ඊශ්‍රායලය: අගමැති නෙතන්යාහුට එරෙහිව දසදහස් ගණනක් ජනයා වීදි බසියි.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සිය ආරක්ෂක අමාත්‍යවරයා තනතුරෙන් නෙරපා හැරීමත් සමග, එරට පුරා දසදහස් ගණනක් ජනයා වීදිබැස සිටිති.
නෙරපා හැරුණු ආරක්ෂක ඇමැති යොආව් ගලාන්ට්, එරට අධිකරණ පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ මතභේදාත්මක සැලසුම්වලට එරෙහිව කතාකර තිබුණි.
ජෙරුසලමේ, නෙතන්යාහුගේ නිවෙස අසල විරෝධය දක්වමින් සිටි ජනයාට එරෙහිව පොලිසිය සහ හමුදා භටයින් ජල ප්‍රහාර එල්ල කළේ ය.
සඳුදා (මාර්තු 27) උදෑසන ඊශ්‍රායල ජනාධිපති ඉසාක් හෙර්සොග් එම ප්‍රතිසංස්කරණයන් නවතන්නැ යි රජයෙන් ඉල්ලා සිටියේ ය.
"ඊශ්‍රායලයේ මිනිස්සුන්ගේ එකමුතුකමේ නාමයෙන්, වගකීමේ නාමයෙන්, ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය වහාම නවත්වන්න කියලා මම ඔබෙන් ඉල්ලා සිටිනවා,"යි ට්විටර් පණිවුඩයක් නිකුත්කළ ඔහු, "ඊශ්‍රායලයේ සියලු ජනතාවගේ ඇස් තියෙන්නේ ඔබ දෙසට එල්ලවෙලා,"යි ද පැවසීය.
නව නීතියට එරෙහිව පැවැත්වෙන විරෝධතා සතියක් දැනටමත් සැලසුම්කර තිබේ.
මෙම ප්‍රතිසංස්කරණයන්ට, විනිසුරුවරුන් පත්කරන කමිටුව කෙරෙහි ඊශ්‍රායල රජය වෙත තීරණාත්මක පාලන බලයක් ලබාදෙන සැලසුම් ද ඇතුළත් ය.
එසේම, තනතුරට නුසුදුසුයැ යි සැලකෙන නායකයෙකු ඉවත් කිරීම ද අධිකරණයට අපහසු වනු ඇත. මෙම ප්‍රතිසංස්කරණයන් හඳුන්වා දී ඇත්තේ, දැනටත් දූෂණය සම්බන්ධ නඩු විභාගයකට මුහුණදෙමින් සිටින වත්මන් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ අවශ්‍යතා සඳහායැ යි සලකන බොහෝදෙනා කෝපයට පත්ව සිටිති.
එනමුත් නෙතන්යාහු පවසන්නේ මෙම ප්‍රතිසංස්කරණ සැලසුම්කර ඇත්තේ අධිකරණ සිය බලතල ඉක්මවායාම වැළක්වීමට බව ය. පසුගිය මැතිවරණයේ දී මහජනතාව ඒවාට ඡන්දය දුන්බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
2021 වසරේ අප්‍රේල් පස්වන දා සාක්ෂිකරුවන්ගේ සාක්ෂි විමසීම ආරම්භ වූ දා පටන්, ඊශ්‍රායල අගමැති නෙතන්යාහු නඩු තුනක් සම්බන්ධයෙන් අල්ලස්, වංචා සහ විශ්වාසය කඩ කිරීමේ චෝදනාවලට මුහුණදී සිටියි.
තමා කිසිදු වරදක් කළබව ප්‍රතික්ෂේප කරන ඔහු, තමා "මායාකාරියන් දඩයමක" ගොදුරක්බව කියා සිටියි.
ඊශ්‍රායලයේ මැතිවරණය දෙවන වරටත් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව, අධිකරණ ප්‍රතිසංස්කරණ සැලැස්මක් ගෙනඒමට නෙතන්යාහු තීරණය කළේ ය.
නමුත්, මහමඟට බැස සිටින විරෝධතාකරුවන් මෙය හඳුන්වන්නේ, නෙතන්යාහුගේ අගමැති ධුරකාලය අවසන්කර දැමීමට ඉඩ ඇති අධිකරණ තීන්දුවකින් ආරක්ෂාවීමේ තැතක් ලෙසනි.
ඊශ්‍රායල කොඩි ඔසවාගෙන, හට්ටි වළං නාද කරමින් නෙතන්යාහුගේ නිවෙස ඉදිරියට රැස්ව සිටි විරෝධතාකරුවෝ අනතුරුව පොලිස් බලකායන් මඟහරිමින් ඊශ්‍රායලයේ පාර්ලිමේන්තුව වූ කෙනෙසෙට් ඉදිරියේ රැස්වූහ.
එක් රජයේ සේවිකාවක බීබීසීයට පැවසුවේ නෙතන්යාහු "ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් විදියට අපට තිබ්බ හැම සීමාවක්ම පැන්නා," යනුවෙනි.
"අපි අපට ඉතිරිවෙලා තියෙන ප්‍රජාතන්ත්‍රවාදයේ අවසන් බිංදුව ආරක්ෂා කරනවා. මට මේ විදියට නින්දට යන්න බෑ. මේ උන්මත්තකභාවය නවත්වනකල් මට කිසි දෙයක් කරන්න බැහැ," ඇය පැවසුවා ය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
කොඩි ලෙළවමින් සිටි විරෝධතාකරුවන් පැය දෙකකට වැඩි කාලයක් ටෙල් අවිව්හි ප්‍රධාන මහා මාර්ගයක් අවහිර කළ අතර, පොලිසිය සහ ජල ප්‍රහාරයන් විසින් ඔවුන් පළවා හරිනු ලැබීය.
