හමාස් සංවිධානය යනු කුමක් ද? ඊශ්‍රායලයේ සිදුවන්නේ කුමක් ද?

පලස්තීන සටන්කාමී කණ්ඩායමක් වන හමාස් ඊශ්‍රායලයට පෙර නොවූ විරූ ආකාරයේ ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, එහි සාමාජිකයින් ගාසා තීරය අසල ගම්මානවලට ඇතුළු වී ප්‍රදේශවාසීන් මරා දමා තවත් පිරිස් ප්‍රාණ ඇපයට ගෙන තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

පලස්තීන සටන්කාමී කණ්ඩායමක් වන හමාස් ඊශ්‍රායලයට පෙර නොවූ විරූ ආකාරයේ ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, එහි සාමාජිකයින් ගාසා තීරය අසල ගම්මානවලට ඇතුළු වී ප්‍රදේශවාසීන් මරා දමා තවත් පිරිස් ප්‍රාණ ඇපයට ගෙන තිබේ.

මේ, ඔබ ඊට සම්බන්ධ පුද්ගලයන් සහ ස්ථාන ගැන දැන ගත යුතු දේ මෙන් ම, මෙම සිදුවීම් දාමය තේරුම් ගැනීමට අත්‍යවශ්‍ය කරුණු ය.

Palestinian boy react in front of car

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, පලස්තීන දරුවෙකු සෙනසුරාදා සටන්කාමීන් විසින් පැහැරගෙන ගාසා තීරයට ගෙනගිය ගිනිගත් ඊශ්‍රායල මෝටර් රථයක් ඉදිරිපිට ප්‍රතිචාර දක්වයි

හමාස් යනු කුමක් ද?

හමාස් යනු, ගාසා තීරය පාලනය කරන පලස්තීන ඉස්ලාමීය සටන්කාමී කණ්ඩායමකි. හමාස් ඊශ්‍රායලය විනාශ කරන බවට දිවුරුම් දී ඇති අතර 2007 වසරේ දී ගාසා තීරයේ බලය අත්පත් කර ගත් දා සිට ඊශ්‍රායලය සමග අවස්ථා කිහිපයකදී යුද වැදී ඇත.

එම යුද්ධ අතරතුරේ දී එම සංවිධානය ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර දහස් ගණනක් එල්ල කර හෝ වෙනත් කණ්ඩායම්වලට එසේ කිරීමට ඉඩ දී ඇති අතර, වෙනත් මාරාන්තික ප්‍රහාර ද එල්ල කර ඇත. ඊශ්‍රායලය හමාස් වෙත නැවත නැවතත් ගුවන් ප්‍රහාර එල්ල කර ඇති අතර, ඊජිප්තුව සමග එක්ව, එහි ආරක්ෂාව සඳහායැ යි පවසමින් 2007 සිට ගාසා තීරය අවහිර කර තිබේ.

සමස්තයක් ලෙස හමාස් සංවිධානය, හෝ ඇතැම් අවස්ථාවල එහි සන්නද්ධ අංශය, ඊශ්‍රායලය, එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ එක්සත් රාජධානිය මෙන් ම අනෙකුත් බලවතුන් විසින් ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස නම් කරනු ලැබ ඇත.

ගාසා තීරය යනු කුමක් ද?

ගාසා තීරය යනු ඊශ්‍රායලය, ඊජිප්තුව සහ මධ්‍යධරණී මුහුද අතර පිහිටි කිලෝමීටර 41ක් දිග, කිලෝමීටර 10ක් පළල භූමි ප්‍රදේශයකි. එහි මිලියන 2.3ක පමණ ජනතාවක් වෙසෙන අතර එය ලෝකයේ ඉහළ ම ජනගහණ ඝනත්වයක් ඇති ප්‍රදේශවලින් එකකි.

ඊශ්‍රායලය ගාසා තීරයේ වෙරළ තීරය සහ ගුවන් අවකාශය පාලනය කරන අතර එහි දේශසීමා හරහා ඇතුළුවීමට සහ පිටතට යාමට අවසර දෙන්නේ කාට ද සහ මොනවාට ද යන්න සීමා කරයි. ඒ හා සමානව, ඊජිප්තුව ගාසා තීරයේ මායිම හරහා ඇතුළු වන සහ පිටවන පිරිස් පාලනය කරයි.

