ඉන්දියාව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 450ක් දෙන්නේ ඇයි? කොහොම ද?

ඡායාරූප මූලාශ්‍රය, MFA
- Author, බීබීසී සිංහල
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදාවලින් පීඩාවට පත් වූ ශ්‍රී ලංකාවට යළි ගොඩනැගීම සඳහා සහය දීමට ඉන්දියාව ඇමෙරිකානු ඩොලර් මිලියන 450ක ප්‍රතිසංස්කරණ පැකේජයක් යෝජනා කර ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් පවසයි.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා එරට අගමැතිවරයාගේ විශේෂ නියෝජිතයකු ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත පණිවිඩයක් රැගෙන දෙසැම්බර් 23 වන මෙරටට පැමිණි අතර ජනාධිපතිවරයා හමුවීමෙන් අනතුරුව කොළඹදී පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී ඒ ඔහු බව පැවසීය.
'පළමුව අසල්වැසියා' යන ප්‍රතිපත්තිය අවධාරණය කරන මෙම සංචාරය දිට්වා සුළි කුණාටුව හේතුවෙන් වූ විනාශයට ප්‍රතිචාර ලෙස මෙරටට සහය දක්වමින් ඉන්දියාව ක්‍රියාත්මක කළ 'සාගර් බන්ධු මෙහෙයුම යන සන්දර්භය තුළ සිදුවූ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කර තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, MFA
ඉන්දීය විදේශ ඇමති සහ ජනපති සාකච්ඡා කළේ මොනවා ද?
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් දෙසැ. 23 ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී සාකච්ඡා පැවැත්වූ අතර ඉන් අනතුරුව පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී ඔහු සඳහන් කළේ, දිට්වා සුළි කුණාටුවෙන් මෙරටට සිදුවූ හානිය සම්බන්ධව ජනාධිපතිවරයා සමග සවිස්තරව සාකච්ඡා කළ බව ය.
"මා විසින් භාර දෙන ලද මෝදි අගමැතිවරයාගේ (ලිපියෙන් / සන්දේශයෙන්), අපගේ පළමු ප්‍රතිචාර දක්වන්නාගේ භූමිකාව සහ නැවත ගොඩනැගීමට ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 450ක ප්‍රතිසංස්කරණ පැකේජයක් යෝජනා කළා. අපගේ සාකච්ඡා කේන්ද්‍රගත වූයේ මෙම කැපවීම කෙතරම් ඉක්මනින් ඉටු කළ හැකි ද යන්න වටා යි."
ඉන්දීය 'සාගර් බන්ධු' මෙහෙයුම

ඡායාරූප මූලාශ්‍රය, MFA
ශ්‍රී ලංකාව අර්බුදයකට මුහුණ දෙන අවස්ථාවල ඉන්දියාව ඉදිරියට පැමිණ සහය දී ඇති බව පැවසූ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මෙරට ආර්ථික අර්බුදය පැවති සමයේ ද එලෙස සහය දුන් බව සිහිපත් කළේ ය.
ඉන්දියාව ක්‍රියාත්මක කළ 'සාගර් බන්ධු' සහන මෙහෙයුම මෙරටට සුළි කුණාටුව කඩා වැදුන දිනයේ සිටි ම ආරම්භ කළ බවත් ඉන්දීය ගුවන් යානා සහ නෞකා කොළඹට පැමිණ සහන ද්‍රව්‍ය බෙදා දුන් බව ත් පසුව හෙලිකෝප්ටර් යානා ද මෙරටට පැමිණි බව ත් ඔහු පැවසීය.
එමෙන් ම දෙසතියකට වැඩි කාලයක් ඉන්දීය හෙලිකොප්ටර් යානා මෙරට සහන කටයුතුවල නිරත වූ බවත් ඉන්දියාවේ ජාතික ආපදා ප්‍රතිචාර බළකායේ සාමාජිකයින් 80 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එකවර පැමිණ, ගලවා ගැනීමේ සහ සහන මෙහෙයුම් ක්‍රියාත්මක කළ බවත් විදේශ අමාත්‍යවරයා සඳහන් කළේ ය.
තව ද ඉන්දියානු හමුදාව මහනුවර වෛද්‍ය නිලධාරීන් 85 දෙනෙකුගෙන් යුත් ක්ෂේත්‍ර රෝහලක් ස්ථාපනය කළ බව මෙන් ම 8000කට අධික පිරිසකට හදිසි ප්‍රතිකාර ලබා දුන් බවත් ඔහු කියා සිටියේ ය.
ප්‍රතිසංස්කරණ පැකේජය ලැබෙන්නේ කොහොම ද?
