ඊශ්‍රායල ගාසා යුද්ධය: ගැටුමේ ඉතිහාසය ගැන පැහැදිලි කිරීමක්

Arab woman and Jew man

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

පලස්තීන සටන්කාමී කණ්ඩායමක් වන හමාස්, ඔක්තෝබර් හත්වැනිදා ඊශ්‍රායලයට එල්ල කළ පෙර නොදුටුවිරූ ප්‍රහාරයෙන් පුද්ගලයින් 1,400ක් මියගිය අතර, 220කට වැඩි පිරිසක් හමාස්හි ප්‍රාණ ඇපකරුවන්බවට පත්විය. මේ අතර ඊශ්‍රායල සෙබළුන් සහ කාන්තාවන් හා දරුවන් ඇතුළු සිවිල් වැසියන් ද වෙයි.

ඊශ්‍රායලය ඊට ප්‍රතිචාර ලෙස එල්ලකළ ගුවන් ප්‍රහාරවලින් ගාසා ප්‍රදේශයේ 7,000කට වැඩි පිරිසක් මියගොස් ඇතැ යි ගාසාහි සෞඛ්‍ය අමාත්‍යංශය පවසන අතර, ගොඩබිම් ප්‍රහාරයක් සිදුවනු ඇතැ යි ද අපේක්ෂිත ය. ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයේ ඉලක්කගත වැටලීම් සිදුකර හමාස් ඉලක්කයන් දුසිම් ගණනකට පහරදුන්බව ද ඊශ්‍රායලය පවසයි.

ඊශ්‍රායලය ගාසා තීරයේ විදුලි බලය විසන්ධිකර, එම ප්‍රදේශයට තුළට ජලය, ආහාර, ඖෂධ හා ඉන්ධන සැපයුම ද දැඩි සේ සීමාකර තිබේ.

ඉන්ධන සැපයුම සීඝ්‍රයෙන් ක්ෂයවීම සම්බන්ධයෙන් දින ගණනක් තිස්සේ අනතුරු ඇඟවීම් සිදුකළ පසුව ද, ගාසා තීරය තුළට ආධාර "යාන්තමින් කාන්දුවන" බව එක්සත් ජාතීන්ගේ ඉහළම මානුෂීය නිලධාරී මාර්ටින් ග්‍රිෆිත්ස් පවසයි.

1948ට පෙර ඊශ්‍රායලය පැවැතියේ කෙසේ ද? බැල්ෆෝර් ප්‍රකාශනය යනු කුමක් ද?

ඔටෝමන් අධිරාජ්‍යය බිඳවැටීමෙන් පසු බ්‍රිතාන්‍යය, 'පලස්තීනය' ලෙස හැඳින්වෙන ප්‍රදේශයේ පාලනය අතට ගත්තේ ය. මැද පෙරදිග එම ප්‍රදේශය පළමු ලෝක යුද සමයේ දී පාලනය කළේ ඔටෝමන් අධිරාජ්‍යය යි.

එම භූමියේ යුදෙව් සුළුතරයක්, අරාබි බහුතරයක් හා අනෙකුත් කුඩා වාර්ගික කණ්ඩායම් වාසය කළහ.

මේ වාර්ගික කණ්ඩායම් දෙක අතර ආතතීන් වර්ධනයවූයේ, ජාත්‍යන්තර ප්‍රජාව විසින් යුදෙව්වන් සඳහා පලස්තීනය තුළ "ජාතික නිවහනක්" පිහිටුවීමේ කර්තව්‍යය එක්සත් රාජධානියට භාර කිරීමත් සමග ය.

එකල බ්‍රිතාන්‍යයේ විදේශ ලේකම් ආතර් බැල්ෆෝර් බ්‍රිතාන්‍යයේ යුදෙව් ප්‍රජාවට ලබාදුන් ප්‍රතිඥාවක් වන 1917 බැල්ෆෝර් ප්‍රකාශනයෙන් මෙය පැන නැගුණි.

පලස්තීනය සඳහා වූ බ්‍රිතාන්‍ය මැන්ඩේටයේ මෙම ප්‍රකාශනය අන්තර්ගතවූ අතර, 1922 දී එය අලුතින් නිර්මාණය කෙරුණු ජාතීන්ගේ ලීගය (එක්සත් ජාතීන්ගේ සංගමයේ පූර්වගාමියා) විසින් අනුමත කෙරිණි.

