අරුණාචල් ප්‍රදේශ් කඳුකර දේශසීමාවේදී ඉන්දීය සහ චීන හමුදා ගැටෙති

Indian army trucks on road to Tawang, 2021

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, නවතම ගැටුම හටගෙන ඇත්තේ අරුනාචල් ප්‍රදේශ්හි තවාන්ග් ප්‍රදේශයේ බව ඉන්දීය හමුදාව පවසයි

තම හමුදා චීන හමුදා සමග දේශසීමාව ඔස්සේ මතභේදයට තුඩු දී ඇති ප්‍රදේශයකදී ගැටුණු බවත් වසරකට වැඩි කාලයකට පසු එවැනි හදිසි ගැටුමක් ඇතිවූ පළමු අවස්ථාව එය බවත් ඉන්දියාව පවසයි.

2020දී ඇති වූ විශාල ගැටුමකින් අවම වශයෙන් භටයින් 24 දෙනෙකු මිය ගිය දා සිට ආතතීන් අවම කර ගැනීමට දෙරට කටයුතු කරමින් සිටියේ ය.

නමුත් සඳුදා ඉන්දීය හමුදාව පැවසුවේ, ඉන්දියාවේ නැගෙනහිර කෙළවර වන අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ තවාන්ග් ප්‍රදේශයේ පසුගිය සිකුරාදා ගැටුමක් ඇති වූ බව ය.

දෙපාර්ශවයම ගැටුමට සම්බන්ධ වී ඇති අතර සෙබළුන් කිහිප දෙනෙකු සුළු තුවාල ලබා ඇත.

අවම වශයෙන් ඉන්දීය සෙබළුන් හය දෙනෙකු තුවාල ලබා ඇතැයි ඉන්දීය හමුදා මූලාශ්‍රයක් පවසන බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේ ය.

"දෙපාර්ශවය ම වහා ම එම ප්‍රදේශයෙන් ඉවත් වුණා," ඉන්දීය හමුදාව පැවසීය.

ඔවුන් සඳහන් කළේ, දෙපාර්ශවයේ ම අණ දෙන නිලධාරීන් "සාමය සහ සන්සුන්භාවය යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා" වහා ම රැස්වීමක් කැඳවූ බව ය.

අඟහරුවාදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අමතමින් ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං පැවසුවේ, චීන හමුදා යැන්ග්සේ ප්‍රදේශය අසල මතභේදයට තුඩු දී ඇති දේශසීමාව ඔස්සේ "ඉන්දියානු භූමිය ආක්‍රමණය කිරීම" සහ "එහි පවතින තත්ත්වය ඒකපාර්ශ්විකව වෙනස් කිරීමට උත්සහ කිරීම" නිසා ගැටුම ආරම්භ වූ බව ය.

ඉන්දියානු සෙබළුන් දැඩි ලෙස ප්‍රතිචාර දැක්වූ අතර චීන හමුදාව "අපේ භූමියට ඇතුළු වීම" වළක්වා ඔවුන්ට නැවත ඔවුන්ගේ මුරපොළවල්වලට යාමට බල කළ බව ඔහු පැවසීය.

සිං මහතා පැවසුවේ, ගැටුමේදී දෙපාර්ශවයේ ම ඇතැම් සෙබළුන් තුවාල ලබා ඇති නමුත් ගැටුමෙන් කිසිදු ඉන්දියානු සෙබළෙකුට "පීඩාවක් හෝ බරපතළ තුවාලයක්" සිදු නොවූ බව ය.

ඔහු ප්‍රකාශ කළේ, ගැටුම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ප්‍රාදේශීය හමුදා අණ දෙන නිලධාරීන් ඉරිදා රැස් වූ බව ත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් "රාජ්‍ය තාන්ත්‍රික මාර්ග හරහා" චීන පාර්ශවය සමග සාකච්ඡා කිරීම ආරම්භ කර ඇති බව ත් ය.

චීනයේ විදේශ අමාත්‍යංශය සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් ලබා නොදුන් නමුත් ඔවුන් දන්නා පරිදි, ඉන්දියාව සමග දේශසීමාවේ තත්ත්වය "බොහෝ දුරට ස්ථාවරව" පැවති බව පැවසීය.

දුර්වල ලෙස මායිම් කර ඇති Line of Actual Control, හෝ LAC ලෙස හඳුන්වන මතභේදයට තුඩු දී ඇති කිලෝමීටර් 3,440 (සැතපුම් 2,100) දිග මායිමක් චීනය සහ ඉන්දියාව බෙදා ගනී. ගංගා, විල් සහ හිමෙන් වැසී ගිය කඳු තිබීම යනු, මායිම වෙනස් විය හැකි බව ය. ලෝකයේ විශාලතම හමුදාවන් දෙකක් නියෝජනය කරන දෙපස සිටින සෙබළු බොහෝ ස්ථානවලදී මුහුණට මුහුණ හමුවෙති.

ආතතීන් ඇතැම් විට ගැටුම් දක්වා වර්ධනය වේ. 2020 ජූනි මාසයේදී බටහිර දෙසින් පිහිටි ලඩාක් කලාපයේ ගැල්වාන් නිම්නයේ ඇතිවූ විශාල සටනකින් ඉන්දියානු සෙබළුන් 20 දෙනෙකු සහ අවම වශයෙන් චීන සෙබළුන් හතර දෙනෙකු මිය ගිය දා සිට දෙපාර්ශවය ම උත්සන්න වීම් අවම කර ගැනීමට උත්සහ කරමින් සිටියහ.

ගිනිඅවිවලින් නොව, පොලු මුගුරුවලින් සටන් කළ එම යුද්ධය වසර 45ක කාලයකට ප්‍රදේශයේ දෙපාර්ශවය අතර ඇති වූ පළමු මාරාන්තික ගැටුම විය.

2021 ජනවාරි මාසයේ ඇති වූ තවත් ගැටුමකින් දෙපාර්ශවයේ ම භට පිරිස් තුවාල ලැබූහ. එය සිදුවූයේ භූතානය සහ නේපාලය අතර පිහිටා ඇති චීනය සහ ඉන්දියාවේ සිකීම් ප්‍රාන්තය අතර දේශසීමාව ඔස්සේ ය.

දෙපාර්ශවය ම හමුදා ඉවත් කර ගැනීම ආරම්භ කරමින් බටහිර හිමාල දේශසීමාව ඔස්සේ මතභේදයට තුඩු දුන් ප්‍රදේශයකින් ඉවත් වීමට සැප්තැම්බර් මාසයේදී දෙරට එකඟ විය.