"ශ්‍රී ලංකාව 'එක් චීනයක්' ප්‍රතිපත්තියට කැපවෙනවා"-ජනපති රනිල් කියයි: පෙලෝසිගේ සංචාරයෙන් පසු චීනය තායිවාන් මුහුදේ යුධ අභ්‍යාස කරමින් සැරසෙන්නේ යුද්ධයකටද?

chinese military helicopter by Pingtan island near taiwan 04 Aug

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, බ්‍රහස්පතින්දා (අගෝ. 4) තායිවාන සමුද්‍ර සන්ධියෙන් එපිට පිහිටි පිංටන් දූපත අසල සැරිසැරූ චීන හමුදා හෙලිකොප්ටරයක්

මේ වන විට චීනය තායිවානය අවට මුහුදේ දී එරට ඉතිහාසයේ විශාලතම යුද අභ්‍යාසය සිදුකරමින් සිටියි. මෙයට ආසන්නතම හේතුව වූයේ එක්සත් ජනපද දේශපාලඥවරියක වන නැන්සි පෙලෝසි තායිවානයේ සංචාරයක යෙදීම යි.

සජීවී වෙඩි තැබීමේ පුහුණුවීම් එරට වේලාවෙන් මධ්‍යහ්නයේ දී (ශ්‍රී ලංකා වේලාවෙන් පෙ. ව. 09:30ට) ඇරඹුණු අතර දිවයිනේ සිට කිලෝමීටර 19ක ප්‍රදේශයක් තුළ ස්ථාන කිහිපකයදී මෙම සරඹ පැවැත්වීමට නියමිත ය.

මේ සම්බන්ධයෙන් තායිවානය පවසන්නේ චීනය කලාපයේ වත්මන් දේශපාලන තත්ත්වය වෙනස් කිරීමට උත්සාහ කරන බව යි.

පෙලෝසි, චීනය තමාගෙන් වෙන්වූ පළාතක් ලෙස සලකන තායිවානයට කෙටි නමුදු මතභේදාත්මක සංචාරයක යෙදුනා ය.

මේ සඳහා චීනයේ ප්‍රධාන ප්‍රතිචාරය වන්නේ යුද අභ්‍යාසවුව ද, දිවයින සමඟ වන ඇතැම් වෙළඳ කටයුතු ද චීනය අවහිරකර තිබේ.

මෙම යුද අභ්‍යාසයන් කාර්යයබහුල මුහුදු මාර්ගවල දී සිදුවනු ඇතැ යි ද, දිගුදුර සජීවී උණ්ඩවලින් වෙඩි තැබීම සිදුවනු ඇතැ යි ද චීන රජය පවසයි.

Chinese military excercises

මෙය මුහුදු හා ගුවන් ගමන් අවහිර කිරීමකැයි තායිවානය ප්‍රකාශ කරන අතර එක්සත් ජනපදය පවසන්නේ මෙම අභ්‍යාසයන් වගකීම් විරහිත හා පාලනයෙන් ගිලිහී යා හැකි ඒවා බවයි.

විශ්ලේෂක බොනී ලින් BBCයට පැවසුවේ තායිවාන හමුදාව මෙයට ප්‍රවේශම්සහගතව ප්‍රතිචාර දක්වනු ඇති නමුත් ගැටුම් ඇතිවීමේ අවදානමක් පවතින බවකි.

"උදාහරණයක් විදියට, චීනය තායිවානයේ ගුවන් සීමාවට ඉහළින් තමන්ගේ ගුවන්යානා පියාසර කරවන්න තීරණය කළොත්, තායිවානය ඒවා වළක්වන්නට උත්සාහ දරන්න ඉඩ තියෙනවා. එහෙම වුණොත් අපට දකින්නට ලැබේවි අහසේ දී සිදුවන ගුවන්යානා ගැටුමක්. එකිනෙකට වෙනස් සිදුවීම් ගොඩක් සිදුවෙන්න පුළුවන්බව අපට පේනවා," ඇය පැවසුවා ය.

තායිවානය කියා සිටින්නේ බදාදා (අගෝස්තු 3) චීන යුද ගුවන්යානාවන්ට අනතුරු හැඟවීම සඳහා හදිසි පියවරක් ලෙස තමා සිය ජෙට්යානා අහසට නැංවූ බව යි. එසේම, චීනයට ආසන්නයෙන් පිහිටා ඇති කින්මන් දූපත්වලට ඉහළින් පියාසර කරමින් තිබූ හඳුනා නොගත් ගුවන්යානාවක් පලවා හැරීම සඳහා තම හමුදාව විසින් අනතුරු හැඟවීමේ ආලෝක ධාරා එල්ලවී ඇති බවත් ඔවුන් පවසයි.