ඊශ්‍රායල රජයේ අධිකරණ ප්‍රතිසංස්කරණවලට එරෙහිව වෘත්තීය සමිති විසින් රටපුරා පවත්වන විරෝධතාවල කොටසක් ලෙස, ටෙල් අවිව්හි බෙන් ගූයන් ගුවන් තොටුපළේ විගමන කටයුතු අත්හිටුවා ඇත. එරට ප්‍රධාන වරායන් ද්විත්වය වන හයිෆා සහ ආශ්දොද්හි කටයුතු ද ඇණහිට තිබේ.
'හිස්තදෘත්' කම්කරු සංගමයේ ප්‍රධානී ආනොන් බාර්-ඩවීඩ් විසින් සඳුදා උදෑසන මහා වැඩ වර්ජනයක් කැඳවීය. තව තවත් වෘත්තීය සමිති විරෝධතාවන්ට එක්වෙමින් සිටිනබවට අපට වාර්තාවී තිබේ.
ආණ්ඩුවට එරෙහිව පෙර නොවූ විරූ විරෝධතාවක් ලෙස, මාර්තු මස මුල දී ඊශ්‍රායලයේ ප්‍රභූ ගුවන් හමුදා බලගණයක ප්‍රහාරක ගුවන් නියමුවෝ පුහුණු සඳහා සහභාගී නොවන බවට ප්‍රතිඥා දුන්හ.
පසුව ඔවුන් සිය අණදෙන නිලධාරීන් සමග සාකච්ඡා කිරීමටත්, පුහුණුවට යෑමටත් එකඟවිය.
නෙතන්යාහු විසින් නෙරපා හැරුණු ඇමැති ගලාන්ට් හිටපු සොල්දාදුවෙකි. සෙනසුරාදා (මාර්තු 25) දා යෝජිත නීතීන්ට එරෙහිව අදහස් පළකළ ඔහු පැවසුවේ ඊශ්‍රායල ආරක්ෂක හමුදා සාමාජිකයින් කෝපයට හා කලකිරීමට පත්ව සිටිනබව යි.
ගලාන්ට් රූපවාහිනීයෙන් මෙම අදහස් ප්‍රකාශ කළ අවස්ථාවේ ඊශ්‍රායලයෙන් පිටව සිටි නෙතන්යාහු, ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ගලාන්ට් කෙරෙහි ඔහුට තවදුරටත් විශ්වාසයක් නැතැ යි ප්‍රකාශ කළේ ය.
අගමැතිවරයා මෙසතිය අවසන් වන විට පාර්ලිමේන්තුව හරහා නව නීති සම්මත කරවා ගැනීමේ අවශ්‍යතාවෙන් පසුවෙයි.
දේශපාලඥයින් දෙදෙනාම එකම ලිකුද් පක්ෂයේ සාමාජිකයින් වන අතර ආරක්ෂක අමාත්‍යවරයා එහි ඇතැම් සාමාජිකයින්ගේ සහාය දිනා සිටියි. අන්ත දක්ෂිණාංශික අනෙකුන් ඔහුට තනතුරෙන් ඉවත්ව යන ලෙස ඉල්ලා සිටියේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
තනතුරෙන් නෙරපා හැරීමෙන් පසු ගලාන්ට් ටුවිටර් ඔස්සේ මෙසේ ප්‍රකාශ කළේ ය: "ඊශ්‍රායල රාජ්‍යයේ ආරක්ෂාව කවදත්, ඉදිරියටත් මගේ ජීවන මෙහෙවර වෙනවා."
ඊශ්‍රායලයේ විපක්ෂ නායක යයිර් ලපිද්, ගලාන්ට් තනතුරෙන් පහකිරීම විස්තර කළේ රජය "කිසිදා නොවැටුණු තරම් පහතට වැටීමක්" ලෙස ය.
"ගලාන්ට් අස්කරන්න නෙතන්යාහුට පුළුවන්. නමුත් ඔහුට යතාර්ථය අස්කරලා දාන්නවත්, සභාගයේ උමතුවට එරෙහිවෙන්න පෙළගැහෙන ඊශ්‍රායලයේ ජනතාව අස්කරලා දාන්නවත් බැහැ," ලපිද් වැඩි දුරටත් පැවසීය.
මේ අතරේ, ඊශ්‍රායල රජයේ හිටපු මාධ්‍ය ප්‍රකාශකයෙකු පවසන්නේ ඊශ්‍රායල රජයේ අධිකරණ ප්‍රතිසංස්කරණයන්ට එල්ලවෙන කෝපය අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ "අවසානයේ ආරම්භය" විය හැකිබවකි.
නෙතන්යාහු මෙම නීති සම්පාදනය නවත්වනු ඇතැ යි තමා සැකකරන නමුත් "වඩා පුළුල් ප්‍රතිවිපාකවලට" මුහුණදෙනු ඇතැ යි ප්‍රකාශක උරී ඩ්‍රෝමි ප්‍රකාශ කළේ ය.
මෙවසර ආරම්භයේ සිට මෙවැනි විරෝධතා සිදුවෙමින් පැවැති නමුත්, මෙම බදාදා කෙනෙසෙට්හි දී නීති කෙටුම්පත පිළිබඳ ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිතවූ බැවින් පසුගිය සතියේ දී විරෝධතා උත්සන්නවිය. ඇතැම් නීති සම්පාදකයින් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින්නේ නම් මිස, ආසන 120කින් යුත් ඊශ්‍රායල පාර්ලිමේන්තුවේ ආසන 64ක බහුතරයක් සහිත සභාගයට මෙම නීතිය සම්මතකර ගැනීමට ප්‍රමාණවත් ඡන්ද තිබේ.











