ඉන්දියාව දෙකඩවීම: වසර 75කට පෙර බ්‍රිතාන්‍ය ඉන්දියාව බෙදීගියේ ඇයි?

Sikh refugees eating free food on the ground in a relief camp in Amritsar in 1947/1948.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 1947/1948 දී අම්රිත්සාර්හි සහන කඳවුරක සිටින සීක් වාර්ගික සරණාගතයින්. ඉන්දියාව දෙකඩ කිරීම නිසා මිලියන 12ත් 20ත් අතර ජනතාවකට සිය මුල් ගම්බිම් අහිමිවිය

1947 අගෝස්තු මාසයේ දී, බ්‍රිතාන්‍යය ඉන්දියාවට නිදහස ප්‍රදානය කළේ ය.

එහි පාලනය යටතේ පැවැති භූමිය ඉන්දියාව සහ නව රාජ්‍යයක් වන පාකිස්ථානය (නැගෙනහිර පාකිස්ථානය පසුකලෙක බංගලාදේශයබවට පත්විය) බෙදා වෙන්කරනු ලැබුණි.

මෙය, ආසන්න වශයෙන් මිලියන 15ක ජනතාවක් අවතැන් කළ, ඇස්තමේන්තුවලට අනුව පුද්ගලයින් මිලියනයකට සිය ජීවිත අහිමිකළ ප්‍රචණ්ඩත්වයක් ඇතිකළේ ය.

එතැන් පටන් ඉන්දියාව සහ පාකිස්ථානය ප්‍රතිවාදී රාජ්‍යයන් ලෙස පවතියි.

India partition

ඉන්දියාව දෙකඩ කෙරුනේ ඇයි?

1946 දී, බ්‍රිතාන්‍යය ඉන්දියාවට නිදහස ලබාදෙන බවට නිවේදනය කළේ ය. එරට තවදුරටත් පාලනය කිරීම බ්‍රිතාන්‍යයට දැරිය නොහැකි බරක්වූ අතර එරටින් හැකිතාක් ඉක්මණින් ඉවත්වයාම ඔවුන්ගේ අභිප්‍රාය විය.

ඉන්දියාවේ අවසන් ප්‍රතිරාජයා වූ ලුවිස් මවුන්ට්බැටන් සාමිවරයා නිදහස ලබාදීමේ දිනය 1947 අගෝස්තු 15 වැනි දා ලෙස නියම කළේ ය.

මෙසමයේ ඉන්දියාවේ ජනගහණයෙන් දළ වශයෙන් 25%ක් පමණ මුස්ලිම්වරුන් වූ අතර, ඉතිරියෙන් බහුතරය හින්දූන් විය. ඊට අමතරව සීක්වරුන්, බෞද්ධයින්, සහ සුළු ආගම් අදහන්නන් ද ජනගහණයට අයත්විය.

Indian independence leaders Jawaharlal Nehru and Mohandas Gandhi talking together in the 1940s

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, නිදහස් ව්‍යාපාරයේ ඉදිරිගාමීන්වූ ජවහර්ලාල් නේරු (වමේ) සහ මෝහන්දාස් ගාන්ධිට (දකුණේ) සියලු ඇදහිලි වැළඳගන්නා ඉන්දියාවක් අවශ්‍යවිය

"බ්‍රිතාන්‍යයන් ඉන්දියාවේ මිනිසුන් කාණ්ඩවලට බෙදීමේ මාර්ගයක් ලෙස ආගම භාවිතා කළා," කලා හා මානව ශාස්ත්‍ර පර්යේෂණ කවුන්සිලයේ ඉන්දියානු සාමාජික මහාචාර්ය නව්තේජ් පුරේවාල් පවසයි.

"උදාහරණයක් විදියට ගත්තොත්, ඔවුන් පළාත් පාලන මැතිවරණ සඳහා වෙන වෙනම මුස්ලිම් සහ හින්දු ඡන්ද ලැයිස්තු හැදුවා. මුස්ලිම් දේශපාලනඥයන්ට වෙනමත්, හින්දු දේශපාලඥයින්ට වෙනමත් ආසන වෙන්කරලා තිබුණා. ආගම දේශපාලනයේ සාධකයක් වුණා."

India partition

"ඉන්දියාව නිදහස ලබන්න යනවා කියලා පැහැදිලිව පෙනෙද්දී, මුස්ලිම් ඉන්දියානුවෝ ගොඩදෙනෙක් බයවුණා, හින්දු බහුතරය මඟින් පාලනය වෙන රටක ජීවත්වෙන්න සිද්ධවෙන එක ගැන" එක්සත් රාජධානියේ චැතම් හවුස් විදේශ ප්‍රතිපත්ති ආයතනයේ ආචාර්ය ගැරත් ප්‍රයිස් පවසන්නට විය.

"ඔවුන්ව යටත්වෙලා, පැරදිලා යාවි කියලා ඔවුන් හිතුවා," ඔහු පවසයි. "[ඒ නිසා] ඔවුන් වෙනම මුස්ලිම් නිජබිමක් සඳහා ව්‍යාපාර දියත්කළ දේශපාලන නායකයින්ට සහාය දෙන්න පටන්ගත්තා."

