නිදහස් හා විවෘත ඉන්දු- පැසිෆික් කලාපයක් සඳහා ඇමරිකාවේ සූදානමක්

Getty Images

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

නිදහස් හා විවෘත ඉන්දු පැසිෆික් කලාපයක් සඳහා කැපවන බව එක්සත් ජනපදය දිගින් දිගටම අවධාරණය කරන කරුණකි.

නිදහස් හා විවෘත ඉන්දු - පැසිෆික් ප්‍රතිපත්තියක් අවශ්‍ය වන්නේ ඇයි?

ජාත්‍යන්තර සබඳතා පිළිබඳ විශේෂඥයින්ට අනුව මෙය 2011 දී පමණ එක්සත් ජනපදයට අහිමි වූ කලාපයේ හෙජමොනික බලය රඳවා ගැනීමේ පියවරකි. නැඟී එන ලෝකයේ දෙවන බලවතා වන චීනයේ නාවික බලය පිහිටුවීමේ ව්‍යාපෘතිය එක්සත් ජනපදයට විශාල ගැටලුවකි.

ආක්‍රමණයක් තුළින් බලය පිහිටුවීමට නොහැකි තත්ත්වයක් තුළ සාමකාමී ප්‍රවේශයක් තුළින් එක්සත් ජනපදය උත්සාහ කරන්නේ, ආසියා - පැසිෆික් කලාපය තම අනසකට නතු කර ගැනීමට ද?

එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයාගේ ස්ථාවාරය

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි ජේ. බ්ලින්කන් ප්‍රකාශ කරන්නේ, වෙනත් ඕනෑම කලාපයකට වඩා ඉන්දු-පැසිෆික් කලාපයේ සිදුවන දේ 21 වන සියවසේ ලෝකයේ ගමන් පථය හැඩගස්වනු ඇති බව යි.

ඉන්දුනීසියාවේ ජකර්තා නුවර විශ්වවිද්‍යාලයයක දේශනයකට එක්වෙමින් රාජ්‍ය ලේකම්වරයා ඉන්දු- පැසිෆික් කලාපය පිළිබඳ එරට ස්ථාවරය සවිස්තරව පැහැදිලි කළේ ය.

ඔහුට අනුව ඉන්දු පැසිෆික් කලාපය ලොව වේගයෙන්ම වර්ධනය වන කලාපය යි. එය ලෝක ආර්ථිකයෙන් 60%ක් වන අතර, පසුගිය වසර පහ තුළ සමස්ත ආර්ථික වර්ධනයෙන් තුනෙන් දෙකකි.

ලොව මිනිසුන්ගෙන් අඩකට වඩා වාසය කරන මෙම කලාපයේ ලොව විශාලතම ආර්ථිකයන් සහිත රටවල් 15න් හතක්ම පිහිටා ඇත.

විවිධාකාර භාෂා 3,000කට වඩා වැඩි ගණනක්, සාගර දෙකක් සහ මහාද්වීප තුනක් හරහා විහිදෙන ඇදහිලි ගණනාවක් මෙම කලාපයේ පවතියි.

එක්සත් ජනපදයේ ඉහළම වෙළඳ හවුල්කරුවන්ගෙන් අඩක් ඉන්දු-පැසිෆික් කලාපයේ සිටිති. එය එක්සත් ජනපදයේ අපනයනවලින් තුනෙන් එකකට ආසන්න ගමනාන්තයක් වන අතර, එක්සත් ජනපදයේ ඩොලර් බිලියන 900ක සෘජු විදේශ ආයෝජනයේ මූලාශ්‍රයය යි.

මෙය එක්සත් ජනපදයේ ප්‍රාන්ත 50 පුරාවටම රැකියා මිලියන ගණනක් නිර්මාණය කරන අතර, ඇමරිකා මහද්වීපයෙන් පිටත වැඩිම එක්සත් ජනපද හමුදා භටයින් සංඛ්‍යාවක් ස්ථානගත කර ඇති කලාපය ද මෙය යි.

මොකද්ද මේ 'නිදහස් හා විවෘත ඉන්දු පැසිෆික් ප්‍රතිපත්තිය'?

