ඔබේ දරුවා මානසිකව සුවෙන් ද?: 'අතපය නොකඩා හදන' දරුවෙකුගේ හිත නොකැඩෙන්න කළ යුත්තේ කුමක් ද?

Mental Health

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, බීබීසී සිංහල

"අතක්, පයක් නොකඩා සිරීමක්වත් වෙන්න නොදී ඇස් දෙක වගේ ආරක්ෂා කරගෙන අපි ළමයි හැදුවේ" බොහෝ ලාංකික දෙමව්පියන් තම දරුවන් කෙරෙහි ඇති ආදරය, සෙනෙහස එසේ වචනවලට පෙරළන අවස්ථා විරල නොවේ.

අව්වෙන්, වැස්සෙන් පවා ආරක්ෂා කරමින් සුළු අනතුරක් හෝ සිදුවීමට ඇති අවස්ථා වළකාලමින් දෙමාපියන් තම දරුවන් ප්‍රවේශම් කරන්නේ ඔවුන් කායික වශයෙන් ආරක්ෂා කිරීමේ අරමුණිනි.

දරුවන්ට එලෙස ආදරය, රැකවරණය ලබා දෙන මව්පියන් සිය දරුවන් කායිකව ආරක්ෂා කර ගැනීමට දක්වන අවධානය දරුවන්ගේ මානසික සෞඛ්‍යය සම්බන්ධයෙන් දක්වන්නේ ද? යන්න ගැටලුසහගත ය.

පසුගිය කාලයේ සියදිවි හානි කර ගන්නා ලද ඇතැම් දරුවන් අයහපත් මානසික සෞඛ්‍යයකින් පසුවූ බව ඔවුන්ගේ මව්පියන් දැන ගන්නා විට සියල්ල සිදුවී හමාර ය.

මෙවන් වටපිටාවක සෞඛ්‍ය අමාත්‍යංශය විසින් 2024 වසරේදී මෙරට පාසල් ආශ්‍රිතව කරන ලද සෞඛ්‍ය සමීක්ෂණයකින් මෙරට දරුවන්ගේ මානසික සෞඛ්‍ය ගැටලු පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය කරගෙන තිබිණි.

තනිකමක් දැනෙන්නේ කොහොම ද?

2024 වසරේදී කරන ලද සමීක්ෂණයට අනුව දරුවන්ගෙන් 22.04%ක් තනිකමෙන් පෙළෙන බවත්, 7.05%කට සමීප මිතුරෙකු නොමැති බවත්, දරුවන්ගෙන් 75%කට තම මානසික පීඩාව හෝ සිත් තැවුල් ගැන කතා කිරීමට සමීපතමයෙකු නොමැති බවත් හෙළිව ඇතැයි මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ලක්මිණි මාගොඩරත්න සඳහන් කළා ය.

"ළමයි තනි වෙලා කියල හැඟීමක් එන්නේ ගෙදරින් හරි පාසලෙන් හරි එයාලට තියෙන සම්බන්ධතාවල අඩුවීමකින්. සමීපතම සබඳතාවල අඩුවක් වුණාම නේ තනිකම කියන එක දැනෙන්නේ. ඒක වැඩිපුර ම කියලා තියෙන්නේ ගැහැනු දරුවෝ, 25.04%ක් ගැහැනු ළමයි, පිරිමි ළමයි 19.03%ක්, සම්පූර්ණ ගාණ ගත්තා ම තමයි 22.04%ක් වෙන්නේ," විශේෂඥ වෛද්‍ය ලක්මිණි මාගොඩරත්න බීබීසි සිංහල සේවය සමග පැහැදිලි කළා ය.

දරුවා සමග කාලය ගත කළ යුත්තේ කොහොම ද?

දරුවන් කෙරෙහි අවධානය යොමු කරමින් ඔවුන් සමග ගුණාත්මක ලෙස කාලය ගත කළ හැකි ආකාරය ද ලක්මිණි මාගොඩරත්න විශේෂඥ වෛද්‍යවරිය විස්තර කළා ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, දරුවන් කෙරෙහි අවධානය යොමු කරමින් ඔවුන් සමග ගුණාත්මක ලෙස කාලය ගත කළ හැකි ආකාරය ද ලක්මිණි මාගොඩරත්න විශේෂඥ වෛද්‍යවරිය විස්තර කළා ය.

දරුවන්ගේ මානසික සෞඛ්‍යය අයහපත් වීමට දෙමාපියන් ඔවුන් සමග ගෙවන ගුණාත්මක කාලය අහිමිවීම හේතුවක් බව මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ අධ්‍යක්ෂවරිය පෙන්වා දුන්නා ය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

"අම්මලා තාත්තලා ආදරය කියලා හිතන් ඉන්නේ බඩු දෙන එක, කෑම දෙන එක, ඇඳුම් පැළඳුම් දෙන එක කියලා. හැබැයි දරුවන්ට නොමිලේ දෙන්න පුළුවන් දේ තමයි එයා එයාගේ ගෙදරට අයිති යි කියන හැඟීම."

