පකිස්ථානයට ගලා යන ගංගා ජලය නතර කිරීමට ඉන්දියාවට පුළුවන් ද?

The image shows a landscape of the Indus river in the Karakoram mountains range

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉන්දු ගඟ ඉන්දියාවේ සහ පකිස්ථානයේ ප්‍රදේශ කිහිපයක් හරහා ගලා යයි
    • Author, නවින් සිං ඛඩ්කා
    • Role, පරිසර මාධ්‍යවේදී, බීබීසී ලෝක සේවය

ඉන්දු ගඟ සහ එහි අතු ගංගා දෙකක් පකිස්ථානය කරා ගලා යාම වැළැක්වීමට ඉන්දියාවට හැකි ද?

ඉන්දීය පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ අඟහරුවාදා සිදුවූ බිහිසුණු ප්‍රහාරයෙන් පසුව, ඉන්දු ගංගා ද්‍රෝණියේ ගංගා හයක ජලය බෙදා ගැනීම කළමනාකරණය කිරීමට දෙරට අතර පැවති ප්‍රධාන ගිවිසුමක් ඉන්දියාව අත්හිටුවීමෙන් පසු, බොහෝ දෙනාගේ සිත් තුළ ඇති ප්‍රශ්නය එය යි.

1960 ඉන්දු ජල ගිවිසුම (IWT) න්‍යෂ්ටික ප්‍රතිවාදීන් අතර පැවති යුද්ධ දෙකකින් පවා නොබිඳුණු අතර එය දේශසීමා හරහා ජල කළමනාකරණය සම්බන්ධයෙන් ආදර්ශයක් ලෙස ද සැලකේ.

මෙම ගිවිසුම අත්හිටුවීම, දේශසීමා ත්‍රස්තවාදයට සහය දෙන බවට චෝදනා කරමින් ඉන්දියාව පකිස්ථානයට එරෙහිව ගෙන ඇති පියවර කිහිපයෙන් එකකි. පකිස්ථානය එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරයි. ඉන්දියාවට එරෙහිව ප්‍රතිප්‍රහාර එල්ල කරමින් පකිස්ථානය ද පවසා ඇත්තේ, ජල ප්‍රවාහය නැවැත්වීම "යුද්ධමය ක්‍රියාවක් ලෙස සලකන" බව ය.

ගිවිසුම මගින් ඉන්දු ගංගා ද්‍රෝණියේ නැගෙනහිර ගංගා තුනක් - රවි, බියාස් සහ සුට්ලෙජ් - ඉන්දියාවට ද, බටහිර ගංගා තුනෙන් - ඉන්දු, ජෙලම් සහ චෙනාබ් - 80%ක් පකිස්ථානයට ද වෙන් කරන ලදී.

1947 දී රටවල් වෙන් වීමෙන් පසුව, ඉන්දු සහ එහි අතු ගංගාවල ජලය බෙදා ගැනීම සම්බන්ධයෙන් දෙරට අතර ඇති වූ මතභේද මධ්‍යයේ, දශකයකට වැඩි කාලයක් පැවති සාකච්ඡාවලින් පසුව එය අත්සන් කරන ලදී.

අතීතයේදී ආරවුල් ඇති වූ අතර, ඉන්දියාවේ ජල විදුලි බල හා ජල යටිතල පහසුකම් ව්‍යාපෘති කිහිපයකට පකිස්ථානය විරෝධය පළ කරමින්, ඒවා මගින් ගංගා ගලායාම අඩු වන බවටත් ගිවිසුම උල්ලංඝණය කරන බවටත් තර්ක කළේ ය. (පකිස්ථානයේ කෘෂිකර්මාන්තයෙන් 80%කට වඩා සහ එහි ජල විදුලියෙන් තුනෙන් එකක් පමණ රඳා පවතින්නේ ඉන්දු ගංගා ද්‍රෝණියේ ජලය මත ය.)

An Indian paramilitary soldier stands guard on the banks of Dal Lake in Srinagar, India, 24 April 2025. Protests by locals continued for a second day in Kashmir against the killing of 26 people, attacked by gunmen in the popular tourist destination of Pahalgam in south Kashmir on 22 April.

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, කාශ්මීර් ප්‍රදේශයේ අඟහරුවාදා එල්ල වූ ප්‍රහාරවලින් ඉන්දියාව සහ පකිස්ථානය අතර උණුසුම් තත්ත්වය උග්‍ර විය.

