නැන්සි පෙලෝසිගේ තායිවාන සංචාරය: එක්සත් ජනපද-චීන රාජ්‍යතාන්ත්‍රික කුණාටුවකට හේතු වූ මැය කවුද?

Nancy Pelosi in the 2022 Pride march in San Francisco

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, එක්සත් ජනපද සභා කථානායකධුරයට පත්වූ පළමු කාන්තාව වන නැන්සි පෙලෝසි LGBT අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටි දිගුකාලීන ආධාරකාරියකි
කියවීමේ කාලය: මිනිත්තු 4

එක්සත් ජනපදයේ කථානායක නැන්සි පෙලෝසි තායිවානයට ගොස් එහි ජනාධිපති ත්සායි ඉන්ග්-වෙන් හමුවූ අතර, චීනය එය දැඩි ලෙස හෙළා දුටුවේ ය.

වසර 25ක් තුළ තායිවානයට ගිය ඉහළම එක්සත් ජනපද දේශපාලඥවරිය වන පෙලෝසි, එක්සත් ජනපදය විසින් තායිවානය අත්නොහරිනබව "පැහැදිලිවම තහවුරු කිරීම" සඳහා සිය දූත පිරිස තායිවානයට පැමිණි වග ප්‍රකාශකර සිටියා ය.

චීන රජය තායිවානය තමාට අයත් භූමියකැ යි සළකන අතර, අවශ්‍ය වුවහොත් බලහත්කාරයෙන් තායිවානය අල්ලාගන්නාබවට නැවත නැවතත් පවසා තිබේ.

තායිවාන හා එක්සත් ජනපද රජය අතර රාජ්‍යතාන්ත්‍රික ගනුදෙනු වැඩෙමින් පවතිතැ යි විශ්වාස කරන චීනය ඒ සම්බන්ධ අප්‍රසාදය පළකර ඇත. අප්‍රේල් මාසයේ දී එක්සත් ජනපද දේශපාලඥයින් සයදෙනෙකු තායිවානයට සිදුකළ හදිසි සංචාරයක් ද මෙයට ඇතුළත් විය.

පසුගිය 25 දා චීනයේ විදේශ කටයුතු අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සාඕ ලීජියැන් අනතුරු අඟවා සිටියේ පෙලෝසි තායිවානයට ගියහොත් සිය රට විසින් "දැඩි හා ස්ථිර පියවර" ගනු ඇතිබවකි.

"ඒ සියලු බරපතල ප්‍රතිවිපාක සඳහා එක්සත් ජනපදයට වගකීමට සිදුවනු ඇත," ඔහු පැවසුවේ ය.

කෙසේ නමුත්, 'තායිවාන සබඳතා පනත' සහිපත් කරමින් පෙලෝසි පැවසුවේ මෙවැන්නකි: "අවුරුදු 43කට කලින් ඇමරිකාව පොරොන්දුවක් වුණා හැමදාම තායිවානය එක්ක නැගී සිටිනවා කියලා... අද අපේ දූත පිරිස තායිවානයට ඇවිත් ඉන්නේ අපි තායිවානයට වුණු ඒ කැපවීම අත්හරින්නේ නැහැ කියන එක පැහැදිලිවම තහවුරු කිරීමට යි."

Nancy pelosi

නැන්සි පෙලෝසිගේ ආන්දෝලනාත්මක තායිවාන සංචාරය (චීනය එය බිඳීගිය පළාතක් ලෙස සළකන නමුත් එරට එක්සත් ජනපද හමුදා සහාය ලබයි) ඇගේ දේශපාලන දිවිය පිළිබඳ දැනුමක් ඇත්තන්ට පුදුමයක් නොවේ.

වසර 40ක පමණ කාලයක් මහජන සේවයේ යෙදී සිටි මෙම එක්සත් ජනපද කොන්ග්‍රස් සභික, වත්මන් සභා කථානායකවරිය බොහෝ අවස්ථාවන්හි දී චීනය දැඩිසේ විවේචනයකර ඇත.

