ඊශ්‍රායල ගාසා යුද්ධය: ඊශ්‍රායල ප්‍රතිප්‍රහාරවලට සහාය දෙන රටවල් සහ හෙළා දකින රටවල් මොනවා ද?

Blinken and Netanyahu

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මානුෂික සටන් විරාමයක් වෙනුවෙන් පෙළඹවීමක් කිරීමට අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් දෙවන වරටත් ටෙල් අවිව් වෙත ගියේ ය

මරණ සංඛ්‍යාව ඉහළ යාමත්, තත්ත්වය තවත් නරක අතට හැරීමත් නිසා, ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර සම්බන්ධයෙන් ජාත්‍යන්තර මතය තියුණු බෙදීමකට මුහුණ දී තිබේ.

ඔක්තෝබර් හත්වන දා එල්ල වූ හමාස් ප්‍රහාරයට පසු, මුලින් රටවල් විශාල සංඛ්‍යාවක් ඊශ්‍රායලයට සහාය පළ කළේය. එහෙත්, ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කරන ගුවන් ප්‍රහාර සහ හමාස් මුලිනුපුටා දැමීම සඳහා එල්ල කරණ ගොඩබිම් ප්‍රහාරය පුළුල්ව විවේචනයට ලක්ව ඇති අතර, ඇතැම් ජාතීන් යුද්ධය සම්බන්ධයෙන් ඒවායේ ස්ථාවරයන් යළි වෙනස් කර ඇති බව පෙනේ.

ගැටුම පිළිබඳ වර්තමානයේ පවතින ජාත්‍යන්තර විවාදයේ කේන්ද්‍රය වන්නේ, සටන් විරාමය පිළිබඳ ප්‍රශ්නය යි.

ඊශ්‍රායල් හමුදා සහ හමාස් සටන්කරුවන් අතර, "කඩිනම්, දිගුකල් පවත්නා සහ තිරසර මානුෂීය සටන් විරාමයක්" ඉල්ලා සිටිමින් ඔක්තෝබර් 27 වන දා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේ දී යෝජනාවලියක් ඉදිරිපත් කෙරිණි.

ජෝර්දානය විසින් ඉදිරිපත් කරන ලද නොබැඳි යෝජනාවට පක්ෂව ඡන්ද 121ක් සහ විරුද්ධව ඡන්ද 14ක් ලැබුණි. රටවල් 44ක් ඡන්ද ප්‍රකාශයෙන් වැළකී සිටියේ ය.

ඊශ්‍රායල් විදේශ අමාත්‍ය එලී කොහෙන් එක්සත් ජාතීන්ගේ යෝජනාව "අධම" ලෙස හැඳින්වූ අතර, අගමැති බෙන්ජමින් නෙතන්යාහු පසුව සටන් විරාමයක් සඳහා වූ ඉල්ලීම් ප්‍රතික්ෂේප කළේ, දැන් මෙහෙයුම් නවතා දැමීම හමාස් සංවිධානයට "යටත්වීමක්" බවට තර්ක කරමිනි.

එතැන් සිට, ඇතැම් රටවල් ඊශ්‍රායලය සම්බන්ධයෙන් ඒවායේ විවේචන තීව්‍ර කර ඇත. තවත් රටවල් කිහිපයක් ඒවායේ තානාපතිවරුන් ආපසු කැඳවා හෝ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නවතා තිබේ. සටන් විරාම යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ අමෙරිකාව පවා එහි ස්ථාවරය ලිහිල් කර තිබේ. ජනපති බයිඩන් පහර දීම "තාවකාලිකව අත්හිටුවන්නැ"යි ඉල්ලීමක් ද කළේ ය.

ලෝකය පුරා රටවල් ඊශ්‍රායල්-හමාස් යුද්ධය සම්බන්ධයෙන් පවසා ඇත්තේ කුමක් ද යන්නත්, එක්සත් ජාතීන්ගේ යෝජනාවලිය හමුවේ ඒවා ඡන්දය භාවිත කළේ කෙසේ ද යන්නත් මේ සිතියමෙන් සාකච්ඡා කෙරේ. මේවා එරට ආණ්ඩුවල අදහස් බවත්, එය ඇතැම් රටවල මහජන මතය සමග සැලකිය යුතු ලෙස වෙනස් විය හැකිබවත් සඳහන් කළ යුතු ය.

