කාශ්මීර ප්‍රහාරය ඉන්දු-පාකිස්ථාන හමුදා ගැටුමක් දක්වා උත්සන්න වීමේ අවදානමක්

Activists of India's Bharatiya Janata Party (BJP) take part in a protest against Pakistan, in Amritsar on April 23, 2025, condemning the Kashmir tourist attack. Gunmen in Indian-run Kashmir killed 26 people on April 22, according to a hospital list of the dead that was verified by police, the region's deadliest attack on civilians since 2000. (

ඡායාරූප මූලාශ්‍රය, AFP

    • Author, සෞතික් බිස්වාස්
    • Role, ඉන්දීය වාර්තාකරු

අඟහරුවාදා (අප්‍රේල් 22) පෙහෙල්ගාම්හි සිදු වූ ලේ වැගිරීම, එනම් අවම වශයෙන් සංචාරකයින් 26 දෙනෙකුට මරු කැඳවූ වෙඩි තැබීම් 2019 වසරෙන් පසු කාශ්මීරයේ සිදු වූ මාරාන්තික ම ත්‍රස්තවාදී ප්‍රහාරය ලෙස ඉතිහාසයට එක් වනු ඇත.

වින්දිතයන් වූයේ සෙබළුන් හෝ නිලධාරීන් නොව, ඉන්දියාවේ ඉතාමත් සුන්දර නිම්නවලින් එකක නිවාඩුවක් ගත කළ සිවිල් වැසියන් ය. ඒ නිසා ම මෙම ප්‍රහාරය ම්ලේච්ඡ හා සංකේතාත්මක වේ: එය ජීවිතවලට පමණක් නොව, මෙම මතභේදාත්මක කලාපය තුළ ප්‍රක්ෂේපණය කිරීමට ඉන්දීය රාජ්‍යය වෙහෙස මහන්සි වී කටයුතු කළ සාමාන්‍ය ජන ජීවිතයක් පිළිබඳ වූ බිඳෙනසුලු හැඟීමකට ද සැලසුම්සහගත ප්‍රහාරයක් එල්ල කර ඇත.

ඉන්දියාව සහ පාකිස්ථානය යන දෙපාර්ශවය ම සම්පූර්ණයෙන් ම හිමිකම් කියන නමුත් එක් එක් පාර්ශවය විසින් අර්ධ වශයෙන් පමණක් පාලනය කරනු ලබන කාශ්මීරයේ දුෂ්කර ඉතිහාසය සැලකිල්ලට ගත් විට, ඉන්දියාවේ ප්‍රතිචාරය අතීත ක්‍රියා අනුව මෙන් ම පීඩනය අනුව ද හැඩගැසීමට ඉඩ ඇති බව විශේෂඥයෝ පවසති.

ආරම්භයක් ලෙස, ඉන්දීය රජය ඉක්මනින් ම පළිගැනීමේ පියවර මාලාවක් ගෙන ඇත: ප්‍රධාන දේශසීමා පිවිසුම් වසා දැමීම, තීරණාත්මක ජල බෙදා ගැනීමේ ගිවිසුමක් අත්හිටුවීම සහ රාජ්‍ය තාන්ත්‍රිකයින් නෙරපා හැරීම ඒවා අතර වේ.

වඩා ත් වැදගත් දෙය නම්, ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං "ශක්තිමත් ප්‍රතිචාරයක්" දක්වන බවට ප්‍රතිඥා දී ඇති අතර, අපරාධකරුවන්ට එරෙහිව පමණක් නොව, ඉන්දීය භූමියේ "දුෂ්ට ක්‍රියාවන්" පිටුපස සිටින මහ මොළකරුවන්ට එරෙහිව ද පියවර ගන්නා බවට ප්‍රතිඥා දී තිබේ.

විශ්ලේෂකයින් පවසන පරිදි, ප්‍රශ්නය වන්නේ මිලිටරි ප්‍රතිචාරයක් ලැබේ ද යන්න නොව - එය කවදා ද, කෙසේ ද යන්න සහ කුමන පරිමාණයකින් සිදුවේ ද යන්න ය.