පසුගිය දිනවල දී සිය අමාත්‍යංශ කීපයකටම සයිබර් ප්‍රහාර එල්ලවූ බව ද තායිවාන රජය ප්‍රකාශ කළේ ය.

තායිවානය, වෙනස් මුහුදු මාර්ග තෝරාගන්නැයි නෞකාවන්ගෙන් ඉල්ලා ඇති අතර, විකල්ප ගුවන් මාර්ග සොයාගැනීම සඳහා ජපානය සහ පිලිපීනය සමඟ සාකච්ඡා කරමින් සිටියි.

ජපානය ද යුද අභ්‍යාසයන් මඟින් ආවරණය වන ප්‍රදේශයන් සිය විශේෂ ආර්ථික කලාපය (EEZ) සමඟ අතිච්ඡාදනය වනබව පවසමින්, ඒ පිළිබඳ සිය ප්‍රශ්නකාරී හැඟීම් චීනය වෙත පළකර තිබේ.

ඊට පිළිතුරු ලෙස චීන රජයේ මාධ්‍ය ප්‍රකාශිකා හුවා චුන්යිං ප්‍රකාශ කළේ, චීන රජය ජපානයේ "ඊනියා" විශේෂ ආර්ථික කලාපය පිළිනොගන්නා බවකි.

බදාදා චීනය එරට මුහුදුබඩ සෙන්ජියැන් පළාතේ දී තායිවාන බෙදුම්වාදියෙකුයැ යි සැකකළ තැනැත්තෙකු එරට ජාතික ආරක්ෂාවට තර්ජනයක්ය යන සැකය මත අත්අඩංගුවට ගෙන ඇතැ යි චීන මාධ්‍ය වාර්තා කළේ ය.

මේ අතරේ, ප්‍රංශයේ චීන තානාපති ලූ ෂේයි ප්‍රංශ රූපවාහිනියට පැවසුවේ, තායිවානය සමඟ "යළි එක්වීමෙන්" පසු චීන රජය "නැවත අධ්‍යාපනය ලබාදීම" පිළිබඳව අවධානය යොමුකරනු ඇතිබව යි.

චීනය මින් පෙර ද එරට වයඹදිග සිං ජියැන් ප්‍රදේශයේ වෙසෙන බහුතරය මුස්ලිම් ජනයාගෙන් සැදි සුළුජාතීන් රඳවා තබාගැනීමේ සිදුවීම් සම්බන්ධයෙන් "නැවත අධ්‍යාපනය ලබාදීම" යන යෙදුම භාවිතාකර තිබේ. මානව හිමිකම් කණ්ඩායම් පවසන්නේ එහිදී මිලියනයකට වැඩි පිරිසක් සිරගතකර ඇතිබව යි.

වසර 25කට පසු තායිවානයට පැමිණි ජ්‍යේෂ්ඨතම එක්සත් ජනපද දේශපාලනඥවරිය වන පෙලෝසි මෙම සංචාරය සිදුකළේ වඩාත් පුළුල් ආසියානු සංචාරයක කොටසක් ලෙස ය.

තායිවානයට නොයන්නැ යි චීනය ඇයට අනතුරු හඟවා තිබුණි.

China - military exercises

"'ඊනියා' ප්‍රජාතන්ත්‍රවාදයට මුවාවෙමින් චීනයේ ස්වෛරීභාවය කෙළෙසනබවට" එක්සත් ජනපදයට චෝදනා එල්ලකළ චීන විදේශ අමාත්‍ය වන්ග් යී, "ගින්දරත් එක්ක සෙල්ලම් කරන අයට හොඳ අවසානයක් ලැබෙන්නේ නැහැ. චීනය අමනාප කරගන්නා අයට දඬුවම් ලැබෙනු ඇති,"යි ප්‍රකාශ කළේ ය.

තායිවාන සංචාරයෙන් පසු නිකුත් කළ ප්‍රකාශයක් හරහා පෙලෝසි පැවසුවේ, "තායිවානයේ සමෘද්ධිමත් ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කිරීම, එරට බොහෝ සාර්ථකත්වයන් උපුටා පෙන්වීම හා අඛණ්ඩ සහයෝගීතාවක් සඳහා වන අපගේ කැපවීම යළි තහවුරු කිරීම සඳහා ලෝක නායකයින් හෝ කිසිවෙකු එරටට සංචාරය කිරීම වැළක්වීමට" චීනයට නොහැකිබව යි.