බටහිර රටවල්

යුද්ධය ආරම්භයේ සිට ම බොහෝ බටහිර රටවල් ප්‍රසිද්ධියේ ම ඊශ්‍රායලයට සහාය පළ කර තිබේ.

හමාස් ප්‍රහාරයෙන් පසු අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ඔහුගේ මුල් ප්‍රකාශයන් හරහා ඇමෙරිකානු රජය ඊශ්‍රායලය සමග සිටගන්නා බව තහවුරු කළ අතර, "ඊශ්‍රායලයට එහි පුරවැසියන් රැක බලා ගැනීමට අවශ්‍ය දේ ඔවුන් වෙත තිබේයැ" රජය වගබලා ගන්නා බව ද පැවසුනි.

කෙසේ වෙතත්, නොවැම්බර් 2 වන දා පැවති ප්‍රචාරක උත්සවයක දී ඔහු ඉදිරියේ සිටි පුද්ගලයෙකුගේ දැඩි ප්‍රශ්න කිරීම හමුවේ, යුද්ධය තාවකාලිකව නතර කරන්නැ යි ජෝ බයිඩ්න් ඉල්ලා සිටියේ ය.

ඊට පසු දිනයේ, මානුෂික සටන් විරාමයක් වෙනුවෙන් පෙළඹවීමක් කිරීමට සහ ගාසා තීරයේ සිවිල් වැසියන්ට හානි අවම කිරීම සම්බන්ධයෙන් ගත යුතු ස්ථිර පියවර ගැන සාකච්ඡා කිරීමට අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් දෙවන වරටත් ටෙල් අවිව් වෙත පිටත් විය.

ඕනෑ ම සටන් විරාමයක් තාවකාලික සහ යම් ප්‍රදේශයකට සීමාවිය යුතු බව ධවල මන්දිරය පසුව පැවසුවේ ය. යුද්ධය සඳහා පූර්ණ සටන් විරාමයක් වෙනුවෙන් අරාබි ඇතුළු සෙසු රටවල්වලින් පැමිණි ඉල්ලීම් අමෙරිකාව ප්‍රතික්ෂේප කර තිබේ.

A protest march in central London

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඊශ්‍රායල්-හමාස් යුද්ධයට සටන් විරාමයක් ඉල්ලා, පසුගිය සති කිහිපයේ දී පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් දහස් ගණනක් ලන්ඩනය පුරා පාගමන්වල නිරත වූහ
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

කැනඩා සහ එක්සත් රාජධානි අග්‍රාමාත්‍යවරු ඒවායේ මූලික ප්‍රතිචාරයන්හි දී "සිය ආරක්ෂාව වෙනුවෙන් ඊශ්‍රායලයට ඇති අයිතියට" සහාය පළ කළහ. කෙසේ වෙතත්, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල ඡන්ද විමසීමේ දී එම රටවල් දෙක ම ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටියේ ය.

ඊශ්‍රායල්-හමාස් යුද්ධයට සටන් විරාමයක් ඉල්ලා, පසුගිය සති කිහිපයේ දී පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් දහස් ගණනක් ලන්ඩනය පුරා පාගමන්වල නිරත වූහ.

යුරෝපා සංගමය ඊශ්‍රායලයට සහාය දෙන බව අවධාරණය කරමින් "හමාස් එල්ල කළ ප්‍රහාර දැඩි ලෙස" හෙළා දුටු නමුත්, සටන් විරාමයක් සම්බන්ධයෙන් විවිධ සාමාජිකයින් වෙනස් මත අනාවරණය කර තිබේ.

ඊශ්‍රායලයට එහි ආරක්ෂාව සලසා ගැනීමට ඇති අයිතිය වෙනුවෙන් සහාය දෙන ජර්මනිය සහ ඉතාලිය එක්සත් ජාතීන්ගේ යෝජනාව හමුවේ ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටියේ ය. ස්පාඤ්ඤය සහ ප්‍රංශය යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කළේය .