කොංග්‍රස් නිදහස් ව්‍යාපාරයේ නායක මෝහන්දාස් ගාන්ධි සහ ජවහර්ලාල් නේරු කියා සිටියේ, තමන්ට අවශ්‍යවන්නේ සියලු ඇඳහිලි වැළඳගන්නා එක්සත් ඉන්දියාවක් බවයි.

Muhammad Ali Jinnah seen arguing with Mohandas Gandhi about partition outside Jinnah's house in 1939

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මුහම්මද් අලි ජින්නා (වමේ), නිදහස සම්බන්ධයෙන් මෝහන්දාස් ගාන්ධිගේ අදහස්වලට දැඩි සේ විරුද්ධ විය

එනමුත්, සමස්ත ඉන්දීය මුස්ලිම් ලීගයේ නායක මුහම්මද් අලි ජින්නා, නිදහස ලබාදීමේ කොටසක් ලෙස ඉන්දියාව බෙදා වෙන්කරන්නැ යි තරයේ ප්‍රකාශ කළේ ය.

"එක්සත් ඉන්දියාවක් ක්‍රියාකරන්නේ කොහොමද කියන එක පිළිබඳව එකඟතාවකට එන්න බොහෝ කාලයක් ගතවෙන්න ඉඩ තිබුණා," ආචාර්ය ප්‍රයිස් පවසයි.

"ඉන්දියාව බෙදා වෙන්කිරීම වේගවත් සහ සරල විසඳුමක් ලෙස පෙනුනා."

A young man with a weapon in the streets of Kolkata (Calcutta) during the Calcutta Killing of 1946, when an estimated 2,000 people died.

ඡායාරූප මූලාශ්‍රය, Huw Evans picture agency

ඡායාරූප ශීර්ෂ වැකිය, 1946 කල්කටා ඝාතනයේ දී හින්දුවරුන් සහ මුස්ලිම්වරුන් වීදිවලට බැස එකිනෙකා හා සටන්කළ අතර 2 000ක් පමණ දෙනා මියගියබව සැලකේ

ඉන්දියාව දෙකඩ කිරීම මඟින් ඇතිකළ පීඩාවන් කෙතරම් විශාල ද?

1947 දී, ඉන්දියාව සහ පාකිස්ථානය අතර නව දේශසීමාව බ්‍රිතාන්‍ය සිවිල් සේවකයෙකුවූ ශ්‍රීමත් සිරිල් රැඩ්ක්ලිෆ් විසින් සකස් කෙරිණ.

ඔහු ඉන්දියානු උප මහද්වීපය ඉතා දළ වශයෙන් කොටස් තුනකට බෙදා වෙන්කළේ ය. එය, හින්දු භක්තිකයන් බහුතරයක් වෙසෙන මධ්‍යම හා දකුණු ප්‍රදේශය එක් කොටසක් ලෙස ද, මුස්ලිම්වරුන් බහුතරයක් වෙසෙන වයඹ සහ ඊසාන දෙසින් කොටස් දෙකක් වශයෙන් ද බෙදා වෙන්කරනු ලැබිණ.

එනමුත්, බ්‍රිතාන්‍ය ඉන්දියාව පුරාම හින්දු හා මුස්ලිම් ප්‍රජාවන් තැනින් තැන විසිරී සිටියේ ය. මෙනිසා රට දෙකඩ කිරීමෙන් පසු, අලුතින් නිර්මාණය කෙරුණු දේශසීමා තරණය කිරීම සඳහා ආසන්න වශයෙන් මිලියන 15ක ජනතාවකට - බොහෝවිට සැතපුම් සියගණනක් - ගමන් කිරීමට සිදුවිය.

බොහෝ අවස්ථාවල දී, වාර්ගික ප්‍රචණ්ඩත්වය හේතුවෙන් බොහෝ ජන පිරිසක් සිය නිවෙස්වලින් පළවාහරිනු ලැබුණි. මේ සඳහා පළමු උදාහරණය වන්නේ 1946 කල්කටා ඝාතන වන අතර, ඇස්තමේන්තුවලට අනුව එයින් ඝාතනයවූ පුද්ගලයන් සංඛ්‍යාව 2000කි.

"මුස්ලිම් ලීගය මිලිෂීයාවන් පිහිටුවා ගත්තා. දක්ෂිණාංශික හින්දු කණ්ඩායම් ද එයම කළා," ලන්ඩන් විශ්වවිද්‍යාලයයේ SOASහි දකුණු ආසියානු ඉතිහාසය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එලීනෝර් නිව්බිගින් පවසන්නී ය.

"ත්‍රස්තවාදී කණ්ඩායම් තමන්ගේ පැත්තට වැඩි පාලන බලයක් ලබාගන්න බලාගෙන මිනිසුන්ව ඔවුන්ගේ ගම්වලින් පන්නා දැමුවා."

