සෞදි අගනුවර රියාද්හි ගුවන් තොටුපළකට එල්ල වූ ප්‍රහාරයකින් 12 දෙනෙක් ජීවිතක්ෂයට: 300කට තුවාල

වීඩියෝ ශීර්ෂ වැකිය, නරඹන්න: ප්‍රහාරයෙන් පසු රියාද් ගුවන් තොටුපළේ දර්ශන
    • Author, පරුල් ගුප්තා
    • Author, යාරොස්ලාව් ලුකිව්
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 5

සෞදි අගනුවර වන රියාද්හි ගුවන්තොටුපොළකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් අවම වශයෙන් 12 දෙනෙකු මියගොස් තවත් 309 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට බලධාරීහු පවසති.

මියගිය පිරිස අතර සෞදි ජාතිකයින් සිව් දෙනෙකු, බංග්ලාදේශ ජාතිකයින් දෙදෙනෙකු සහ එක්සත් ජනපදය, ජෝර්දානය, පලස්තීනය, සිරියාව, සුඩානය හා ඊජිප්තුව යන රටවල ජාතිකයින් එක් අයෙකු බැගින් සිටින බව සෞදි සිවිල් ගුවන් සේවා අධිකාරිය ප්‍රකාශ කළේ ය.

ප්‍රහාරය එල්ල වූ කිං කාලිඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මෙහෙයුම් මේ වන විට අත්හිටුවා තිබේ.

සෞදි නායකත්වයෙන් යුත් හමුදා සන්ධානය මෙම ප්‍රහාරයට ප්‍රතිචාර දක්වන බවට ප්‍රතිඥා දුන් අතර, ඔවුහු හූති සටන්කරුවන්ට චෝදනා කරමින් මෙය "යුද්ධ අපරාධයක්" ලෙස හැඳින්වූහ.

හූති සටන්කරුවන් මෙම ප්‍රහාරයේ වගකීම භාරගෙන නොමැති නමුත් බ්‍රහස්පතින්දා ගුවන්තොටුපොළට එල්ල වූ වෙනත් ප්‍රහාර පිටුපස එම කණ්ඩායම සිටි අතර, එම ප්‍රහාරවලින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් එක් ගුවන් යානයකට හානි සිදුවිය.

යේමනයේ සෞදි අරාබියේ සහය ලබන රජයේ හමුදා සහ එරට බොහෝ ප්‍රදේශවල පාලනය සියතට ගෙන සිටින හූති සටන්කරුවන් අතර මෑතකදී ගැටුම් උත්සන්න වී තිබේ. සෙනසුරාදා එල්ල වූ ප්‍රහාරය, 2015 මැයි මාසයෙන් පසු එම රාජ්‍යය තුළ වාර්තා වූ දරුණුතම ප්‍රහාරයයි.

රියාද්හි ගුවන් තොටුපළට එල්ල වූ ප්‍රහාරවලට අමතරව, සෙනසුරාදා දින සෞදි අරාබියේ නැගෙනහිරින් පිහිටි දම්මාම්හි කිං ෆාඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළ අසලට ද පුපුරණ ද්‍රව්‍ය කොටසක් කඩා වැටුණු බව සෞදි ප්‍රමුඛ සන්ධානය ප්‍රකාශ කළේ ය.

ඉරානයේ සහය ලබන හූති සටන්කරුවන් විසින් ගුවන් තොටුපළ වෙත එල්ල කළ ප්‍රහාර දෙකකින් ගුවන් නියමුවෙකු ඇතුළු සෞදි ජාතිකයින් තිදෙනෙකු මියගිය බවට බලධාරීන් ප්‍රකාශ කර දිනකට පසුව මෙම ප්‍රහාර සිදුවිය. ඔක්තෝබර් 6 සහ 7 යන දිනවල සෞදි ගුවන් තොටුපළවල් දෙකක් වෙත හූතීන් එල්ල කළ ප්‍රහාරවලින් තවත් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබිණි.

