ඉන්දියාව සහ පකිස්ථානය කාශ්මීරය වෙනුවෙන් සටන් කරන්නේ ඇයි?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ අසල්වැසි රටවල් වන ඉන්දියාව සහ පකිස්ථානය කාශ්මීරය සම්බන්ධයෙන් යුද්ධ දෙකක් සහ සීමිත ගැටුමක් ඇති කරගෙන තිබේ. ඔවුන් එම භූමිය සම්බන්ධයෙන් ගැටුම් ඇති කර ගන්නේ ඇයි සහ එය ආරම්භ වූයේ කෙසේ ද?

ඡායාරූප මූලාශ්‍රය, Reuters
මේ ගැටුම කෙතරම් පැරණි ද?
කාශ්මීරය යනු සංස්කෘතීන්ගේ මිශ්‍රණය සහ සුන්දර විල්, තණබිම් සහ හිම කඳු සඳහා ප්‍රසිද්ධ හිමාල කඳු ආශ්‍රිත කලාපයකි.
1947 අගෝස්තු මාසයේදී ඉන්දියාව සහ පකිස්ථානය බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා ගැනීමටත් පෙර සිට ම, මෙම කලාපය මතභේදයට තුඩු දී තිබිණි.
ඉන්දීය නිදහස් පනත මගින් සපයා ඇති බෙදීමේ සැලැස්ම යටතේ, මුස්ලිම් බහුතරයක් සහිත කාශ්මීරයට ඉන්දියාවට හෝ පාකිස්ථානයට එක්වීමට නිදහස තිබිණි.
මහාරාජා (ප්‍රාදේශීය පාලකයා) වන හරී සිංට පළමුව කාශ්මීරයට ස්වාධීත්වය අවශ්‍ය වූ නමුත් 1947 ඔක්තෝබර් මාසයේදී පකිස්ථානයෙන් එල්ල වූ ගෝත්‍රික ආක්‍රමණයකට එරෙහිව ඉන්දියාවෙන් ලැබුණු සහයට ප්‍රතිඋපකාරයක් වශයෙන් ඉන්දියාව සමග එක්වීමට තීරණය කළේ ය.
එහිදී යුද්ධයක් ඇති වූ අතර ඉන්දියාව උදව් පතා එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත යොමු විය. කාශ්මීරය ඉන්දියාවට හෝ පකිස්ථානයට එක්විය යුතු ද යන්න තීරණය කිරීම සඳහා ඡන්දයක් පැවැත්වීමට එක්සත් ජාතීන් යෝජනා කළ නමුත් එය කිසි විටෙකත් සාර්ථක නොවූයේ දෙපාර්ශවය ම තම හමුදා ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් එකඟ නොවූ බැවිනි.
1949 ජූලි මාසයේදී, ඉන්දියාව සහ පකිස්ථානය එක්සත් ජාතීන්ගේ අනුග්‍රහය යටතේ සටන් විරාමයකට එකඟ වූ අතර, කලාපය බෙදා වෙන් කරන ලදී.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
1965 දී දෙවන වරටත් යුද්ධයක් ඇති විය. ඉන්පසු 1999 දී පකිස්ථාන පිටුබලය ලත් හමුදා සමග ඉන්දියාව කෙටි නමුත් දුෂ්කර ගැටුමකට මුහුණ දුන්නේ ය.
ඒ වන විට ඉන්දියාව සහ පකිස්ථානය න්‍යෂ්ටික බලවතුන් ලෙස ප්‍රකාශයට පත් කර තිබිණි. අද වන විට ඉන්දියාව සහ පකිස්ථානය යන රටවල් දෙක ම කාශ්මීරයට සම්පූර්ණයෙන් ම හිමිකම් කියන නමුත් එහි කොටස් පමණක් පාලනය කරයි.
ඉන්දීය පරිපාලනය යටතේ පවතින කොටසේ මෙතරම් නොසන්සුන්තාවක් ඇති වී ඇත්තේ ඇයි?

ඡායාරූප මූලාශ්‍රය, EPA
කාශ්මීර භූමියේ නීත්‍යනුකූල පක්ෂපාතීත්වය පිළිබඳ බොහෝ දෙනෙකුට විවිධ අදහස් ඇති අතර, බොහෝ දෙනෙක් එය ඉන්දියාව විසින් පාලනය කරනු ලැබීමට කැමැත්තක් නොදක්වති, ඒ වෙනුවට කාශ්මීරයට නිදහස ලබා ගැනීමට හෝ පකිස්ථානය සමග එක්වීමට කැමැත්තක් දක්වති.
ආගම එක් සාධකයකි: ජම්මු හා කාශ්මීරයේ ජනගහනයෙන් 60%කට වඩා මුස්ලිම් වන අතර, එය ඉන්දියාවේ මුස්ලිම්වරුන් බහුතරයක් සිටින එක ම භූමි ප්‍රදේශය බවට පත් වේ.
