යේමනයේ හූති කැරලිකරුවන් යනු කවුද?

ඡායාරූප මූලාශ්‍රය, EPA
- Author, ජෙරමි හවෙල්
- Role, බීබීසී ලෝක සේවය
යේමනයේ හූති සාමාජිකයින් විසින් මෑතකදී එල්ල කරන ලද ප්‍රහාරයකින් රතු මුහුදේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ගිලී ගිය අතර, එහි සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් දස දෙනෙකු මුදාගෙන ඇති අතර අවම වශයෙන් තවත් තිදෙනෙකු මිය ගොස් ඇත.
2023 නොවැම්බර් මාසයේ සිට, ඔවුන් මිසයිල, ඩ්‍රෝන යානා සහ කුඩා බෝට්ටු භාවිත කරමින් භාණ්ඩ ප්‍රවාහන නැව් 70කට පමණ පහර දී ඇත. ඔවුන්ගේ මෙම ප්‍රහාරවලින් නැව් හතරක් ගිලී ගොස් ඇති අතර, එක් නෞකාවක් තම භාරයට ගෙන ඇත. අවම වශයෙන් කාර්ය මණ්ඩල සාමාජිකයින් හත් දෙනෙකු ඝාතනය කර ඇත.
හූති සාමාජිකයින් යනු ඉරානයේ සහය ලබන සන්නද්ධ කණ්ඩායමකි. ඔවුන් ගාසා තීරයේ හමාස් සහ ලෙබනනයේ හිස්බුල්ලා සමග ඊශ්‍රායලයට විරුද්ධ පාර්ශවයන්ට සම්බන්ධ එක් කණ්ඩායමකි.
මෙම කණ්ඩායම විසින් ඊශ්‍රායලය සමග සම්බන්ධ යැයි විශ්වාස කරන නැව්වලට පහර එල්ල කරනු ලබයි.
හූති සාමාජිකයින් සිදු කර ඇති ප්‍රහාර මොනවා ද?
2023 නොවැම්බර් මාසයේදී හූති කැරලිකරුවන් ඊශ්‍රායලයට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළ අතර, එය ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ සිදු කරන හමුදා ක්‍රියාමාර්ගවලට ප්‍රතිචාරයක් බව පවසා තිබිණි.
2024 සැප්තැම්බර් මාසයේදී ඊශ්‍රායලයේ ප්‍රධාන ගුවන් තොටුපළ ඉලක්ක කර ගත් දරුණු මිසයිල ප්‍රහාරයක් ද මෙයට ඇතුළත් විය.
ඊශ්‍රායලය තම ගුවන් ආරක්ෂක පද්ධති භාවිතයෙන් බොහෝ ප්‍රහාර වළක්වා තිබේ. කෙසේ වෙතත්, 2024 ජූලි මාසයේදී හූති කැරලිකරුවන්ගේ ඩ්‍රෝන යානයක් ටෙල් අවිව් වෙත පහර දුන් අතර, එහිදී එක් අයෙකු මිය ගොස් තවත් 10 දෙනෙක් තුවාල ලැබූහ.
නොවැම්බර් මාසයේ සිට, හූති කැරලිකරුවෝ යේමනයේ වෙරළට ඔබ්බෙන් වූ නැව්වලට ද ප්‍රහාර එල්ල කරමින් සිටිති.
නොවැම්බර් 19 වන දින ඔවුහු රතු මුහුදේදී වාණිජ නැවක් පැහැර ගත්හ.
ඔවුන් රතු මුහුදේ සහ ඒඩ්න් බොක්කෙහි නැව් 100කට පමණ මිසයිල සහ බෝම්බ සහිත ඩ්‍රෝන් බෝට්ටු භාවිත කරමින් ප්‍රහාර එල්ල කර ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ඔවුන් පහර එල්ල කළ නැව් දෙකක් පසුව ගිලී ගිය අතර, තවත් නැව් ගණනාවකට හානි සිදුවී ඇත.
