දින හතක සටන් විරාමය අවසන් කරමින් ඊශ්‍රායලය හමාස් සංවිධානයට එරෙහි සටන් යළි අරඹයි

2023 දෙසැම්බර් 1 වන දින දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය ගුවන් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු දුමාරය පැතිර ගිය අයුරු.

ඡායාරූප මූලාශ්‍රය, SAID KHATIB/AFP via Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2023 දෙසැම්බර් 1 වන දින දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය ගුවන් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු දුමාරය පැතිර ගිය අයුරු.

තම ප්‍රහාරක ජෙට් යානා මේ වන විට ගාසා තීරයේ හමාස් ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරමින් සිටින බව ඊශ්‍රායල් ආරක්ෂක බලකාය පවසයි.

ගුවන් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ වුයේ, හමාස් සංවිධානය විසින් සටන් විරාම ගිවිසුමේ කොන්දේසි "උල්ලංඝනය" කර ඇති බැවින් තමන් නැවත සටන් ආරම්භ කරන බව ඊශ්‍රායලය පවසා පැය භාගයකට පමණ පසුවය.

මේ දක්වා සිදුවුයේ කුමක් ද?

ඊශ්‍රායලය සහ හමාස් අතර තාවකාලික සටන් විරාමය මේවන විට අවසන් වී ඇත.

ඊශ්‍රායල් වේලාවෙන් අද පෙරවරු 06:00ට පෙර (GMT 04:00), ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF) වාර්තා කළේ ගාසා තීරය ආසන්න තම ජනතාව වෙත අනතුරු අඟවීමේ සයිරන් නාද වූ බවයි.

ඉන් මිනිත්තු කිහිපයකට පසු ඊශ්‍රායල් හමුදාව පැවසුවේ, ගාසා තීරය දෙසින් එල්ලවූ රොකට් ප්‍රහාරයක් තමන් විනාශ කළ බවය.

ඉන්පසුව, එරට වේලාවෙන් පෙරවරු 07:00 ට පෙර, දකුණු ඊශ්‍රායලයේ කිබුට්ස් හොලිට් නගරයෙන් සයිරන් නාද කරමින් තවත් අනතුරු ඇඟවීමක් නිකුත් විය.

ඉන් මිනිත්තු කිහිපයකට පසු ඊශ්‍රායල හමුදාව කෙටි ප්‍රකාශයක් නිකුත් කරමින් මෙසේ පැවසීය.

උපුටා දැක්වීමේ පණිවිඩය: “හමාස් විසින් මෙහෙයුම් විරාමය උල්ලංඝනය කරනු ලැබීය. ඊට අමතරව ඔවුහූ ඊශ්‍රායල් භූමිය දෙසට ප්‍රහාර එල්ල කළහ. ඒ අනුව ඊශ්‍රායල් ආරක්ෂක බලකා විසින් ගාසා තීරයේ හමාස් සංවිධානයට එරෙහි සටන නැවත ආරම්භ කර ඇත.”

ප්‍රාණ ඇපකරුවන් නිදහස ලැබීමෙන් පවුල්වලට අස්වැසිල්ලක්

දෙපාර්ශවය අතර සටන් විරාමය දින හතක් පැවති අතර ඒ අතර කාලය තුළ හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවන් 110 ක් සහ ඊශ්‍රායලය විසින් තම සිරකඳවුරුවල රඳවාගෙන සිටි පලස්තීන සිරකරුවන් 240 ක් නිදහස් කරන ලදී.

වීඩියෝ ශීර්ෂ වැකිය, ඊශ්‍රායල ජාතික ළමා ප්‍රාණ ඇපකරුවෙකු පියා සමග එක්වූ සංවේදී මොහොත

තාවකාලික සටන්විරාමය අතරතුර නිදහස ලැබූ ඊශ්‍රායල් ප්‍රාණ ඇපකරුවන් අතර කුඩා ළමුන් සහ වයස්ගත කාන්තාවෝ ද වෙති.

ඒ සමගම, බටහිර ඉවුරේ බෙයිටූනියා මුරපොල හරහා පලස්තීන රැඳවියන් 39 දෙනෙකුද නිදහස් කරනු ලැබිණි.

