පෞද්ගලික වාණිජ බැංකු 4ක නිලධාරීන් සිව්දෙනා රිමාන්ඩ් කළ නඩුවේදී හෙළි වූ කරුණු

- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 4
ශ්‍රී ලංකාවට භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියනයක මුදලක් වංචාසහගත අන්දමින් රටින් පිට කිරීම සඳහා ආධාර අනුබල දෙන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද වාණිජ බැංකු හතරක නිලධාරීන් සිව්දෙනකු අගෝස්තු 20 වන දා දක්වා රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුසවිතාන අගෝ. 17 නියම කළේ ය.
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් සමග පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඔස්වල්ඩ් ලක්ෂ්මන් පෙරේරා කළ ඉල්ලීමක් පිළිගනිමින් සැකකරුවන් රිමාන්ඞ් භාරයේ රඳවා තැබීමට මහේස්ත්‍රාත්වරයා නියම කළේ ය.
මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කරන ලද්දේ, සෙලාන් බැංකුවේ (Seylan Bank) ශිරාන් මාරියෝ පෙරේරා, යුනියන් බැංකුවේ (Union Bank) ධර්මලිංගම් ප්‍රසාන්ත් යන කළමනාකාරවරුන් සහ NDB බැංකුවේ අමිල උදාර ලියනමාන්න සහ සම්පත් බැංකුවේ (Sampath Bank) උමේශ් රන්දික යන කනිෂ්ඨ බැංකු නිලධාරීන් ය.
අධිකරණයේදී හෙළි වූ කරුණු
සිද්ධියට අදාළව කරනු ලැබූ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන්න වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කළ කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීහු ශ්‍රී ලංකාවට භාණ්ඩ ආනයනය කිරීම සඳහා ඩොලර් විදේශ රටවලට යැවීමට බැංකුවලට පහසුකම් සලසා දී ඇතැයි පෙන්වා දුන්හ.
එලෙස සලසා ඇති පහසුකම අවභාවිත කරමින් ශ්‍රී ලංකාවට කිසිදු භාණ්ඩයක් ආනයනය නොකර රටේ සංචිත වශයෙන් ඇති ඇමෙරිකානු ඩොලර් රටින් පිට කරන බවට ලද පැමිණිල්ලකට අනුව මෙම සිද්ධියට අදාළ විමර්ශනය ආරම්භ කළ බව දැනුම් දුන් ජ්‍යෙෂ්ඨ නීතිඥ ඔස්වල්ඩ් ලක්ෂ්මන් පෙරේරා, සිද්ධියට අදාළව කළ මූලික විමර්ශනවලදී සැකකරුවන් ශ්‍රී ලංකාවට කිසිදු භාණ්ඩයක් ආනයනය නොකර, කොටුව ප්‍රදේශයේ පිහිටි මුදල් හුවමාරු කිරීමේ ආයතනයක් හරහා ඇමෙරිකානු ඩොලර් බිලියනයක මුදලක් විදේශ රටවලට යවා ඇති බව හෙළි වූයේ යැයි දැනුම් දුන්නේ ය.
ඔහු තවදුරටත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, ව්‍යාපාරිකයෙකු වන ජෙෆ්රි මොහොමඩ් නමැත්තා පුද්ගලයින් අට දෙනකුගේ නම් ඇතුළු ව්‍යාජ දත්ත ලබා දෙමින් ආයතන 36ක් පිහිටුවා තිබූ බවත් එම ව්‍යාජ සමාගම් 36 හරහා ඇමෙරිකානු ඩොලර් බිලියනයකට අධික මුදලක් අවස්ථා 199කදී ටෙලිග්‍රැෆික් ට්‍රාන්සර් මගින් විදේශගත කර සැකකරුවන් සේවය කළ බැංකුවලට සහ රජයට පාඩු කර ඇති බව ය.
