පකිස්ථානය සහ ඇෆ්ඝනිස්ථානය අතර 'විවෘත යුද්ධයක්'

ඇෆ්ගනිස්ථානයේ ප්‍රධාන නගර කිහිපයකට පකිස්ථානය විසින් ගුවන් ප්‍රහාර එල්ල කර ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

කියවීමේ කාලය: මිනිත්තු 5

ඇෆ්ඝනිස්ථානයේ තලිබාන් රජයට එරෙහිව "විවෘත යුද්ධයක්" ප්‍රකාශයට පත් කර ඇති බව පකිස්ථාන ආරක්ෂක අමාත්‍ය කවාජා එම් අසිෆ්, සිය X ගිණුම ඔස්සේ සටහනක් තබමින් ප්‍රකාශයට පත් කර ඇත.

ඇෆ්ඝනිස්ථාන හමුදා විසින් පකිස්ථාන හමුදාව වෙත එල්ල කරන ලද ප්‍රහාරවලින් පසුව, ප්‍රධාන ඇෆ්ඝන් නගර කිහිපයකට එල්ල කරන ලද ප්‍රහාර මාලාවකින් පසුව පකිස්ථාන ආරක්ෂක අමාත්‍යවරයා මෙම නිවේදනය නිකුත් කර තිබේ.

පකිස්ථාන රජයේ නිලධාරියෙකුට අනුව, පෙර ප්‍රහාරවලට පළිගැනීමක් ලෙස ඇෆ්ඝනිස්ථානයේ කාබුල් සහ කන්දහාර් නගරවලට ප්‍රහාර එල්ල කළ බව තහවුරු කර තිබේ.

එය සිදුවන්නේ, රටවල් දෙකට ම අයත් දේශසීමාවේදී ඇෆ්ඝනිස්ථානයේ තාලිබාන් මෙහෙයුමකින් පසු සිය සොල්දාදුවන් දෙදෙනෙකු මිය ගිය බව පකිස්ථානය ප්‍රකාශ කිරීමෙන් පැය කිහිපයකට පසුව ය.

"ඍජුව සහ මිත්‍රශීලී රටවල් හරහා තත්ත්වය සන්සුන්ව තබා ගැනීමට පකිස්ථානය සෑම ආකාරයකින් ම උත්සහ කළා. ඒක පූර්ණ රාජ්‍ය තාන්ත්‍රික උත්සහයක්," පකිස්ථාන ආරක්ෂක අමාත්‍යවරයා සටහන් කර තිබිණි.

"අපේ ඉවසීමේ සීමාව ඉක්මවා ගිහින් තියෙන්නේ. දැන් අපි අතර තියෙන්නේ විවෘත යුද්ධයක්."

මාරාන්තික ගැටුම්වලින් පසුව ඔක්තෝබර් මාසයේදී ශක්තිමත් නොවූ සටන් විරාමයකට දෙපාර්ශවය එකඟ වූ නමුත් එතැන් සිට සටන් අඛණ්ඩව ක්‍රියාත්මක විය.

පකිස්ථාන අග්‍රාමාත්‍යවරයාගේ මාධ්‍ය ප්‍රකාශක මොෂාරෆ් සයිඩිට අනුව, පකිස්ථාන හමුදා ප්‍රහාරවලින් මේ දක්වා ඇෆ්ඝන් තාලිබාන්වරුන් 133 දෙනෙකු මිය ගොස් 200කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.

සිකුරාදා කාබුල්, පක්ටියා සහ කන්දහාර් වෙත පකිස්ථානය එල්ල කරන ලද ප්‍රහාරවලින් "තවත් බොහෝ ජීවිත හානි" සිදුවූ බව ඔහු සිය X ගිණුමේ සටහන් කර තිබේ.

ඇෆ්ඝන් තාලිබාන් සංවිධානයේ ප්‍රකාශක සබිහුල්ලා මුජාහිඩ්, පකිස්ථාන ප්‍රහාරවලින් "කිසිවෙකුට හානි සිදුවී නැහැ" යනුවෙන් සිය X ගිණුමේ සටහන් කර තිබේ.

