'දිසානායක රජය පෙර රජයන්ගේ පුරුද්දෙන් මිදිය යුතු යි': හියුමන් රයිට්ස් වොච් වාර්තාවෙන් හෙළිකරන කරුණු මොනවා ද?

Anura

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

Published
කියවීමේ කාලය: මිනිත්තු 7

අතීතයේ සිදුවූ බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් නඩු පැවරීමේ ක්‍රියාවලිය වත්මන් ශ්‍රී ලංකා රජය තුළ ප්‍රමාද වී ඇති බවත්, එම තත්ත්වය රජයේ ඉදිරි ප්‍රගතිය පිළිබඳ සැලකිලිමත් වීමට හේතු වන බවත් හියුමන් රයිට්ස් වොච් සංවිධානය සැප්තැම්බර් 01 නිකුත් කළ වාර්තාවක සඳහන් කර ඇත.

'යුක්තිය සමග අව්‍යාජ නොවීම': ශ්‍රී ලංකාවේ අතීත අපරාධවලට නඩු පැවරීමට දක්වන අඩු කැමැත්ත" ("Not Genuine with Justice': Sri Lanka's Lack of Will to Prosecute Past Abuses," ) නමින් වූ පිටු 49කින් යුත් වාර්තාව එළිදක්වමින් හියුමන් රයිට්ස් වොච් ආයතනය ඒ බව අවධාරණය කර ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුතු රජය, ප්‍රසිද්ධ මානව හිමිකම් නඩු සම්බන්ධයෙන් වැඩි අධිෂ්ඨානයක් පෙන්නුම් කරමින් ජාත්‍යන්තර වගවීම් ක්‍රියාවලිය සමග සහයෝගයෙන් කටයුතු කළ යුතු බවට එක්සත් ජාතීන්ගේ නිලධාරීන් සහ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් ඉල්ලා සිටිය යුතු බව එම සංවිධානය පවසයි.

වත්මන් ජනාධිපතිවරයා බලයට පත්වීමෙන් පසුව යම් ප්‍රගතියක් ලබා ඇති බරපතළ අපරාධ පිළිබඳ ප්‍රමුඛ නඩු හතක දේශීය යුක්තිය පසිඳලීමේ උත්සහයන් පිළිබඳ දළ විශ්ලේෂණයක් එම වාර්තාව හරහා සපයා තිබේ.

'අතීත රජයන්ගේ පුරුද්දෙන් දිසානායක පාලනය ඉවත් විය යුතු යි'

මර්දනයට එරෙහි විරෝධතාවක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

සහන සේවකයින් සමූල ඝාතනය කිරීම, මාධ්‍යවේදීන් ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීම සහ විද්වතුන් සහ වෙනත් අය බලහත්කාරයෙන් අතුරුදන් කිරීම ඇතුළු බොහෝ වැදගත් නඩු තවමත් ඇණහිට ඇති බව එම වාර්තාවෙන් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය පෙන්වා දී තිබේ.

වින්දිතයින්ගේ පවුල් සහ මානව හිමිකම් ආරක්ෂකයින් තර්ජන සහ බිය ගැන්වීම්වලට මුහුණ දෙන බවට ද කරුණු හමුවූ බවට එම වාර්තාවේ දැක්වේ.

"බරපතළ අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ප්‍රමාද කරමින් හෝ ප්‍රතික්ෂේප කරමින් කටයුතු කළ පෙර රජයන්ගේ ක්‍රියාමාර්ගවලින් දිසානායක පාලනය ඉවත් විය යුතු යි," හියුමන් රයිට්ස් වොච්හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ අධ්‍යක්ෂ ලුසී මැකර්නන් වාර්තාව එළිදක්වමින් පැවසීය.

"අතීත අපරාධ සම්බන්ධයෙන් වගවීම තහවුරු කිරීමට සහ වින්දිතයන්, ඔවුන්ගේ පවුල් සහ මානව හිමිකම් ආරක්ෂකයන්ට එරෙහි පළිගැනීම් නතර කිරීමට විශ්වාසදායක පියවර ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිය යුතු යි," ඇය සඳහන් කළා ය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

අපරාධවලට ලක්වූ වින්දිතයින් 32 දෙනෙකු, අතුරුදන් වූවන්ගේ පවුල්වල සාමාජිකයන් සහ නීතිඥයින් සහ අනෙකුත් මානව හිමිකම් ආරක්ෂකයින් සමග සම්මුඛ සාකච්ඡා පැවැත්වූ බව පවසන හියුමන් රයිට්ස් වොච් ආයතනය, අධිකරණ ලේඛන සහ අනෙකුත් මූලාශ්‍ර පුළුල් ලෙස සමාලෝචනයට ලක් කර තිබේ.