වීඩියෝ ශීර්ෂ වැකිය, ළමාවියේ දී ඊශ්‍රායල සිරභාරයට පත් පලස්තීන කාන්තාවක යළි ඇගේ පවුල හා එක්වූ අවස්ථාව

තායි ජාතිකයන් දස දෙනෙකු සහ එක් පිලිපීන ජාතිකයෙකු ද හමාස් විසින් නිදහස් කරන ලද අතර, කටාර් රාජ්‍ය මැදිහත් වූ ගිවිසුමට පරිභාහිර වෙනත් එකඟතාවක් යටතේ ඔවුන් නිදහස් කර තිබේ.

කටාර් ගිවිසුමේ නියමයන් යටතේ, සටන් නතර කෙරෙන තාවකාලික විරාමය තුළ ඊශ්‍රායල් ප්‍රාණ ඇපකරුවන් 50 ක් සහ පලස්තීන රැඳවියන් 150 ක් දින හතරක් තුළ නිදහස් කිරීමට නියමිතව තිබුණි.

සිකුරාදා හමාස් විසින් නිදහස් කරන ලද ප්‍රාණ ඇපකරුවන් ඊශ්‍රායලයට ගෙන යාමට පෙර වෛද්‍ය පරීක්ෂණ සඳහා ඊජිප්තු රෝහලකට ගෙන යනු ලැබිණි.

ප්‍රාණ ඇපයෙන් නිදහස ලැබු ඊශ්‍රායල් ජාතිකයින් අතර වයස අවුරුදු දෙක, හතර, හය සහ නවය යන වයස්වල ළමුන් හතර දෙනෙකු මෙන්ම 85 හැවිරිදි කාන්තාවක් ද ඇතුළත් ය.

නිදහස් කළ ඊශ්‍රායල් ප්‍රාණ ඇපකරුවන් ඊජීප්තුවට

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සටන් විරාමය

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සිව් දින සටන් විරාමය (නොවැම්බර් 24 වැනිදා) ආරම්භ විය.

එහෙත්, දෙපාර්ශවයම පවසන්නේ සටන් නතර කිරීම තාවකාලික බවයි.

තාවකාලික සටන් විරාමය දේශීය වේලාවෙන් උදෑසන 7:00ට ආරම්භ වූ අතර හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටින ඊශ්‍රායල් ප්‍රාණ ඇපකරුවන් අතුරින් 13 දෙනෙකුගෙන් යුත් පළමු කණ්ඩායම මෙලෙස නිදහස් කෙරුණි.

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සිව් දින සටන් විරාමය ඇරඹේ

ඡායාරූප මූලාශ්‍රය, Reuters

මෙම ගිවිසුම යටතේ හමාස් සංවිධානය විසින් ගාසා තීරයේ රඳවා ගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් 50 දෙනෙකු දින හතරක් තුළ නිදහස් කරනු ඇති අතර ඊශ්‍රායලය පලස්තීන සිරකරුවන් 150 දෙනෙකු නිදහස් කරනු ඇත.

සටන්විරාමය ආරම්භ වීමේ කාලය එළඹීමේ අවසන් මිනිත්තුව දක්වාම වෙඩි හුවමාරු, පිපිරුම් හඬ හා ගුවන් ප්‍රහාර පැවති බව වාර්තාකරුවන් පවසයි.

ඔක්තෝබර් 7 වන දින හමාස් ප්‍රහාරයෙන් ඊශ්‍රායලයේ පුද්ගලයන් 1,200 ක් මිය ගිය අතර තවත් පුද්ගලයින් 240 ක් පමණ ප්‍රාණ ඇපයට පත්වුහ.

අනතුරුව ඊශ්‍රායලය එල්ල කළ ප්‍රතිප්‍රහාර වලින් පුද්ගලයින් 14,000 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව හමාස් විසින් පාලනය කරනු ලබන ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය අනාවරණය කළේය.