"ආත්මාරක්ෂාව සඳහා ඊශ්‍රායලයට ඇති අයිතිය වෙනුවෙන් කැපවී සිටින" බව මුලින් ප්‍රකාශ කළ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන්, සිවිල් මරණ සංඛ්‍යාව ඉහළ යාමේ තත්ත්වයත් සමග ඔහුගේ ස්ථාවරය තරමක් වෙනස් කර ඇත.

"ගාසා තීරය සම්බන්ධයෙන් [ගත්විට], හමාස් සහ සිවිල් ජනතාව අතර වෙනස හඳුනාගත යුතු ය," යනුවෙන් මැක්‍රොන් මීට ට්විටර් ලෙස හැඳින්වූ X හි පළ කර තිබිණි.

"අනතුරට භාජනය වියහැකි පුද්ගලයින් ආරක්ෂා කිරීමට සහ ත්‍රස්තවාදීන්ට එරෙහිව වඩා හොඳ ඉලක්කගත ක්‍රියාමාර්ග ගැනීමට ඉඩ සැදීම සඳහා මානුෂීය සටන් විරාමයක් අවශ්‍ය යි."

මැද පෙරදිග

මැද පෙරදිග රටවල් බහුතරයක් එක්සත් ජාතීන්ගේ යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කළ අතර, රටවල් රැසක් ඊශ්‍රායලයේ යුද්ධමය මෙහෙයුම් දැඩිව හෙළා දැක තිබේ.

ඒබ්‍රහම් ගිවිසුම හරහා ඊශ්‍රායලය සමග සබඳතා සාමාන්‍යකරණය කරන ලද එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බහරේනය මුල දී හමාස් ප්‍රහාර හෙළා දුටුවේ ය.

කෙසේ වෙතත්, පසුගිය සතියේ දී බහරේනය එහි තානාපතිවරයා ඊශ්‍රායලයෙන් ඉවත්කර ගත් අතර, බහරේන් අගනුවර වන මැනමාහි සිටි ඊශ්‍රායල් තානාපතිවරයා එරටින් පිට විය.

"පෙර නොවූ විරූ මානුෂීය ව්‍යසනයක්" නිර්මාණය කරන බවට චෝදනා කරමින් ජෝර්දානය ද ඊශ්‍රායලයේ සිටින එහි තානාපතිවරයා ආපසු කැඳවා තිබේ.

ඒබ්‍රහම් ගිවිසුමේ කොටසක් නොවන සාමාන්‍යකරණ ගිවිසුමකට එළඹීමට මාස ගණනක් තිස්සේ ඊශ්‍රායලය සමග සාකච්ඡා කරමින් සිටි සෞදි අරාබිය, ප්‍රචණ්ඩත්වය වහා නතර කරන ලෙස ඉල්ලා සිටියේ ය. එය හමාස් සංවිධානය පැහැදිලි ලෙස හෙළ දුටුවේ නැත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ජෝර්දානය, බහරේනය, සෞදි අරාබිය, ඕමානය, කටාර්, ක්වේට්, ඊජිප්තුව සහ මොරොක්කෝව යන රටවල විදේශ අමාත්‍යවරු "ගාසාහි සිවිල් වැසියන් ඉලක්ක කිරීම සහ ජාත්‍යන්තර නීති උල්ලංඝණය කිරීම" හෙළා දකිමින් ඔක්තෝබර් 26 වන දා ඒකාබද්ධ ප්‍රකාශනයක් නිකුත් කළහ.

ආත්මාරක්ෂාවට ඇති අයිතිය හරහා නීතිය උල්ලංඝණය කිරීමත්, පලස්තීන වැසියන්ගේ අයිතීන් නොසලකා හැරීමත් සාධාරණීකරණය කළ නොහැකි බව ඒකාබද්ධ ප්‍රකාශනයෙන් කියවුණි.

