ශ්‍රී ලංකාවේ ආයෝජනයට විදෙස් ආයෝජකයන් 'තවමත් බය' ඇයි? ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව හෙළි කරන හේතු

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, දිනුක් හේවාවිතාරණ
- Role, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 6
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්රමුඛ ජාතික ජන බලවේග රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග ඇති ඇමෙරිකානු ඩොලර් බිලියන 3ක සිව් වසරක වැඩසටහන ඉදිරියට ගෙන යාමට දැක්වූ කැපවීම හේතුවෙන් විදේශීය ආයෝජකයින් තුළ යහපත් විශ්වාසයක් ගොඩනැඟී ඇතැයි පෙනෙන්නට තිබේ.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ ආයෝජන වෙළෙඳපොළ විවෘත කිරීම සම්බන්ධයෙන් එම පක්ෂයේ ම නායකයින් විවිධ අවස්ථාවලදී පළ කළ පරස්පර අදහස් හේතුවෙන්, බොහෝ ආයෝජකයින් තවමත් යම් අවිනිශ්චිතතාවකින් පසු වන බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම ශ්‍රී ලංකා ආයෝජන වාතාවරණය පිළිබඳ වාර්තාවේ (Investment Climate Statement) සඳහන් වේ.
2025 වසරේදී 5%ක වර්ධන අපේක්ෂාවන් ඉක්මවා ගිය ද, රටේ ආයෝජන වාතාවරණය තවමත් අභියෝගාත්මකව පවතින බව ද එම වාර්තාව පෙන්වා දෙයි.
'වැඩිදියුණු කළ යුතු අංශ'
2022 ආර්ථික අර්බුදයෙන් පසු ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත්වෙමින් සිටිය ද, මෙරට ආයෝජන පරිසරය සම්බන්ධයෙන් විදේශීය ආයෝජකයන් අතර තවමත් කණස්සල්ලක් පවතින බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වාර්තාවක් පෙන්වා දෙයි.
එම කණස්සල්ලට ප්‍රධාන හේතු ලෙස නියාමන ප්රතිපත්තිවල පවතින අවිනිශ්චිතභාවය, යල් පැන ගිය රෙගුලාසි, නිලධාරීවාදී බාධක සහ ප්රතිපත්තිවල විනිවිදභාවය පිළිබඳ ගැටලු හඳුනාගෙන ඇත.
ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති වාර්තාවට අනුව, ශ්‍රී ලංකාවේ නියාමන ක්‍රියාවලිය බොහෝ දුරට රාජ්‍ය ආයතන විසින් මෙහෙයවනු ලබන අතර, පෞද්ගලික අංශය සමග ඇති උපදේශන සීමිත ය.
සීමාකාරී කම්කරු නීති, සංකීර්ණ බදු ව්‍යුහ, ගිවිසුම් ක්‍රියාත්මක කිරීමේ අපහසුතා සහ ඉඩම් ලබාගැනීමේ ගැටලු හේතුවෙන් ශ්‍රී ලංකාවට ලැබෙන ආයෝජන ප්රවාහයන් කලාපයේ අනෙකුත් රටවලට වඩා පහළ මට්ටමක පවතින බව ද එහි සඳහන් වේ.
ආයෝජකයන්ගේ තීරණ ගැනීමේදී නිදහස් වෙළෙඳ ගිවිසුම් (FTA) හරහා අපනයන වෙළෙඳපොළ වෙත ප්‍රවේශය වැදගත් සාධකයක් ලෙස සැලකෙන අතර, එමගින් අපනයන තරගකාරීත්වය ඉහළ නැංවීමට සහ ආනයනික අමුද්‍රව්‍යවල පිරිවැය අඩු කිරීමට හැකි වන බව වාර්තාව පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, නියාමන අවිනිශ්චිතතාව, නිලධාරීවාදය සහ සීමිත විනිවිදභාවය තවදුරටත් ආයෝජන ආකර්ෂණයට බාධාවක් බව වාර්තාවේ සඳහන් වේ.
වැඩි ම විදෙස් ආයෝජන ලද ක්ෂේත්‍ර මොනවා ද?
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
2025 වසරේදී ශ්‍රී ලංකාවට ලැබුණු ඍජු විදෙස් ආයෝජන ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.06ක් වූ අතර, එය දළ දේශීය නිෂ්පාදිතයේ 1%කට ආසන්න ප්‍රමාණයක් වන අතර මෙය නැගී එන ආර්ථික තුළ සාමාන්‍යයෙන් දක්නට ලැබෙන 3% සිට 4% දක්වා මට්ටමට වඩා සැලකිය යුතු ලෙස අවම අගයක් ගන්නා බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති ආයෝජන වාතාවරණය පිළිබඳ වාර්තාවේ සඳහන් කර ඇත.
