බෝවන්: සටන් විරාමය අවසන්වීමත් සමග අමෙරිකාවෙන් ඊශ්‍රායලයට පැහැදිලි සීමා

Jeremy Bowen
    • Author, ජෙරමි බෝවන්
    • Role, බීබීසී ජාත්‍යන්තර සංස්කාරක

ගාසාහි සටන් විරාමය සැලකිය යුතු කාලයක් හෝ පැවතීම අවසානයේ දී රාජ්‍ය තාන්ත්‍රික ජයග්‍රහණයකි. දින හතක විරාමයකින් පසු, දැන්, ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය ඒවායේ විශාලතම මිලිටරි සහ දේශපාලනික අභියෝගවලට මුහුණ දෙමින් සිටිති.

හමාස් සංවිධානයට එය පැවැත්ම සඳහා වන සටනක් බවට පත්ව ඇත. හමාස් තුවක්කුකරුවන්ට වෙඩි තැබීමට හැකි තාක් හෝ ඊශ්‍රායලය වෙත රොකට් ප්‍රහාර එල්ල කිරීමට හැකි තාක්, ඔවුන් අපරාජිතයැයි කියාගනු ඇත.

එය සතු සුවිසල් හමුදා බලය සම්බන්ධයෙන් ගත්කල, ඊශ්‍රායලයේ කාර්යය වඩා ත් සංකීර්ණ ය.

හමාස් සංවිධානය ඔක්තෝබර් 7 වන දින දේශසීමාව බිඳ පැමිණ 1,200ක් පමණ ඊශ්‍රායල සිවිල් වැසියන් ඝාතනය කිරීමෙන් පසු, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු "දරුණු පළිගැනීමක්" සිදු කරන බවට බවට ප්‍රතිඥා දුන්නේ ය.

ඊශ්‍රායල හමුදා පහරදීමට යළි අවතීර්ණ වී පළමු පැය කිහිපය තුළ, රජය වට්ස්ඇප් සටහනක් තබමින් එහි යුද්ධ අරමුණු යළි මෙසේ ප්‍රකාශයට පත් කළේ ය: "ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම, හමාස් සංවිධානය තුරන් කිරීම සහ ගාසා තීරය නැවත කිසි දිනෙක ඊශ්‍රායල වැසියන්ට තර්ජනයක් නොවන බවට සහතික කිරීම".

Israeli soldiers gather near tanks as smoke rises from Gaza in the background, after the ceasefire ended on Friday

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, සිකුරාදා සටන් විරාමය අවසන් වීමෙන් පසු ඊශ්‍රායල සෙබළුන් යුද්ධ ටැංකි අසල රැස්ව සිටින අයුරු. පසුබිම, ගාසා තීරයෙන් දුමාරයක් නැගෙයි

එය සිදු කරන්නේ කෙසේ ද සහ ඊළඟට සිදුවන්නේ කුමක් ද යන්න දැන් නෙතන්යාහුගේ, ඊශ්‍රායලයේ සිටින ඔහුගේ දේශපාලන සගයන් හා සතුරන්ගේ සහ යුද්ධය ආරම්භ වූ දා සිට ඊශ්‍රායලය වෙත මෙන් ම කලාපය තුළ ද සංචාර හතරක යෙදී ඇති එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන්ගේ ප්‍රමුඛ අවධානය බවට පත්ව තිබේ.

ඔහු "මානුෂීය විරාමය" ලෙස හැඳින්වූ දෙය දිගු කිරීමට ගත් ඔහුගේ උත්සහය අසාර්ථක වන බව බ්ලින්කන් දැන සිටියා විය හැකි ය.

සටන් නැවත ආරම්භවීමට පෙර දින සවස, ඔහු ඊශ්‍රායලයට ආත්මාරක්ෂාව සඳහා ඇති අයිතිය වෙනුවෙන් අමෙරිකාවේ සහයෝගය නැවත පළ කළ අතර යළිත් හමාස් සංවිධානය හෙළා දුටුවේ ය.