Protesters lift national flags during a rally in Ramallah city in the occupied West Bank, in support of Gaza and of Palestinian prisoners in Israeli jails, on 14 November 2023

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, නිදහස් කිරීමට අපේක්ෂිත පලස්තීන සිරකරුවන්ගෙන් 40% ක් පමණ වයස අවුරුදු 18 ට අඩු නව යොවුන් වියේ පිරිමි ළමයින් ය.

නිදහස් වීමට නියමිත පලස්තීන සිරකරුවන් කවු ද?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ඊශ්‍රායලයේ පවතින නීති පිළිවෙත් හේතුවෙන් මෙම ලැයිස්තුව ප්‍රකාශයට පත් කර ඇත. ඕනෑ ම සිරකරුවෙකු නිදහස් කිරීමට පෙර, ඊශ්‍රායල ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට ඊශ්‍රායල පුරවැසියන්ට පැය 24ක කාලයක් ඉඩ ලබා දිය යුතු ය.

නිදහස් කළ හැකි පලස්තීනුවන් 300 දෙනෙකුගේ නම් ඇතුළත් ලැයිස්තුවක් ඊශ්‍රායලය ප්‍රකාශයට පත් කර තිබේ. ඉන් බොහෝ දෙනෙකු වයස අවුරුදු 17 හෝ 18 පසුවන අතර, සමස්ත පිරිසේ වයස් සීමාව අවුරුදු 14 සිට 59 දක්වා විහිදේ.

පළමු අදියරේදී, හමාස් සංවිධානය කාන්තාවන් සහ ළමා ප්‍රාණ ඇපකරුවන් 50 දෙනෙකු නිදහස් කරනු ඇත. ඔවුන් දිනකට 12 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ලෙස නිදහස් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඉන් අනතුරුව ඊශ්‍රායලය පලස්තීනුවන් 150 දෙනෙකු නිදහස් කරනු ඇත.

දෙවන අදියරේදී, නිදහස් කරනු ලබන ප්‍රාණ ඇපකරුවන් 10 දෙනෙකු පාසා සටන් විරාමය දිනකින් දීර්ඝ කෙරෙනු ඇත. ගාසා තීරයෙන් ප්‍රාණ ඇපකරුවන් 50 දෙනෙකු නිදහස් කළහොත් ඊශ්‍රායලය පලස්තීන රැඳවියන් 150ක් "දක්වා" නිදහස් කරනු ඇත.

කටාර් රාජ්‍යයේ මැදිහත්වීමෙන් එළඹි මෙම එකඟතාවට ලෝක නායකයන් තම ප්‍රසාදය පළ කර තිබේ.

යුරෝපා සංගමයට අයත් රටවල, එක්සත් රාජධානියේ සහ එක්සත් ජනපදයේ තහනම් ත්‍රස්තවාදී සංවිධානයක් වන හමාස්, ඔක්තෝබර් 7 වන දා 1,200කට අධික පිරිසක් මරා දැමූ අතර 200කට අධික පිරිසක් ප්‍රාණ ඇපකරුවන් ලෙස ගාසා තීරය වෙත රැගෙන ගියේ ය.

එතැන් සිට ගාසා තීරයේ ජීවත් වූ පලස්තීනුවන් 14,000කට වැඩි පිරිසක් ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් සහ ඔවුන් දියත් කළ ගොඩබිම් ආක්‍රමණයෙන් මිය ගියහ.

People demonstrate prior to any hostage announcements outside the Kirya defense complex as the political cabinet hold a meeting on 21 November 2023 in Tel Aviv, Israel

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, හමාස් සංවිධානය විසින් ගාසා තීරයේ රඳවාගෙන සිටින ඊශ්‍රායල් ප්‍රාණ ඇපකරුවන්ගේ පවුල් විසින් පැහැර ගැනීමට ලක්වූ පුද්ගලයින් බේරා ගන්නා ලෙස ඉල්ලා මහජන ව්‍යාපාරයක් ආරම්භ කර ඇත.

සිරකරුවන් හුවමාරු කර ගැනීමේ ඉතිහාසය

නිදහස් කළ හැකි පලස්තීන සිරකරුවන් 300 දෙනා සම්බන්ධ වැරදි සහ ඔවුන්ට එල්ල වී ඇති චෝදනා ද ඊශ්‍රායලය ලැයිස්තුගත කර තිබේ.

