ගාසා වෙත සටන් විරාමයක් සඳහා ඇති අවස්ථා හැකිළෙමින් පවතිනබව කටාර් පවසයි

A Palestinian boy reacts, as he attends the funeral of Palestinians killed in an Israeli raid, amid the ongoing conflict between Israel and the Palestinian Islamist group Hamas at Nasser hospital in Khan Younis, in the southern Gaza Strip.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ඊශ්‍රායල හමුදාවන්හි අවධානය ගාසා තීරයේ දකුණේ පිහිටි ඛාන් යූනිස් නගරය කෙරෙහි යොමුවී තිබේ

ඊශ්‍රායලය ගාසා තීරයට බෝම්බ හෙළීම, නව සටන් විරාමයක් සඳහා වන “ඉඩකඩ පටු කිරීමක්” බව කටාර්හි අගමැතිවරයා පවසා තිබේ.

ෂෙයික් මොහම්මද් බින් අබ්දුල්රහ්මාන් අල්-තානි, දෙපාර්ශ්වයටම සටන් විරාමයක් සඳහා එළැඹීමට බලපෑම් කිරීමේ තැත කටාර් විසින් දිගටම පවත්වාගෙන යනබව දෝහා ෆෝරමයේ දී ප්‍රකාශ කළේ ය.

ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට ඉඩ සලසමින්, නොවැම්බරය අවසානයේ සතියක් පුරාවට ප්‍රචණ්ඩත්වය නවතා දැමීම ගැන සාකච්ඡා කිරීමෙහිලා මෙම ගල්ෆ් රාජ්‍යය විසින් ප්‍රධාන භූමිකාවක් ඉටුකළේ ය.

ඉරිදා (දෙසැ 10) ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු, "යුද්ධය ජයටම සිද්ධවෙනවා"යි පැවසීය.

ඔහු මෑත දිනවල දී "හමාස් ත්‍රස්තවාදියො දුසිම් ගාණක්" යටත්වී ඇතිබවත්, ඔවුන් "අවි බිම තියලා, අපේ වීර සෙබළුන්ට බාරවෙන"බවත් ප්‍රකාශකර සිටියේ ය.

"මේක තමයි හමාස් එකේ අවසානයේ ආරම්භය," ඔහු පැවසීය.

ඔහු මෙසේ අදහස් පළකළේ ගාසාහි මානුෂීය අර්බුදය තවදුරටත් උග්‍ර අතට හැරෙමින් තිබිය දී ය.

ඉරිදා (දෙසැ 10) අපරභාගයේ දී, මේ වන විට පලස්තීනුවන් 18,000ක් පමණ මියගොස් ඇතැයි හමාස්-පාලිත ගාසා සෞඛ්‍ය අමාත්‍යංශය පැවසීය.

හමාස් සන්නද්ධ අංශය අල් ජසීරා පුවත් සේවාව වෙත හඬ පණිවිඩයක් නිකුත් කරමින්, තාවකාලික සටන් විරාමය විසින් "එහි [හමාස්හි] විශ්වසනීයත්වය ඔප්පුකර ඇති" බැවින් ඊශ්‍රායලය සාකච්ඡාවලට පැමිණෙනතුරු තවත් ප්‍රාණ ඇපකරුවන් නිදහස් නොකරන බව ප්‍රකාශකර තිබේ.

හමාස් සටන්කාමීන් විසින් හමුදා රථ 180ක් මුළුමනින්ම හෝ අර්ධ වශයෙන් විනාශකර, ඊශ්‍රායල සෙබළුන් "විශාල ගණනක්" ඝාතනයකර ඇතිබවත්, එය තවමත් ඊශ්‍රායලයට පහරදෙමින් සිටින බවත්, "ඉදිරියට එන දේ තවත් දැවැන්ත "බවත්, මාධ්‍ය ප්‍රකාශක අබු උබෙයිදා එම පණිවිඩය හරහා ප්‍රකාශ කළේ ය.

Palestinians inspect the damage at the site of Israeli strikes on houses, amid the ongoing conflict between Israel and the Palestinian Islamist group Hamas, in Khan Younis in the southern Gaza Strip, December 10, 2023

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ඛාන් යූනිස්හි මධ්‍යයෙන් ඉවත් වන්නැ යි සිවිල් වැසියන්ට නියෝගකර තිබේ
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

දෝහාහි පැවති සම්මන්ත්‍රණයේ දී, පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනය වන UNRWAහි ප්‍රධානී ෆිලිප් ලසරීනි, එම ප්‍රදේශය "මිහිපිට අපායක්" බවට පත්ව ඇතැ යි ද, එය "නිසැකවම මම දැකලා තිබෙන නරකම තත්ත්වය" බව ද පැවසුවේ ය.

එම සම්මන්ත්‍රණයම අමතමින්, පලස්තීන අගමැති මොහම්මද් ෂ්ටේයා "ජාත්‍යන්තර මානුෂීය නීතිය දිගින් දිගටම උල්ලංඝණය කිරීමට [ඊශ්‍රායලයට] ඉඩ නොදිය යුතු"බව පවසමින්, ජාත්‍යන්තර සම්බන්ධක පනවන්නැ යි ඉල්ලා සිටියේ ය.