බ්ලින්කන් ඔහුගේ ඉල්ලීම් පිළිබඳව නැවත නැවතත් සඳහන් කරමින් ප්‍රකාශ කළේ, "ජාත්‍යන්තර මානුෂීය නීතිය සහ යුද්ධ නීති යන දෙකට ම ගරු නොකරන ත්‍රස්තවාදී කණ්ඩායමකට මුහුණදෙන විට පවා ඊශ්‍රායලය එම නීතිවලට අනුකූලව ක්‍රියා කළ යුතු" බව ය.

නමුත් අනතුරුව බ්ලින්කන් ඊශ්‍රායලය යුද වැදිය යුතු ආකාරය සම්බන්ධයෙන් ඔහුගේ දරදඬුම ප්‍රසිද්ධ ප්‍රකාශය සිදුකළේ ය.

එය දීර්ඝ වශයෙන් උපුටා දැක්වීම වටින්නේ, එය එක්සත් ජනපදය එහි සමීපතම මිතුරාගෙන් අපේක්ෂා කරන දෑ ඇතුළත් ලැයිස්තුවක් වන බැවිණි.

"සිවිල් වැසියන්ට දකුණු සහ මධ්‍යම ගාසා තීරයේ ආරක්ෂිතව සහ සටන් පවතින සීමාවෙන් බැහැරව සිටිය හැකි ප්‍රදේශ සහ ස්ථාන පැහැදිලිව සහ නිශ්චිතව නම් කිරීම ද ඇතුළුව සිවිල් වැසියන්ගේ ජීවිත ආරක්‍ෂා කිරීම සඳහා වඩා ත් ඵලදායී පියවර ගැනීම," ඉන් අදහස් කළ බව බ්ලින්කන් පැවසුවේ ය.

Displaced Palestinians take refuge in a school in Khan Younis

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, අවතැන් වූ පලස්තීනුවන් ඛාන් යූනිස්හි පාසලක රැකවරණය ලබන අයුරු
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

“ඉන් අදහස් කරන්නේ ගාසා තීරය තුළ සිවිල් වැසියන් තවදුරටත් අවතැන්වීම සැලකිය යුතු ලෙස වළක්වා ගැනීම ය. එයින් අදහස් කරන්නේ රෝහල්, විදුලි බලාගාර ජල පහසුකම් වැනි ජීවිතයට අත්‍යවශ්‍ය යටිතල පහසුකම්වලට වන හානිය වළක්වා ගැනීම යි."

"එසේම ඉන් අදහස් කරන්නේ, දකුණු ගාසා තීරයට යන ලෙසට බල කෙරුණු අවතැන් වූ සිවිල් වැසියන්ට යළි සුදුසු තත්ත්වයක් නිර්මාණය වූ වහා ම උතුරට ආපසු යාමට අවස්ථාවක් ලබා දීම ය. දිගුකාලීනව අවතැන්භාවය පැවතීම සිදු නොවිය යුතු ය."

යුද්ධය ආරම්භයේ දී එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මෙහි පැමිණියේ ය. ඊශ්‍රායලය වෙත ඔහුගේ සහාය පළ කරන අතර ම ඔහු ඔහුගේ මිත්‍ර රටවල් වෙත අනතුරු ඇඟවූයේ, 2001 සැප්තැම්බර් 11 අල්කයිඩා ප්‍රහාරයෙන් පසු අමෙරිකාවට සිදුවූවාක් මෙන්, යුක්තිය සොයා යාමේ දී කෝපයෙන් අන්ධ නොවන ලෙස ය.

ඔහු සමග අර්බුදකාරී සම්බන්ධතාවක් තිබූ නෙතන්යාහු ඔහුට සවන් නොදුන් බව ජෝ බයිඩන්ගේ විශ්වාසයැ යි, බ්ලින්කන්ගේ ප්‍රකාශවලින් පෙනී යයි.