2025 වසරේදී වැඩි ම විදේශ ආයෝජන ආකර්ෂණය කර ගත් ක්ෂේත්‍ර ලෙස නිෂ්පාදන කර්මාන්ත, වරාය සංවර්ධනය, සංචාරක කර්මාන්තය, තොරතුරු තාක්ෂණය සහ ව්‍යාපාර ක්‍රියාවලි බාහිර සම්පාදන සේවා සහ දේපළ වෙළෙඳාම් අංශය ඇතුළත් බව බීබීසී සිංහල යොමු කළ තොරතුරු දැන ගැනීමේ ලිපියට පිළිතුරු යොමු කරමින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සඳහන් කර සිටියි.
2020 වසරේදී මෙරටට ලද ඍජු විදෙස් ආයෝජන ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 687ක් වේ. 2021 වසරේදී එය ඇමෙරිකානු ඩොලර් මිලියන 780.2ක් වූ අතර 2022 වසරේදී එය ඇමෙරිකානු ඩොලර් මිලියන 1075.6ක් විය.
2023 වසරේදී මෙරටට ලද ඍජු විදෙස් ආයෝජන ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 737.3ක් වන අතර 2024 වසරේදී එය ඇමෙරිකානු ඩොලර් මිලියන 613.8ක් ලෙස සටහන් විය.
2025 වසරේදී මෙරටට ලද ඍජු විදෙස් ආයෝජන ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 1063.1ක් වුවද 2026 වසරේ පළමු මාස 07 තුළදී ලැබී ඇති ඍජු විදෙස් ආයෝජන ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 385.2ක් බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සඳහන් කරයි.
මේ අතර 2024 ඔක්තෝබර් 1 වන දින සිට ව්‍යාපෘති 310ක් සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 3.3971ක සෘජු විදේශ ආයෝජන ශ්‍රී ලංකාවට ලැබී ඇති බව මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ඉකුත් අගෝස්තු 6 වන දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
එම සමස්ත ආයෝජනයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.712ක මුදලක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ අනුමත ව්‍යාපෘති 215ක් සඳහා මෙන්ම ඇමෙරිකානු ඩොලර් මිලියන 685.1ක මුදලක් කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති 95ක් සඳහා ලැබී ඇති බව ඔහු පැවසුවේය.
NPP රජය සහ විදේශ ඍජු ආයෝජන ප්‍රතිපත්ති අතර ඇතිවූ ගැටලු
ශ්‍රී ලංකාවේ විදේශ ආයෝජන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී ස්ථාවරත්වයක් නොමැති බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වාර්තාව පෙන්වා දෙයි.
ආයෝජන ප්‍රවර්ධනය භාර ප්‍රධාන ආයතනය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වුව ද, විවිධ රාජ්‍ය ආයතන අතර බලතල බෙදී පැවතීම හේතුවෙන් සියලු සේවාවන් එක ම ස්ථානයකින් සපයන ආයතනයක් ලෙස එය කාර්යක්ෂමව ක්‍රියා නොකරන බව වාර්තාවේ සඳහන් වේ.
එහි ප්‍රතිඵලයක් ලෙස ආයෝජන අනුමැතිය ලබා ගැනීමේ ක්‍රියාවලිය ප්‍රමාද වන අතර, එය ආයෝජකයන් අධෛර්යමත් කරන සාධකයක් වී ඇත.
ආයෝජන මණ්ඩලය සමග ස්ථාවර හා විවෘත සන්නිවේදනයක් පවත්වාගෙන යාමේදීද ගැටලු පවතින බව ආයෝජකයන් පෙන්වා දී ඇති බව වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
ප්‍රධාන බාධක ලෙස හඳුනාගෙන ඇත්තේ අනවශ්‍ය රෙගුලාසි, නීතිමය අවිනිශ්චිතභාවය සහ රාජ්‍ය යාන්ත්‍රණයේ ප්‍රතිචාර දැක්වීමේ දුර්වලතාවයයි. විශේෂයෙන්ම ලංකා විදුලිබල මණ්ඩලය වැනි අකාර්යක්ෂම රාජ්‍ය බලශක්ති ව්‍යවසායන්, කර්මාන්ත මෙහෙයුම් සඳහා අත්‍යවශ්‍ය වන අඩු පිරිවැය බලශක්ති සැපයුම් සංවර්ධනයට බාධාවක් වී ඇත.
විදේශ ආයෝජකයන් නිරන්තරයෙන් ඉහළ ගනුදෙනු පිරිවැය, අනපේක්ෂිත ප්‍රතිපත්ති සහ විනිවිදභාවයෙන් තොර ප්‍රසම්පාදන ක්‍රියා පටිපාටි පිළිබඳව ද සැලකිල්ලක් දක්වයි.
