අර්බුදයෙන් ගොඩඒමට චීනයෙන් ශ්‍රී ලංකාවට ලැබෙන සහාය කෙබඳු ද?

ඡායාරූප මූලාශ්‍රය, @ChinaEmbSL
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින දැවැන්ත ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා අසල්වැසි ඉන්දියාව ඇතුළුව අමෙරිකා එක්සත් ජනපදය, ජපානය, යුරෝපා සංගමය ආදියේ රටවල් මෙරටට සහය ලබා දෙමින් සිටියි.
එම පසුබිම තුළ, මහින්ද රාජපක්ෂ පාලන සමය තුළ අඛණ්ඩව මෙරටට ආධාර හා ණය පහසුකම් මෙන්ම යටිතල ව්‍යුහයන් ගොඩනැගීම සඳහා ණය පහසුකම් ලබාදුන් චීනයේ වත්මන් භූමිකාව කෙබඳු ද?
කොළඹ චීන තානාපති කී සෙන්හොං ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවේ නොවැම්බර් 25 වැනිදා සහතික වී ඇත්තේ වත්මන් අභියෝග ජය ගැනීම සඳහා චීනයේ අඛණ්ඩ සහය ලබාදෙන බවට ය.
“ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනයට උපරිම සහාය”
ශ්‍රී ලංකාව තුළ චීනයේ ආයෝජන සහ මූල්‍යකරණයේ දී කිසිවිටෙකත් ආත්මාර්ථකාමී දේශපාලන වාසි අපේක්ෂා නොකරන බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක ෂාඕ ලිජියන් අවධාරණය කළේ ය.
නොවැම්බර් 28 වැනිදා බෙයිජිංහි දී ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු අවධාරණය කළේ, ශ්‍රී ලංකාවට චීනය ලබා දෙන සහය කිසිවිටෙකත් දේශපාලන අරමුණවලට යට නොවන බව ය.
චීනය, ශ්‍රී ලංකාව මුහුණ දී සිටින දුෂ්කරතා සහ අභියෝග සම්බන්ධයෙන් පූර්ණ වශයෙන් සම්බන්ධවෙමින් ශ්‍රී ලංකාව සමග සාකච්ඡා කර, ඒවා නිසි ලෙස විසඳීමට අදාළ මූල්‍ය ආයතනවලට සහාය දක්වන බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.
“අපට හැකියාව ඇති අයුරින් අපි ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනයට සහයෝගය ලබා දී ඇත,” ඔහු ප්‍රකාශ කළේ ය.
මෙම වසරේ චීන-ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 65ක් සපිරෙන අතර රබර්-සහල් ගිවිසුමට වසර 70ක් සපිරෙයි.
එය අතීත ජයග්‍රහණ මත ගොඩනැඟීම සහ නැවුම් ප්‍රගතිය උදෙසා ක්‍රියා කිරීම ඉතා වැදගත් බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.
මෙරට ධීවරයින්ට හා ගොවීන්ට චීනයෙන් ඩීසල් පරිත්‍යාගයක්
චීනය විසින් ශ්‍රී ලංකාවේ ගොවීන් සහ ධීවරයින් වෙත පරිත්‍යාග කරන ලද ඩීසල් ලීටර් මිලියන 10.6ක් (මෙට්‍රික් ටොන් 9,000) රැගත් "සුපර් ඊස්ටර්න්" තෙල් නෞකාව ඊයේ (නොවැ. 26) කොළඹ වරායට පැමිණ නැංඟුරම් දමනු ලැබීය.
නෞකාවේ ඩීසල් නියැඳි පරීක්ෂාවෙන් පසු ගොඩබෑම ආරම්භ කිරීමට නියමිත ය.
ඩීසල් තොගය විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය වෙත භාරදීමෙන් අනතුරුව කඩිනමින් බෙදා හැරීමට පියවර ගන්නාබව කොළඹ චීන තානාපති කාර්යාලය සදහන් කළේ ය.
සහල් මෙට්‍රික් ටොන් 7000ක පරිත්‍යාගයක්
2022 වසර තුළ දී චීනය විසින් මෙරට පාසල් දරුවන් වෙනුවෙන් සහල් මෙට්‍රික් ටොන් 7000ක් ද පරිත්‍යාග කරනු ලැබීය.