Recep Tayyip Erdogan addressing pro-Palestinian rally in Istanbul

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, හමාස්, "පලස්තීන භූමිය ආරක්ෂා කිරීම වෙනුවෙන් සටන් වදින විමුක්ති කණ්ඩායමක්" ලෙස ජනාධිපති එර්ඩොවන් මෑතක දී හැඳින්වීය

පසුගිය සතියේ, ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි ඛමේනි, ඊශ්‍රායලය සමග පවතින ආර්ථික සබඳතා නතර කරන ලෙසත්, ඊශ්‍රායලයට ඉන්ධන සහ ආහාර අපනයනය කිරීම අත්හිටුවන ලෙසත් මුස්ලිම් රටවලින් ඉල්ලා සිටියේ ය.

ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීමෙන් පසු, ඛමේනි සහ ඉරාන ජනපති ඊබ්‍රහිම් රයිසි යන දෙදෙනා ම හමාස් සංවිධානයට සුබ පතා තිබුණේ, සටන්කාමීන්ගේ "ධෛර්යය, නිර්භීතකම, ප්‍රතිරෝධය සහ මුලපිරීම" සම්බන්ධයෙන් ප්‍රශංසා කරමිනි. එම ප්‍රහාරවලට එරටෙහි කිසිදු සම්බන්ධයක් නැතැ යි ඉරානය පැවසීය.

මුලින් යුද්ධය අළලා මැදි තැනක සිටීමට උත්සහ කළ තුර්කි ජනාධිපති රිජෙප් තයීප් එර්ඩොවන්, ඔක්තෝබර් 17 වන දින අල්-අහ්ලි අරාබි රෝහලේ පිපිරීමෙන් පසු ඔහුගේ වාග් ප්‍රහාර දැඩි කළේ ය.

මෙම විනාශකාරී පිපිරීම සම්බන්ධයෙන් පරස්පර විරෝධී චෝදනා එල්ල වී ඇති අතර, හමාස් පාලනයට අයත් සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ, අවම වශයෙන් පුද්ගලයින් 500 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බවය.

ඔක්තෝබර් 28 වන දා ඉස්තාන්බුල්හිදී පැවති පලස්තීන හිතවාදී ප්‍රධාන රැලියක දී එර්දෝවන්, ඊශ්‍රායලය "යුද්ධ අපරාධකරුවෙකු" ලෙස ප්‍රකාශයට පත් කිරීමට තුර්කිය සැලසුම් කරමින් සිටින බව පැවසුවේ ය.

බොහෝ නේටෝ සාමාජික රටවල් සහ යුරෝපීය සංගමය මෙන් නොව, තුර්කිය හමාස් යනු ත්‍රස්ත සංවිධානයක් ලෙස නොසලකන අතර එහි සාමාජිකයින්ට සත්කාරකත්වය සපයයි. හමාස්, "පලස්තීන භූමිය ආරක්ෂා කිරීම වෙනුවෙන් සටන් වදින විමුක්ති කණ්ඩායමක්" ලෙස ජනාධිපති එර්ඩොවන් මෑතක දී හැඳින්වීය.

ඔක්තෝබර් 27 වන දා එක්සත් ජාතීන්ගේ යෝජනාවට පක්ෂව තුර්කිය ඡන්දය භාවිතා කළේ ය.

මුල දී ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී සිටි එකම මැද පෙරදිග රට ඉරාකය වූ නමුත්, පසුව එය තාක්ෂණික දුෂ්කරතාවක් ගැන සඳහන් කරමින් එහි ඡන්දය 'පක්ෂව' ලෙසට වෙනස් කළේ ය.

ඊශ්‍රායලය හැර මැද පෙරදිග කිසිදු රටක් යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිත කළේ නැත.

රුසියාව

Gaza

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, හමාස් විසින් පාලනය වන සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව ගාසා තීරයට එල්ලවූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයන් 9,000කට වැඩි පිරිසක් මියගොස් තිබේ

රුසියානු නායක ව්ලැඩිමීර් පුටින් ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරයෙන් පසු පළමු දින කිහිපය නිශ්ශබ්දව සිටි අතර, ඔහුගේ මුල් ප්‍රකාශය මඟින් අමෙරිකාවට පහරක් එල්ල කරමින් "මැද පෙරදිග සම්බන්ධයෙන් අමෙරිකානු ප්‍රතිපත්තියේ අසාර්ථකත්වය" පෙන්නුම් කරන බව පැවසුවේ ය.