Skip podcast promotion and continue reading
WhatsApp BBC News සිංහල
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

සෙනසුරාදා නිවේදනයක් නිකුත් කරමින් සෞදි සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේ, තුවාල ලැබූවන්ගෙන් ඇතැමෙකුගේ "තත්ත්වය බරපතළ" බව ය.

ගුවන් තොටුපළට සිදුවූ හානිය පිළිබඳව තක්සේරු කෙරෙමින් පවතින බව එහි සඳහන් විය.

තමන් දේශීය මගී පර්යන්තයේ සිටි බව පැවසූ ඇසින් දුටු සාක්ෂිකරුවෙකු පුවත් ඒජන්සියකට පවසා තිබුණේ 401 දරන ගේට්ටුවට ප්‍රහාරය එල්ල වන අයුරු සහ "මගේ ඇස් ඉදිරිපිට තුවාල ලැබූ [පුද්ගලයන්]" තමන් දුටු බවයි. "හැමෝම දුවමින් හිටියා," යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

රොයිටර්ස් පුවත් සේවය ඇසින් දුටු සාක්ෂිකරුවෙකු උපුටා දක්වමින් වාර්තා කළේ, ගිලන්රථ දොළහකට අධික සංඛ්‍යාවක් ගුවන් තොටුපළ වෙත වේගයෙන් ගමන් කරනු දක්නට ලැබුණු බව ය.

මගී පර්යන්තයක් වෙත එල්ල වූ එම ප්‍රහාරය හේතුවෙන් සිවිල් මගීන් සහ ගුවන් තොටුපළ කාර්ය මණ්ඩල සාමාජිකයින් මියගොස් සහ තුවාල සිදුව ඇති බව සෞදි ප්‍රමුඛ සන්ධානයේ ප්‍රකාශක මේජර් ජෙනරල් තුර්කි අල්-මාලිකි පසුව ප්‍රකාශ කළේ ය.

ඔහු එම ප්‍රහාරය "පූර්ණ පරිමාණයේ යුද්ධඅපරාධයක්" ලෙස විස්තර කළේය.

සෞදි අරාබියට එල්ල වූ මෑතකාලීන ප්‍රහාර එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ දැඩි ලෙස හෙළා දුටු අතර ඉන් ඇමෙරිකානු පුරවැසියෙකු මියගිය බව ද තහවුරු කළේ ය.

එම ප්‍රකාශයෙන් පසුව හූතීන්ට එරෙහි ප්‍රහාර එල්ල කිරීමේදී සෞදි අරාබිය සමග එක්වීමට ඇමෙරිකා එක්සත් ජනපදය සැලසුම් කරන්නේ දැයි මාධ්‍යවේදීන් විමසූ විට, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙසේ පැවසීය: "අපි එහෙම කරන්න ඉඩ තිබෙනවා. අපි ඒ ගැන සොයා බලනවා. මෑතකදී සිදුවූ ප්‍රහාරය ගැන අපට දැනගන්නට ලැබුණේ ටික වෙලාවකට කලින්, ඒ නිසා අපි ඒ ගැන තීරණයක් ගන්නවා. අපි ඉතා ඉක්මනින් ක්‍රියාත්මක වෙනවා."

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පැවසුවේ, "ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක්" සහ "වහා ම නතර කළ යුතු" ක්‍රියාවක් ලෙස තමා හඳුන්වන එම ප්‍රහාරයන් පිළිබඳව තමා "දැඩි කම්පනයට" පත්වූ බව ය.

ඊජිප්තුව, පලස්තීනය සහ කටාර් රාජ්‍යය ද මෙම ප්‍රහාර හෙළා දුටුවේ ය.

මේ අතර, සෞදි අරාබියේ බටහිර තානාපති කාර්යාල තම පුරවැසියන්ට රියාද් ගුවන් තොටුපළෙන් ඈත්ව සිටින ලෙස අනතුරු අඟවා තිබේ. එක්සත් රාජධානියේ විදේශ කාර්යාලය බ්‍රිතාන්‍ය ජාතිකයින්ට පැවසුවේ "ගුවන් තොටුපළ ආරක්ෂිත වන තුරු" එම ප්‍රදේශයට යාමෙන් වළකින ලෙස ය.