දරුවන් කෙරෙහි අවධානය යොමු කරමින් ඔවුන් සමග ගුණාත්මක ලෙස කාලය ගත කළ හැකි ආකාරය ද ලක්මිණි මාගොඩරත්න විශේෂඥ වෛද්‍යවරිය විස්තර කළා ය.

සෑම දිනක ම පුරුද්දක් ලෙස දරුවන් සමග කාලය ගත කිරීමට යම් වෙලාවක් වෙන් කර ගත යුතු බව ඇය පෙන්වා දුන්නා ය.

"ළමයත් එක්ක ගත කරන්න පුළුවන් වෙලාවක්, ඒ කියන්නේ රෑට කෑම කනකොට හරි, අඩු ගාණේ නිදාගන්න කලින් හරි දරුවන් එක්ක කොලිටි ටයිම් එකක් ගත කරලා ළමයින්ගෙන් විවෘත ප්‍රශ්න අහන්න කියලා කියන්නේ. ඒ කියන්නේ එක වචනෙක උත්තර එන ප්‍රශ්න නෙමෙයි ළමයි ගැඹුරු සංවාදයකට යැවෙන ප්‍රශ්න අහන්න යි කියන්නේ."

"ළමයි කැමති විනෝදාංශ තියෙනවා නේ. ඒවාට තාත්තලාට, අම්මලාට එකතු වෙන්න පුළුවන්. සෙල්ලම් කරනවා හරි, සින්දු අහනවා හරි, නාට්‍යයක් බලනවා හරි දෙගොල්ලො ම එකට කරද්දි බැඳීම තව වැඩි දියුණු වෙනවා. ඒ වගේ ම පුළුවන්කමක් තියෙනවා නම් සුමානයකට වතාවක් හෝ චාරිත්‍රයක් විදියට ගෙදරින් එළියේ තැනක කාලය ගත කරන්න යන එක සුදුසු යි."

"අනිත් එක අම්මලා තාත්තලා දරුවෝ එක්ක කතා කරද්දි ෆෝන් එක ලැප්ටෝප් එක වගේ දේවල් බල බල කතා කරන්නේ නැතුව ඒ ඔක්කොම මෙවලම්වලින් අයින් වෙලා ඒකට සම්පූර්ණයෙන් ම අවධානය දෙන්න ඕනේ."

දරුවන් සමග විහිළු තහළු කරමින් විනෝදයෙන් සිටීම මෙන් ම වෙන ම වෙලාවක් වෙන් කර දරුවන් සමග කාලය ගත කිරීමේ හැකියාවක් නොමැති විට ඔවුන් සමග සාමූහික වැඩක යෙදීමත් වැදගත් බව මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය ලක්මිණි මාගොඩරත්න පෙන්වා දුන්නා ය.

"ළමයෙකුට දැනෙන්න ඕනේ එයාව පේනවා, එයාව ඇහෙනවා, එයාව තේරුම් ගන්නවා කියන එක. කතා කිරීමට වඩා ඇහුම්කන් දීමේ කුසලතාව වැඩි කර ගන්න කියන එක තමයි දෙමව්පියන්ට කියන්න වෙන්නේ," යනුවෙන් ඈ පැවසුවා ය.

දරුවන්ට නින්ද අහිමි වී ඇත්තේ ඇයි?

දරුවන් සම්බන්ධව කරන ලද සෞඛ්‍ය සමීක්ෂණයේදී ඔවුන්ට නිදා ගැනීමට ඇති වෙලාව බොහෝ අඩු වී ඇති බව අනාවරණය වී ඇතැයි විශේෂඥ වෛද්‍යවරිය පැවසූ අතර සමීක්ෂණයට දායක කරගන්නා ලද ළමුන්ගෙන් 11.09%ක් දරුවන්ට නිදා ගැනීමට ඇති කාලය පැය 8ට අඩු බව හෙළිවී ඇත.

"නිදාගන්නේ කොහොම ද ටියුෂන් යනවා නේ." ළමුන්ගේ නිදන වෙලාව අඩු වීමට හේතු විමසූ විට වෛද්‍යවරිය පැවසීය.

"පාන්දර 4ටත් ටියුෂන්, රෑ 10,12 වෙනකනුත් ටියුෂන් එතකොට ළමයට හොඳට ම මහන්සි යි. හෝම් වර්ක් හරි, පැවරුම් හරි තියෙනවා, පාඩම් කරන්න තියෙනවා. ටියුෂනුත් කරලා පාඩම් කරලා නිදා ගන්නේ කීයට ද."

විභාග පීඩනය මෙන් ම ළමුන් අතර ඇති තරගය සමීප මිතුරෙකු නොමැති වීමට මෙන් ම සිත් තැවුලක් බෙදා ගැනීමට සමීපතමයෙකු අහිමි වීමට හේතු ද විශේෂඥ වෛද්‍යවරිය පැහැදිලි කළා ය.