කෙසේ වුවත්, මෙම සංඛ්‍යාවල සත්‍යාසත්‍ය තත්ත්වය තහවුරු කර ගැනීම දුෂ්කර බව වටහා ගත යුතු ය.

මෙම ගැටුම් අතරතුර, දෙපාර්ශවය ම එකිනෙකාට දැඩි ලෙස හානි කළ බවත්, තමන්ට සිදුවූ හානි සුළු බවත් කියා සිටී.

මුළු රට ම පකිස්ථාන හමුදාවට සහය දෙනවා - අගමැති ෂරීෆ්

පකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ් පවසන්නේ, රටේ හමුදාවට "ඕනෑ ම ආක්‍රමණශීලී අභිලාෂයන් විනාශ කිරීම සඳහා පූර්ණ හැකියාවක් ඇත," යනුවෙනි.

පකිස්ථාන රජයේ X ගිණුමේ සටහන් මාලාවකට අනුව, "රට ආරක්ෂා කිරීමේදී කිසිදු සම්මුතියක් නොමැත, ඕනෑ ම ප්‍රහාරයකට ශක්තිමත් ප්‍රතිචාරයක් ලැබෙනු ඇත," යනුවෙන් ඔහු පැවසූ බව සඳහන්ව තිබේ.

රජයේ X ගිණුමේ සටහන්වලට අනුව, මුළු රට ම පකිස්ථාන සන්නද්ධ හමුදාව වෙනුවෙන් පෙනී සිටින බව ඔහු පැවසීය.

අනෙක් සටහන්වලින් හමුදාවට ප්‍රශංසා කරමින් ඔහු පවසන්නේ, ඔවුන් ශක්තිමත් ජාතික හැඟීමකින් තම රාජකාරි ඉටු කරන බව ය.

"පකිස්ථානයේ ජනතාව සහ සන්නද්ධ හමුදා සෑම විට ම රටේ ආරක්ෂාව, ස්වෛරීභාවය සහ දේශසීමා ආරක්ෂා කිරීමට සූදානම්."

"කිසි ම තත්ත්වයක් යටතේ රටේ සාමය සහ ආරක්ෂාව අවදානමට ලක්වීමට ඉඩ නොදීමට පකිස්ථානයේ සන්නද්ධ හමුදා අධිෂ්ඨාන කරගෙන සිටියි."

පකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, "පකිස්ථානයේ ජනතාව සහ සන්නද්ධ හමුදා සෑම විට ම රටේ ආරක්ෂාව, ස්වෛරීභාවය සහ දේශසීමා ආරක්ෂා කිරීමට සූදානම්."

'අපි හිතුවේ භූමිකම්පාවක් කියලා, ඊට පස්සේ ලොකු පිපිරීමක ශබ්දයක් ඇහුණා' - කාබුල් වැසියෙක්

ඊයේ රාත්‍රියේ පකිස්ථාන ගුවන් ප්‍රහාරයට ලක්වූ ප්‍රදේශයට ආසන්නව පිහිටි කාබුල්හි දිස්ත්‍රික්කය 6න් එකක් වන දෂ්ටි බාර්චිහි පදිංචිකරුවෙකු පැවසුවේ, එක් පිපිරීමකින් තම නිවසට දැඩි කම්පනයක් දැනුණු බව ය.

"මුලින් ම, අපි හිතුවේ භූමිකම්පාවක් කියලා, මොක ද, දවස් කීපයකට කලින් කාබුල්වල භූමිකම්පාවක් ඇති වුණා. ඊට පස්සේ අපිට ලොකු පිපිරීමක ශබ්දයක් ඇහුණා," ඔහු පැවසීය.