2024 මාර්තු මාසයේදී, බාබඩෝස් ධජය සහිත True Confidence නම් වූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවට එල්ල වූ හූති මිසයිල ප්‍රහාරයකින් එහි කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනෙකු මිය ගොස් තිබිණි.
ඊශ්‍රායලයට අයත්, ඊශ්‍රායලයේ ධජය සහිත හෝ ඊශ්‍රායලය විසින් ක්‍රියාත්මක කරන බවට විශ්වාස කරන හෝ ඊශ්‍රායල වරායන් වෙත යාත්‍රා කරන නැව් ඉලක්ක කරන බව එම කණ්ඩායම පවසයි. කෙසේ වෙතත්, ඔවුන් පහර දුන් බොහෝ යාත්‍රා ඊශ්‍රායලය සමග කිසිදු සම්බන්ධතාවක් නොවීය.
2024 සැප්තැම්බර් මාසයේදී, කලාපයේ ස්ථානගත කර තිබූ ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ නැව් ඉලක්ක කර ගනිමින් හූති සාමාජිකයින් "සංකීර්ණ ප්‍රහාරයක්" දියත් කළ නමුත්, ඔවුන්ගේ සියලු ම මිසයිල වෙඩි තබා බිම හෙළන ලදී.
ඊට ප්‍රතිචාර වශයෙන්, ඇමෙරිකා එක්සත් ජනපද හමුදා විසින් යේමනයේ හූති කඳවුරුවලට බෝම්බ හෙලන ලදී. පෙන්ටගනය පවසන්නේ, එම කඳවුරුවල නැව්වලට පහර දීමට භාවිත කරන ආයුධ සහ ඒවායේ කොටස් ගබඩා කර තිබූ බව ය.
සති 07ක් පුරාවට යේමනයට එල්ල කෙරුණ ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රහාරවලින් අනතුරුව සටන් විරාමයක් සඳහා ඉකුත් මැයි මාසයේදී හූති කැරලිකරුවෝ එකඟ වූහ.
කෙසේ වෙතත්, යේමනයට එරෙහිව පළිගැනීමේ ප්‍රහාර මාලාවන් කිහිපයක් එල්ල කර ඇති ඊශ්‍රායලයට එරෙහි ප්‍රහාර නතර කිරීම එම ගිවිසුමට ඇතුළත් නොවන බව ඔවුන් පවසා තිබේ.
2025 ජූලි මාසයේ සතියක් ඇතුළත මැජික් සීස් සහ එටර්නිටි සී නෞකා දෙක මුහුදු බත් කර තිබේ. මෙම නෞකා දෙක ම ලයිබීරියානු ධජය යටතේ ග්‍රීසිය විසින් පවත්වාගෙන යන ලද භාණ්ඩ ප්‍රවාහන නැව් විය. එම නෞකා ඊශ්‍රායලය බලා යාත්‍රා කරමින් තිබූ බව එම කණ්ඩායම පවසයි.

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙම ප්‍රහාර දැඩි ලෙස විවේචනය කළේ, ඉරානයේ සහය ලබන හූති කැරලිකරුවන් නෞකා ආරක්ෂිතව යාත්‍රා කිරීමට, කලාපයේ ආර්ථිකයට සහ සමුද්‍රීය ආරක්ෂාවට අඛණ්ඩ බලපෑමක් එල්ල කරන බව පවසමිනි.
හූති ප්‍රහාරවල අවදානම නිසා, බොහෝ නැව් සමාගම් රතු මුහුද මග හරිමින් සිය නෞකා යාත්‍රා කරවයි.
ජාත්‍යන්තරව නැව් මගින් ප්‍රවාහනය කරන සියලු ම භාණ්ඩවලින් 15%ක් පමණ රතු මුහුද හරහා යාත්‍රා කරයි. එබැවින් මෙය ජාත්‍යන්තර වෙළෙඳාමට බලපා ඇත.
හූති කැරලිකරුවන් සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය සහ අනෙකුත් රටවල් කරන්නේ කුමක් ද?