"ළමයි, ළමයි අතරත් අභිබවා යාම, විභාග පීඩන, යාළුවෙක් ඇති කර ගන්නත් ළමයින්ට වෙලාවක් තියෙන්න ඕන නේ. මම හිතන්නේ ළමයින්ට එකතු වෙලා වැඩක් කරන්න වෙලාවක් නැතුව ඇති."

අයපහත් මානසික සෞඛ්‍ය ලක්ෂණ සොයා ගන්නේ කොහොම ද?

කායික රෝගවලදී මෙන් ම මානසික සෞඛ්‍ය ගැටලු ඇති වූ විට ද හඳුනාගත හැකි ලක්ෂණ කිහිපයක් විශේෂඥ වෛද්‍ය ලක්මිණි මාගොඩරත්න පැහැදිලි කළේ ය.

"හොඳට හිටපු ළමයෙක් එකපාරට ම එයා අවේගශීලී වෙලා, රණ්ඩු වෙනවා එක්කෝ බඩු පොළොවේ ගහනවා, දොරවල් හයියෙන් තල්ලු කරනවා, පාඩම් කරන්නේ නැහැ, අපි කියන්නේ මූඩ් ගහලා ඉන්නවා කියලා එහෙම වෙන්න පුළුවන්. බඩ රිදෙනවා, ඔළුවේ කැක්කුම වගේ හේතුවක් නැතිව කියනවා නම්. ළමයි රෑට නිදාගන්නවා අඩු යි වගේ දේවල් වෙනවා නම් ඒ ගැන අවධානය යොමු කරන්න ඕනේ."

"ඉස්සර යාළුවෝ එක්ක සතුටෙන් හිටපු ළමයෙක් දැන් යාළුවෝ එක්ක සම්බන්ධතා අඩු වෙලා නම්, කෑම පිරිය අඩු වෙලා කෑම කන්නේ නැති නම්, අපිරිසුදු විදියට ඉන්නවා වගේ දේවල් තියෙනවා නම් සැලකිලිමත් වෙන්න ඕනෙ," යනුවෙන් මානසික සෞඛ්‍යය අයහපත් දරුවෙකුගෙන් දැකිය හැකි ලක්ෂණ කිහිපයක් ඇය විස්තර කළා ය.

දරුවෙකු තුළින් මෙවැනි ලක්ෂණ දැකිය හැකි නම් ඔවුන් සමග සමීපව සාකච්ඡා කර ඒ පිළිබඳව සොයා බැලිය යුතු බව විශේෂඥ වෛද්‍යවරිය අවධාරණය කරයි.

සෞඛ්‍ය අමාත්‍යංශය ළමුන්ගේ මානසික සෞඛ්‍යය නගා සිටුවීම වෙනුවෙන් වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කර ඇත.

මිතුරු පාසල නමින් උපදේශක ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ සහ පුහුණු කිරීමේ වැඩසටහනක් මෙන් ම දිස්ත්‍රික්ක මට්ටමින් මානසික රෝග වෛද්‍යවරු ද විවිධ වැඩසටහන් පවත්වාගෙන යති.

එමෙන් ම මානසික ගැටලු සහිත දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයට යොමු විය හැකි බැවින්, අන්තරායාකාර ඖෂධ පාලන අධිකාරියේ සහයෝගය ඇතිව ඒ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් ද ආරම්භ කළ බව විශේෂඥ වෛද්‍යවරිය පැවසුවා ය.

"හැමෝම ඉතින් තව කෙනෙක් ගැන සහකම්පනයෙන් ඉන්නවා නම් හොඳ යි," බීබීසී සිංහල සේවය සමග සාකච්ඡාව අවසන් කරමින් මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ අධ්‍යක්ෂික විශේෂඥ වෛද්‍ය ලක්මිණි මාගොඩරත්න අවධාරණය කළා ය.

උපකාරක සේවා මොනවා ද?

මානසික සෞඛ්‍ය ගැටලු සහිත දරුවෙකු ගැන නිරීක්ෂණය වූ අවස්ථාවකදී ඒ සඳහා උපකාර ලබා ගත හැකි ක්‍රම කිහිපයක් තිබේ.

සතියේ දින 7 ම, පැය 24 පුරා භාෂා ත්‍රිත්වයෙන් ක්‍රියාත්මක 1926 ජාතික මානසික සෞඛ්‍ය උපකාර සේවයේ ක්ෂණික ඇමතුම් සේවය ඉන් එකකි.

එමෙන් ම, ලංකා ලයිෆ් ලයින් විසින් ක්‍රියාත්මක 1375 උපකාරක ඇමතුම් සේවය ද තවත් උපකාරක සේවාවකි.

0112 - 578556 හෝ 0112- 2578234 අංක ඔස්සේ ජාතික මානසික සෞඛ්‍ය ආයතනය ඇමතීමෙන් ද ළමා හා නව යොවුන් සේවා සඳහා සම්බන්ධ විය හැක.

ශ්‍රී ලංකා සුමිත්‍රයෝ - දුරකතන අංක: 011 2696666 හෝ +94 112 682 535

ධෛර්ය, දයානුකම්පාව, කැපවීම (CCC) පදනම - දුරකතන අංක: 1333 හෝ +94 112 692 909