Sikh refugees eating free food on the ground in a relief camp in Amritsar in 1947/1948.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 1947/1948 දී අම්රිත්සාර්හි සහන කඳවුරක සිටින සීක් වාර්ගික සරණාගතයින්. ඉන්දියාව දෙකඩ කිරීම නිසා මිලියන 12ත් 20ත් අතර ජනතාවකට සිය මුල් ගම්බිම් අහිමිවිය

200 000ත්, මිලියනයත් අතර මිනිසුන් පිරිසක් මරාදමනු ලැබූ හෝ සරණාගත කඳවුරුවල දී රෝගවලින් මියගොස් ඇතිබවට ගණන් බලා තිබේ.

දසදහස් ගණනක හින්දු හා මුස්ලිම් කතුන් බරපතල ලිංගික අඩත්තේට්ටමට, පැහැරගැනීමට හෝ ශාරීරික විකෘති කිරීම්වලට ලක්කරනු ලැබුණි.

දෙකඩ කිරීමේ ප්‍රතිඵලයවූයේ කුමක් ද?

ඉන්දියාව දෙකඩවීමෙන් පසු, කශ්මීර ප්‍රාන්තයේ පාලන බලය කා සතුවිය යුතු ද යන්න සම්බන්ධයෙන් ඉන්දියාව හා පාකිස්ථානය දිගින් දිගටම සටන්වැදී ඇත.

ඔවුහු එය අළලා දෙවරක් (1947-8 සහ 1965 දී) යුද වැදුණු අතර, 1999 වසරේ දී කශ්මීරයේ කාර්ගිල් අර්බුදයේ දී ද ගැටුම් ඇතිකර ගත්හ.

දෙරටම කශ්මීර පළාත තමා සතුයැ යි කියාගන්නා අතර, දැනට එහි විවිධ කොටස් පරිපාලනය කරයි.

India partition

1971 දී ද ඉන්දියාව පාකිස්ථානයට එරෙහිව සටන් වැදුනේ ය. ඒ, පාකිස්ථානයට එරෙහිව නැගෙනහිර පාකිස්ථානය (දැන් බංගලාදේශය) සිදුකළ නිදහස් සටනේ දී ඔවුනට සහායදීමට මැදිහත්වීමෙනි.

මේ වන විට පාකිස්ථානයේ හින්දු ජනගහණය 2%කටත් අඩු ය.

"පාකිස්ථානය තව තවත් ඉස්ලාමික අතට හැරිලා තියෙනවා," ආචාර්ය ප්‍රයිස් ප්‍රකාශ කරයි. "මේකට එක් හේතුවක් වන්නේ ඒ රටේ ජනගහණයෙන් විශාල පිරිසක් මුස්ලිම් ජනයා වීම සහ එහි ඉතිරිව සිටින හින්දූන් සංඛ්‍යාව ඉතාම අඩුවීම."

"ඒ වගේම ඉන්දියාව දැන් වැඩි වැඩියෙන් හින්දු ජාතිකවාදයේ බලපෑම යටතට පත්වෙමින් තියෙනවා."

Destroyed buildings in Amritsar after widespread communal violence in March 1947.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 1947 කෝලාහලවල දී අම්රිත්සාර්හි ඇතැම් ප්‍රදේශ සුන්බුන්බවට හැරිණි. මුස්ලිම්වරුන්ට නගරය පාකිස්ථානයේ කොටසක්බවට පත්කිරීමට අවශ්‍යවූ අතර, හින්දු භක්තිකයින්ට එය ඉන්දියාවට අයත්ව පවතිනු දැකීම අවශ්‍යවිය

"[ඉන්දියාව] දෙකඩවීමේ උරුමය දුක්ඛිත යි," ආචාර්ය නිව්බිගින් ප්‍රකාශ කරයි.

"එය දෙරටම බලවත් ආගමික බහුතරයක් නිර්මාණය කරලා තියෙනවා. සුළුජාතීන් පෙරට වඩා කුඩාවෙලා, අවදානමට ලක්වෙලා ඉන්නවා."

මහාචාර්ය නව්තේජ් පුරේවාල් ප්‍රකාශ කරන්නේ දෙකඩ කිරීම වැළැක්විය හැකිව තිබූ බව යි.

"1947 දී එක්සත් ඉන්දියාවක් නිර්මාණය කරන්නට ඉඩක් තිබුණා. ඒකට මුස්ලිම්වරුන් බහුතරයක් වෙසෙන ප්‍රාන්ත ඇතුළුව, ලිහිල් වශයෙන් එක්ව බැඳී තිබෙන ප්‍රාන්ත ඇති ෆෙඩරේෂන් එකක් විදියට නිර්මාණය කරන්න තිබුණා," ඇය පවසන්නී ය.

"නමුත් ගාන්ධි සහ නේරු යන දෙදෙනාම මධ්‍යගතව පාලනය වෙන එක්සත් රාජ්‍යයක් අවශ්‍ය බවට බලකළා. මුස්ලිම් සුළුතරයක් එවැනි රටක් තුළ ජීවත් වෙන්නේ කොහොමද කියන එක ඔවුන් සැබැවින්ම සලකා බැලුවේ නැහැ."