යුදෙව්වන්ට පලස්තීනය ඔවුන්ගේ පාරම්පරික නිවහන විය. නමුත් පලස්තීන අරාබිවරු ද භූමියට හිමිකම් කී අතර මේ පියවරට විරුද්ධවිය.

A Haganah (Jewish Underground) fighter just before the start of the Israeli War of Independence 1948

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 1948 ඊශ්‍රායල නිදහස් යුද්ධය ඇරඹීමට පෙර, හැගනහ් (සැඟවුණු යුදෙව්) සටන්කරුවෙක්

1920 ගණන් හා 1940 ගණන් අතර දී, විශේෂයෙන්ම දෙවන ලෝක යුද්ධය අතරතුරේ නාසීන්ගේ සංහාරය නිසා බොහෝ යුදෙව්වන් යුරෝපයෙන් පළායෑමත් සමග, එහි පැමිණෙන යුදෙව්වන්ගේ සංඛ්‍යාව වර්ධනය විය.

එසේම, යුදෙව්වන් හා අරාබින් අතර ප්‍රචණ්ඩත්වයත්, බ්‍රිතාන්‍ය පාලනයට එරෙහි ප්‍රචණ්ඩත්වයත් වර්ධනය විය.

1947 දී එක්සත් ජාතීන් විසින් පලස්තීනය, අරාබි හා යුදෙව් වශයෙන් රාජ්‍යයන් දෙකකට බෙදීමට ද, ජෙරුසලම ජාත්‍යන්තර නගරයක්බවට පත් කිරීමට ද ඡන්දය ලබාදුණි.

මෙම සැලසුම යුදෙව් නායකත්වය විසින් පිළිගනු ලැබූව ද අරාබි පාර්ශවයෙන් ප්‍රතික්ෂේප වූ අතර කිසිදා ක්‍රියාවට නැංවුණේ නැත.

The soldiers of allied Arab Legion forces fire on fighters of the Haganah, the Jewish Agency self-defence force, in March 1948

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 1948 මාර්තු මාසයේ දී, යුදෙව් ඒජන්සියේ ආත්මාරක්ෂක බලකාය වන හැගානහ් සටන්කරුවන්ට වෙඩි තබන මිත්‍ර අරාබි ලීජන බලකායන්හි සෙබළුන්

ඊශ්‍රායලය නිර්මාණය කෙරුණේ මන්ද? එය නිර්මාණය කෙරුණේ කෙසේ ද?

1948 දී, ගැටළුව විසඳීමට නොහැකිවූ බ්‍රිතාන්‍යය භූමියෙන් ඉවත්ව ගිය අතර යුදෙව් නායකයෝ ඊශ්‍රායල රාජ්‍යයේ නිර්මාණය ප්‍රකාශයට පත් කළහ.

එය හිංසාවන්ගෙන් පළායන යුදෙව්වන්ට ආරක්ෂිත තෝතැන්නක් මෙන්ම යුදෙව්වන් සඳහා ජාතික නිජබිමක් වනු ඇතැ යි ද අදහස් කෙරිණි.

මාස ගණනාවක් තිස්සේ, යුදෙව් හා අරාබි මිලිෂියාවන් අතර සටන් තීව්‍රවෙමින් පැවැති අතර, ඊශ්‍රායලය රාජ්‍යත්වය ප්‍රකාශයට පත්කළ දාට පසුදා අරාබි රටවල් පහක් ඊට පහර දුන්නේ ය.

1949 armistice lines

පලස්තීනුවන් ලක්ෂ ගණනක් පළායෑම හෝ ඔවුන්ගේ නිවෙස්වලින් බලහත්කාරයෙන් ඉවත්කිරීම සිදුවිය. ඔවුන් මෙය 'අල් නක්බා' හෙවත් "මහ විපත" ලෙස හඳුන්වයි.

මීළඟ වසරේ දී එම සටන්, සටන් විරාමයකින් අවසන්වන විට ඊශ්‍රායලය එහි බොහෝ භූමි ප්‍රදේශ පාලනය කළේ ය.

Israel

ජෝර්දානය, පසුව 'බටහිර ඉවුර' ලෙස ප්‍රසිද්ධවූ භූමිය අත්පත්කර ගත් අතර, ඊජිප්තුව ගාසාව අත්පත්කර ගෙන සිටියේ ය.