මේ අතර, දේශගුණික විපර්යාස වැනි සාධක සැලකිල්ලට ගනිමින්, වාරිමාර්ග සහ පානීය ජලයේ සිට ජල විදුලිය දක්වා වෙනස් වන අවශ්‍යතා ගෙනහැර දක්වමින් ගිවිසුම සමාලෝචනය කර වෙනස් කිරීමට ඉන්දියාව බලපෑම් කරමින් සිටී.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ලෝක බැංකුවේ මැදිහත් වීම යටතේ අත්සන් තැබුණු ගිවිසුම යටතේ වසර ගණනාවක් පුරා පකිස්ථානය සහ ඉන්දියාව තරගකාරී නීතිමය මාර්ග අනුගමනය කර ඇත.

එහෙත්, දෙපාර්ශ්වය ම මෙම ගිවිසුම අත්හිටුවීමක් ප්‍රකාශයට පත් කළ පළමු අවස්ථාව මෙය යි - එය ඉහළින් පිහිටි රට වන ඉන්දියාවට භූගෝලීය වාසියක් ලබා දීමකි.

නමුත් අත්හිටුවීමෙන් සිදුවන සැබෑ බලපෑම කුමක් ද? ඉන්දියාවට ඉන්දු ද්‍රෝණියේ ජලය රඳවා තබා ගැනීමට හෝ හරවා යැවීමට හැකි වූ අතර එමගින් පකිස්ථානයේ ජීවනාලිය අහිමි විය හැකි ද? ඉන්දියාවට එසේ කිරීමට හැකියාවක් තිබේ ද?

ඉහළ ජල ප්‍රවාහයක් සහිත කාලවලදී බටහිර ගංගාවලින් ජලය ඝන මීටර් බිලියන දස දහස් ගණනක් රඳවා ගැනීම ඉන්දියාවට කළ නොහැක්කක් බව විශේෂඥයෝ පවසති. එහි දැවැන්ත ගබඩා යටිතල පහසුකම් සහ එවැනි පරිමාවන් හරවා යැවීමට අවශ්‍ය පුළුල් ඇළ මාර්ග යන දෙක ම නොමැත.

"ඉන්දියාවේ බොහෝදුරට යටිතල පහසුකම් ඇත්තේ ගංගාවෙන් ක්‍රියාත්මක වන ජල විදුලි බලාගාරවලට වන අතර ඒවාට දැවැන්ත ගබඩා කිරීමක් අවශ්‍ය නොවේ," වේලි, ගංගා සහ ජනතාව පිළිබඳ දකුණු ආසියානු ජාලයේ කලාපීය ජල සම්පත් විශේෂඥ හිමාන්ෂු තක්කාර් පැවසීය.

එවැනි ජල විදුලි බලාගාර, විශාල ජල පරිමාවක් රඳවා නොගෙන, ටර්බයින කරකැවීමට සහ විදුලිය ජනනය කිරීමට ගලා යන ජලයේ බලය භාවිත කරයි.

අදාළ ගිවිසුම යටතේ ජෙලම්, චෙනාබ් සහ ඉන්දු ජල ප්‍රදේශවලින් 20%ක කොටස පවා ඉන්දියාවට සම්පූර්ණයෙන් ම භාවිත කිරීමට නොහැකි වී ඇත්තේ ප්‍රමාණවත් යටිතල පහසුකම් නොමැතිකම නිසා බව ඉන්දීය විශේෂඥයෝ පවසති. එය ගබඩා ව්‍යුහයන් ගොඩනැගීම සඳහා ඔවුන් ඉදිරිපත් කරන ප්‍රධාන හේතුවක් වන අතර, ගිවිසුම් විධිවිධාන උපුටා දක්වමින් පකිස්ථානය ඊට විරෝධය පළ කරයි.

විශේෂඥයින් පවසන්නේ, ඉන්දියාවට දැන් පකිස්ථානයට දැනුම් දීමකින් තොරව පවතින යටිතල පහසුකම් වෙනස් කිරීමට හෝ නව ජලය ගොඩනගා වැඩි ජල ප්‍රමාණයක් රඳවා ගැනීමට හෝ හරවා යැවීමට හැකි බව ය.