"ශ්‍රී ලංකාවේ අතීත අපරාධ සඳහා යුක්තිය ඉටු කර ගැනීමේ අසාර්ථක උත්සහයන් පිළිබඳ ඉතිහාසයක් තිබෙනවා. 1990 ගණන්වල සිට මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව විමර්ශනය කිරීම සඳහා අනුප්‍රාප්තික රජයයන් කොමිෂන් සභා 10කට වඩා පත් කර තිබෙන නමුත් ඒ කිසිවක් නඩු පැවරීමට හෝ අතුරුදන් වූ දහස් ගණනක් ජනතාවට සිදුවූයේ කුමක්දැයි හෙළි කිරීමට සමත් වී නැහැ. විවිධ පාලනයන් නඩු සම්බන්ධයෙන් අවම ප්‍රගතියක් ලබා තිබෙනවා, නැත්නම් සිදුවෙමින් පවතින අපරාධ පරීක්ෂණ කිහිපයක් අවහිර කිරීමට ක්‍රියාකාරීව මැදිහත් වී තිබෙනවා," යනුවෙන් එම සංවිධානය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

1987-1989 කාලයේ දකුණේ පැවති තරුණ කැරැල්ල සමයේ මෙන් ම 2009 වසරේදී දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය සමග පැවති සිවිල් යුද්ධය අතරතුර ද රජයේ ආරක්ෂක අංශ සහ රාජ්‍ය නොවන සන්නද්ධ කණ්ඩායම් දස දහස් ගණනක් ජනතාව වධහිංසාවට ලක් කිරීම, බලහත්කාරයෙන් අතුරුදන් කිරීම, පැහැරගෙන යාම සහ ඝාතනය කිරීම සිදු කළ බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසයි.

වත්මන් රජය යටතේ ප්‍රගතියක් ලබා ඇති විමර්ශන මොනවා ද?

එමෙන් ම, මීට පෙර අතරමග ඇණහිට තිබූ වැදගත් විමර්ශන කිහිපයක්ම අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ රජය යටතේ ප්‍රගතියක් අත්කර ගෙන ඇති බව ද හියුමන් රයිට්ස් වොච් සංවිධානය පෙන්වා දී තිබේ.

එලෙස ප්‍රගතියක් ලබා ගත් අතීත සිදුවීම් අතර සන්ඩේ ලිඩර් පුවත් පතේ හිටපු කර්තෘ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීම, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ බලහත්කාරයෙන් අතුරුදන් කිරීම සහ 2008 හා 2009 වසරවලදී කප්පම් ලබාගැනීමේ අරමුණින් රඳවාගෙන සිටි තරුණයන් 11 දෙනෙකු නාවික හමුදා බුද්ධි අංශ නිලධාරීන් විසින් බලහත්කාරයෙන් අතුරුදන් කිරීම යන සිද්ධීන් ද වේ.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාවට පසුබිම් වූ බවට කියැවෙන ඉහළ පෙළේ රජයේ කුමන්ත්‍රණයක් පිළිබඳ විමර්ශනයක් ඉදිරියට ගෙන යාමට හැකි වූයේ, වත්මන් ජනාධිපතිවරයා ධූරයට පත් වීමෙන් පසුව බව ද එම වාර්තාවේ සඳහන් කර ඇත.

"2026 පෙබරවාරි මාසයේදී, එම ප්‍රහාර එල්ල කළ බවට චෝදනා එල්ල වී ඇති ඉස්ලාමීය කණ්ඩායමක් සමග කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් හිටපු හමුදා බුද්ධි නිලධාරියෙකු වන සුරේෂ් සලේ පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. ජූනි මාසයේදී, එම ප්‍රහාර සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ තවත් හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකුට විදේශගත වීම තහනම් කිරීමට ශ්‍රී ලංකාවේ අධිකරණයක් පියවර ගත්තේ ය."

ජනාධිපති අනුර කුමාර දිසානායක

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, "බරපතළ අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ප්‍රමාද කරමින් හෝ ප්‍රතික්ෂේප කරමින් කටයුතු කළ පෙර රජයන්ගේ ක්‍රියාමාර්ගවලින් දිසානායක පාලනය ඉවත් විය යුතු යි," හියුමන් රයිට්ස් වොච්හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ අධ්‍යක්ෂ ලුසී මැකර්නන් වාර්තාව එළිදක්වමින් පැවසීය.

'කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැත, නඩු පවරා නැත'

යුක්තිය ඉටු කිරීමේදී සීමිත ප්‍රගතියක් ලබාගෙන ඇති වතාවරණයක් තුළ, බරපතළ අපරාධ සඳහා යුක්තිය ඉටු කිරීම වෙනුවෙන් අනුර කුමාර දිසානායක නායකත්වය දෙනු ලබන වත්මන් ආණ්ඩුව කඩිනම් ප්‍රතිචාර දක්වා නොමැති බව හියුමන් රයිට්ස් වොච් පෙන්වා දී තිබේ.

2006 දී දෙමළ සිසුන් පස් දෙනෙකු ඝාතනය කිරීම සහ බොහෝදුරට ප්‍රංශ සහන කණ්ඩායමේ ඇක්ෂන් කොන්ට්‍රේ ලා ෆේම් (Action Contre la Faim) හි දමිළ සහන සේවකයින් 17 දෙනෙකු සමූල ඝාතනය කිරීම ඇතුළුව ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සම්බන්ධ වී ඇති අනෙකුත් වැදගත් නඩුවල කිසිදු ප්‍රගතියක් නොමැති බව එම සංවිධානය අවධාරණය කර ඇත.

"වසර විස්සක් ගත වී ඇතත්, මෙම ඝාතන සම්බන්ධයෙන් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැහැ, නඩු පවරා නැහැ."

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සහ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය, අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුතු රජයට යුක්තිය පිළිබඳ ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ දශක ගණනාවක් තිස්සේ යුක්තිය ඉටු නොවීම අවසන් කිරීම සඳහා පියවර ගන්නා ලෙස බලපෑම් කිරීම අඛණ්ඩව සිදු කරගෙන යා යුතු බව ද හියුමන් රයිට්ස් වොච් පෙන්වා දී තිබේ.

හියුමන් රයිට්ස් වොච් නිකුත් කර ඇති පිටු 49කින් යුත් වාර්තාවේ 2006 වසරේ ත්‍රිකුණාමලයේ සිසුන් පස් දෙනෙකු ඝාතනය කිරීම, 2009 වසරේ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, 2008 වසරේ දී මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගැනීම, 2010 වසරේ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් කිරීම සහ 2008 සහ 2009 වසරවල දී නාවික හමුදාව විසින් තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීම, 2019 වසරේ පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාර මාලාව මෙන් ම තවමත් කැණීම් කරමින් පවතින යාපනයේ, චෙම්මනි සමූහ මිනීවළ ඇතුළු ශ්‍රී ලංකාවේ බරපතළ ගණයේ අපරාධවලට අදාළ සිද්ධි මෙන් ම මානව හිමිකම් කඩ කිරීම සම්බන්ධ කරුණු රාශියක් සමාලෝචනයට ලක් කර ඇත.

විරෝධතාවයක් අතර මැද විරෝධතාකරුවෙකුව පොලිස් නිලධාරීන් විසින් රැගෙන යන අයුරු.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, යුක්තිය ඉටු කිරීමේදී සීමිත ප්‍රගතියක් ලබාගෙන ඇති වතාවරණයක් තුළ, බරපතළ අපරාධ සඳහා යුක්තිය ඉටු කිරීම වෙනුවෙන් අනුර කුමාර දිසානායක නායකත්වය දෙනු ලබන වත්මන් ආණ්ඩුව කඩිනම් ප්‍රතිචාර දක්වා නොමැති බව හියුමන් රයිට්ස් වොච් පෙන්වා දී තිබේ

ශ්‍රී ලංකා රජය වෙත කර ඇති නිර්දේශ මොනවා ද?

තව ද, හියුමන් රයිට්ස් වොච් ආයතනය සම්පාදනය කර ඇති වාර්තාවෙන් ශ්‍රී ලංකා රජය වෙත නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර තිබේ.

  • ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරන ආකාරයේ සුවිශේෂ අපරාධ සම්බන්ධයෙන් කටයුතු කරන විමර්ශන නිලධාරීන්ට ප්‍රමාණවත් පරිදි අනුග්‍රහය සහ සහය ලබා දීම.
  • පෙර පැවති රජයයන් විසින් පිහිටුවන ලද කොමිෂන් සභාවල සොයාගැනීම් ද ඇතුළුව, මින් පෙර රාජ්‍ය මුලපිරීම් මගින් විශ්වාසදායක සාක්ෂි රැස් කරගන්නා ලද සුවිශේෂී සිද්ධීන් විමර්ශනය කිරීමට සහ ඒ සම්බන්ධයෙන් නඩු පැවරීමට ප්‍රමුඛත්වය දීම සහ ඒවා ඉදිරියට ගෙන යාම.
  • වින්දිතයින් සහ සාක්ෂිකරුවන් බිය ගැන්වීම සහ ඔවුන්ට හිරිහැර කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු පිරිස් විමර්ශනය කිරීම සහ සුදුසු පරිදි නඩු පැවරීම.
  • අතීතයේ සිදු වූ අපරාධවලට විසඳුම් සෙවීම සඳහා, වෙනම විමර්ශන කණ්ඩායමක් සහිත ස්වාධීන රජයේ අභිචෝදක කාර්යාලයක් පිහිටුවීම සඳහා නීති ඇති කිරීම.
  • අධිකරණ ආයතනවලට ස්වාධීනව සහ දේශපාලන මැදිහත්වීම්වලින් තොරව කටයුතු කළ හැකි බව සහතික කිරීම.
  • වින්දිතයින්ගේ සහ සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව ශක්තිමත් කිරීම, සහ වින්දිතයින්ට, වින්දිතයින්ගේ පවුල්වලට සහ සාක්ෂිකරුවන්ට එරෙහිව සිදුවෙමින් පවතින ආවේක්ෂණය සහ හිරිහැර අවසන් කිරීම.
  • අවශ්‍ය සම්පත් ලබා දීම සහ අධිකරණ වෛද්‍ය විද්‍යාත්මක කටයුතු සහ අදාළ අනෙකුත් කටයුතු සම්බන්ධයෙන් තාක්ෂණික සහාය ලබා දීමට පහසුකම් සැලසීම මගින්, මහේස්ත්‍රාත්වරුන්, අතුරුදන් වූවන්ගේ කාර්යාලය, අධිකරණ වෛද්‍ය නිලධාරීන් සහ සමූහ මිනීවළවල් විමර්ශන සහ කැණීම් කටයුතුවලට සම්බන්ධ අනෙකුත් කණ්ඩායම්වල කටයුතු ශක්තිමත් කිරීම.
  • බරපතළ ආකාරයේ ජාත්‍යන්තර අපරාධ විමර්ශනය කිරීමට සහ නඩු පැවරීමට නීති ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම සහ, අධිකරණ වෛද්‍ය විද්‍යාත්මක කටයුතු, DNA පරීක්ෂණ සහ සාක්ෂි සංරක්ෂණය ඇතුළුව ඒ සම්බන්ධ ජාතික ධාරිතාව ශක්තිමත් කිරීම.
  • බලහත්කාරයෙන් අතුරුදන් කිරීම මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක් ලෙස පිළිගැනීමට සහ, විධාන දීමේ වගකීම ඇතුළුව සියලු ආකාරවල වගකීම් දේශීය නීතිය යටතේ සහතික කිරීම සඳහා නීති ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම.
  • ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කර, විනිවිදභාවයෙන් යුත්, සියලු දෙනා ඇතුළත් සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල ආකාරයෙන් අදාළ නීති ප්‍රතිසංස්කරණ ආරම්භ කිරීම.
  • මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය සහ එක්සත් ජාතීන්ගේ විශේෂ ක්‍රියා පටිපාටි ඇතුළුව එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ සහයෝගයෙන් කටයුතු කර, ශ්‍රී ලංකා වගවීමේ ව්‍යාපෘතියේ සාමාජිකයින්ට රට තුළ විමර්ශන පැවැත්වීමට අවසර ලබා දීම.
  • ශ්‍රී ලංකාවට පැමිණ රට පිළිබඳව වාර්තා කළ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරුවන් සහ ක්‍රියාකාරී කණ්ඩායම් විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීම; වධහිංසා පැමිණවීම, බලහත්කාරයෙන් අතුරුදන් කිරීම, අධිකරණ ක්‍රියාවළියෙන් පිටත සිදුවන ඝාතන සහ අත්අඩංගුවේ සිටියදී වන මරණ වැනි බරපතල අපරාධ සම්බන්ධයෙන් නඩු පැවරීමත් සමග එම නිර්දේශ ක්‍රියාත්මක කිරීම.
  • සාධාරණ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියක් සහතික කිරීම සඳහා, "ජාත්‍යන්තර විනිසුරුවරුන්, අභිචෝදකයින්, නීතිඥයින් සහ විමර්ශකයින්ගේ සහභාගීත්වයෙන් යුත්" විශේෂ අධිකරණයක් ඇතුළුව, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවල ඇතුළත් යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීම.