වංචා සහ දූෂණ: ඊශ්‍රායලයේ අගමැති බෙන්ජමින් නෙතන්හායුට එරෙහිව නඩු පවරයි

Benjamin Netanyahu speaks at the Israeli parliament in Jerusalem on 20 November 2019

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, අගමැතිවරයා විසින් චෝදනා ගොනු කිරීම හඳුන්වනු ලැබුවේ "කුමන්ත්‍රණ උත්සහයක්" ලෙසය

අල්ලස් ලබා ගැනීම, වංචා සහ විශ්වාසය කඩ කිරීම යන චෝදනා යටතේ ඊශ්‍රායලයේ නීතිපතිවරයා එරට අගමැති බෙන්ජමින් නෙතන්යාහුට එරෙහිව වෙන වෙනම නඩු තුනක් පවරා තිබේ.

අගමැති නෙතන්යාහු ධනවත් ව්‍යාපාරිකයන්ගෙන් තෑගි ලබා ගෙන ඇති බව පැවසෙන අතර මාධ්‍ය ඔස්සේ වඩාත් හොඳ ප්‍රතිරූපයක් නිර්මාණය කරවා ගැනීම සඳහා උපකාර ලබා දී ඇති බවටත් ඔහුට චෝදනා එල්ල වේ.

අගමැතිවරයා විසින් චෝදනා ගොනු කිරීම හඳුන්වනු ලැබුවේ "කුමන්ත්‍රණ උත්සහයක්" ලෙසය. එමගින් අපහාසාත්මක ක්‍රියාවලියක යෙදී ඇති බවත් ඔහු කියා සිටී.

තමා සිය ධුරයෙන් ඉල්ලා අස් නොවන බව අවධාරණය කළ අගමැතිවරයා එසේ කිරීමට නීතියෙන් බැඳී නැති බවත් සඳහන් කළේය.

රූපවාහිනිය ඔස්සේ අදහස් දක්වමින් අගමැති නෙතන්යාහු කියා සිටියේ "බලධාරීන් සත්‍ය පසු පස නොවෙයි යන්නේ. ඔවුන් එන්නේ මා පසු පසයි" යනුවෙනි. "විමර්ශයකයන් පිළිබඳ විමර්ශනය කරන ලෙසත්" ඔහු සිය රටෙන් ඉල්ලා සිටියේය.

අදාළ චෝදනා ගොනු කිරීම සම්බන්ධයෙන් ඉතා අපහසු තීන්දුවක් ගත් බව කී ඊශ්‍රායලයේ නීතිපතිවරයා, ඊශ්‍රායලයේ නීතියට ඉහළින් කිසිවකුත් නොමැති බව ඉන් පිළිබිඹු වී යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Supporters of Mr Netanyahu stand outside the prime minister's residence with signs

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, අගමැතිවරයාට එරෙහිව නඩු පැවරීමට විරෝධය පා උද්ඝෝෂණයේ යෙදෙන ඔහුගේ ආධාරකරුවන් පිරිසක්

පසුගිය අප්‍රේල් සහ සැප්තැම්බර් මාසවලදී ඊශ්‍රායලයේ පැවති මහ මැතිවරණවලින් පසු දේශපාලනය අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති අතර අගමැතිවරයා සම්බන්ධයෙන් වන ඉහත කී චෝදනා ප්‍රකාශයට පත් කෙරුණේ එවැනි පසුබිමකදීය.

පාර්ලිමේන්තුවේ බහුතර බලය ඇතිව තමන්ට සන්ධාන පාලනයකට යා නොහැකි බව අගමැති ධුරයට සටන් වැද සිටින නෙතන්යාහුගේ ප්‍රතිවාදියා වන බෙනී ගාන්ට්ස් බදාදා පැවසීය.

වසරක් තුළ තුන්වෙනි මහ මැතිවරණයක් පැවැත්වීම වළකාලනු වස් දින 21 ක් ඇතුළත අගමැති ධුරය සඳහා අපේක්ෂකයකු නම් කිරීම පිළිබඳ එකඟතාවකට පැමිණෙන ලෙස ඊශ්‍රායලයේ ජනාධිපති රෙව්වන් රිව්ලින් එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේය.

අගමැතිවරයාට එරෙහිව නඩු පැවරීමත් සමග ට්විටර් පණිවුඩයක් නිකුත් කළ බෙනී ගාන්ට්ස් නීතිපතිවරයා සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන වෙත සිය සහය පළ කරන බව කියා සිටියේය. එය ඊශ්‍රායලයට "ඉතාමත් දුක්ඛිත දිනයක්" බවත් ඔහු සිය ට්විටර් පණිවුඩයේ සඳහන් කර තිබිණි.