Population of Ghaza
ඡායාරූප ශීර්ෂ වැකිය, එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව ගාසා තීරයේ ජනගහණයෙන් 80%ක් පමණ ජාත්‍යන්තර ආධාර මත යැපෙන අතර, මිලියනයක පමණ ජනතාවක් දෛනිකව ආහාර ආධාර මත යැපෙති

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය සටන් කරන්නේ ඇයි?

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර නිරන්තරයෙන් ආතතියම තත්වයක් පැවතුණ ද සෙනසුරාදා එම සටන්කාමීන් එල්ල කළ ප්‍රහාරය අනතුරු ඇඟවීමකින් තොරව සිදුවිය. හමාස් සංවිධානය ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර දහස් ගණනක් එල්ල කළ අතර සටන්කාමීහු විශාල ගණනක් දේශසීමා හරහා අනවසරයෙන් ඇතුළු වී ඊශ්‍රායල ගම්මාන ආක්‍රමණය කර සිවිල් වැසියන් රැසක් මරා දමා තවත් පිරිසක් ඔවුන්ගේ ග්‍රහණයට නතු කර ගත්හ.

ගාසා තීරයේ සටන්කාමීන්ගේ කඳවුරු ඉලක්කකර ගත් බව පවසමින් ඊශ්‍රායලය වහා ගුවන් ප්‍රහාර දියත් කළේ ය.

මෙය කුමනාකාරයේ ප්‍රහාරයක් ද?

අපගේ ජාත්‍යන්තර පුවත් කර්තෘ ජෙරමි ජෙරමි බෝවන් සඳහන් කරන පරිදි, මෙය හමාස් සංවිධානය මෙතෙක් ගාසා තීරයෙන් දියත්කර ඇති වඩා ත් ම අභියෝගත්මක ම මෙහෙයුම වන අතර ඊශ්‍රායලය වසර 30කට අධික කාලයකට පමණ පසු මුහුණ දුන් දරුණුතම දේශසීමා ප්‍රහාරය වේ.

සටන්කාමීහු ගාසා තීරය ඊශ්‍රායලයෙන් වෙන් කෙරන කම්බි වැට ස්ථාන කිහිපයක දී සිදුරු කළහ.

මෙම පෙර නොවූ විරූ ප්‍රහාරය එල්ල වූයේ, දරුණු මැද පෙරදිග යුද්ධයකට මඟ විවර කරමින් ඊජිප්තුව සහ සිරියාව විසින් 1973 වසරේ දී එල්ල කරන ලද ප්‍රබල ප්‍රහාරයේ 50 වන සංවත්සරයෙන් දිනකට පසුව ය. හමාස් නායකත්වයට එම දිනයේ වැදගත්කම මඟහැරුණා විය නොහැක.

මෙය ඊශ්‍රායල බුද්ධි අංශවල දරුණු පසුබෑමක් ද?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

එය එසේබව, අපේ ආරක්ෂක වාර්තාකරු ෆ්‍රෑන්ක් ගාඩ්නර් පවසයි. ඊශ්‍රායල් අභ්‍යන්තර ඔත්තු සේවා ආයතනය වන ෂින් බෙට්, එරට බාහිර ඔත්තු ඒජන්සිය වන මොසාඩ් සහ ඊශ්‍රායල ආරක්ෂක හමුදාව සතු සියලු සම්පත් ඒකාබද්ධ කර ගෙන දරන ලද ප්‍රයත්නයන් තිබියදීත්, එම ප්‍රහාරය එල්ල වන බව කිසිවෙකුත් නොදැන සිටීම හෝ අනතුරු ඇඟවීමක් තිබියදීත් ඒ පිළිබඳව ක්‍රියා කිරීමට අපොහොසත් වීම අවංකව ම විශ්මයජනක බව ඔහු පවසයි.

පලස්තීන සටන්කාමී කණ්ඩායම් තුළ මෙන් ම ලෙබනනයේ, සිරියාවේ සහ වෙනත් තැන්වල තොරතුරු සපයන්නන් සහ නියෝජිතයන් සිටින ඊශ්‍රායලයට මැද පෙරදිග වඩා ත් ම පුළුල් සහ වැඩි වශයෙන් අරමුදල් සැපයෙන බුද්ධි සේවා ඇතැ යි පැවසේ.

