ගලගොඩඅත්තේ ඥානසාර හිමි ගිහි ඇඳුමින් කොළඹ මහාධිකරණය හමුවට

- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 2
සිර දඬුවම් නියම වූ බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි බන්ධනාගාර නිලධාරීන් විසින් අද (ඔක්. 6) කොළඹ මහාධිකරණය වෙත රැගෙන එනු ලැබිණි.
ඥානසාර හිමියන් ගිහි ඇඳුමින් සැරසී අධිකරණයට පැමිණ සිටිනු දක්නට ලැබිණි.
ඉස්ලාම් දහමට අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් ඥානසාර හිමියන්ට එරෙහිව නීතිපතිවරයා ගොනු කර තිබූ නඩුවක් ඉකුත් 29 වන දා කැඳවනු ලැබූ අවස්ථාවේදී උන්වහන්සේ අධිකරණයේ පෙනී සිටියේ නොමැත.
ඉන් අනතුරුව උන්වහන්සේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල විසින් එදින වරෙන්තුවක් නිකුත් කර තිබිණි.
එම වරෙන්තුවට අදාළව අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා ඥානසාර හිමි බන්ධනාගාර නිලධාරීන් විසින් අද අධිකරණයට රැගෙන එනු ලැබිණි.