ගැටුම ඇති වී සතියකට පසු පුටින් ප්‍රකාශ කළේ, "ඊශ්‍රායලය හමාස් සටන්කාමීන්ගේ පෙර නොවූ විරූ කෲර ප්‍රහාරයකට ලක්ව ඇති" නමුත් ඔවුන් ඊට ප්‍රතිචාර දැක්වූයේ තමන්ගේ ම කෲර ක්‍රමවලින් බව ය.

ක්‍රෙම්ලීනය ඊශ්‍රායලයට එහි සංවේගය පළ කිරීමක් හෝ හමාස් හෙළා දැකීමක් කර නොමැති අතර, රුසියානු වැසියන් ඇතුළු ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රුසියාව ඔක්තෝබර් 26 වන දා මොස්කව්හි දී හමාස් දූත පිරිසකට සත්කාරකත්වය සැපයීය.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ දී අමෙරිකාව විසින් අනුග්‍රහය දක්වන ලද කෙටුම්පතක් සම්බන්ධයෙන් රුසියාව, චීනය සමග එක්ව විරෝධය පළ කළ අතර, රුසියාවේ පිටුබලය ලත් දෙවන යෝජනාවට පක්ෂව ප්‍රමාණවත් ඡන්ද ලබා ගැනීමට නොහැකි විය.

මානුෂීය සටන් විරාමයක් වෙනුවෙන් වූ එක්සත් ජාතීන්ගේ යෝජනාවට රුසියාව ඔක්තෝබර් 27 වන දා පක්ෂව ඡන්දය භාවිතා කළේ ය.

ආසියාව

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ දී ආසියානු කලාපයේ සෑම රටක් ම පාහේ සටන් විරාමයට පක්ෂව ඡන්දය භාවිත කළේ ය.

මැද පෙරදිග සාම තැරැව්කරුවෙකු ලෙස ස්ථානගත වීමට උත්සහ කරන චීනය, හමාස් ප්‍රහාරයෙන් පසු මූලික ප්‍රකාශයක් කරමින් "සන්සුන්ව සිටින ලෙසත්, සංයමයෙන් කටයුතු කරන ලෙසත්, සිවිල් වැසියන් ආරක්ෂා කිරීම සඳහා සතුරුකම් වහාම අවසන් කරන ලෙසත්," අදාළ පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියේ ය.

"ගැටුමෙන් මිදීමේ මාවත පවතින්නේ රාජ්‍ය දෙකේ විසඳුම ක්‍රියාත්මක කිරීම සහ ස්වාධීන පලස්තීනය රාජ්‍යයක් පිහිටුවීමෙන්" මත බව චීන විදේශ අමාත්‍යාංශය පැවසුවේ ය.

ගැටුම ඇති වී සතියකට පසු චීන විදේශ අමාත්‍ය වැං යී ප්‍රකාශ කළේ, ගාසා තීරයේ ඊශ්‍රායලය සිදු කරන ක්‍රියා “ආත්ම ආරක්‍ෂාවේ විෂය පථයෙන් ඔබ්බට” ගොස් ඇති බවත්, ඊශ්‍රායල් රජයට “ගාසාහි ජනතාවට සාමූහික දඬුවම් දීම නතර කිරීමට” සිදුවන බවත්ය.

ඉන්දියාව එක්සත් ජාතීන්ගේ යෝජනාව වෙනුවෙන් ඡන්දය භාවිත කිරීමෙන් වැළකී රටවලින් එකක් වූ අතර, එය "පුදුමසහගතයැ"යි විරුද්ධ පක්ෂ විවේචනය කළේය.

නිදහස ලැබූ මුල් වසරවලදී ඉන්දියාව පලස්තීනුවන් සමග සමීප සබඳතා පැවැත්වූ අතර, නිල ප්‍රතිපත්තිය වූයේ රාජ්‍ය දෙක අතර විසඳුමකට සහාය වීම ය.

එහෙත්, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ දක්ෂිණාංශික රජය බලයට පත්වීමෙන් පසුව, ඉන්දියාව ඊශ්‍රායලය සමග පැවති සබඳතා සීඝ්‍රයෙන් ශක්තිමත් කළේ ය.