යේමනය වටා ඇති නැව් මාර්ග ආරක්ෂා කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ තවත් රටවල් 12ක නාවික හමුදා "ප්‍රොස්පෙරිටි ගාඩියන්" නමින් මෙහෙයුමක් දියත් කර තිබේ.
2024 ජනවාරි මාසයේ සිට යේමනයේ හූති කඳවුරුවලට ඇමෙරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය විවිධ අවස්ථාවලදී ගුවන් ප්‍රහාර එල්ල කර ඇත.
හූති ප්‍රහාරවලට පළිගැනීමක් ලෙස ඊශ්‍රායලය ද හූති කඳවුරුවලට ප්‍රහාර එල්ල කර තිබේ.
ඇමෙරිකානු ගුවන් ප්‍රහාරවලට දිගු දුර ස්ටෙල්ත් වර්ගයේ බෝම්බ හෙළන යානා ඇතුළත් වූ අතර, එහිදී ඉලක්ක වූයේ හූති කණ්ඩායමේ භූගත ආයුධ ගබඩා පහසුකම් ය.
සිය විරුද්ධවාදීන් "ළඟා වීමට නොහැකිව තබා ගැනීමට" උත්සහ කරන ස්ථානවලට ද ඇමෙරිකා එක්සත් ජනපදයට පහර දිය හැකි බවට මෙම ප්‍රහාරය පෙන්නුම් කළ බව හිටපු ඇමෙරිකා එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් 2024 ඔක්තෝබර් මාසයේදී පැවසුවේ ය.
හූති කැරලිකරුවන් යනු කවුද?
'හූති' (Houthis)' යනු යේමනයේ ෂියා මුස්ලිම් සුළුතරයක් වන සයිඩිස්හි උප නිකායට අයත් සන්නද්ධ කණ්ඩායමකි.
ඊශ්‍රායලයට, ඇමෙරිකා එක්සත් ජනපදයට සහ බටහිරට එරෙහිව ඉරාන අනුග්‍රහය ලබන හමාස් සහ හිස්බුල්ලා යන සංවිධාන සමග එක්වූ "ප්‍රතිරෝධ එකමුතුවේ" තමන් ද කොටසක් බව හූති කැරලිකරුවෝ ප්‍රකාශ කරති.
1990 දශකයේදී මෙම සන්නද්ධ ව්‍යාපාරය බිහිවීමට ප්‍රධාන හේතුව වූයේ, එවකට යේමනයේ ජනාධිපති ලෙස කටයුතු කළ අලි අබ්දුල්ලා සාලේගේ පාලනය යි. මෙම කණ්ඩායම අභාවප්‍රාප්ත නිර්මාතෘ හුසේන් අල්-හූතිගෙන් එම නම ලබාගෙන ඇත. වත්මන් නායකයා ඔහුගේ සහෝදරයා වන අබ්දුල් මලික් අල්-හූති ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
2000 දශකයේ මුල් භාගයේදී, හූති කැරලිකරුවන් යේමනයේ දිගුකාලීන ජනාධිපති අලි අබ්දුල්ලා සාලේට එරෙහිව කැරලි මාලාවක් දියත් කළහ. රජයේ ස්වයං පාලනය යටතේ පැවති උතුරු යේමනයේ සිය කලාපය කෙරෙහි වැඩි පාලනයක් ලබා ගැනීමට ඔවුන්ට අවශ්‍ය විය.
2011 අරාබි වසන්තය අතරතුර, මහජන නැගිටීමක් හේතුවෙන් ජනාධිපති සාලේට ඔහුගේ නියෝජ්‍ය අබ්ද්‍රබ්බු මන්සූර් හාඩි වෙත බලය පැවරීමට සිදුවිය.
ජනාධිපති හාඩිගේ පාලන සමයේදී, හූති සාමාජිකයින් විසින් බලයෙන් පහ කරන ලද සාලේ සහ ඔහුට තවමත් පක්ෂපාතී ආරක්ෂක හමුදා සමග සන්ධානයක් ඇති කර ගත්තේ ය. ඉන්පසු ඔවුහු උතුරු පළාතේ සාදාහි පාලනය අල්ලා ගත් අතර යේමනයේ අගනුවර වන සානා නගරය ද අත්පත් කර ගත්හ.