"අතීතයේ වගේ නෙවෙයි, ඉන්දියාව දැන් ඔවුන්ගේ ව්‍යාපෘති ලේඛන පකිස්ථානය සමග බෙදා ගැනීමට අවශ්‍ය වෙන්නෙ නෑ," තක්කාර් පැවසීය.

A photo of a dam in the background, with a winding road and mountains with green foliage in the foreground.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉන්දියාවේ වේලි පකිස්ථාන සීමාවෙන් බොහෝ දූරස්ථව පිහිටා තිබේ.

එහෙත්, දුෂ්කර භූමි ප්‍රදේශ සහ එහි සමහර ව්‍යාපෘති සම්බන්ධයෙන් ඉන්දියාව තුළ ම ඇති විරෝධතා වැනි අභියෝග හේතුවෙන් ඉන්දු ද්‍රෝණියේ ජල යටිතල පහසුකම් ඉදිකිරීම ප්‍රමාණවත් තරම් වේගයෙන් සිදු වී නොමැත.

2016 වසරේදී ඉන්දීය පාලිත කාශ්මීරයේ සිදුවූ සටන්කාමී ප්‍රහාරයකින් පසු, ඉන්දු ගංගා ද්‍රෝණියේ වේලි කිහිපයක් සහ ජල ගබඩා ව්‍යාපෘති ඉදිකිරීම වේගවත් කරන බව ඉන්දීය ජල සම්පත් අමාත්‍යාංශ නිලධාරීන් බීබීසීයට පවසා තිබිණි.

එවැනි ව්‍යාපෘතිවල තත්ත්වය පිළිබඳව නිල තොරතුරු නොමැති වුව ද, මූලාශ්‍ර පවසන්නේ ප්‍රගතිය මන්දගාමී බව ය.

ඉන්දියාව එහි පවතින සහ විභව යටිතල පහසුකම් සමගින් ගංගා ජලය ගලායාම පාලනය කිරීමට පටන් ගන්නේ නම්, ජල සැපයුම දැනටමත් අවම මට්ටමක පවතින වියළි කාලයේදී පකිස්ථානයට එහි බලපෑම දැනෙනු ඇතැම් ඇතැම් විශේෂඥයෝ පවසති.

"වඩාත් වැදගත් කරුණක් තමයි, වියළි කාලයේදී සිදුවන්නේ කුමක් ද කියන එක. ද්‍රෝණිය හරහා ජලය ගලායාම අඩු වුණා ම, ජලය ගබඩා කිරීම වඩාත් වැදගත් වන අතර ඊට ගන්නා කාලය වඩාත් තීරණාත්මක යි," ටෆ්ට්ස් විශ්වවිද්‍යාලයේ නාගරික පාරිසරික ප්‍රතිපත්ති සහ පාරිසරික අධ්‍යයන පිළිබඳ සහය මහාචාර්ය හසන් එෆ්. ඛාන්, Dawn පුවත්පතට ලිවීය.

"ගිවිසුම් සීමාවන් නොමැතිකම වඩාත් තියුණු විදිහට දැනෙන්නට පටන් ගත හැක්කේ එතැනදි."

Buddhist prayer flags adorn the Indus River Valley in the Cold Desert of Ladakh.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉන්දියාව ජලය ගලා යාමා පාලනය කිරීම ආරම්භ කළහොත් පකිස්ථානයට වියළි කාලයේදී දැඩි බලපෑමක් එල්ල වනු ඇත.

ගිවිසුමට අනුව ඉන්දියාව පකිස්ථානය සමග ජල විද්‍යාත්මක දත්ත බෙදා ගත යුතු ය. එය ගංවතුර පුරෝකථනය මෙන් ම, වාරිමාර්ග, ජල විදුලිය සහ පානීය ජලය සැලසුම් කිරීම සඳහා ඉතා වැදගත් වේ.

ඉන්දියාවේ හිටපු ඉන්දීය ජල ගිවිසුමේ කොමසාරිස්වරයා ලෙස වසර හයකට වැඩි කාලයක් සේවය කළ ප්‍රදීප් කුමාර් සක්සෙනා, ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා ප්‍රවෘත්ති ඒජන්සියට පැවසුවේ, පකිස්ථානය සමග ගංවතුර දත්ත බෙදා ගැනීම දැන් නතර කළ හැකි බව ය.