1991 බීජිං සංචාරයට වඩා ඇගේ ස්ථාවරය සංකේතවත් කළ හැකි සිදුවීමක් වන්නේ, පෙලෝසි ටියැන්මෙන් චතුරශ්‍රයේ සමූල ඝාතනයේ වින්දිතයින්ට සහාය දක්වමින් බැනරයක් ප්‍රදර්ශනය කිරීම යි. එය චීන රජය කෝපයටත්, පුදුමයටත් පත්කළේ ය. ඊට වසර දෙකකට පෙර ටියැන්මෙන් චතුරශ්‍රයේ දී විරෝධතාවක් සිදුකරමින් සිටි ප්‍රජාතන්තවාදයට සහාය දැක්වූ විරෝධතාකරුවන් පිරිසක් චීනයේ ආරක්ෂක හමුදා විසින් ඝාතනය කෙරිණි.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

(ට්වීටය මඟින් පෙලෝසිගේ විරෝධතාවේ පින්තූරයක් පෙන්වයි)

මේ වන විට 82 හැවිරිදි වන පෙලෝසි චීනයේ කොමියුනිස්ට් පාලන තන්ත්‍රයේ දැඩි විවේචකයෙකි. ඇය චීනය වෙත දක්වන අභියෝගාත්මක ප්‍රවේශයට, පිටුවහල් කෙරුණු ටිබෙට් නායක දලයි ලාමා සමඟ සමීප සබඳතා පවත්වා ගැනීම ද ඇතුළත් ය.

පසුගිය වසරේ දී, චීන රජය විසින් උයිගර්වරුන් හා අනෙකුත් මුස්ලිම් ජනයා මර්දනයවීම "ජනසංහාරයක්" ලෙස එක්සත් ජනපදය විසින් නිල වශයෙන් පිළිගැනීම පිටුපස සිටි එක් ගාමක බලවේගයක් වූයේ ඇය යි.

"වාණිජ්‍ය අවශ්‍යතාවන් නිසා චීනය තුළ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින්නට ඔබට නොහැකි නම්, ඕනෑම තැනක දී ඒ වෙනුවෙන් කතා කරන්නට ඇති සදාචාරාත්මක බලය ඔබට අහිමිවෙනවා," ජූලි 28 වන දින පොලිටිකෝ නම් පුවත් වෙබ් අඩවිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පෙලෝසි පැවසුවා ය.

මෙම තායිවාන සංචාරය මඟින්, 1997න් පසු එරටට පැමිණි ඉහළම එක්සත් ජනපද නිලධාරිනිය බවට පෙලෝසි පත්විය. නමුත් පෙලෝසිගේ තීරණය චීන රජය පමණක් නොව එක්සත් ජනපද රජය ද කැළඹීමට පත්කර ඇත. එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ජූලි 22 දා ප්‍රකාශ කළේ, මෙම සංචාරය "හොඳ අදහසක් නොවේයැ"යි එක්සත් ජනපද හමුදාව ද සිතූබව යි. කථානායකවරියගේ තායිවාන සංචාරය චීනය විසින් ප්‍රකෝප කිරීමක් ලෙස අර්ථ දක්වනු ඇතැ යි මහජන මතයක් ඉස්මතුව තිබීම මෙයට හේතුවිය.

Joe Biden and Nancy Pelosi at a White House picnic

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, බයිඩන් සහ පෙලෝසි මිත්‍ර-පාර්ශවික වන නමුත්, ඇගේ තායිවාන සංචාර සැලසුම් ජනාධිපතිවරයාගේ විවේචනයට ලක්විය

එවිට, තමා මෙම සංචාරයේ යෙදෙතැ යි සෘජුවම තහවුරු නොකළ ද පෙලෝසි ආපසු පිළිතුරු දුන්නා ය.

"මම හිතන්නේ අපි තායිවානයට සහයෝගය දැක්වීම වැදගත්," ඇය ප්‍රකාශ කළා ය.

දේශපාලනය වෙනුවෙන්ම හැඩගස්වන ලද පෙලෝසි

1940 දී පෙලෝසි උපත ලැබුවේ එක්සත් ජනපදයේ මේරිලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රධාන නගරයක්වන බල්ටිමෝර්හි හිටපු ආණ්ඩුකාර කනිෂ්ඨ තෝමස් ඩි'අලෙසාන්ඩ්‍රෝගේ දියණියක ලෙස ය. ඇය සිය ප්‍රථම ඩිමොක්‍රටික් පාක්ෂික රැලියට සහභාගී වෙද්දී 12 හැවිරිදි වියේ පසුවූ අතර, 20 හැවිරිදි වන විට ජනපති ජෝන් කෙනඩිගේ පදවි ප්‍රාප්ති බාල් උත්සවයට සහභාගීවූවා ය.