ඊශ්‍රායලයේ යුද්ධ අරමුණු සාක්ෂාත් කර ගැනීමට නම්, එහි ප්‍රහාරයේ මීළඟ අදියර දකුණු ගාසා තීරයේ සිටින හමාස් සටන්කාමීන් වෙත එල්ල විය යුතු ය. ඊශ්‍රායලය උතුරු ගාසා තීරය ආක්‍රමණය කළ අවස්ථාවේ, පලස්තීන සිවිල් වැසියන්ට ඔවුන්ගේ ආරක්ෂාව සඳහා දකුණට යන ලෙස නියෝග කළේ ය.

ඊශ්‍රායලය විසින් මුඩුබිමක් බවට පත්කොට ඇති උතුර තරම් මාරාන්තික නොවූවත්, ගාසා තීරයේ කිසිදු ප්‍රදේශයක් ආරක්ෂිත නැත.

සටන් නැවත ආරම්භ වී පැය කිහිපයකට පසු, ගාසා තීරයේ දකුණු කෙලවරට වන්නට ඊජිප්තු දේශසීමාවේ පිහිටි රෆාහි සිටි පලස්තීනුවෝ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් මියයමින් සිටියහ.

නිශ්චිතව ගණන් බලා නොමැති සටන්කාමීන් ගණනක් සමග යහියා සින්වර් සහ අනෙකුත් [හමාස්] නායකයින් සිවිල් ජනතාවට මුවාවී උමං මාර්ගවල සැඟවී සිටින බවට විශ්වාස කරන ඊශ්‍රායලයට, දකුණු ගාසා තීරයේ යටිතල පහසුකම් විනාශ නොකර හමාස් සංවිධානය මුලිනුපුටා දැමූ බව ප්‍රකාශ කළ නොහැකි ය.

Residents conduct search and rescue works in Rafah, as Israeli air strikes resumed hours after the end of the truce

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සටන් විරාමය අවසන් වී පැය කිහිපයකට පසු ඊශ්‍රායල ගුවන් ප්‍රහාර නැවත ආරම්භ වීමත් සමග ප්‍රදේශවාසීන් රෆාහි සෝදිසි කිරීමේ සහ ගලවා ගැනීමේ කටයුතු සිදු කරන අයුරු

ඊශ්‍රායලය උතුරු ගාසා තීරයේ දී භාවිතා කළ උපක්‍රම ම යොදාගතහොත් තවත් සිවිල් වැසියන් දහස් ගණනක් මියයනු ඇත. එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් දැනට ම ත් ගාසා තීරයේ ජනතාව පත්ව ඇති දුක්ඛිත තත්ත්වය හඳුන්වන්නේ "මහා පරිමාණ මානුෂීය ව්‍යසනයක්" ලෙස ය.

මිලියන දෙකක් පමණ වන දකුණේ වෙසෙන සිවිල් වැසියන් වෙත දැඩි හමුදා පීඩනයක් යෙදීමෙන්, අසරණවූ දහස් ගණන් මිනිසුන් සිනායි කාන්තාරය තුළට බලහත්කාරයෙන් ඇතුළුවනු ඇතැ යි ඊජිප්තුව සහ අනෙකුත් රාජ්‍යයන් බියට පත්ව තිබේ. නව පලස්තීන සරණාගත අර්බුදයක් පැමිණීම, මැද පෙරදිගට තවත් භයානක සහ ඉතා දුෂ්කර මොහොතක් වනු ඇත.

පලස්තීන සිවිල් වැසියන්ට ආරක්ෂිතව සිටීමට නිශ්චිත ප්‍රදේශවලට යාමට දන්වන බවට ඊශ්‍රායලය එක්සත් ජනපදයට පොරොන්දු වී ඇතැ යි අපි සිතමු. යුද්ධ ටැංකි, ගුවන් ප්‍රහාර සහ බර කාලතුවක්කු සමග ඊශ්‍රායලය දියත් කර ඇති ආකාරයේ මහා පරිමාණ යුද්ධයක දී, එය සාර්ථක වන්නේ කෙසේ ද යන්නට වඩා, එම සැලැස්ම වරදින්නේ කෙසේදැ යි දැකීම ඉතා පහසු ය.