පෙලෝසි තායිවානයෙන් පිටවීමෙන් පසු දකුණු කොරියාව බලා සංචාරය කළ අතර එහිදී ඇගේ සම-තනතුරුධාරී කිම් ජින්-ප්‍යෝ හමුවූවා ය. ඇය එක්සත් ජනපදය ප්‍රමුඛ එක්සත් ජාතීන්ගේ බලඇණිය හා උතුරු කොරියාව විසින් මුර සංචාරයේ යෙදෙන කොරියානු දෙරට අතර දේශසීමාව ආසන්නයේ පිහිටි ඒකාබද්ධ ආරක්ෂක ප්‍රදේශයේ සංචාරයක යෙදීමට නියමිත ය.

තායිවානය පිළිබඳ සිය ප්‍රතිපත්තිය හේතුවෙන් එක්සත් ජනපදය පසුවන්නේ කඹයක ගමන් කරන්නෙකුගේ තත්ත්වයේ ය. එක් අතකින් එය, තායිවානය සමඟ නොව චීන රජය සමඟ පමණක් විධිමත් සබඳතා ඇතිකර ගැනීමට සලසන චීනයේ "එක් චීනයක්" ප්‍රතිපත්තිය පිළිපදියි. එම ප්‍රතිපත්තිය මඟින්, එක් චීන ආණ්ඩුවක් පමණක් පවතින්නේ ය යන්න පිළිගනියි.

අනෙක් අතින් එය තායිවානය සමඟ "ශක්තිමත්, නිල නොවන" සබඳතාවක් පවත්වාගෙන යන අතර, තායිවානයට ආත්මාරක්ෂක අවි විකිණීම ද එයට අයත්වේ.

"ශ්‍රී ලංකාව 'එක් චීනයක්' ප්‍රතිපත්තියට කැපවෙනවා"

මේ අතරේ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකාව 'එක් චීනයක්' ප්‍රතිපත්තියට කැපවෙනබව යි.

"චීනයේ තානාපති ගරු කි සෙන්හොන් සමඟ පැවැත්වූ හමුවක් අතරේ දී, ශ්‍රී ලංකාව 'එක් චීනයක්' ප්‍රතිපත්තියට මෙන්ම ජාතීන්ගේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති මූලධර්මවලට ද දැඩිව කැපවෙන බව මම නැවත අවධාරණය කළෙමි," ජනපති වික්‍රමසිංහගේ ට්විටර් පණිවිඩයේ දැක්වෙයි.

"වත්මන් ගෝලීය ආතති තත්ත්වයන් තවදුරටත් උත්සන්න කරන අන්දමේ ප්‍රකෝපකිරීම්වලින් රටවල් වැළකිය යුතු ය. අන්‍යෝන්‍ය ගෞරවය සහ රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම, සාමකාමී සහයෝගීතාවට සහ ගැටුම්වලින් තොරවීම සඳහා වැදගත් පදනමකි," ඔහු ප්‍රකාශ කරයි.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

line

චීනය සහ තායිවානය: මූලික කරුණු

චීනය සහ තායිවානය අතර සබඳතා දුර්වල මන්ද? චීනය මෙම ස්වයංපාලිත දිවයින සිය භූමියේ කොටසක් ලෙස දකින අතර, අවැසි නම් බලහත්කාරයෙන් හෝ තායිවානය ප්‍රධාන භූමිය සමඟ ඒකාබද්ධ කළ යුතුබව අවධාරණය කරයි

තායිවානය පාලනයවන්නේ කෙසේ ද? දිවයිනට තමාගේම ව්‍යවස්ථාවක් තිබෙන අතර, ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත්වූ නායකයින් ද, සන්නද්ධ හමුදාවන්හි 300 000ක පමණ සක්‍රීය භට පිරිසක් ද සිටියි.

තායිවානය ස්වාධීන රාජ්‍යයක් ලෙස හඳුනාගන්නේ කවුද? රාජ්‍යයන් කීපයක් පමණි. බොහෝ රටවල් පිළිගන්නේ බෙයිජිං පදනම්කරගත් චීන රජය යි. එක්සත් ජනපදයට ද තායිවානය සමඟ නිල සබඳතා නැති නමුදු තායිවානයේ ආත්මාරක්ෂාව සඳහා අවශ්‍ය අවි සැපයීම සිදුකළ යුතුයැ යි පවසන නීතියක් ඔවුන් සතු වේ.