"අපිට ශක්තිමත් ප්‍රතිචාරයක් දකින්න පුළුවන් වෙයි - ඉන්දියානු වැසියන්ට සහ පාකිස්ථානයේ මේ ප්‍රහාරය පිටුපස ඉන්න අයට දෙන පණිවිඩයක් විදිහට. 2016 ඉඳලා සහ විශේෂයෙන් 2019න් පස්සේ, සාමාන්‍යයෙන් ප්‍රතිචාර දක්වන්නේ දේශසීමා හරහා සිදු කෙරෙන ප්‍රහාර හෝ ගුවන් ප්‍රහාරවලින්, යැයි හමුදා ඉතිහාසඥ ශ්‍රීනාත් රාඝවන් බීබීසීයට පැවසීය.

"දැන් ඊට පහළින් ක්‍රියා කිරීම රජයට අපහසු වේවි. පාකිස්ථානය පෙර මෙන් ප්‍රතිචාර දක්වාවි. අවදානම තමයි, සෑම විට ම වගේ, වැරදි ගණනය කිරීම් - දෙපැත්තෙන් ම."

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

2016 සහ 2019දී ඉන්දියාව විසින් සිදු කරන ලද ප්‍රධාන පළිගැනීම් දෙකක් රාඝවන් ගෙනහැර දක්වයි.

2016 සැප්තැම්බර් මාසයේදී ඉන්දියානු සෙබළුන් 19 දෙනෙකු මිය ගිය මාරාන්තික ඌරී ප්‍රහාරයෙන් පසු, ඉන්දියාව පාකිස්ථාන පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ සිට සටන්කාමීන් ඉන්දියාවට පැමිණීමට සූදානම් වන ස්ථාන ඉලක්ක කර ගනිමින් නිල නොලත් දේශසීමාව එනම් පාලන රේඛාව (LoC) හරහා ප්‍රහාර එල්ල කළේය. ඒ, පාකිස්ථාන පාලනයට නතු කාශ්මීර කාලාපයේ සටන්කාමීන් ප්‍රහාර දියත් කිරීමට යොදා ගන්නා බවට ඔවුන් කියන ස්ථාන ඉලක්ක කරමිනි.

2019දී, පුල්වාමාහි අවම වශයෙන් පැරාමිලිටරි භටයින් 40 දෙනෙකු මිය ගිය පසු, ඉන්දියාව බාලාකෝට්හි සටන්කාමී කඳවුරකට ගුවන් ප්‍රහාර එල්ල කළේ ය. 1971න් පසු පාකිස්ථානය තුළ අභ්‍යන්තරය වන්නට එවැනි ප්‍රහාරයක් එල්ල කළ පළමු අවස්ථාව එයයි. පාකිස්ථානය ගුවන් ප්‍රහාරවලින් ප්‍රතිචාර දැක්වූ අතර, එය ගුවන් සටනකට තුඩු දුන් අතර ඉන්දියානු ගුවන් නියමුවෙකු කෙටි කලට සිය ග්‍රහණයට ගත්තේ ය. දෙපාර්ශවය ම ශක්තිය පෙන්වූ නමුත් පූර්ණ පරිමාණ යුද්ධයක් ඇති වීම වළක්වා ගත්හ.

වසර දෙකකට පසු, 2021දී, ඔවුන් LoC සටන් විරාමයකට එකඟ වූ අතර, ඉන්දීය පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ නැවත නැවතත් සටන්කාමී ප්‍රහාර සිදු වුව ද, එය බොහෝ දුරට ක්‍රියාත්මක විය.

විදේශ ප්‍රතිපත්ති පිළිබඳ විශ්ලේෂකයෙකු වන මයිකල් කුගල්මන් විශ්වාස කරන්නේ නවතම ප්‍රහාරයේදී ඉහළ මරණ මට්ටමක් සහ ඉන්දියානු සිවිල් වැසියන් ඉලක්ක කර ගැනීම යන දෙකෙහි සංයෝජනය "දිල්ලි රජය පාකිස්ථාන ඊට සම්බන්ධ බවට උපකල්පනය කරන්නේ නම් පාකිස්ථානයට එරෙහිව ඉන්දියානු හමුදා ප්‍රතිචාරයක් දැක්වීමේ ප්‍රබල හැකියාවක් හඟවනවා," යනුවෙනි.

