හමාස් නායකයාගේ මරණය 'ලෙහෙසියෙන් අත් නොහරින බව'හිස්බුල්ලා ප්‍රධානියා කියයි

ඡායාරූප මූලාශ්‍රය, AFP
හමාස් සංවිධානයේ ප්‍රබල නියෝජ්‍ය නායකයා ඝාතනය කිරීම "ලෙහෙසියෙන් අත් නොහරින බව" හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නස්රල්ලා පවසයි.
අඟහරුවාදා බේරූට්හි දී එල්ලවූ ඩ්‍රෝන් ප්‍රහාරයකින් සාලෙහ් අල්-අරූරි ජීවිතක්ෂයට පත් විය. ඒ සඳහා එය වගකිව යුතු බවට ඊශ්‍රායලය තහවුරු කර නැත.
නසරල්ලා අරූරිගේ මරණය විස්තර කළේ, "අපට නිහඬව සිටිය නොහැකි විශාල, භයානක අපරාධයක්" ලෙසිනි.
ඊශ්‍රායලය ලෙබනනයට එරෙහිව යුද්ධයක් දියත් කළහොත් හිස්බුල්ලා දක්වන ප්‍රතිචාරයට “කිසිදු සීමාවක් නැති වේවි” යනුවෙන් ඔහු තවදුරටත් පැවසීය.
"අපි යුද්ධයට බය නැහැ," නස්රල්ලා රූපවාහිනිය ඔස්සේ සිදු කළ ප්‍රකාශයක දී පැවසීය.
"අපිත් එක්ක යුද්ධ කරන්න හිතන් ඉන්න අයට ඒ ගැන පසුතැවෙන්න වේවි. අපිත් එක්ක යුද්ධයකට අවොත් විශාල පාඩුවක් විඳ දරාගන්න සිද්ධ වේවි."
ඔහු මීට පෙර ප්‍රකාශ කළේ, ලෙබනනයේ සිදුවන ඕනෑ ම ඝාතනයක් 'රතු ඉරක්' වනු ඇති බව ය.
එහි සගයා වන හමාස් සංවිධානය සේ ම හිස්බුල්ලා සංවිධානය ද ඊශ්‍රායලය, එක්සත් රාජධානිය සහ වෙනත් රාජ්‍යයන් විසින් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස සලකනු ලබයි. එය ලෙබනනයේ විශාලතම දේශපාලන හා හමුදා බලවේගය වන අතර එරට රජය එයට තුළ ඇමතිවරු ද සිටිති.
ගාසා තීරයේ යුද්ධයට ප්‍රතිචාර වශයෙන් ඉරානයේ ආධාර ලබන හිස්බුල්ලා සංවිධානය සහ ඊශ්‍රායලය අතර මාස කිහිපයක් පුරා සිදුවුණු වෙඩි හුවමාරුවෙන් පසු අරූරි ඝාතනය කරමින් සිදුවුණු ප්‍රහාරය, බේරූට්හි සිදු වූ පළමු ප්‍රහාරය යි. මේවා බොහෝ දුරට ලෙබනනයේ දකුණු මායිමට සීමා වී තිබිණි.
ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) බදාදා (ජන 3) ප්‍රකාශ කළේ, එය ලෙබනනයේ සිට එල්ල වුණු මිසයිල ප්‍රහාර ගණනාවකින් “එහි දේශසීමා ආරක්ෂා කරමින් සිටි” බව ය.
ඒ, ඊශ්‍රායල හමුදාව දේශසීමා ආසන්නයේ එහි ගුවන් ආරක්ෂක අවි සංඛ්‍යාව වැඩි කර ඇති බවට වාර්තා වීමෙන් අනතුරුව ය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
අරූරි හමාස් සංවිධානයේ සන්නද්ධ අංශය වන ඉසදීන් අල්-කසම් බලකායේ ප්‍රධාන චරිතයක් වූ අතර හමාස් නායක ඉස්මයිල් හනියේගේ සමීප සගයෙකු විය. ඔහු ඔහුගේ කණ්ඩායම සහ හිස්බුල්ලා සංවිධානය සම්බන්ධීකරණය කරමින් ලෙබනනයේ සිටියේ ය.