එම චෝදනා අතර මිනීමැරීමට තැත් කිරීම, බෝම්බයක් විසි කිරීම, පුපුරණ ද්‍රව්‍ය හෝ ගිනි ඇවිලිය හැකි වස්තුවක් නිර්මාණය කිරීම, ගල් ගැසීම, සතුරු සංවිධානයක් සමග සම්බන්ධතා පැවැත්වීම, ජාතිකවාදී අරමුණු අරඹයා බරපතළ ලෙස පුද්ලයින්ට ශාරීරික වධ හිංසා පැමිණවීම සහ දේපළ ආදිය ගිනි තැබීම් ඇතුළත් වේ.

පෙර සිදු වූ සිරකරුවන් හුවමාරු කිරීම් මෙන් නොව, මෙම ලැයිස්තුවේ සිටින කිසිවෙකු ඊශ්‍රායල ජාතිකයන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වී නොමැත.

බොහෝ දෙනෙකුගේ අවධානය වැඩි වශයෙන් යොමු වුණු හුවමාරු කිරීම සිදු වූයේ, 2011 ඔක්තෝබර් මාසයේදී හමාස් භාරයේ සිටි ඊශ්‍රායල හමුදා භටයෙකු වන ගිලාඩ් ෂාලිට් වසර පහකට පසු නිදහස් වූ අවස්ථාව ය. ඊශ්‍රායලය සහ සටන්කාමී කණ්ඩායම [හමාස්] අතර ඇති කරගත් ගිවිසුමේ කොටසක් ලෙස ඔහු පලස්තීන සිරකරුවන් 1,027ක් වෙනුවට හුවමාරු විය.

ගාසා තීරයේ හමාස් ප්‍රධානියා සහ ඔක්තෝබර් 7 වන දා ප්‍රහාරයට වගකිව යුතු යැයි ඊශ්‍රයලයේ චෝදනාවට ලක්ව සිටින යෙහ්යා සින්වර් ඇතුළු ඇතැම් සිරකරුවන් මිනීමැරුම් සම්බන්ධයෙන් වැරදිකරුවන් වී තිබිණි.

2004 ජනවාරි මාසයේදී ඊශ්‍රායලය, ලෙබනනය පදනම් කරගත් ඉරානයේ ආධාර ලබන සටන්කාමී සංවිධානයක් වන හිස්බුල්ලා සමග එළඹි එකඟතාවකට අනුව, පලස්තීන සහ අනෙකුත් අරාබි සිරකරුවන් 436 දෙනෙකු නිදහස් කිරීම තවත් අවධානය දිනා ගත් හුවමාරු කර ගැනීමක් විය.

එය ඊශ්‍රායල ව්‍යාපාරිකයෙකු වන එලීනන් ටැනෙන්බවුම් සහ 2000 වසරේදී දේශසීමා මුර සංචාරයකදී පැහැරගත් මියගිය ඊශ්‍රායල භටයින් තිදෙනෙකු නැවත ලබා ගැනීමට පහසුකම් සැලසීය.

In this handout photo provided by the Israeli Defense Force, freed Israeli soldier Gilad Shalit (2nd R) walks with Defence Minister Ehud Barak (L), Israeli Prime Minister Benjamin Netanyahu (2nd, L) and IDF Chief of General Staff Benny Gantz (R) at Tel Nof Airbase on 18 October 2011 in central Israel

ඡායාරූප මූලාශ්‍රය, Israel Defense Force

ඡායාරූප ශීර්ෂ වැකිය, වත්මන් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ද ගිලාඩ් ෂාලිට් නිදහස් කර ගැනීම සඳහා 2011 දී හමාස් සමඟ සිරකරුවන් හුවමාරු කිරීමේ ගනුදෙනුව ගැන සාකච්ඡා කළේය.