1989 සිට කලාපයේ ඉන්දියානු පාලනයට එරෙහිව සන්නද්ධ කැරැල්ලක් ක්‍රියාත්මක වූ අතර, එමගින් දස දහස් ගණනකගේ ජීවිත අහිමි වී තිබේ.
පකිස්ථානය කාශ්මීරයේ සටන්කාමීන්ට සහය දක්වන බවට ඉන්දියාව චෝදනා කරන අතර, පකිස්ථානය එම චෝදනාව ප්‍රතික්ෂේප කරයි.
දැවැන්ත ආරක්ෂක මර්දනයක් මධ්‍යයේ 2019 දී ඉන්දීය රජය කාශ්මීරයේ අර්ධ ස්වයං පාලන තත්ත්වය ඉවත් කළේ ය.
කලාපයේ විශේෂ තත්ත්වය අවලංගු කිරීමෙන් පසු වසර ගණනාවක් පුරා සටන්කාමීත්වය අඩු වූ අතර සංචාරකයින්ගේ පැමිණීම ඉහළ යන ලදී.
මීට පෙර කාශ්මීරයට එල්ල වූ සටන්කාමී ප්‍රහාරවලින් පසු සිදු වූයේ කුමක් ද?
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
2016 දී, ඌරිහිදී ඉන්දීය සොල්දාදුවන් 19 දෙනෙකු මිය යාමෙන් පසු, ඉන්දියාව සහ පකිස්ථානය අතර නිල නොලත් දේශසීමාව වන පාලන රේඛාව හරහා සටන්කාමී කඳවුරු යැයි කියනු ලබන ස්ථාන ඉලක්ක කර ගනිමින් ඉන්දියාව "ඉලක්කගත ප්‍රහාර" මාලාවක් ක්‍රියාත්මක කළේ ය.
2019 දී, පුල්වාමාහි බෝම්බ ප්‍රහාරයකින් ඉන්දීය භටයින් 40කට වැඩි පිරිසක් මිය ගිය අතර, 1971න් පසු පළමු වරට ඉන්දියාව විසින් පකිස්ථානය ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කරන ලදී. එහිදී ඉන්දියාව පකිස්ථානයේ බලකොට් වෙත ගුවන් ප්‍රහාර එල්ල කර තිබිණි.
වසර ගණනාවක් පුරා පැවති සන්සුන්භාවය බිඳ දමමින් 2025 අප්‍රේල් මාසයේදී ඉන්දීය පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ පෙහෙල්ගම් නම් නිවාඩු නිකේතන නගරය අසල දී සටන්කාමින් විසින් සංචාරකයින් ඉලක්ක කරමින් එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 26 දෙනෙකු ඝාතනය වීමත් සමඟ ආතතීන් නැවතත් ඉහළ ගියේය. එය දශක දෙකකින් සිවිල් වැසියන්ට එල්ල වූ මාරාන්තිකම ප්‍රහාරය විය.
සති දෙකකට පසුව, ඉන්දියාව විසින් පකිස්ථානය සහ පකිස්ථාන පරිපාලනය යටතේ පවතින කාශ්මීරය වෙත මිසයිල ප්‍රහාර දියත් කළ අතර යළි ගැටුම් වර්ධනය වීම පිළිබඳ බිය මතු කළ අතර ජාත්‍යන්තරය සන්සුන් වන ලෙස ඉල්ලා සිටියේ ය.
කාශ්මීරය යනු තවමත් ලෝකයේ වඩාත්ම හමුදාකරණය වූ කලාපවලින් එකකි.
සාමය සඳහා වන බලාපොරොත්තු ගැන කුමක් කිව හැකි ද?
2003 දී ඉන්දියාව සහ පකිස්ථානය සටන් විරාමයකට එකඟ විය.
2014 දී බලයට පත් ඉන්දියාවේ වත්මන් අගමැති නරේන්ද්‍ර මෝදි පකිස්ථානය සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට පොරොන්දු වුව ද, සාම සාකච්ඡා පැවැත්වීමට ද උනන්දුවක් දැක්වීය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
එවකට පකිස්ථානයේ අගමැති ධූරය දැරූ නවාස් ෂරීෆ්, දිල්ලියේ පැවති අගමැති මෝදිගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී විය.
නමුත් වසරකට පසුව, උතුරු පන්ජාබ් ප්‍රාන්තයේ පතන්කොට්හි පිහිටි තම ගුවන් කඳවුරට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දියාව පකිස්ථානය පදනම් කර ගත් කණ්ඩායම්වලට දොස් පැවරීය. 2017 දී කලාපීය සමුළුවක් සඳහා පකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවර වෙත යාමට නියමිතව තිබූ සංචාරය ද නරේන්ද්‍ර මෝදි අවලංගු කළේ ය.
එතැන් සිට, අසල්වැසියන් අතර සාකච්ඡාවල කිසිදු ප්‍රගතියක් දක්නට නොලැබිණි.