ඔහු ඊශ්‍රායලයේ ඉලක්කගත පුද්ගල ලැයිස්තුවේ සිටි බව දන්නා කරුණක් වූ අතර, එරට අගමැති බෙන්ජමින් නෙතන්යාහු හමාස් නායකයින් කොතැනක සිටියත් ඔවුන් තුරන් කරන බවට මීට පෙර ප්‍රතිඥා දී තිබිණි.
හිස වෙනුවෙන් 2018 වසරේ සිට ඩොලර් මිලියන පහක ත්‍යාග මුදලක් නියම වී සිටි අරූරි එක්සත් ජනපද අසාදු ලේඛනයක ද ඇතුළත් විය.
ඊශ්‍රායල ආරක්ෂක බළකායේ (IDF) විශ්‍රාමික කර්නල්වරියක වන මිරී ඒසින් බීබීසීයට පැවසුවේ, හමාස්හි නියෝජ්‍ය නායකයා "ජීවත් වුණේ දහියා ප්‍රදේශය මධ්‍යයේ, බේරූට්හි හිස්බුල්ලා සංවිධානයේ හදවත බඳු වූ ප්‍රදේශයේ," එහේ ඉඳන් තමයි ඔහු "හමාස් සංවිධානය සහ හිස්බුල්ලා සංවිධානය අතර ඍජු සම්බන්ධතා පැවැත්වූවේ."
ඊශ්‍රායලය සමග පූර්ණ ගැටුමක් ඇතිවීමේ අවදානම සම්බන්ධයෙන් තමන් ලෙබනන් ජනතාව ගැන කණගාටු වන අතර, “ත්‍රස්ත කටයුතුවලට සම්බන්ධ පුද්ගලයින්” සමග කටයුතු කිරීම වැදගත් බව ද ඇය වැඩිදුරටත් පැවසුවා ය.
අරූරිගේ මරණයෙන් පසු ගාසා තීරයේ ගැටුම අනෙක් කලාපවලට ද පැතිරීමට ඇති අවදානම ගැන අතිශයින් කනස්සල්ලට පත්ව සිටින බව එක්සත් ජනපදය පැවසීය. පළිගැනීම් නොකරන ලෙස ලෙබනන් රජය හිස්බුල්ලා සංවිධානයෙන් ආයාචනා කළ බව කී එරට විදේශ අමාත්‍යවරයා ද ඒ ආකාරයෙන් ම බිය පළ කළේ ය.
“අපි අතිශයින් කනස්සල්ලට පත් වෙලා ඉන්නේ. ලෙබනන් ජාතිකයන් වගේ ම, හිස්බුල්ලා සංවිධානයට පවා කලාපීය යුද්ධයකට යාමට අවශ්‍ය නැහැ,” අබ්දුල්ලා බූ හබීබ් බීබීසීයට පැවසීය.
එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක මැතිව් මිලර් බදාදා (ජන 4) කියා සිටියේ, අරූරී මරා දැමූ බේරූට්හි ප්‍රහාරය ගැන වොෂින්ටනය වෙත පූර්ව දැනුම් දීමක් නොකළ බව ය.
ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව පවසන්නේ, ප්‍රචණ්ඩත්වය උත්සන්න වීමට ඇති හැකියාව ගැන එය ද දැඩි කනස්සල්ලට පත්ව සිටින බව ය.
ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ ප්‍රකාශකයෙකු සියලු පාර්ශ්වයන්ගෙන් සංයමයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටියේ, පුළුල් ගැටුමක් ඊශ්‍රායලය සහ ලෙබනනය යන පාර්ශව ද්විත්වයට ම විනාශකාරී ප්‍රතිවිපාක ගෙන දෙන බව පවසමිනි.