ඇයගේ ආරම්භක දේශපාලන ක්‍රියාකාරකම් තිරය පිටුපස දී සිදුවිය. ඇය එලෙස කැලිෆෝනියා ප්‍රාන්තයේ දී ඩිමොක්‍රටික් පක්ෂය වෙනුවෙන් ප්‍රචාරක සහ අරමුදල් රැස්කිරීමේ කටයුතුවල නිරතවූවා ය.

නමුත් ඇය ප්‍රථමවරට නිලවරණයකට ඉදිරිපත් වූයේ මූල්‍ය ක්ෂේත්‍රයේ රැකියාවෙහි යෙදුනු ඇගේ සැමියා වන පෝල් පෙලෝසි සමඟ ඇය ලද දරුවන් පස්දෙනාගෙන් අවසන් දරුවා ද විශ්වවිද්‍යාලයයට ගිය පසුව ය. මේ වන විට ඇගේ වයස අවුරුදු 47කි. ඒ වන විට සැන් ෆ්‍රැන්සිස්කෝවෙන් කොංග්‍රසයට තේරීපත්වූ සාලා බර්ටන් මරණාසන්නව සිටි අතර, තමාගේ අනුප්‍රාප්තිකයා වන්නැ යි ඇය පෙලෝසිගෙන් ඉල්ලා සිටීම මෙයට හේතුවිය.

1987 දී එම ආසනය ජයගත් පෙලෝසි, එතැන් පටන් කොංග්‍රසයේ දී සැන් ෆ්‍රැන්සිස්කෝ දිස්ත්‍රික්ක නියෝජනය කරයි.

මේ වන විට ඇය සභා කථානායකවරිය වශයෙන් සිය සිව්වන ධුරකාලය ගතකරන අතර, මෙමඟින් ඇය ජනපති පදවිය සඳහා පෙළගැසී සිටින දෙවැනි අනුප්‍රාප්තිකයා (පළමු වැන්නා උපජනාධිපතිය) බවට පත්වේ. සභා කථානායකධුරයට පත් ප්‍රථම කාන්තාව ද ඇය යි.

නමුත් ඇගේ දේශපාලන දිවියේ සම්පූර්ණ "ආධිපත්‍යය" දැරුවේ චීනය නොවේ.

Nancy Pelosi in 1987

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, පෙලෝසි ප්‍රථමවරට කොංග්‍රසයට තේරී පත්වූයේ 1987 දී ය

2003 දී පෙලෝසි එළිපිටම ඉරාක යුද්ධය විවේචනය කළ අතර, 1980 ගණන් හා '90ගණන්වල දී සමලිංගික සහ සංක්‍රාන්තිලිංගික අයිතිවාසිකම් වෙනුවෙන් ද පෙනී සිටියා ය. එසමයේ දී එවන් මාතෘකාවන් පැවතියේ එක්සත් ජනපදයේ ප්‍රධාන දේශපාලන ධාරාවට බොහෝ ඈතිනි.

ගබ්සා කිරීමක් සඳහා කාන්තාවකට ඇති අයිතිය එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් ආරක්ෂිතබවට ප්‍රකාශ කරන රෝ එදිරිව වේඩ් නඩු තීන්දුව අවලංගු කිරීමට ජුනි මාසයේ දී එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව ද ඇය දැඩිසේ විවේචනය කළා ය.

"වර්තමාන ඇමරිකානුවන්ට තියෙන්නේ එයාලගේ අම්මලට තිබුණු තරම්වත් නිදහසක් නෙවෙයි," නඩු තීන්දුව අවලංගු කිරීමේ නිවේදනයෙන් පසු පෙලෝසි ප්‍රකාශ කළා ය.

"මේ තීන්දුව කම්මුල් පාරක්."

නමුත් පෙලෝසිගේ වෘත්තීය ජීවිතය චීනයේ කොමියුනිස්ට් පාලකයන්ට එරෙහි ඇගේ විරුද්ධත්වයට සමාන ය. එය, ඇගේ තායිවාන සංචාරයෙන් වැඩිදියුණු වනු ඇතිවා පමණි.