Palestinians travel toward safer areas to avoid air strikes in Rafah

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, රෆාහි ගුවන් ප්‍රහාරවලින් ගැලවීමට පලස්තීනුවන් ආරක්ෂිත ප්‍රදේශ කරා ගමන් කරන අයුරු

දැඩි ආරක්‍ෂාවකින් යුතු හමුදා භටයන් සමග ඊශ්‍රායලය සැහැල්ලු ප්‍රති-ප්‍රහාර එල්ල කිරීමේ උපක්‍රම වෙත මාරුවූයේ නම්, එය මෙතෙක් සිදුවූවාට වඩා බොහෝ යුද්ධ හානිවලට ගොදුරු වනු ඇත.

ඔහුගේ ම ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රගතිශීලී පාර්ශවයෙන්, ඊශ්‍රායලයට ඔහු දක්වන සහයෝගය පිළිබඳ දැඩි විවේචනවලට මුහුණ දී සිටින ජෝ බයිඩන්ට ඊශ්‍රායලයේ මීළඟ පියවර ද වැදගත් මොහොතකි.

බයිඩන්ගේ ප්‍රධාන රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන ඇන්ටනි බ්ලින්කන් පැහැදිලිව ම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත්තේ, ඊශ්‍රායලය හමාස් සංවිධානය සමග සටන් කිරීමට එක්සත් ජනපදයට අවශ්‍ය ආකාරය ගැන ය. ජෝ බයිඩන්ගේ ප්‍රකාශිත කැමැත්තට පටහැනිව, ඊශ්‍රායලය උතුරේ කළාක් මෙන් පලස්තීන සිවිල් වැසියන් මරා දැමුවහොත්, යුද්ධ පිටියේ දී පමණක් නොව, එක්සත් ජනපදය ඊශ්‍රායලය ආරක්ෂා කිරීම සඳහා බොහෝ වාරයක් නිෂේධ බලය භාවිත කර ඇති එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ දී ද ඊශ්‍රායලයට මෙතරම් සහයෝගයක් දිගට ම ලබා දිය හැකි ද යන්න එක්සත් ජනපද ජනාධිපතිවරයාට තීරණය කිරීමට සිදුවනු ඇත.

හමාස් සංවිධානය පරාජයට පත් වී නොමැත. එහි ග්‍රහණයේ සිටින ඉතිරි ප්‍රාණ ඇපකරුවන් පිරිස එයට ඊශ්‍රායලයේ හමුදා ව්‍යාපාරය බිඳ දැමීමට සහ ඊශ්‍රායල සිවිල් වැසියන්ට දැඩි මානසික පීඩනයක් ඇති කිරීමට භාවිත කළ හැකි ඉහළ වාසියදායක අවස්ථාවක් ලබා දෙයි. ඊශ්‍රායලයේ ජෙනරල්වරුන්, අඩු අවි බලයක් භාවිත කිරීමට ලබාදුන් අමෙරිකානු උපදෙස් පිළිපදින්නේ නම් හමාස් නායක යහියා සින්වර් සහ ඔහුගේ පිරිස් ද ඉන් විවෘත වන අවස්ථා ප්‍රයෝජනයට ගැනීමට උත්සහ කරනු ඇත.

මෙම යුද්ධය දැන් පවතින්නේ නව අවධියක ය. මුළු කලාපය ම එසේ ම ය. ගාසා තීරයේ සටන්වලින් බැහැර සිටින බොහෝ පලස්තීනුවන් සහ ඊශ්‍රායල ජාතිකයන් භයානක සහ අවිනිශ්චිත අනාගතයක බරින් බැට කන බව පෙනේ.