ගල්ෆ් කලාපයේ ගුවන් සමාගම් කිහිපයක් එම ගුවන් තොටුපළ වෙත සහ ඉන් පිටතට සිදු කෙරෙන සිය ගුවන් ගමන් අවලංගු කර ඇති බව ප්‍රකාශ කළ අතර, කුවේට් එයාර්වේස් සමාගම ඊට හේතුව ලෙස සඳහන් කළේ එහි පවතින "ආරක්ෂක තත්ත්වය" යි.

රියාද් වෙත යන සියලු ම ගුවන් ගමන් වෙනත් ගුවන් තොටුපළක් වෙත යොමු කිරීම හෝ අවලංගු කිරීම සිදු කර ඇති බව ගුවන් ගමන් නිරීක්ෂණ සේවාවක් වන 'Flightradar'හි දැක්වේ.

හූති සටන්කරුවන් පවසන්නේ, යේමනයේ සිවිල් යුද්ධයේදී යේමන රජයේ හමුදාවන්ට සෞදි අරාබිය ලබාදෙන සහය හේතුවෙන් තමන් සෞදි අරාබිය ඉලක්ක කරන බව ය.

රතු මුහුදේ වෙරළ තීරයේ උපායමාර්ගික වශයෙන් වැදගත් ප්‍රදේශ කිහිපයක් හූති සටන්කරුවන් වේගවත් හමුදා මෙහෙයුමකින් අත්පත් කර ගැනීමෙන් පසු ගැටුම් තත්ත්වය තවදුරටත් උග්‍ර විය.

රතු මුහුදේ පටුම ස්ථානය මෙන් ම ගෝලීය නාවික ගමනාගමනයේ තීරණාත්මක මර්මස්ථානයක් ද වන බාබ් අල්-මන්දාබ් සමුද්‍ර සන්ධියේ පිහිටි මොකා වරාය ද ඊට ඇතුළත් විය. රතු මුහුදේ දකුණු කෙළවරේ පිහිටි එම සමුද්‍ර සන්ධියේ පාලනය තමන් "තහවුරු කරගත්" බව යේමන රජයට පක්ෂපාතී හමුදා ඉන් අනතුරුව ප්‍රකාශ කළහ.

යේමනයේ ජාත්‍යන්තර පිළිගැනීමට ලක් වූ රජයෙන් බලය අත්පත් කර ගැනීම හූතීන් වැළැක්වීම සඳහා අරාබි රටවල් එක්වීමත් සමග සෞදි අරාබිය ප්‍රමුඛ සන්ධානය 2015 වසරේදී පිහිටුවන ලදී.

වසර ගණනාවක් පුරා එල්ල වූ ගුවන් ප්‍රහාර සහ ගොඩබිම් සටන් හේතුවෙන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මිය ගොස්, ලොව දරුණුතම මානුෂීය අර්බුදවලින් එකක් ඇති වීමෙන් පසු, 2022 වසරේදී තාවකාලික සටන් විරාමයක් ඇති කර ගැනීමට මැදිහත්කරුවෝ සමත් වූහ.

එහෙත් එම අවිධිමත් සටන් විරාමය ජූලි මාසයේදී බිඳ වැටීම ආරම්භ විය

හූතීහු "මුහුදු ප්‍රවාහන තහනමක්" ප්‍රකාශයට පත් කරමින් සෞදි ගුවන්තොටුපොළවල්, තෙල් පහසුකම් සහ රතු මුහුදේ ඉන්ධන ප්‍රවාහන නෞකාවලට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කිරීමට පටන් ගත්හ.

තමන් එම ප්‍රතිප්‍රහාර සිදු කරන්නේ තම පාලනය යටතේ පවතින යේමනයේ අගනුවර වන සනාහි ගුවන්තොටුපොළට එල්ල වූ ගුවන් ප්‍රහාරයකට සහ වසර ගණනාවක් පුරා පැවති සෞදි අවහිර කිරීම්වලට ප්‍රතිචාර වශයෙන් බව ඔවුහු පැවසූහ.