ජෙරුසලම, බටහිර සිටි ඊශ්‍රායල හමුදාවන් සහ නැගෙනහිර සිටි ජෝර්දාන හමුදාවන් අතර බෙදී තිබුණි.

මෙහිදී කිසිදු සාම ගිවිසුමක් ඇති නොවූ නිසාවෙන්, ඊළඟ දශක කිහිපය තුළ තව තවත් යුද්ධ සහ සටන් ඇතිවිය.

ඊශ්‍රායලයේ සිතියම

Current israel boundaries

1967 වසරේ සිදුවූ යුද්ධයක දී, ඊශ්‍රායලය නැගෙනහිර ජෙරුසලම සහ බටහිර ඉවුර ද, සිරියානු ගෝලාන් කඳුකරය ද, ගාසා තීරය සහ ඊජිප්තුවේ සීනායි අර්ධද්වීපය ද අත්පත්කර ගත්තේ ය.

බොහෝ පලස්තීන සරණාගතයින් සහ ඔවුන්ගෙන් පැවැත එන්නන් ගාසා තීරයේ සහ බටහිර ඉවුරේ ද, අසල්වැසි ජෝර්දානයේ, සිරියාවේ සහ ලෙබනනයේ ද වෙසෙයි.

ඔවුන්ට හෝ ඔවුන්ගෙන් පැවැත එන්නන්ට ආපසු ඔවුන්ගේ නිවෙස් කරා යෑමට ඊශ්‍රායලය ඉඩ දී නැත - මෙය ඔවුන්ගේ රටට මහත් බරක් ඇතිකරනු ඇතිබවත්, යුදෙව් රාජ්‍යයක් ලෙස එහි පැවැත්මට තර්ජනයක් වනබවත් ඊශ්‍රායලය පවසයි.

Israeli military commanders arrive in East Jerusalem during the Six Day War in 1967

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 1967 සය දින යුද්ධය අතරතුර නැගෙනහිර ජෙරුසලමට පැමිණෙන ඊශ්‍රායල හමුදා අණදෙන නිලධාරීන්

තවමත් බටහිර ඉවුර අත්පත්කර ගෙන සිටින ඊශ්‍රායලය, සම්පූර්ණ ජෙරුසෙලම එහි අගනුවරබව පවසන අතර, පලස්තීනුවන් නැගෙනහිර ජෙරුසලම අනාගතයේ නිර්මාණයවනු ඇති අපේක්ෂිත පලස්තීන රාජ්‍යයක අගනුවර ලෙස ප්‍රකාශ කරයි. මෙම නුවර ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගත් රටවල් අතළොස්ස අතරින් එක්සත් ජනපදය එක් රටකි.

පසුගිය වසර 50 තුළ ඊශ්‍රායලය බටහිර ඉවුරේ ද නැගෙනහිර ජෙරුසලමේ ද ජනාවාසයන් ගොඩනංවා ඇති අතර, දැන් යුදෙව්වන් 700,000කට වැඩි පිරිසක් ඒවායේ වෙසෙයි.

මෙම ජනාවාස ජාත්‍යන්තර නීතිය යටතේ නීතිවිරෝධී ලෙස සැලකෙයි - එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සහ එක්සත් රාජධානියේ රජය ඇතුළු තවත් පාර්ශවයන්හි ස්ථාවරය ද මෙය යි. නමුත් ඊශ්‍රායලය මෙය ප්‍රතික්ෂේප කරයි.

පලස්තීනුවන් වෙසෙන්නේ කොහේ ද?

Palestinians

ගාසා තීරය යනු කුමක් ද?

ගාසා තීරය යනු ඊශ්‍රායලය සහ මධ්‍යධරණී මුහුද අතර පිහිටි පටු භූමි තීරයකි. එහි දකුණෙන් ඊජිප්තුව සමග කෙටි දේශසීමාවක් වෙයි.

කිලෝමීටර් 41ක් දිගු, කිලෝමීටර් 10ක් පළල මෙහි මිලියන 2.3ක පමණ ජනතාවක් වෙසෙන අතර, ලෝකයේ ඉහළම ජනගහණ ඝනත්වයෙන් යුත් ප්‍රදේශයක් ද වෙයි.

1948-49 යුද්ධයෙන් පසු වසර 19ක් ගාසා තීරය ඊජිප්තුව විසින් අත්පත්කර ගෙන තිබුණි.

1967 යුද්ධයේ දී ගාසා තීරය අත්පත්කර ගත් ඊශ්‍රායලය 2005 දක්වා එහි රැඳී සිටි අතර, එම කාලය තුළ එහි යුදෙව් ජනාවාස ගොඩනැගීය.

2005 දී ඊශ්‍රායලය එහි හමුදාවන් සහ ජනාවාසකරුවන් එම භූමියෙන් ඉවත්කර ගත්තත්, එහි ගුවන් සීමාව, පොදු දේශසීමාවන් සහ වෙරළ තීරයේ පාලනය එය වෙත රඳවා ගත්තේ ය. මෙම භූමිය තවමත් ඊශ්‍රායලය විසින් අත්පත්කර ගෙන ඇති භූමි ප්‍රදේශයක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය සළකයි.

ගාසා තීරය පිහිටා ඇත්තේ කොහේ ද?

Gaza detailed

ඊශ්‍රායල ජාතිකයින් සහ පලස්තීනුවන් අතර පවතින ප්‍රධාන ගැටලු මොනවා ද?

දෙපාර්ශවයට එකඟතාවකට පැමිණිය නොහැකි කරුණු ගණනාවක් තිබේ.

ඊට මෙම කරුණු ද ඇතුළත් ය:

  • පලස්තීන සරණාගතයින්ට සිදුවිය යුතු දේ කුමක් ද යන්න
  • අත්පත්කර ගෙන ඇති බටහිර ඉවුරේ පිහිටි යුදෙව් ජනාවාස පැවතිය යුතු ද, නැතහොත් ඉවත් කළ යුතු ද යන්න
  • දෙපාර්ශවය විසින් ජෙරුසලම බෙදාගත යුතු ද යන්න
  • සහ - ඇතැම්විට සියල්ලටම වඩා ප්‍රවේසමෙන් කටයුතු කළ යුතු කරුණ වන - ඊශ්‍රායලය පසෙකින් පලස්තීන රාජ්‍යයක් නිර්මාණය කළ යුතු ද යන්න

මෙම ගැටලු විසඳීමට ගෙන ඇති උත්සහයන් මොනවා ද?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

1990 ගණන්වල හා 2010 ගණන්වල ඊශ්‍රායල-පලස්තීන සාම සාකච්ඡා පැවැත්වුණි. ඒ අතරතුර වරින් වර ප්‍රචණ්ඩකාරී සිදුවීම් ද සිදුවිය.

මුල් දිනවල දී පෙනෙන්නට තිබුණේ සාකච්ඡාකර සාමයක් ඇතිකළ හැකිබවකි. නෝර්වේහි දී පැවැත්වුණු රහස් සාකච්ඡා මාලාවක් ඔස්ලෝ සාම ක්‍රියාවලියබවට පත්වූ අතර, 1993 දී ධවල මන්දිර තණතිල්ල මත ජනාධිපති බිල් ක්ලින්ටන්ගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකින් එය සදාකාලිකව සංකේතවත් කෙරිණි.

ඓතිහාසික මොහොතක දී පලස්තීනුවන් ඊශ්‍රායල රාජ්‍යය පිළිගත් අතර, ඊශ්‍රායලය එහි ඓතිහාසික සතුරා වන පලස්තීන විමුක්ති සංවිධානය (PLO) පලස්තීන ජනතාවගේ එකම නියෝජිතයා ලෙස පිළිගත්තේ ය. ස්වයංපාලිත පලස්තීන අධිකාරිය පිහිටුවනු ලැබුණි.

නමුත් ඉරි තැලීම් ඇතිවීම ඇරඹුණි. එකල විපක්ෂ නායක බෙන්ජමින් නෙතන්යාහු, ඔස්ලෝ ඊශ්‍රායලයට මරණීය තර්ජනයක් ලෙස හැඳින්වීය. ඊශ්‍රායල ජාතිකයින්, අත්පත්කර ගත් පලස්තීන ප්‍රදේශවල යුදෙව්වන් පදිංචි කිරීමේ ඔවුන්ගේ ව්‍යාපෘති වඩාත් වේගවත් කළේ ය. ඒ ආසන්නයේ දී මතුවූ පලස්තීන සටන්කාමී හමාස් සංවිධානය ඊශ්‍රායලයේ ජනයා මරාදැමීමටත්, ගිවිසුමකට එළඹීමේ අවස්ථාව අඩාල කිරීමටත් මරාගෙන මැරෙන බෝම්බකරුවන් යැවීය.