2015 දී කැරලිකරුවන් බටහිර යේමනයේ විශාල ප්‍රදේශයක් අත්පත් කර ගත් අතර, මේ හේතුවෙන් ජනාධිපතිවරයාට රටින් පලා යාමට බල කෙරිණි.
හූති කැරලිකරුවන් මුළු යේමනය ම පාලනය කර එය ඔවුන්ගේ ප්‍රතිවාදියා වන ඉරානයේ මිත්‍රයෙකු බවට පත් වනු ඇතැයි සෞදි අරාබිය බිය විය.
සෞදි අරාබිය විසින් යුද්ධයට මැදිහත් වූ අරාබි රටවල සන්ධානයක් පිහිටුවා ගන්නා ලදී. නමුත් වසර ගණනාවක් ගුවන් ප්‍රහාර සහ ගොඩබිම් සටන් සිදු වුව ද, හූති කැරලිකරුවෝ තවමත් ඔවුන් අත්පත් කර ගත් භූමියෙන් වැඩි කොටසක් පාලනය කරති.
සෞදි අරාබිය දැන් හූති කැරලිකරුවන් සමග සාම ගිවිසුමක් ඇති කර ගැනීමට උත්සහ කරමින් සිටින අතර, එක්සත් ජාතීන්ගේ මැදිහත්වීමෙන් 2022 අප්‍රේල් මාසයේ සිට සටන් විරාමයක් ක්‍රියාත්මක වේ.
සන්නද්ධ ගැටුම් ස්ථාන සහ සිදුවීම් දත්ත ව්‍යාපෘතියට (ACLED) අනුව, යුද්ධයෙන් 160,000 කට වැඩි පිරිසක් මිය ගොස් ඇත. මිලියන හතරකට අධික ජනතාවක් අවතැන් වී ඇත.
හූති කැරලිකරුවන්ට සහය දෙන්නේ කවුද? ඔවුන්ට ආයුධ ලැබෙන්නේ කෙසේ ද?
ඇමරිකා එක්සත් ජනපදය පවසන්නේ, හූති කැරලිකරුවන්ට නැව්වලට පහර දීමට ඉරානය සහය බව දුන් බව ය, නමුත් ඉරානය එය ප්‍රතික්ෂේප කරයි.
සෞදි අරාබිය සහ ඇමෙරිකා එක්සත් ජනපදය පවසන්නේ, ඉරානය යේමනයේ සිවිල් යුද්ධයේදී එක්සත් ජාතීන්ගේ අවි තහනම උල්ලංඝණය කරමින් ඩ්‍රෝන යානා සහ මිසයිල වැනි ආයුධ රහසිගතව හූතිවරුන්ට ලබා දුන් බව ය.
සෞදි අරාබියට මෙන් ම එහි මිත්‍ර රාජ්‍යයක් වන එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ද ප්‍රහාර එල්ල කිරීමේදී එවැනි මිසයිල සහ ඩ්‍රෝන යානා ඔවුන් භාවිත කර ඇති බව එහි සඳහන් වේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
හූති කැරලිකරුවන්ට අවි සැපයීම චෝදනාව ප්‍රතික්ෂේප කරන ඉරානය, ඔවුන් දේශපාලනිකව පමණක් සහය දක්වන බව පවසයි.
"ඉරානයේ අවි, පුහුණුව සහ බුද්ධිය නොමැතිව හූති කැරලිකරුවන්ට මෙතරම් බලවත් විය නොහැකියි" යනුවෙන් කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය එලිසබෙත් කෙන්ඩල් පවසයි.
කෙසේ වෙතත්, ඉරානය ඍජුව ම හූති කැරලිකරුවන් පාලනය කරන්නේ ද යන්න පැහැදිලි නැති බව ද ඇය පවසයි.
ඉතාලි ජාත්‍යන්තර දේශපාලන අධ්‍යයන ආයතනය පවසන්නේ, ඉරානය යේමනයේ ඩ්‍රෝන යානා කර්මාන්ත ශාලා පිහිටුවීමට හූති කැරලිකරුවන්ට සහය දී ඇති බව ය.
