ඥානසාර හිමි අභියාචනාධිකරණය හමුවට


SRI LANKA-AMNESTY-PRISON-RELIGION-BUDDHISM-MONK Sri Lankan General Secretary of the Bodu Bala Sena (BBS) Ven. Galagodaatte Gnanasara
    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 2

විවෘත වරෙන්තු නිකුත් කිරීමෙන් පසුව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද උදෑසන [ඔක්: 05] අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා ගෙනැවිත් තිබේ.

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ නඩුවකට අදාළව අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා අභියාචනාධිකරණය විසින් ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට පසුගිය දා විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබිණි.

වරෙන්තු නිකුත් කළේ ඇයි?

අධිකරණයට අපහාස කිරීමේ සිදුවීමකට සිර දඬුවම් නියම වී සිට පසුව ලැබු ජනාධිපති සමාව අහෝසි කරනු ලැබූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව පවතින සිර දඬුවම ක්‍රියාත්මක කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා ගොනුකර තිබෙන මෝසමක් [සැප්: 29] අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබී ය.

මෙම මෝසම කැඳවනු ලැබුවේ, මායාදුන්නේ කොරයා සහ ලක්මාලී කරුණානායක යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ය.

එම අවස්ථාවේදී ඥානසාර හිමියන් අධිකරණය හමුවේ පෙනී සිටියේ නොමැත.

ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ සඳහන් කළේ, සිය සේවාදායක හිමියන් අසනීප තත්ත්වයෙන් විවේක ගන්නා බවත්, මෙම මෝසම පිළිබඳව අධ්‍යයනය කර කරුණු දැක්වීම සඳහා තමන්ට දිනයක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියේ ය.

එහෙත්, රජයේ නීතිඥ සජිත් බණ්ඩාර සඳහන් කළේ, මෙය අපරාධ නඩුවක් බව ය.

එහෙයින්, විත්තිකරු අධිකරණයට නොපැමිණෙන්නේ නම් වරෙන්තු නිකුත් කරන ලෙස රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.