"ඊට පස්සේ කවුරුත් නිදාගත්තේ නැහැ. හැමෝම බයෙන් හිටියේ," දෂ්ටි බාර්චිහි ජනතාව වහා ම පිටතට දිව ගොස් රාත්‍රිය පුරා ම අවදියෙන් සිටි බව ආරක්ෂක හේතු මත නම් සඳහන් නොකළ පදිංචිකරුවෙක් පැවසීය.

පිපිරීමෙන් මද වේලාවකට පසු කාබුල් නගරයට ඉහළින් ජෙට් යානා පියාසර කරනු දක්නට ලැබුණු බව ද ඔහු පැවසීය.

"අපේ ඔළුවට උඩින් ජෙට් යානා යද්දි, ඒවා පකිස්ථාන ගුවන් යානා කියලා අපිට තේරුණා."

ඉලක්කගත ප්‍රදේශය ඔහුගේ නිවසේ සිට කිලෝමීටර් 4ක් 5ක් පමණ දුරින් පිහිටා තිබූ බව ඔහු පැවසීය.

"මගේ බිරිඳ සහ මගේ දෙමාපියන් ගොඩක් බය වුණා. අපි හැමෝම මුළු රාත්‍රිය පුරා ම අවදියෙන් හිටියා. අපි දෙන්නා හොඳට ම බය වෙලා හිටියේ."

දේශසීමාව අසල මුරපොලක් අසල සිටින පකිස්ථාන හමුදා සෙබළුන් දෙදෙනක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇෆ්ගන් තලේබාන් දේශසීමා මුරපොළවල් 27ක් විනාශ කළ බව පකිස්ථානය කියයි

ඉරානය මැදිහත් වෙයි

පකිස්ථානය සහ ඇෆ්ඝනිස්ථානය අතර "සාකච්ඡාවලට පහසුකම් සැලසීමට" ඉරානය සූදානම් බව එහි විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි සිය X ගිණුමේ නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

"යහපත් අසල්වැසි සබඳතා සහ සංවාදය තුළින් සිය වෙනස්කම් විසඳා ගන්නා ලෙස," ඔහු දෙරටෙන් ඉල්ලා සිටියේ ය.

දේශසීමා ආතතීන් ඉහළ යමින් තිබියදී ඉරානය මීට පෙර දෙරට අතරට මැදිහත් වීමට ඉදිරිපත් වී තිබේ.

50 Pakistani soldiers killed in attacks on Pakistani border posts: Afghan Taliban claim, පාකිස්ථාන සොල්දාදුවන් 50 දෙනෙකු ජිවිතක්ෂයට - ඇෆ්ගන් තලේබාන් සංවිධානය

නැගෙනහිර සහ ගිනිකොණදිග දේශසීමා ආසන්නයේ පකිස්ථාන මුරපොළවල් වෙත ප්‍රතිප්‍රහාර දියත් කළ බව ඇෆ්ඝනිස්ථානයේ තාලිබාන් නිලධාරිහු පවසති.

තාලිබාන් රජයේ ප්‍රකාශක සබිහුල්ලා මුජාහිඩ් බීබීසීයට පැවසුවේ, ඇෆ්ඝනිස්ථාන හමුදා පකිස්ථාන දේශසීමා මුරපොළවල් 19ක් විනාශ කර සෙබළුන් කිහිප දෙනෙකු අල්ලා ගත් බව ය.

ඔහු තවදුරටත් කියා සිටියේ පකිස්ථාන සොල්දාදුවන් 50කට වැඩි පිරිසක් මිය ගිය බව ය.

කෙසේ වෙතත්, මෙම සංඛ්‍යා ස්වාධීන මූලාශ්‍ර මගින් තහවුරු කළ නොහැකි විය.

පකිස්ථානය පවසන්නේ, ඔවුන් ඇෆ්ඝනිස්ථානයේ තාලිබාන් දේශසීමා මුරපොළවල් 27ක් විනාශ කර ඔවුන්ගේ හමුදාවන්ට දැඩි හානි සිදු කළ බව ය.