ඇමෙරිකා එක්සත් ජනපද ත්‍රස්ත විරෝධී මධ්‍යස්ථානයට අනුව, හූති කැරලිකරුවන්ට ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයෙන් හමුදා සහය සහ උපදෙස් ද ලැබී ඇත.
2025 ජුනි මාසයේදී ඊශ්‍රායලය හදිසියේ ම ඉරානයේ න්‍යෂ්ටික සහ හමුදා ස්ථාන වෙත පහර දෙන ලදී. ඉන්පසු ඉරානය ගුවනින් ඊශ්‍රායලයට පහර දීමෙන් ප්‍රතිචාර දැක්විය.
දින 12ක යුද්ධය ඇමරිකා එක්සත් ජනපදය විසින් ඇති කරගත් සාම ගිවිසුමකින් අවසන් වූ අතර, එමගින් ඉරානයේ න්‍යෂ්ටික හැකියාවන්ට බරපතල හානි සිදුවන්නට ඇත.
මෙය සිදු වූයේ 2024 සැප්තැම්බර් මාසයේ සිට ඊශ්‍රායලය තවත් හූති කැරලිකරුවන්ගේ මිත්‍රයෙකු වන ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයට පහර දීමට පටන් ගැනීමෙන් පසුව ය.
It is unclear to what degree Israel's attacks on Iran and Hezbollah might affect any assistance they give to their Houthi allies.
ඉරානයට සහ හිස්බුල්ලා සංවිධානයට එරෙහිව ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාර ඔවුන් හූතිවරුන්ට ලබා දෙන උපකාරය කොතරම් දුරට වෙනස් කරයිද යන්න පැහැදිලි නැත.
දිගින් දිගට ම එල්ල කෙරුණ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් 2025 ජුලි මාසයේදී ඊශ්‍රායලයේ ආරක්ෂක අංශ විසින් හූති පාලනයේ පවතින යේමනයේ ප්‍රදේශ වෙත ප්‍රහාර එල්ල කරන ලදී.
ඉරාන සහය ලබන හූති කැරලිකරුවන්ට "ඔවුන් කරන දේ සඳහා බරපතළ ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇත" යනුවෙන් ඊශ්‍රායලයේ ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් පැවසීය.
"යේමනයේ ඉරණම ටෙහෙරානයේ ඉරණමට සමානයි. ඊශ්‍රායලයට හානි කිරීමට උත්සහ කරන ඕනෑ ම කෙනෙකුට හානි සිදුවනවා ඇත, ඊශ්‍රායලයට එරෙහිව අත ඔසවන ඕනෑම කෙනෙකුගේ අත කපා දමනවා," ඔහු සිය X සමාජ වේදිකාවේ සටහනක් තබමින් පැවසීය.
හූති කැරලිකරුවන් යේමනයේ කොපමණ ප්‍රදේශයක් පාලනය කරනවා ද?

රතු මුහුදට මුහුණලා ඇති වෙරළ කලාපය ඇතුළු යේමනයේ වයඹ ප්‍රදේශය සහ සනා හූති කැරලිකරුවන් විසින් පාලනය කරනු ලැබේ.
යේමනයේ ජනගහනයෙන් වැඩි කොටසක් මෙම ප්‍රදේශවල ජීවත් වන අතර, හූති සාමාජිකයින් බදු එකතු කරමින්, මුදල් මුද්‍රණය කරන තථ්‍ය රජයක් පවත්වාගෙන යයි.
ජාත්‍යන්තරව පිළිගත් යේමන රජය දකුණු වරාය වන ඒඩ්න්හි පිහිටා ඇත.
එය අධීක්ෂණය කරනු ලබන්නේ, අට දෙනෙකුගෙන් යුත් ජනාධිපති නායකත්ව මණ්ඩලයක් විසින් වන අතර, ජනාධිපති හාඩි විසින් 2022 දී ඊට බලය පවරන ලදී.