බිම් මට්ටමින්, ගාසා සහ ඊශ්‍රායලය අතර නොසන්සුන් දේශසීමා වැට දිගේ කැමරා, භූ-චලන සංවේදක සහ සාමාන්‍ය හමුදා මුර සංචාර යොදවා ඇත.

මෙම ප්‍රහාරයේ දී සිදුවී ඇති අනවසර ඇතුළුවීම් නිශ්චිතව ම වැළැක්වීමට ඉහළින් කටු කම්බි යොදා ඇති වැට "ස්මාර්ට් බාධකයක්" විය යුතුව තිබිණි. එහෙත් හමාස් සටන්කාමීහු එය ඩෝසර් කර, කම්බිවල සිදුරු සාදා හෝ මුහුදෙන් සහ පැරාග්ලයිඩර යොදා ගනිමින් ඊශ්‍රායලයට ඇතුළු වූහ.

පලස්තීනය යනු කුමක් ද? ඔවුන්ට මෙම සිදුවීම් සමග ඇති සම්බන්ධය කුමක් ද?

පලස්තීන භූමි ප්‍රදේශ ලෙස හඳුන්වන වෙස්ට් බෑන්ක් සහ ගාසා තීරය මෙන් ම නැගෙනහිර ජෙරුසලම සහ ඊශ්‍රායලය යන සියල්ල ම රෝම යුගයේ සිට 'පලස්තීනය' ලෙස හැඳින්වූ භූමියේ කොටසක් විය.

බයිබලයේ විස්තර කරන පරිදි මේවා ද යුදෙව් රාජධානිවලට අයත් භූමි ප්‍රදේශ වූ අතර එය යුදෙව්වෝ ඔවුන්ගේ පැරණි නිජබිම ලෙස සලකති.

ඊශ්‍රායලයේ පැවැත්මට ඇති අයිතිය පිළිනොගන්නා අය විසින් එම භූමිය තවමත් පලස්තීනය ලෙස හඳුන්වනු ලැබුව ද, ඊශ්‍රායලය 1948 වසරේ දී රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. පලස්තීනුවන් බටහිර ඉවුර, ගාසා තීරය සහ නැගෙනහිර ජෙරුසලම සඳහා පොදු වචනයක් ලෙස 'පලස්තීනය' යන නම භාවිතා කරයි.

ඊළඟට කුමක් සිදුවිය හැකි ද?

හමාස් සටන්කාමී අණදෙන නිලධාරි මොහොමඩ් ඩීෆ්, "[ඊශ්‍රායල්] පාලනය අතුගා දැමීමේ" සටන්කාමීන්ගේ මෙහෙයුමට සම්බන්ධ වන ලෙස පලස්තීනුවන්ගෙන් සහ අනෙකුත් අරාබි වැසියන්ගෙන් ඉල්ලා සිටියේ ය.

බටහිර ඉවුරේ සහ නැගෙනහිර ජෙරුසලමේ හෝ කලාපයේ වෙනත් ප්‍රදේශවල වෙසෙන පලස්තීනුවන් ඔහුගේ ඉල්ලීමට අවනත වන්නේ ද යන්න දැන් විශාල ප්‍රශ්නයක් බව අපගේ ජෙරුසලමේ වාර්තාකරු යොලන්ඩ් ක්නෙල් පවසයි.

ඊශ්‍රායලය නිසැකව ම පැති කිහිපයක් ඔස්සේ සිදු විය හැකි යුද්ධ අවදානමක සිටියි. නරක ම අවස්ථාවක් විය හැක්කේ, බලවත් ලෙබනන් සටන්කාමී කණ්ඩායමක් වන හිස්බුල්ලා ඒ වෙත ඇදී ඒම ය.

මෙහෙයුම් සඳහා යොදවා ඇති හමුදා සාමාජිකයින් ගණන වැඩි කරන්නැ යි ඊශ්‍රායලය නියෝගකර ඇත. ගාසා තීරයට එල්ල කරන දැඩි ගුවන් ප්‍රහාර ද සමග ඔවුන් ඉඟිකර ඇත්තේ, බිම් මට්ටමේ යම් මෙහෙයුමක් සැලසුම් කරමින් සිටින බව ය.