ඔක්තෝබර් 7 වන දා එල්ල වූ හමාස් ප්‍රහාරයෙන් පසු ඔහුගේ මූලික නිවේදනය මෝදි මෙසේ පැවසුවේ ය: "මේ දුෂ්කර මොහොතේ ඉන්දීය ජනතාව ස්ථාවර ලෙස ඊශ්‍රායලය සමග සිටගනිමු. ඉන්දියාව ත්‍රස්තවාදය එහි සියලු ආකාරවලින් සහ ප්‍රකාශනවලින් දැඩි ලෙස හා අවිවාදයෙන් හෙළා දකියි."

ඊශ්‍රායලය සමග කිසිදු රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවක් නොමැති පාකිස්ථානය මුලදී සංයමයක් අනුගමනය කළ අතර, ජනාධිපති අරිෆ් අල්වි, "තවත් ලේ වැගිරීම් සහ මිනිස් ජීවිත අහිමි වීම වැළැක්වීම සඳහා උපරිම සංයමයකින්" කටයුතු කරන ලෙස ඉල්ලා සිටියේ ය.

"පවතින තත්ත්වය කඩිනම් සටන් විරාමයක් ඉල්ලා සිටිනවා," ඔහු Xහි පළ කළේය.

කෙසේ වෙතත්, නොවැම්බර් 1 වන දා ගාසා තීරයේ ජබාලියා සරණාගත කඳවුරට බෝම්බ හෙලීමෙන් පසු පාකිස්ථානයේ ස්ථාවරය දැඩි කළේ, එරට විදේශ කටයුතු අමාත්‍යාංශය "ඊශ්‍රායලයේ ම්ලේච්ඡ ප්‍රහාරය" ලෙස එය හෙළා දකිමිනි.

අප්‍රිකාව

Gaza

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඊශ්‍රායලයේ විවේචකයින් පවසන්නේ ගාසා තීරයේ සිවිල් වැසියන් සාමූහික දඬුවමකට ගොදුරුවී ඇති බව යි

රටවල් 55ක සාමාජිකත්වයක් සහිත අප්‍රිකා සංගමය පලස්තීනයට සහාය පළ කරමින් ඔක්තෝබර් 7 වන දා නිවේදනයක් නිකුත් කළේ ය.

"පලස්තීන වැසියන්ගේ මූලික අයිතිවාසිකම්, විශේෂයෙන් ම එය ස්වාධීන සහ ස්වෛරී රාජ්‍යයක් බව ප්‍රතික්ෂේප කිරීම ඊශ්‍රායල්-පලස්තීන සදාකාලික ගැටුම්වලට ප්‍රධාන හේතුව," බව එම සංගමය පැවසීය.

සෝමාලියා අගමැති හම්සා ආබ්දි බාරේ, හමාස් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස එහි රජය නොසලකන අතර එම සංවිධානයට පූර්ණ සහාය ලබාදෙන බව පවසා ඇත.

ඊශ්‍රායල හමාස් යුද්ධය ආරම්භයේ සිට ම ටියුනීසියාව පලස්තීන වැසියන් වෙත "පූර්ණ සහ කොන්දේසි විරහිත" සහායෝගය පළ කළ ද, එක්සත් ජාතීන්ගේ ඡන්ද විමසීමේ දී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේ ය.

ටියුනීසියානු ජනාධිපති කයිස් සයඩ් විසින්, ඊශ්‍රායලය විසින් සිදුකරන බව ඔහු පැවසූ "ජන සංහාරය" පිළිබඳ "ජාත්‍යන්තර නිශ්ශබ්දතාව" හෙළා දැකීමට මෙය පරස්පර විරෝධී ක්‍රියාවකි.

ටියුනීසියාවේ පාර්ලිමේන්තුව මේ වන විට ඊශ්‍රායලය පිළිගැනීම සහ එරට සමග සෘජු හෝ වක්‍ර සබඳතා ඇතිකර ගැනීම සාපරාධී ලෙස සලකන පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් විවාදයක් පවත්වමින් සිටියි.

ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටි සෙසු අප්‍රිකානු රාජ්‍යයන් වන්නේ කැමරූන්, ඉතියෝපියාව, දකුණු සුඩානය සහ සැම්බියාව යි.