Peace seemed possible in the early 1990s when the Oslo accords were signed

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, 1990 ගණන්වල මුල්භාගයේ දී ඔස්ලෝ ගිවිසුම් අත්සන් කරන විට සාමය ඇතිවිය හැකිබව පෙනෙන්නට තිබුණි

ඊශ්‍රායලයේ වාතාවරණය නරක අතට හැරුණි. 1995 නොවැම්බර් සිව්වැනි දා යුදෙව් අන්තවාදියෙකු විසින් ඊශ්‍රායල අගමැති යිට්සාක් රබින් ඝාතනයවීමෙන් මෙය මස්තකප්‍රාප්තියට පැමිණියේ ය.

2000 ගණන්වල දී සාම ක්‍රියාවලිය යළි පණගැන්වීමේ උත්සාහයන් විය. මෙයට, 2003 දී ලෝක බලවතුන් විසින් ද්විරාජ්‍ය විසඳුමක් අවසාන ඉලක්කය ලෙස සළකමින් උපායමාර්ගයක් නිර්මාණය කිරීම ද ඇතුළත් විය. නමුත් මෙය කිසිදා ක්‍රියාවට නොනැංවිණි.

2014 වසරේ වොෂින්ටනයේ දී ඊශ්‍රායල ජාතිකයින් සහ පලස්තීනුවන් අතර පැවති සාකච්ඡාවන් අසාර්ථකවූ විට, අවසානයේ දී සාම ප්‍රයත්නයන් ද නැවතුණි.

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිධුරයේ සිටිය දී එක්සත් ජනපදය විසින් සකස් කෙරුණු නවතම සාම සැලැසුම අගමැති නෙතන්යාහු විසින් "සියවසේ ගනුදෙනුව" ලෙස හඳුන්වනු ලැබූව ද, එය ඒකපාර්ශ්වික සැලැස්මකැ යි කියමින් පලස්තීනුවන් විසින් ප්‍රතික්ෂේප කෙරුණු අතර කිසි විටෙකත් ක්‍රියාවට නොනැංවිණි.

ඊශ්‍රායලය සහ ගාසාව අතර දැන් යුද්ධයක් පවතින්නේ ඇයි?

Palestine banner and Israel flag

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ගාසාව පාලනය කරන්නේ, ඊශ්‍රායලය විනාශ කිරීමට කැපවී සිටින ඉස්ලාමීය කණ්ඩායමක් වන හමාස් සංවිධානය යි. එය එක්සත් රාජධානිය ඇතුළු තවත් රටවල් විසින් ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස නම්කර ඇත.

2006 දී හමාස් පලස්තීනුවන්ගේ අවසන් මැතිවරණයෙන් ජයග්‍රහණය කළ අතර, ඊළඟ වසරේ දී, බටහිර ඉවුර පදනම්කර ගත් ජනපති මහමුද් අබ්බාස්ගේ ප්‍රතිවාදී ෆාටා ව්‍යාපාරය නෙරපා හැරීමෙන් ගාසා තීරයේ පාලනය ලබාගත්තේ ය.

එතැන් සිට ගාසාහි සටන්කාමීන් ඊශ්‍රායලය සමග යුද්ධ කීපයකට සටන් වැදී ඇත. හමාස් සංවිධානය හුදෙකලා කිරීමට සහ ප්‍රහාරයන් - විශේෂයෙන්ම ඊශ්‍රායල නගර දෙසට වගවිභාගයක් නැතිව රොකට් ප්‍රහාර එල්ල කිරීම - නැවැත්වීමේ උත්සාහයක් ලෙස ඊශ්‍රායලය ඊජිප්තුව හා එක්ව ගාසා තීරයේ අර්ධ අවහිරයක් පවත්වා ගෙනගොස් තිබේ.

ඊශ්‍රායලයේ සීමා කිරීම් ද, දැඩි ජනාකීර්ණ ප්‍රදේශවලට ඊශ්‍රායලය එල්ල කරන ගුවන් ප්‍රහාර ද සාමූහික දඬුවමක්බව ගාසාහි පලස්තීනුවන් පවසයි.

