කටයුතු සියල්ල ම කරගෙන යමින් සිටියත්, ඒ අතරතුර ඔබට වැඩි වැඩියෙන් වෙහෙසක් දැනෙමින් තිබිය හැකිය .
"සවස් කාලය විශේෂයෙන් ම අසීරු විය හැකි යි. මේ තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයන්ට දවස අවසානයේදී වඩාත් නරක හැඟීමක් ඇති විය හැකි අතර, සාමාන්‍යයට වඩා වැඩි නින්දක් අවශ්‍ය විය හැකි යි," රෙමෙස් පවසයි.
5. විවේචන හෝ ප්‍රතික්ෂේප කිරීම් හමුවේ වඩාත් සංවේදී වීම.
ඔබේ ප්‍රධානියාගේ සාමාන්‍ය අදහසක් හෝ මිතුරෙකු සැලසුමක් අවලංගු කිරීමක් පවා සාමාන්‍ය අවස්ථාවට වඩා දැඩිව ඔබට බලපෑ හැකි ය.
විවේචන හෝ ප්‍රතික්ෂේප කිරීම් හමුවේ අධික ලෙස සංවේදී වීම ADHD ඇති පුද්ගලයින්ට ද අත්විඳිය හැකි තත්ත්වයක් වන මෙය අසාමාන්‍ය මානසික විෂාදයේ එක් ලක්ෂණයක් බව රෙමෙස් පවසයි.
6. ප්රතිවරුද්ධ හැසිරීම්.
විෂාදයෙන් පෙළෙන පුද්ගලයෙකු සැමවිට ම අන් අයගෙන් ඈත්වෙන්නේ නැත. සමහර විට ඔහු හෝ ඇය ඊට ප්රතිවිරුද්ධව හැසිරෙමින් සාදයකදී අතිශය ප්‍රීතිමත් හා ජවසම්පන්න චරිතයක් වීම, වැඩකටයුතුවලට අතිශයින් ම කැපවීම හෝ අන් අයට උදව් කිරීමට අමතර උත්සහයක් දැරීම සිදු කළ හැකි ය.
7. අභ්‍යන්තර සිතුවිලි නිරතුරුව ම ඍණාත්මක වීම.
පිටතින් බලන විට ඔබ ආත්ම විශ්වාසයෙන් යුතුව පෙනී සිටිය හැකි නමුත්, අභ්‍යන්තරව ඔබ ඔබව ම දැඩි ලෙස විවේචනය කර ගන්නා අයෙකු විය හැකි ය.
තමන් ගැන ම සැක පහළ වීම, තමන්ගේ වටිනාකමක් නැතැයි යන හැඟීම සහ හිස් බව පිළිබඳ සිතුවිලි යනාදිය අනතුරු ඇඟවීමේ ලක්ෂණ විය හැකි ය.
උපකාරී විය හැක්කේ කුමක්ද?
"සිනහවෙන් සඟවන විෂාදය" යන පදය සම්බන්ධයෙන් ද විවේචන තිබේ.
තමන් අත්විඳිනා දේ හඳුනා ගැනීමට සහ ඊට නමක් ලබා දීමට එය මිනිසුන්ට උපකාරී විය හැකි වුව ද, සංකීර්ණ අත්දැකීමක් "අධික ලෙස සරල කිරීමට" ද එයට හැකි බව රයිම්ස් පවසයි.
'සිනාසෙන' යන වචනය ඔබට ප්‍රීතිය සහ සතුට පිළිබඳ හැඟීමක් ඇති කළත්, ඇත්ත වශයෙන්ම මෙම තත්ත්වයේ මූලික ලක්ෂණය වන්නේ බලාපොරොත්තු සුන්වීම, හිස්බව සහ තමන්ගේ වටිනාකමක් නොමැති බවක් දැනීම යි" යනුවෙන් ඇය පවසයි.
ඔබ විශ්වාස කරන අයෙකු සමග ඔබේ හැඟීම් පිළිබඳව යමක් බෙදා ගැනීමෙන් කුඩා පියවරක් ලෙස ආරම්භ කරන ලෙස ඩන් යෝජනා කරයි.
"බොහෝවිට පුද්ගලයන්ට පුදුමයක් වන්නේ, එමගින් අන් අය සමඟ ඇති සබඳතා ශක්තිමත් වීම, සම්බන්ධතාවක් දැනීමට උපකාරීවීම සහ තමන් මේ ආකාරයට දැනෙන්නේ තනිවම නොවන බව තේරුම්ගැනීමයි," ඔහු පවසයි.
ඔබ අසීරුතාවකට මුහුණ දෙන්නේ නම්, වෛද්‍යවරයෙකු සමග කතා කරන ලෙස ද ඔහු නිර්දේශ කරයි.
"කතාබහ මගින් ලබාදෙන ප්‍රතිකාර, ඖෂධ ප්‍රතිකාර සහ සමාජමය ප්‍රතිකාර යන සියල්ල ම ඵලදායී විය හැකි බවට හොඳ සාක්ෂි තිබෙනවා," ඔහු පවසයි.



