වීඩියෝ ශීර්ෂ වැකිය, නරඹන්න: පෙහෙල්ගාම්හිදී සංචාරකයින්ට තුවක්කුකරුවෙකු වෙඩි තැබීමෙන් පසු ආරක්ෂක අංශ සාමාජිකයින් ඒ දෙසට දිව යමින්

"එවැනි ප්‍රතිචාරයකින් ඉන්දියාවට ලැබෙන ප්‍රධාන වාසිය දේශපාලනික වේවි මොකද ඉන්දියාවට බලහත්කාරයෙන් ප්‍රතිචාර දැක්වීමට දැඩි මහජන පීඩනයක් එල්ල වෙන නිසා," ඔහු බීබීසීයට පැවසීය.

"තවත් වාසියක් තමයි, පළිගැනීමකින් ත්‍රස්තවාදී ඉලක්ක සාර්ථකව විනාශ කළොත්, ඒකෙන් ඉන්දියාවට ඉදිරියේදී ඇති විය හැකි තර්ජන බිය වැද්දීමක් වෙනවා වගේ ම ඒවා දුර්වල කරනවා. අවාසිය තමයි පළිගැනීමක් බරපතළ අර්බුදයකට සහ ගැටුමකට පවා තුඩු දිය හැකි වීම."

ඉන්දියාවේ විකල්ප මොනවා ද?

රහසිගත ක්‍රියාමාර්ග ගැනීම ඒවා තමන් කළ බව ප්‍රතික්ෂේප කිරීමේ හැකියාව ලබා දෙන නමුත් අනෙක් පාර්ශවය බිය වැද්දීම දෘශ්‍යමාන ලෙස ප්‍රතිස්ථාපනය කිරීමේ දේශපාලන අවශ්‍යතාවය සපුරාලන්නේ නැති බව ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇල්බනි විශ්වවිද්‍යාලයේ ක්‍රිස්ටෝෆර් ක්ලැරි පවසයි.

එමගින් ඉන්දියාවට විකල්ප දෙකක් ඉතිරි වන බව ඔහු සඳහන් කරයි.

පළමුව, 2021 LoC සටන් විරාමය දුර්වල වෙමින් පවතින අතර, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි දේශසීමා ප්‍රහාර නැවත ආරම්භ කිරීමට කොළ එළියක් දැල්විය හැක.

දෙවනුව, 2019දී මෙන් ගුවන් ප්‍රහාර හෝ සාම්ප්‍රදායික කෲස් මිසයිල ප්‍රහාර පවා සලකා බැලිය හැක. ඒ සෑම එකක් ම පළිගැනීමේ සර්පිලාකාරයක අවදානම දරයි. එය ඉන් (2019) පසුව ඇති වූ ගුවන් ගැටුම්වලින් දැකිය හැකි ය.

"අවදානමක් නැති කිසි ම මාර්ගයක් නැහැ. එක්සත් ජනපදයේ අවධානයත් වෙනතකට යොමු වෙලා නිසා අර්බුද කළමනාකරණයට සහාය වීමට කැමැත්තක් හෝ හැකියාවක් නොතිබිය හැකියි, දකුණු ආසියාවේ දේශපාලනය අධ්‍යයනය කරන ක්ලැරි බීබීසීයට පැවසීය.

ඕනෑ ම ඉන්දියා-පාකිස්ථාන අර්බුදයක ඇති බරපතළ ම අවදානමක් වන්නේ දෙපාර්ශවය ම න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ වීමයි. එම කරුණ සෑම තීරණයක් කෙරෙහි ම බලපෑමක් ඇති අතර, එය මිලිටරි උපාය මාර්ග පමණක් නොව දේශපාලන චින්තනය ද හැඩගස්වයි.

"න්‍යෂ්ටික අවි, අනතුරක් මෙන් ම බාධාවක් ද වෙනවා. ඒවා දෙපාර්ශ්වයේ ම තීරණ ගන්නන්ට ප්‍රවේශමෙන් ක්‍රියා කරන්නන්න බල කරනවා. ඕනෑ ම ප්‍රතිචාරයක් නිරවද්‍ය සහ ඉලක්කගත ලෙස ඉදිරිපත් කිරීමට ඉඩක් තියෙනවා. පාකිස්ථානය ද එලෙස ම ප්‍රතිප්‍රහාර එල්ල කළ හැකියි වගේ ම, පස්සේ ඒකෙන් ඉවත් වෙන්න මාර්ගයක් සොයාවි," රාඝවන් පවසයි.