ඔක්තෝබර් 27 වන දා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ දී ඉදිරිපත් කෙරුණු යෝජනාව කිසිදු අප්‍රිකානු රටක් ප්‍රතික්ෂේප කළේ නැත.

ලතින් අමෙරිකාව

ලතින් අමෙරිකානු රටවල් වැඩි සංඛ්‍යාවක් එක්සත් ජාතීන්ගේ යෝජනාවට පක්ෂව ඡන්දය භාවිතා කළේ ය.

ගාසා ප්‍රහාර ආරම්භවීමෙන් පසු ඊශ්‍රායලය සමග පැවති සබඳතා අත්හිටවූ පළමු ලතින් අමෙරිකානු රට බවට පසුගිය සතියේ දී බොලිවියාව පත්විය. ගාසා තීරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර බොලිවියාව හැඳින්වූයේ, "ආක්‍රමණශීලී සහ පමණට වඩා වැඩි" ප්‍රතිචාර දැක්වීමක් ලෙසය .

"ත්‍රස්තවාදයට යටත් වීමක්" ලෙස බොලිවියාවට අවඥා කරමින් ඊශ්‍රායලය ඊට ප්‍රතිචාර දැක්වූයේ ය.

A woman takes part in a demonstration against Israel's military offensive in the Gaza Strip in Sao Paulo, Brazil

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ගාසා තීරයේ සටන් විරාමයකට සහය පළ කරමින් බ්‍රසීලයේ ජනතාව වීදි බැස තිබේ

ගාසාහි වර්ධනය වෙමින් පවතින මානුෂීය අර්බුදකාරී තත්ත්වය හමුවේ, තවත් ලතින් අමෙරිකානු රටවල් දෙකක් වන කොලොම්බියාව සහ චිලී රාජ්‍යය ඒවායේ තානාපතිවරුන් ආපසු කැඳවා තිබේ.

අරාබි ලෝකයෙන් පිටත වැඩි ම පලස්තීන ජනගහනයක් වෙසෙන චිලී රාජ්‍යය ප්‍රකාශ කළේ, ඊශ්‍රායලයේ "ජාත්‍යන්තර මානුෂීය නීතිය පිළිගත නොහැකි ආකාරයෙන් උල්ලංඝණය කිරීම්වලට" විරෝධය පළ කරමින් මෙම ක්‍රියාමාර්ගය ගන්නා බව ය.

යුද්ධය ආරම්භයේ සිට ම ගාසා තීරයට ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාර කොලොම්බියාව දැඩි ලෙස විවේචනය කළේ ය. "අපි ජන සංහාරවලට සහාය දෙන්නෙ නෑ," ඊශ්‍රායලය සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත්හිටුවන බවට අනතුරු අඟවමින් ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ පැවසීය.

බ්‍රසීල ජනාධිපති ලුයී ඉනාෂියෝ ලූලා ද සිල්වා මුලදී ඊශ්‍රායලයේ සිවිල් වැසියන්ට එරෙහිව එල්ල වූ හමාස් ප්‍රහාර හෙළා දකිමින්, සියලුම ප්‍රාණ ඇපකරුවන් වහා ම නිදහස් කරන ලෙස ඉල්ලා සිටි අතර, මෑත දී නිකුත් කළ නිවේදනයක් හරහා ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ආක්‍රමණය දැඩි ලෙස විවේචනය කළේ ය.

ඔක්තෝබර් 25 වන දා ලූලා ද සිල්වා පැවසුවේ "සිද්ධ වෙන්නේ යුද්ධයක් නෙවෙයි. ඒක මේ සටනට කිසි ම සම්බන්ධයක් නැති දරුවන් 2000කට ආසන්න පිරිසක් ඝාතනය කිරීමට බලපෑ ජන සංහාරයක්," යනුවෙනි.

එක්සත් ජාතීන්ගේ යෝජනාවට එරෙහිව ඡන්දය භාවිත කළ දකුණු හෝ මධ්‍යම අමෙරිකානු රටවල් වූයේ, පැරගුවේ සහ ග්වාතමාලාව යි.