ජූනි මාසයේ ආරම්භ වී සැප්තැම්බර් දක්වා පවතින මෝසම් සමයේදී මෙම කලාපයට හානිදායක ගංවතුර තත්ත්වයන් ඇති වේ. නමුත් පකිස්ථාන බලධාරීන් පවසා ඇත්තේ, ඉන්දියාව දැනටමත් තමන් සමග බෙදා ගන්නේ ඉතා සීමිත ජල විද්‍යාත්මක දත්ත ප්‍රමාණයක් බව ය.

"අලුත් නිවේදනය නිකුත් කිරීමට පෙර සිට ම ඉන්දියාව දත්තවලින් 40% ක් පමණ බෙදාගෙන තිබුණා," ඉන්දු ජල ගිවිසුමේ පකිස්ථානයේ හිටපු අතිරේක කොමසාරිස් ෂිරාස් මේමන් බීබීසී උර්දු සේවයට පැවසීය.

කලාපයේ ජලය ආශ්‍රිත ආතතියක් පවතින සෑම අවස්ථාවක ම මතු වන තවත් ගැටලුවක් වන්නේ පහළ ගංගා රටට එරෙහිව ඉහළ රටට ජලය "ආයුධයක්" ලෙස භාවිත කළ හැකි ද යන්න ය.

මෙය බොහෝවිට "ජල බෝම්බයක්" ලෙස හඳුන්වනු ලබන අතර, එහිදී ඉහළ ගංගා රට තාවකාලිකව ජලය රඳවා තබාගෙන, අනතුරු ඇඟවීමකින් තොරව හදිසියේ ම මුදා හැරිය හැකි අතර, එමගින් පහළට දැවැන්ත හානියක් සිදුවිය හැකි ය.

ඉන්දියාවට එසේ කළ හැකි ද?

විශේෂඥයින් පවසන්නේ, ඉන්දියාව තම වේලි පකිස්ථාන දේශසීමාවෙන් බොහෝදුරින් ඉදිකර ඇති බැවින් පළමුව තමන්ගේ ම භූමිය ගංවතුරට හසු කිරීමේ අවදානමක් පවතින බව ය. කෙසේ වෙතත්, දැන් ඔවුන්ට පූර්ව අනතුරු ඇඟවීමකින් තොරව තම ජලාශවලින් රොන් මඩ ඉවත් කළ හැකි ය - ඉන් පකිස්ථානයේ පහළ ප්‍රදේශයට හානි විය හැකි ය.

ඉන්දු වැනි හිමාලයේ ගංගාවල රොන් මඩ ඉහළ මට්ටමක් පවතින අතර, ඒවා ඉක්මනින් වේලි සහ අමුණුවලට එකතු වේ. මෙම රොන් මඩ හදිසියේ පිටාර ගැලීමෙන් පහළ ප්‍රදේශවලට සැලකිය යුතු හානියක් සිදුවිය හැකි ය.

මෙහි සමස්ත කාරණය පිරික්සීමේදී, ඉන්දියාව බ්‍රහ්මපුත්‍ර ද්‍රෝණියේ චීනයට පහළින් පිහිටා ඇති අතර ඉන්දු ගඟ ආරම්භ වන්නේ ටිබෙට් භූමියෙනි.

2016 දී, ඉන්දීය පාලිත කාශ්මීරයේ සටන්කාමී ප්‍රහාරයකින් පසු "ලේ සහ ජලය එකට ගලා යා නොහැකි" බවට ඉන්දියාව අනතුරු ඇඟවීමෙන් පසුව, චීනය ජල විදුලි ව්‍යාපෘතියක කොටසක් ලෙස යාර්ලුං සැංපෝහි අතු ගංගාවක් අවහිර කළේ ය. - එය ඊසානදිග ඉන්දියාවේ හඳුන්වන්නේ බ්‍රහ්මපුත්‍ර යනුවෙනි.

ටිබෙට්හි ජල විදුලි බලාගාර කිහිපයක් ඉදිකිරීමෙන් පසු, චීනය යාර්ලුං සැංපෝහි පහළ ප්‍රදේශයේ ලොව විශාලතම වේල්ල ඉදිකිරීමට කොළ එළියක් ලබා දී තිබේ.

ඉන් අවම පාරිසරික බලපෑමක් ඇතැයි චීනය පැවසුව ද, එය ගංගාවේ ගලායාම කෙරෙහි චීනයට සැලකිය යුතු පාලනයක් ලබා දිය හැකි බවට ඉන්දියාව බිය පළ කරයි.