"ඊශ්‍රායලය-ඉරානය වගේ අනෙක් ගැටුම්වලදී ත් අපි මේ රටාව දැකලා තියෙනවා - ඉතා සූක්ෂමව සැලසුම් කරන ලද ප්‍රහාර සහ පසුව උත්සන්න කිරීමේ උත්සහයන්. නමුත් අවදානම තමයි පිටපතට අනුව දේවල් සිදු නොවීම."

Heavy security deploys outside the Government hospital where tourists receive treatment after being injured in a militant attack in Pahalgam, Jammu and Kashmir, India, on April 23, 2025

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, පෙහෙල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයෙන් තුවාල ලැබූ සංචාරකයින්ට ප්‍රතිකාර කෙරෙන රෝහලෙන් පිටත දැඩි ආරක්ෂාවක් යොදවා ඇති ආකාරය

පුල්වාමා අර්බුදයෙන් උගත හැකි පාඩම්වලින් එකක් නම් "ඉන්දියාව සහ පාකිස්ථානය යම්තාක් දුරකට පමණක් පළිගැනීම," යැයි කුගල්මන් පවසයි.

"බරපතළ අර්බුදයක හෝ ගැටුමක අවදානම සමග පළිගැනීමේ දේශපාලනික සහ උපායික වාසි කිරා මැන බැලීමට ඉන්දියාවට සිදුවේවි."

2016දී මෙන් සීමිත "සිවිල් ජනතාවට හානියක් නොවන ලෙස ප්‍රහාර එල්ල කිරීම" සලකා බැලීමට ඉන්දියාව ඉඩ ඇති බැවින්, මෙවරත් ගැටුම් උත්සන්න විය හැකි බව ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු පාකිස්ථාන තානාපති හුසේන් හකානි විශ්වාස කරයි.

"ඉන්දියාවේ දෘෂ්ටි කෝණයෙන් බැලුවොත් එවැනි ප්‍රහාරවල වාසිය තමයි ඒවායේ ඉලක්කය සීමිත වීම. ඒ නිසා පාකිස්ථානයට ප්‍රතිචාර දැක්වීමට සිද්ධ වෙන්නේ නැහැ. නමුත් ඒවා ඉන්දියාව පියවර ගෙන ඇති බව ඉන්දියානු මහජනතාවට පෙන්නුම් කරනවා," අන්වර් ගාර්ගාෂ් රාජ්‍ය තාන්ත්‍රික ඇකඩමියේ සහ හඩ්සන් ආයතනයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන හකානි බීබීසීයට පැවසීය.

"නමුත් එවැනි ප්‍රහාර පාකිස්ථානයෙන් පළිගැනීම්වලට ත් ආරාධනාවක් වෙන්න පුළුවන්, කිසිදු විමර්ශනයක් හෝ සාක්ෂි නොමැතිව සොයා බැලීමකින් තොරව සිද්ධ කරන ප්‍රතික්‍රියාවකට තමන් දොස් පවරනවා කියලා ඔවුන් තර්ක කරාවි."

ඉන්දියාව කුමන මාවතක් තෝරා ගත්තත් - සහ පාකිස්ථානය කෙසේ ප්‍රතිචාර දැක්වුවත් - සෑම පියවරක් ම අවදානම් සහගතයි. ගැටුම් උත්සන්න වීමේ තර්ජනය මතුවෙමින් පවතින අතර, ඒත් සමග ඉන්දීය පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ පවතින පහසුවෙන් හානි විය පළුදු විය හැකි සාමය තවදුරටත් දුරස් වනු ඇත.

ඒ සමග ම, ප්‍රහාරය සිදුවීමට හේතු වූ ආරක්ෂක අසාර්ථකත්වයන් පිළිබඳව ඉන්දියාව මුලින් ම සලකා බැලිය යුතු ය. "සංචාරක සමයේ උච්චතම අවස්ථාවේදී එවැනි ප්‍රහාරයක් සිදුවීම බරපතළ අඩුපාඩුවක් පෙන්නුම් කරනවා. විශේෂයෙන් ෆෙඩරල් රජය නීතිය හා සාමය ඍජුව ම පාලනය කරන යූනියන් ප්‍රදේශයක," රාඝවන් සඳහන් කළේ ය.