ෂ්ටේයා නියෝජනය කරන්නේ, ගාසාහි ක්‍රියාත්මක වන හමාස් රජයෙන් වෙන්ව බටහිර ඉවුරේ ක්‍රියාත්මක වන සංවිධානය වන පලස්තීන අධිකාරිය යි.

දෝහාහි රැස්වීම පැවැත්වෙන අතරතුරේ, දකුණු ගාසාහි සටන් දිගටම සිදුවුණේ ය.

උතුරුදිග ගාසාහි සටන්වලින් ගැලවීම සඳහා එහි යන්නැ යි ජනයාට දැනුම්දුන් නගරයක් වන ඛාන් යූනිස් දැන් දැඩි බෝම්බ ප්‍රහාරයන්ට ලක්වෙමින් තිබේ - ඊශ්‍රායලය පලස්තීන සිවිල් වැසියන්ට එනගර මධ්‍යයෙන් ඉවත්වන්නැ යි පවසයි.

ජ්‍යෙෂ්ඨ ඊශ්‍රායල උපදේශක මාර්ක් රෙගෙව් බීබීසීය වෙත අදහස් දක්වමින්, ඛාන් යූනිස්හි "දුෂ්කර සටන්" සිදුවනු ඇතිබවත්, ඉරිදා සවස ඊශ්‍රායල යුද ටැංකි නගර මධ්‍යයට ළඟාවනු ඇතිබවත් නිසා, "ආරක්ෂිත කලාප වෙත" යන්නැ යි සිවිල් වැසියන්ගෙන් ඉල්ලා සිටියේ ය.

නගරයේ සිවිල්වැසියෝ මළසිරුරු එකතු කරන අයුරුත්, සටනේ දී මියගිය පවුලේ සාමාජිකයන් වෙනුවෙන් වැලපෙන අයුරුත් ඡායාරූපවලට හසුවී තිබේ.

Israeli Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting at the Prime Minister's office in Jerusalem, December 10, 2023

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉරිදා ඔහුගේ කැබිනට් මණ්ඩලය අමතමින් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ජාත්‍යන්තර සගයින් අසංගතව හැසිර තිබේයැ යි පැවසුවේ ය

ඊශ්‍රායලය විසින් 'ආරක්ෂිත ප්‍රදේශ' ලෙස හඳුන්වන ප්‍රදේශවල තත්ත්වය පිළිබඳව විමසූ විට, සිවිල් ජීවිත ආරක්ෂා කිරීම සඳහා ඔහුගේ රට උපරිම උත්සාහ දරා ඇතිබව රෙගෙව් පැවසීය.

මින් පෙර, ගාසා තීරයේ සිවිල්වැසියන්ට අල්-මවාසිහි පිහිටි "ආරක්ෂිත කලාපයක්" වෙත යන්නැ යි උපදෙස් දී තිබුණි. එය වර්ග කිලෝමීටර 8.5ක් පමණක් විශාල (ලන්ඩනයේ හීත්‍රෝ ගුවන්තොටුපොළ මීට වඩා විශාල ය), ගොඩනැගිලි කීපයක් පමණක් ඇති, බොහෝ කොටම වැලි වැටි හා කෘෂිකාර්මික බිම්වලින් ගහන ප්‍රදේශයකි.

මේ අතර, ඊශ්‍රායලය ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික කටයුතුවල ද නියැලෙමින් - අසංගත ප්‍රවේශයක් සඳහා එහි සහචරයින් කැඳවමින් සිටියි.

අගමැති නෙතන්යාහු ඔහුගේ කැබිනට්ටුවට කෙටියෙන් කරුණු ඉදිරිපත් කරන අතර, "එක අතකින් හමාස් මුලිනුපුටා දමන්න සහාය දෙන ගමන්, අනික් අතින් මේ යුද්ධෙ ඉවර කරන්න කියලා අපට බලපෑම් කරන්න ඔබට බැහැ, මොකද ඒකෙන් හමාස් මුලිනුපුටා දමන එක වැළකෙනවා,"යි පැවසීය.

ඔහු මෙම ප්‍රකාශය සිදුකරන්නේ, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයින් 13 දෙනෙකු ක්ෂණික සටන් විරාමයක් ඉල්ලන යෝජනාවකට සහාය දැක්වීමෙන් දෙදිනකට පසුව ය. එක්සත් ජනපදය නිෂේධ බලය යොදා එම පියවර වැළකූ අතර, එක්සත් රාජධානිය ඡන්දය දීමෙන් වැළකී සිටියේ ය.

ඊශ්‍රායලය විසින් ගාසාවේ වැසියන් එම කලාපයෙන් ඉවත්කර ඊජිප්තුවට තල්ලුකර දැමීමට තැත් කරනබවට UNRWA ප්‍රධානී ලසරීනි විසින් කරන ලද ප්‍රකාශයක් ද ඊශ්‍රායලය ප්‍රතික්ෂේප කළේ ය - නමුත් මෙය ඊශ්‍රායල මාධ්‍යවල ද මින් පෙර වාර්තා කෙරුණු යමකි.

ගාසා තීරයට වහා වෛද්‍යමය ප්‍රවේශය ඉල්ලමින් යෝජනාවක් සම්මත කිරීමේ අසාමාන්‍ය පියවරක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ද ගෙන ඇති අතර, එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා එහි තත්ත්වය “ව්‍යසනකාරී” ලෙස මීට පෙර හැඳින්වීය.