ඉහළ යන බන්ධනාගාර ජනගහනය

පලස්තීන මානව හිමිකම් සංවිධානයක් වන ඇඩමීර් (Addameer) සංවිධානයට අනුව, නොවැම්බර් 6 වන දා වන විට ඊශ්‍රායලය මගින් පවත්වා ගෙන යන සිරගෙවල්වල රඳවාගෙන සිටින පලස්තීනුවන් 7,000ත් සමග ඊශ්‍රායලයේ පලස්තීන සිරකරුවන් සංඛ්‍යාව ඉහළ යමින් පවතී.

මෙයට කාන්තාවන් 80 දෙනෙකු සහ වයස අවුරුදු 18ට අඩු දරුවන් 200 දෙනෙකු ඇතුළත් වේ.

පසුගිය ඔක්තෝබර් 7 වන දා ඊශ්‍රායලයට එල්ල කළ හමාස් ප්‍රහාරයෙන් පසු පලස්තීනුවන් 3,000කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව මෙම රාජ්‍ය නොවන සංවිධානය පවසයි.

ඊශ්‍රායලය තවත් පලස්තීන සිවිල් අයිතිවාසිකම් කණ්ඩායම් පහක් ද සමගින් 2021 වසරේදී ඇඩමීර් සංවිධානය "ත්‍රස්තවාදී" සංවිධානයක් ලෙස නම් කළේ ය. එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ජාත්‍යන්තර අයිතිවාසිකම් කණ්ඩායම් මෙම නම් කිරීම ප්‍රතික්ෂේප කරයි.

ඊශ්‍රායල මානව හිමිකම් සංවිධානයක් වන B'Tselem පවසන පරිදි, 2023 සැප්තැම්බර් මස අවසානය වන විට, ඊශ්‍රායල බන්ධනාගාර සේවය (IPS) පලස්තීන බාලවයස්කරුවන් 146 දෙනෙකු "ආරක්ෂක" හේතු බව පවසමින් රැඳවුම් හෝ සිර භාරයේ තබාගෙන සිටියේ ය.

ඒ අතර ම, නීතිවිරෝධී ලෙස ඊශ්‍රායලයේ රැඳී සිටීම හේතුවෙන් ඊශ්‍රායල බන්ධනාගාර සේවය විසින් පලස්තීන බාලවයස්කරුවන් 34 දෙනෙකු ද රඳවාගෙන සිටි බව එම සංවිධානය තවදුරටත් සඳහන් කළේ ය.

Palestinian stone throwers gather amid clashes with Israeli troops during a raid in Jenin in the occupied West Ban on 26 January 2023

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, Most Palestinian children enter the Israeli military detention system after being caught throwing stones

අයිතීන් පිළිබඳ වෙනත් පලස්තීන සංවිධානයක් වන 'The Palestinian Prisoners' Club' පවසන්නේ, හමාස් ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායල සිරකරුවන් හය දෙනෙකු මිය ගොස් ඇති අතර මියගිය අයගෙන් පස් දෙනෙකු ඔක්තෝබර් 7 වන දායින් පසු අත්අඩංගුවට ගෙන ඇති බව ය.

චෝදනා නැත, නඩු විභාග නැත

ඊශ්‍රායලයේ 'පරිපාලනමය රඳවා තබා ගැනීම' (administrative detention) නම් ක්‍රමයක් තිබේ. එහිදී පුද්ගලයෙකු චෝදනා ඉදිරිපත් කිරීමකින් තොරව සහ නඩු විභාගයකට භාජනය කිරීමකින් තොරව රඳවා තබා ගත හැකි ය. මෙයට වැඩි වශයෙන් හසුවන්නේ පලස්තීනුවන් ය.

නොවැම්බර් 1 වන දා වන විට ඊශ්‍රායල මානව හිමිකම් සංවිධානයක් වන HaMoked සංවිධානයට අනුව, ඊශ්‍රායලය විසින් පරිපාලනමය ලෙස රඳවාගනු ලැබ සිටින සිටි පලස්තීන රැඳවියන් සංඛ්‍යාව 2,070කි. හමාස් ප්‍රහාරය එල්ල වන විට මෙම සංඛ්‍යාව 1,319ක් වූ බව එම සංවිධානය පැවසීය.