ඉරානය අරූරිගේ ඝාතනය හෙළා දැක ඇති අතර, එරට විදේශ අමාත්‍යවරයා ඊශ්‍රායලයේ "බියගුලු ත්‍රස්තවාදී මෙහෙයුම්" සම්බන්ධයෙන් විවේචනය කරමින් X, (මීට පෙර ට්විටර්හි) සටහනක් තබා ඇත.
අරූරිගේ ඝාතනයට ප්‍රතිචාර වශයෙන් තවත් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීම සම්බන්ධයෙන් වන සාකච්ඡා අත්හිටුවන බව හමාස් සංවිධානය ඊජිප්තු සහ කටාර් මැදිහත්කරුවන්ට පවසා ඇතැ යි වාර්තා වේ.
ඊජිප්තු අගනුවර වෙත ඊශ්‍රායල දූත පිරිසක් සිදු කිරීමට තිබුණු සංචාරයක් කල් දමා ඇතැ යි ද අරාබි මාධ්‍ය වාර්තා කර තිබේ.
මේ අතර, ගාසා තීරයේ සටන් තවදුරටත් ක්‍රියාත්මක ය. ඉවත් වන ලෙස ඊශ්‍රායලය ජනතාවට දැනුම් දී තිබියදීත් අඟහරුවාදා දකුණු ප්‍රදේශයේ පිහිටි නගරයක් වන ඛාන් යූනිස්හි පලස්තීන රතු අඩසඳ ගොඩනැගිල්ලට එල්ල වූ ප්‍රහාරයෙන් පස් දෙනෙකු මියගිය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළේ ය.
එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලයේ (OCHA) ප්‍රකාශිකාවකට අනුව, මියගිය අය අතර දින පහක් වයසැති බිළිඳෙකු ද සිටින බව සඳහන් වේ.
"මේ කුඩා දරුවන් ජීවත් වූ තැනක්. ළමයි ජීවත් වුණු තැනක් මේක," ජෙමා කොනල් පැවසීය.
"බිම ලේ වගිරිලා තියෙන හැටි ඔබට බලා ගන්න පුළුවන්. ලෝකය සම්පූර්ණයෙන් ම භීතියට පත් වෙන්න ඕන. ලෝකය සම්පූර්ණයෙන් ම අප්‍රසාදය පළ කරන්න ඕන."
අයිඩීඑෆ් විසින් "සටන් කලාපයක්" ලෙස නම් කරන ලද නිශ්චිත ප්‍රදේශවලින් ඉවත් වන ලෙස ප්‍රදේශවාසීන්ට අනතුරු අඟවමින් ඛාන් යූනිස් වෙත ගුවනින් අත් පත්‍රිකා හෙළා ඇත.
පණිවිඩයේ සඳහන් වූයේ, ඒ අවට වූ ප්‍රදේශ කිහිපයක ම ඇති ගොඩනැගිලිවලි ඉවත් වීම සඳහා කරනු ලබන “හදිසි අනතුරු ඇඟවීමක්” ලෙස ය.
ගාසා තීරයේ හමාස් සංවිධානය විසින් පවත්වාගෙන යනු ලබන සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ, ඊශ්‍රායලය ප්‍රතිප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළ දා සිට එම ප්‍රදේශය තුළ පුද්ගලයන් 22,000කට වැඩි පිරිසක් මියගොස් ඇති බව ය.
ඔක්තෝබර් 7 වන දා හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයෙන් 1200 දෙනෙකු පමණ මියගිය අතර තවත් 240 දෙනෙකු පමණ ප්‍රාණ ඇපයට ගනු ලැබිණි.
නොවැම්බර් අවසානයේ එළඹි දින හයක සටන් විරාමයක් අතරතුර ප්‍රාණ ඇපකරුවන් 105 දෙනෙකු පමණ අවසානයේ නිදහස් කෙරිණි.