ඊට සහල් ඇතුලත් ඇසුරුම් 700,000ක් ඇතුළත් වේ.
එම සහල් තොගය පසුගිය ජුනි මාසයේ සිට අදියර වශයෙන් මෙරටට එවා තිබූ අතර, පසුගිය 19 වැනිදා මෙට්‍රික් ටොන් 1000ක (පැකට් 100,000) සහල් තොගයක් මෙරටට එවා තිබුණි.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post
චීනයෙන් රුපියල් බිලියන 3ක ඖෂධ ආධාර
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
චීනය, ඉන්දියාව, ජපානය, අමෙරිකා එක්සත් ජනපදය ඇතුළු රටවලින් මෙරටට ඖෂධ විශාල ප්‍රමාණයක් දැනටමත් පරිත්‍යාගකර ඇත.
කොරෝනා සමයේ දී ද චීනය, ඉන්දියාව, හා එක්සත් ජනපදය මෙරටට අවශ්‍ය කොවිඩ් එන්නත් විශාල ප්‍රමාණයක් ප්‍රදානය කර තිබුණි.
චීන මානුෂීය ආධාර වැඩසටහනේ දෙවන අදියරේ දෙවන කොටස ලෙස රුපියල් බිලියන 1.8ක ඖෂධ තොගයක් පසුගිය මාසයේ මෙරටට ලැබිණි.
කොළඹ චීන තානාපති කාර්යාලයය සඳහන් කළේ පසුගිය ජූනි සහ සැප්තැම්බර් මාසවල දී රුපියල් බිලියන 1.2ක ඖෂධ මෙරටට ප්‍රදානය කළ බව ය.
චීන මානුෂීය ආධාර දෙවන කොටස යටතේ මේ වන විට රුපියල් බිලියන තුනක ඖෂධ තොගයක් මෙරටට ලැබී ඇතැ යි සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කළේ ය.
වකුගඩු, ජලභීතිකා, පෙනහැළි ආසාදන, පිළිකා ආදී රෝග සඳහා ඖෂධ මෙන්ම ප්‍රතිශක්තීකරණ ඖෂධ තොගයක් ද මෙම පරිත්‍යාග අතර වේ. මිනිස් භාවිතය සඳහා ජලභීතිකා එන්නත් මාත්‍රා 330 300ක් ද ආධාර තොගයට අයත් ය.
එහි තවත් ඖෂධ තොගයක් ඉදිරි මාස කිහිපය තුළ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත අතර දෙවන අදියර යටතේ ඖෂධ වර්ග 17ක් ලැබීමට නියමිතව ඇතැ යි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසීය.
ශ්‍රී ලංකාව මෙම අභියෝගාත්මක අවස්ථාවේ දී අදාළ ආධාර දැඩි අවශ්‍යතා සහිත පුද්ගලයින්ට ලබාදීමට කටයුතු කරනු ඇතැ යි ශ්‍රී ලංකා චීන තානාපති කාර්යාලයය පවසයි.
වත්මන් අභියෝගවලට මුහුණ දෙන වඩාත්ම අවශ්‍යතා ඇති පුද්ගලයින් වෙත සහායවීම සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන් සමග සමීපව කටයුතු කරන බව ද එම කාර්යාලයය සඳහන් කළේ ය.
චීනයෙන් ශිෂ්‍යත්ව
මේ අතර චීනය 2023/24 අධ්‍යයන වසර සඳහා සුදුසුකම් ලත් ශ්‍රී ලාංකික උපාධිධාරීන් සඳහා චීනයේ ඉහළම විශ්වවිද්‍යාල 280ක අධ්‍යාපනය ලැබීම සඳහා රජයේ ශිෂ්‍යත්ව 36ක් (පශ්චාත් සහ ආචාර්ය උපාධි) මෙරට සිසුන් වෙනුවෙන් ප්‍රදානය කර ඇත.
මේ යටතේ සිසුන්ගේ උපකාරක පන්ති ගාස්තු, නේවාසිකාගාර පහසුකම්, මාසික දීමනාව සහ විස්තීර්ණ වෛද්‍ය රක්ෂණය යන සියල්ල ආවරණය කෙරෙනු ඇත.

ණය ප්‍රතිව්‍යුගතකරණය යතාර්ථයක් වෙයි ද?