නැවත ගොඩනැගීමේ හදිසි අවශ්‍යතාව හඳුනා ගනිමින්, ශ්‍රී ලංකාවේ අවශ්‍යතා සපුරාලීමට මෙරට සමග එක් වී ප්‍රමුඛතා සපුරාලීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි උපදෙස් දී ඇති බව කී ඉන්දීය විදේශ අමාත්‍යවරයා ඒ අනුව මෙරටට ඇමෙරිකානු ඩොලර් 450ක ප්‍රතිසංස්කරණ පැකේජයක් යෝජනා කර ඇතැයි පැවසීය.
ඉන් ඇමෙරිකානු ඩොලර් මිලියන 350ක් සහනදායි ණයක් ලෙස සහ ඉතිරි ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක මුදල ප්‍රදානයක් ලෙස ශ්‍රී ලංකාවට ලබා දෙන බව ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී ඔහු සඳහන් කළේ ය.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේ, ශ්‍රී ලංකා රජය සමග සමීපව සාකච්ඡා කිරීමෙන් අනතුරව මෙම සහන පැකේජය සම්බන්ධ අවසන් තීන්දුව ගන්නා බව ය.
ප්‍රතිසංස්කරණ පැකේජය ලබා දෙන්නේ කුමක් සඳහා ද?
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
මෙම පැකේජයෙන් සුළි කුණාටුවෙන් බලපෑමට ලක්වූ මෙරට මහා මාර්ග, දුම්රිය සහ පාලම් පුනරුත්ථාපනයට සහ ප්‍රතිසංස්කරණය කිරීම මෙන් ම අර්ධ වශයෙන් සහ පූර්ණ වශයෙන් හානි වූ නිවාස ඉදිකිරීමට සහය සඳහා ලබා දෙයි.
එමෙන් ම සුළි කුණාටුවෙන් හානියට පත් වූ සෞඛ්‍ය සහ අධ්‍යාපන පද්ධතිය ද ඉන්දියානු ප්‍රතිසංස්කරණ පැකේජයෙන් ආවරණය කෙරේ.
මෙම ප්‍රතිසංස්කරණ පැකේජයෙන් කෘෂිකර්මාන්තයේ සිදුවිය හැකි කෙටි කාලීන සහ මධ්‍ය කාලීන හිඟයන් පියවා ගැනීම මෙන් ම වඩා හොඳින් ආපදා සඳහා ප්‍රතිචාර දැක්වීම සහ සූදානම සඳහා කටයුතු කිරීම ආවරණය කරන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් පැවසීය.
ශ්‍රී ලංකාවේ සැලකිය යුතු සංචාරක ආර්ථිකයක් පවතින අතර ඉන්දියාවෙන් මෙරටට සංචාරක ගමනාගමන අඛණ්ඩව දිරිමත් කරන බව පෙන්වා දුන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ඒ හා සමානව ඉන්දියාවෙන් ලැබෙන ඍජු අයෝජන වැඩීවීම මෙවැනි තීරණාත්මක අවස්ථාවක මෙරට ආරථිකයට ශක්තියක් විය හැකි බව අවධාරණය කළේ ය.
එබැවින් දෙරට අතර සාකච්ඡා ගැඹුරු සහයෝගිතා සම්බන්ධයක් ප්‍රවර්ධනය කෙරෙහි අවධානය යොමු කරනු ඇති බව ද අමාත්‍ය එස්. ජයශංකර් පැවසීය.
"මෙය ශ්‍රී ලංකාවට ඉතා දුෂ්කර කාල පරිච්ඡේදයක් බව අපි සම්පූර්ණයෙන් ම හඳුනා ගනිමු. 2022 ආර්ථික අර්බුදයෙන් යථා තත්ත්වයට පත්වෙමින් සිටියදී ම, මෙම ස්වාභාවික ව්‍යසනය නව දුෂ්කරතා ඇති කර තිබේ. අභියෝග ජය ගැනීමට සහ ඉදිරියට යාමට ශ්‍රී ලංකාවේ ජනතාව තුළ ඇති දැඩි අධිෂ්ඨානය සහ ශක්තිය අතීතයේදී අපි දැක ඇත්තෙමු. ඉන්දියාව වෙන කවරදාටත් වඩා ශ්‍රී ලංකාව සමග ස්ථිරව සිටින බව මට ඔබට සහතික විය හැකි අතර, මෙම විපත්තියෙන් ගොඩ ඒමේදී ශ්‍රී ලංකාව නැවත වරක් එහි විශිෂ්ට ඔරොත්තු දීමේ හැකියාව පෙන්නුම් කරනු ඇතැයි මට විශ්වාසයි," අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.