එමෙන් ම මූල්‍යමය අර්බුදයක ගිලී සිටින ශ්‍රී ලංකාව ඉන් ගොඩ ඒමට උත්සහ දරන අවස්ථාවක සැකකරුවන් රටට මෙම විශාල අපරාධය කර ඇති බව ද ඔහු පැවසීය.
ඔහු පෙන්වා දුන්නේ, මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් කරන බවට චෝදනා ලැබ සිටින ජෙෆ්රි මොහොමඩ් නමැත්තා සමග එක්ව සැකකරුවන් තමන් සේවය කරන බැංකුවේ විශ්වාසය ද කර ඇති බවත් ඔවුන් සම්බන්ධයෙන් සංකීර්ණ හා සංවේදී පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් ය.
තව ද සැකකරුවන් සෑම සිකුරාදා දිනක ම ජෙෆ්රි මොහොමඩ් නමැත්තා හමුවී ඩොලර් විදේශගත කරවන ආකාරය පිළිබඳ සාකච්ඡා කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි ද ජ්‍යෙෂ්ඨ නීතිඥ ඔස්වල්ඩ් ලක්ෂ්මන් පෙරේරා අධිකරණය හමුවේ පැවසීය.
සැකකරුවන් වෙන වෙන ම පෞද්ගලික ගිණුම් විවෘත කර ජෙෆ්රි මොහොමඩ් නමැත්තාගෙන් ලැබෙන ප්‍රතිලාභ අදාළ ගිණුම්වල තැන්පත් කරවාගෙන ඇති අතර පනස්දහස, හැත්තෑදහස්, ලක්ෂය, ලක්ෂ තුන වැනි මුදල් ඔවුන්ගේ බැංකු ගිණුම්වල තැන්පත් කරගෙන ඇති බව මූලික විමර්ශනවලදී හෙළිවී ඇතැයි කී ඔස්වල්ඩ් පෙරේරා, අයථා අන්දමින් මුදල් උපයා ගැනීමේ සිද්ධි සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇතැයි ද පැවසීය.
ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
සැකකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස්, ජනාධිපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස ඇතුළු නීතිඥ මණ්ඩලයක් කරුණු දක්වමින් ඉල්ලා සිටියේ සිය සේවාදායකයින්ට ඕනෑ ම කොන්දේසියක් යටතේ ඇප ලබාදෙන ලෙස ය.
බැංකු ශාඛාවක කළමනාකරුවන්ට මහා පරිමාණ වංචාවක් තනිව ම කළ නොහැකි බවත් පැමිණිල්ලෙන් පවසන අන්දමට තම සේවාදායකයින් හමුවට පැමිණෙන පුද්ගලයින්ට සමාගම් තිබෙනවා ද භාණ්ඩ ආනයනය කළේ ද යන්න පිළිබඳව සොයා බැලීමේ ප්‍රායෝගික හැකියාවක් නොමැති බවත් පෙන්වා දුන් නීතිඥවරු
රජයේ බැංකු මෙන් නොව වාණිජ බැංකු ගනුදෙනුකරු වෙතට ගොස් නම්‍යශීලී ක්‍රමයක් අනුගමනය කරන බව ද පෙන්වා දුන්හ.
මෙම තත්ත්වය යටතේ තම සේවාදායකයෙන් රිමාන්ඩ් භාරයට පත් නොකරන ලෙසත් තම සේවාදායකයන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා ඇප පනත අනුව ඇප ලබා දිය හැකි ඒවා බවත් පෙන්වා දුන් නීතිඥවරු, ඕනෑ ම කොන්දේසියක් යටතේ තම සේවාදායකයින්ට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියහ.
දෙපාර්ශවයේ කරුණු සලකා බැලීමෙන් අනතුරුව සැකකරුවන් අගෝස්තු 21 වන දා දක්වා රිමාන්ඩ් භාරයට පත් කළ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළව කරන විමර්ශනවල ප්‍රගතිය එදින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද පොලිසියට නියම කළේ ය.


































