ශිරන්තිගේ අයැදුම් පත්‍රය නිසා FCID අධ්‍යක්ෂ අධිකරණයට කැඳවයි: අධිකරණයේදී සිදුවූ දේ

ශිරන්ති රාජපක්ෂ
    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 3

තමන් අත්අඩංගුවට ගැනීම වළකාලමින් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශිරන්ති රාජපක්‍ෂ ගොනු කර ඇති අපේක්‍ෂිත ඇප අයැදුම් පත්‍රයට අදාළව කරුණු දැක්වීම සඳහා ලබන 12 වන දා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්‍ෂවරයාට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ජනිතා රෝෂනී පෙරේරා නොතිසි නිකුත් කළා ය.

ශිරන්ති රාජපක්‍ෂ ගොනු කර ඇති අපේක්‍ෂිත ඇප අයැදුම් පත්‍රය අද (ඔක්: 06) කැඳවනු ලැබූ අවස්ථාවේදී ඇය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනිල් සිල්වා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරිය මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් එලෙස නොතිසි නිකුත් කළා ය.

මෙම අපේක්‍ෂිත ඇප අයැදුම් පත්‍රයේ වගඋත්තරකරු වශයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්‍ෂවරයා නම් කර තිබිණි.

ශිරන්ති රාජපක්‍ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනිල් සිල්වා කරුණු දක්වමින් තම සේවාදායිකාවට අදාළව විමර්ශන සිදු කරන 'සිරිලිය ගිණුම' නමැති ගිණුමේ මේ වන විටත් රුපියල් මිලියන 48කට අධික මුදලක් ඇතැයි පැවසීය.

රහස් පොලිසිය විසින් අදාළ ගිණුමේ ක්‍රියාකාරීත්වය අතිහිටුවා ඇති හෙයින් එම ගිණුමේ ඇති මුදල් ගැනීමට තම සේවාදායිකාවට හැකියාවක් නැතැයි ද, රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ගැනීම සඳහා තම සේවාදායිකාව සිංගප්පූරුවට ගිය බව ද නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ ය.

ප්‍රතිකාර අවසන් වී යළි ශ්‍රී ලංකාවට පැමිණී විගස ශිරන්ති රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ පෙනී සිට ප්‍රකාශයක් දීමට සූදානම් බවත්, තම සේවාදායිකාව යළි පැමිණීමේදී කටුනායක ජාත්‍යයන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බවට දැනගැනීමට ලැබී ඇති බවත් ඔහු දැනුම් දුන්නේ ය.

විමර්ශන කටයුතු මඟ හැරීමට තම සේවාදායිකාවට කිසිදු අවශ්‍යතාවයක් නැති බවත්, ඇය යළි ලංකාවට පැමිණීමේදී කටුනායක ජාත්‍යයන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගනු ලැබුවහොත් පිරිමැසිය නොහැකි අගතියක් වන බවත් පෙන්වා දුන් ජනාධිපති නීතීඥ අනිල් සිල්වා, මෙම අපේක්‍ෂිත ඇප අයැදුම විමසා බලන ලෙසත් ඒ සඳහා මෙහි වගඋත්තරකරුට නොතිසි නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියේ ය.

ශිරන්ති රාජපක්ෂ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්‍ෂ සඳුදා (ඔක්: 05) නැවත ශ්‍රී ලංකාවට පැමිණියා ය.

Skip podcast promotion and continue reading
WhatsApp BBC News සිංහල
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ඔක්තෝබර් 13 වන දින මූල්‍ය අපරාධ කොට්ඨාසයේ පෙනී සිටින ලෙස ඇය ශ්‍රී ලංකාවෙන් පිටව යාමට පෙර ඇයට දැනුම් දී තිබිණි.

තමන් යළි ශ්‍රී ලංකාවට පැමිණීමේදී තමන් අත්අඩංගුවට ගැනීම වළකාලමින් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ඇය අපේක්‍ෂිත ඇප අයැදුම් පත්‍රයක් ගොනු කර තිබිණි.

මෙම අපේක්‍ෂිත ඇප අයැදුම් පත්‍රයේ වගඋත්තරකරු වශයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා නම් කර ඇත.

සිරිලිය සවිය ගිණුමක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පවත්වාගෙන යන විමර්ශනයකට අදාළව එම කොට්ඨාසය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් දෙන ලෙස දැනුම් දී තිබියදී පසුගිය මස 18 වන දා ශිරන්ති රාජපක්‍ෂ ඇගේ ඥාතියෙකු සමග කටුනායක ජාත්‍යයන්තර ගුවන් තොටුපළින් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති අතර, එසේ ගුවන් තොටුපළින් පිටත්ව යාමට සූදානම් වෙද්දී රහස් පොලිස් නිලධාරීන් විසින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ පෙනී සිටින ලෙස දැනුම් දීමක් ද කර තිබිණි.

එලෙස දැනුම් දීම් කර තිබියදී ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය විදේශ ගතවූ අතර ඇසේ රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ගැනීම සඳහා ඇය සිංගප්පූරූවට ගිය බවත්, ප්‍රතිකාර අවසන් වී යළි ශ්‍රී ලංකාවට පැමිණී විගස පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ පෙනී සිට ප්‍රකාශයක් දීමට සූදානම් බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ මාධ්‍ය ලේකම් නීතීඥ මනෝජ් ගමගේ පසුගිය දා ප්‍රකාශ කළේ ය.