ජාතික ජනබලවේග රජය විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ කැමැත්ත ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති අතර, ශ්‍රී ලංකාව බොහෝ ආර්ථික ක්ෂේත්රවල සියයට 100ක විදේශීය අයිතියට අවසර ලබා දෙයි. එමෙන්ම ආයෝජන ආරක්ෂාව සහ ලාභ, ගාස්තු සහ ප්රාග්ධනය සීමාවකින් තොරව නැවත රටින් පිටතට රැගෙන යාමේ අයිතිය සඳහා ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය සහතික ලබා දී ඇති බව එම වාර්තාවේ සඳහන් වේ.
2025 ජනවාරි මාසයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක, චීන සමාගමක් වන Sinopec විසින් යෝජනා කර ඇති ඩොලර් බිලියන 3.7ක තෙල් පිරිපහදුවක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය අවසන් කරන බවට ප්‍රතිඥා දුන්නේය. මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම විදේශ සෘජු ආයෝජන ව්‍යාපෘතිය ලෙස සැලකෙන අතර, චීන පාලනය යටතේ පවතින හම්බන්තොට ජාත්‍යන්තර වරාය ආසන්නයේ එය ඉදිකිරීමට නියමිතය. කෙසේ වෙතත්, 2026 ජුනි වනවිටත් රජය සහ Sinopec අතර මතභේද හේතුවෙන් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වී තිබිණි.
2025 පෙබරවාරි මාසයේදී ඉන්දීය සමාගමක් වන අදානි ග්‍රීන් එනර්ජි (Adani Green Energy), ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ ඉදිකිරීමට යෝජිත ඩොලර් මිලියන 400ක, මෙගාවොට් 484ක සුළං බල ව්‍යාපෘතියෙන් ඉවත් විය. එයට හේතුව ලෙස දක්වා ඇත්තේ, මීට පෙර ලබා දී තිබූ කොන්ත්‍රාත්තුවක් නැවත සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා රජය ගත් උත්සාහය යි.
තවද, 2025 දෙසැම්බර් මාසයේදී, China Harbour Engineering Company සමඟ නව පාවෙන ද්‍රවීකෘත ස්වාභාවික වායු (LNG) පර්යන්තයක් පිළිබඳ පැවැත්වෙමින් තිබූ සාකච්ඡා, කොන්ත්‍රාත්තුව අත්සන් කිරීමට නියමිත දින කිහිපයකට පෙර අවසන් කිරීමට රජය කටයුතු කළේය.
ජාතික ජනබලවේගය රජය බොහෝ රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලීකරණය කිරීමේ සැලසුම් ද නවතා දමා, ඒ වෙනුවට ඒවා ප්‍රතිසංස්කරණය කර යථා තත්ත්වයට පත් කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කර ඇත.
රජය විදේශ ආයෝජන ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කළද, රාජ්‍යයේ ආර්ථික භූමිකාව වැඩි කළ යුතු බවට ඇතැම් නිලධාරීන් පළ කළ අදහස් හේතුවෙන් ආයෝජකයන්ට මිශ්‍ර සංඥා ලැබී ඇති බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති වාර්තාව සඳහන් කරයි.
ඍජු විදෙස් ආයෝජන ලැබුණු රටවල් මොනවා ද?
2020 වසරේ සිට මෙරටට ඍජු විදෙස් ආයෝජන ලබාදුන් රටවල් පිළිබඳව බීබීසී සිංහල යොමු කළ තොරතුරු දැන ගැනීමේ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ලබාදුන් තොරතුරු අනුව ඉදිරියෙන් ම පසුවන්නේ ඉන්දියාව ය.
2020 වසරේ සිට 2026 ජූලි මස 31 දක්වා මෙරටට ලැබුණු ඍජු විදෙස් ආයෝජනවල වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 5342.3ක් බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සඳහන් කරයි.
ඉන්දියාව 2020 වසරේදී මෙරටට ලබා දුන් ඍජු විදෙස් ආයෝජන ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 944කි.
සිංගප්පුරුව ඇමෙරිකානු ඩොලර් මිලියන 550.4ක්, ප්‍රංශය ඇමෙරිකනු ඩොලර් මිලියන 536.6ක්, චීනය ඇමෙරිකානු ඩොලර් මිලියන 507.1ක් සහ නෙදර්ලන්තය ඇමෙරිකානු ඩොලර් මිලියන 452.6ක් ලෙස ඍජු විදෙස් ආයෝජන සිදු කර ඇති බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ලබාදුන් තොරතුරුවල දැක්වේ.



