මේ වන විට ශ්‍රී ලංකාවේ වැඩි අවධානයක් යොමු වී ඇත්තේ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා චීනය ලබා දෙන සහාය පිළිබඳව ය.
ජාත්‍යන්තර ණය අරමුදලෙන් අපේක්ෂණ ණය පහසුකම ලබා ගැනීම සඳහා ණය ප්‍රතිව්‍යුහගතකරණය ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය සාධකයක් වී තිබේ.
ජනාධිපතිවරයා සමග නොවැ. 25 වැනිදා පැවති සාකච්ඡාවේ දී ශ්‍රී ලංකාවේ ණය ගැටලු පිළිබඳ ප්‍රගතිශීලී ද්විපාර්ශ්වික සහ බහුවිධ සාකච්ඡා සමාලෝචනය කළ බව ද කොළඹ චීන තානාපති කාර්යාලයය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අවධාරණය කළේ ය.
එමෙන්ම චීනය පිළිබඳ විදේශ මාධ්‍ය විසින් වැරදි තොරතුරු බෙදාහැරීම ද ජනාධිපතිවරයා සමග පැවති හමුවේ දී චීන තානාපතිවරයා හෙළාදුටු බව කොළඹ චීන තානාපති කාර්යාලයය පැවසීය.
කොළඹ විශ්වවිද්‍යාලයයේ ජාත්‍යන්තර සම්බන්ධතා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය හසිත කන්දඋඩහේවා කියා සිටියේ චීනය හදිසි ආධාර අඛණ්ඩව ලබා දෙනු ඇති බව ය.
“ඉමර්ජන්සි ඒඩ් දෙනවා. හැබැයි ඉමර්ජන්සි ඒඩ්වලින් එහාට දෙන පාටක් නැහැ," ඔහු සඳහන් කළේ ය.
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා පෙන්වාදුන්නේ ණය ප්‍රතිව්‍යුගතකරණය සම්බන්ධයෙන් චීනය තවමත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට එකඟතාව පළ කර නොමැති බව ය.
"IMF එකට එකඟ වෙලා නැහැ, දෙනවයි කියලා කියලා තියෙන්නේ. අනිත් පැත්තෙන් චීනයෙන් ණය සහනයක් නැහැ. අපිට චීනයෙන් දීර්ගකාලීන සහයක් ලබාගන්න අමාරු යි,” ඔහු සඳහන් කළේ ය.
කෙසේ වෙතත් සීතාවක ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිනී ශෂී හෙට්ටිආරච්චි ඇතුළු පිරිසක් කොළඹ චීන තානාපති කාර්යාලයය ඉදිරිපිට පසුගිය 11 වැනිදා විරෝධතාවකට එක්වෙමින් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුගතකරන වැඩපිළිවෙළට සහාය දෙන ලෙස යි.
කෙසේ වෙතත් මෙම විරෝධතාවට පක්ෂයේ කිසිදු සම්බන්ධතාවක් නැතැ යි එක්සත් ජාතික පක්ෂය පසුව පැවසීය.
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කාරණය, කිසියම් දේශපාලන පක්ෂයකට හෝ කිසියම් පුද්ගලයෙකුට අයත් කාරණයක් නොවන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයා එහිදී අවධාරණය කළේ ය.
මේ අතර 2022 වසරේ ජනවාරි මස චීන විදේශ අමාත්‍ය වන්ග් යීගේ ශ්‍රී ලංකා සංචාරය තුළ දී ඔවුන් මෙරට සමග ගිවිසුම් දෙකකට අත්සන් තැබීය.
එක් ගිවිසුමක් යටතේ යුවාන් මිලියන 800ක් (ඩොලර් මිලියන 120ක් පමණ) ශ්‍රී ලංකාවේ ආයෝජන පහසුකම් ලෙස සැපයීමට අදාළව අත්සන් තැබුණි.
අඩු ආදායම්ලාභීන් සඳහා නිවාස 1996ක් ඉදිකිරීම සඳහා දෙවැනි ගිවිසුම අත්සන් තැබුණු අතර, දෙරට අතර ද්වීපර්ශවික වෙළෙඳ හා ආර්ථික ගනුදෙනු හා රාජතාන්ත්‍රික සබඳතා ඉදිරියට පත්වාගෙන යා යුතු ආකාරය සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී තිබුණි.