අත්පත්කර ගත් බටහිර ඉවුරේ සහ නැගෙනහිර ජෙරුසලමේ පලස්තීනුවන් සඳහා මෙතෙක් වාර්තා වූ මාරාන්තිකම වසර මෙවසර යි. ඊශ්‍රායල ජාතිකයන් වෙත එල්ල කරන මාරාන්තික ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ගාසාව තුළ සීමා කිරීම් හා හමුදා ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද ඔවුහු පැමිණිලි කරති.

මෙම ආතතීන් ද, හමාස්හි නවතම ප්‍රහාරයට එක් හේතුවක් වන්නට ඇත.

එහෙත් සාමාන්‍ය පලස්තීනුවන් අතර ඔවුන්ගේ ජනප්‍රියත්වය ඉහළ නංවා ගැනීමට සටන්කාමීන් උත්සාහ කරමින් සිටියා විය හැකි ය. මීට, ඊශ්‍රායල බන්ධනාගාරවල සිටින ඇස්තමේන්තුගත පලස්තීනුවන් 4,500න් ඇතැමෙකු නිදහස්කර ගැනීමට ප්‍රාණ ඇපකරුවන් යොදාගනිමින් ඊශ්‍රායලයට බලපෑම් කිරීම ද ඇතුළත් ය.

ඊශ්‍රායල-ගාසා යුද්ධය පිළිබඳ වැඩි විස්තර

වත්මන් අර්බුදයේදී ඊශ්‍රායලයට සහාය දක්වන්නේ කවුද? සහය නොදක්වන්නේ කවුද?

එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ තවත් බටහිර රටවල් සියල්ලම ඊශ්‍රායලයට එල්ලවූ හමාස් ප්‍රහාරය හෙළා දැක ඇත.

ඊශ්‍රායලයේ සමීපතම සගයා වන එක්සත් ජනපදය, වසර ගණනාවක් තිස්සේ මේ යුදෙව් රාජ්‍යයට ඩොලර් බිලියන 260කට වැඩි හමුදාමය හා ආර්ථික ආධාර ලබාදී ඇති අතර, ගුවන් ආරක්ෂක මිසයිල, නියෙමු බෝම්බ සහ උණ්ඩ වැනි තවත් අමතර උපකරණ ලබාදීමට ද පොරොන්දු වී ඇත.

එය ඊශ්‍රායලයේ සතුරන්, විශේෂයෙන් ලෙබනනයේ හිස්බුල්ලා ව්‍යාපාරය දෙවැනි යුද පෙරමුණක් විවෘත කිරීමෙන් වළක්වාලීම සඳහා, නැගෙනහිර මධ්‍යධරණී මුහුද වෙත ගුවන් යානා ප්‍රවාහක ප්‍රහාරක කණ්ඩායම් දෙකක් ද යවා තිබේ.

රුසියාව සහ චීනය හමාස් හෙළා දැකීම ප්‍රතික්ෂේපකර ඇති අතර, ඔවුන් ගැටුමේ දෙපාර්ශවයම සමග සබඳතා පවත්වනබව කියයි. මැදපෙරදිග සාමයක් නොමැතිවීම සම්බන්ධයෙන් රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් එක්සත් ජනපද ප්‍රතිපත්තිවලට දොස් පවරා ඇත.

ඊශ්‍රායලයේ පරම සතුරා වන ඉරානය හමාස්හි මෙන්ම හිස්බුල්ලා සංවිධානයේ ද ප්‍රධාන ආධාරකරුවෙකි. හමාස් ප්‍රහාරයෙන් පසු, හිස්බුල්ලා සටන්කාමීන් දිනපතාම පාහේ ඊශ්‍රායල බලකායන් සමග වෙඩි හුවමාරුවල නිරතවෙමින් සිටියි.

හමාස් ප්‍රහාරයට දින ගණනකට පෙර ඉරානය එය අනුමත කරන ලදබවට වාර්තා පළවීමෙන් පසු, ප්‍රහාරය සම්බන්ධයෙන් ඉරානයේ ක්‍රියාකලාපය පිළිබඳව ප්‍රශ්න ඉදිරිපත්වී තිබේ. කෙසේ නමුත්, ඉරාන රජය මීට එහි කිසිදු සම්බන්ධයක් ඇතිබව ප්‍රතික්ෂේපකර තිබේ.