HaMokedහි විධායක අධ්‍යක්ෂ ජෙසිකා මොන්ටෙල් මෙම එකඟතාව පැසසුමට ලක් කළා ය.

"මිනිසුන් ප්‍රාණ ඇපකරුවන් ලෙස තබා ගැනීම ම නීතිවිරෝධී යි, යුද්ධ අපරාධයක්, හමාස් සංවිධානය සියලු ම ප්‍රාණ ඇපකරුවන් කොන්දේසි විරහිතව නිදහස් කළ යුතු යි," ඇය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා ය. "නමුත් මෙම ඉලක්කය සාක්ෂාත් කර ගැනීමට ඊශ්‍රායලය සිරකරුවන් සහ රැඳවියන් නිදහස් කිරීම කළ යුතු යි."

ඊශ්‍රායල-හමාස් එකඟතාවේ කොටසක් ලෙස පරිපාලනමය රැඳවුම් භාරයේ සිටින පලස්තීන කාන්තාවන් සහ දරුවන් නිදහස් කෙරෙනු ඇති බව ද ඇය පැවසුවා ය.

"මෙම පුද්ගලයින් ද කොන්දේසි විරහිතව නිදහස් කළ යුතුව තිබුණා, ඒ කොහොම වුණත් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් සහ පලස්තීන පරිපාලනමය රැඳවියන් නිදහස් කිරීමේ එකඟතාව දෙගුණයකින් පැසසුමට ලක් වෙනවා."

UN Special Rapporteur Francesca Albanese speaks at the National Press Club of Australia, Canberra on 14 November 2023

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, වසර ගණනාවක් පුරා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊශ්‍රායලය දැඩි ලෙස විවේචනය කර තිබේ.

එක්සත් ජාතීන්ගේ විවේචන

වසර ගණනාවක් පුරා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊශ්‍රායලය දැඩි ලෙස විවේචනය කර තිබේ. පලස්තීනුවන්ගේ පරම්පරා ගණනාවක් "ඊශ්‍රායල් ආක්‍රමණය" යටතේ "පුළුල් සහ ක්‍රමානුකූලව අත්තනෝමතික ලෙස නිදහස අහිමි කිරීම" විඳදරාගත් බව එම සංවිධානය පවසයි.

"1967 සිට, ඊශ්‍රායල හමුදාව විසින් පනවන ලද, බලාත්මක කරන ලද සහ නියම කරන ලද ඒකාධිපතිවාදී නීති මාලාවක් මත පදනම්ව, දරුවන් ඇතුළු පලස්තීනුවන් 800,000කට වැඩි පිරිසක් රඳවා තබා ඇත," යනුවෙන් 2023 ජූනි මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද,1967 සිට ආක්‍රමණයට නතුව ඇති පලස්තීන ප්‍රදේශවල විශේෂ නියෝජිත ෆ්‍රැන්චෙස්කා ඇල්බනීස්ගේ වාර්තාවක සඳහන් විය.

[ඊශ්‍රායල හමුදා] වාඩිලාගෙන සිටින බටහිර ඉවුර වෙත ප්‍රවේශ වීමට තමාට අවසර නොලැබුණු නමුත් ජෝර්දානයට ගොස් මාස හයක් පුරා දූරස්ථව සම්මුඛ සාකච්ඡා පැවැත්වූ බව ඇය පැවසුවා ය.

ඊශ්‍රායලය ඇය සොයා ගත් තොරතුරු ප්‍රතික්ෂේප කළ අතර, විශේෂ නියෝජිතයෙකු ලෙස ඇය පත් කර ඇත්තේ, "ඊශ්‍රායලයට සහ ඊශ්‍රායල් ජාතිකයන්ට වෙනස් කොට සැලකීමේ" එක ම අරමුණින් බව පැවසීය.

සෑම වසරක ම පලස්තීන දරුවන් 500ත් 700ත් අතර ගණනක් ඊශ්‍රායල හමුදා රැඳවුම් පද්ධතියට ඇතුළු වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ 'Save the Children' නම් රාජ්‍ය නොවන සංවිධානය පවසයි.