රාජ්‍ය ලේකම් බ්ලින්කන් පසුගිය දා කියා සිටියේ, "අපට නිදහස් හා විවෘත ඉන්දු-පැසිෆික් කලාපයක් අවශ්‍යයැ යි අප පවසන විට අපි අදහස් කරන්නේ, පුද්ගල මට්ටමින් මිනිසුන් තම දෛනික ජීවිතයේ දී නිදහස් හා විවෘත සමාජවල ජීවත් වන බව යි. අපි අදහස් කරන්නේ, රාජ්‍ය මට්ටමින් එක් එක් රටවලට ඔවුන්ගේම මාර්ගය සහ ඔවුන්ගේම හවුල්කරුවන් තෝරා ගැනීමට හැකි වනු ඇති බව යි. අපි අදහස් කරන්නේ, කලාපීය මට්ටමින් ලෝකයේ මේ කොටසේ ප්‍රශ්නවලට විවෘතව කටයුතු කරන බවත්, නීතිරීති විනිවිදභාවයෙන් හා සාධාරණව ක්‍රියාත්මක වන බවත්, භාණ්ඩ හා අදහස් සහ මිනිසුන්, ගොඩබිම, සයිබර් අවකාශය සහ විවෘත මුහුද හරහා නිදහසේ ගලා යන බව යි.

"ලෝකයේ වඩාත්ම ගතික කලාපය බලහත්කාරයෙන් තොර සහ සැමට ප්‍රවේශවිය හැකි බව සහතික කිරීම සඳහා සැමට වගකීමක් ඇත. මෙය කලාපය පුරා සිටින මිනිසුන්ට යහපතකි. මෙම විශාල කලාපය නිදහස් හා විවෘත වන විට, ඇමරිකාව වඩාත් සුරක්ෂිත සහ වඩා සමෘද්ධිමත් බව ඉතිහාසය පෙන්නුම් කරන බැවින් එය ඇමරිකානුවන්ට ද යහපත්ය. එබැවින් මෙම දර්ශනය සාක්ෂාත් කර ගැනීමට කලාපය පුරා සිටින හවුල්කරුවන් සමග එක්සත් ජනපදය කටයුතු කරන්නෙමු,"යි රාජ්‍ය ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ලංකාවට බලපාන්නේ මෙහෙම යි

කොළඹ විශ්වවිද්‍යාලයයේ ජාත්‍යන්තර සබඳතා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හසිත් කන්දඋඩහේවාට අනුව, නිදහස් හා විවෘත ඉන්දු - පැසිෆික් කලාපයක් ගැන කතා කිරීමේ දී ශ්‍රී ලංකාව ප්‍රධානතම සන්ධිස්ථානයකි.

ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරාය චීනයට ලබා දීම නිදහස් හා විවෘත ඉන්දු- පැසිෆික් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ දී යම් ගැටලුවක් ඇති කළ බව ඔහු කියා සිටියේ ය.

හම්බන්තොට වරාය ලබා දීමේ කොන්දේසිත් සමග නිදහස් හා විවෘත ඉන්දු- පැසිෆික් කලාපයක් සඳහා චීනය සැබවින්ම ඉඩදෙයි ද යන්න සම්බන්ධයෙන් බටහිර රටවලට ගැටලුවක් මතු වූ බව ද ඔහු සඳහන් කළේ ය.

"චීනයට හැකියාව තියෙනවා, ලංකාවේ හම්බන්තොට ඉඳන් ඔවුන්ගේ රේඩාර් හරහා දකුණු ඉන්දියාව මොනිටර් කරන්න. අනික් පැත්තෙන් මලක්කා සමුද්‍ර සන්ධිය හරහා යන සියලුම නැව් මොනිටර් කරන්න පුළුවන්. යම්කිසි විදිහකින් චීනයට හැකියාවක් තියෙනවා, මිලිටරිමය කඳවුරක් පවත්වා ගෙන යන්න පවතින ගිවිසුම අනුව. එවැනි කඳවුරක් දැම්මොත් එහෙම, චීනයට පුලුවන් සම්පූර්ණ නාවුක හැම දෙයක්ම පාලනය කරන්න. ලෝකයේ තෙල්වලින් 60%ක් දෛනිකව යන්නේ මෙන්න මේ මාර්ගයේ. ඉතින් චීනයට හම්බන්තොට දීම එක්තරා විදිහක තර්ජනයක් වුණා මේ ෆ්‍රී ඇන්ඩ් ඕපන් ඉන්දු පැසිෆික් එකට."

"අමෙරිකා හෝ චීනය කේන්ද්‍ර කරගත් තරගයක් නැහැ"

American and Chinese flags painted on cracked wall background

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

කෙසේ නමුත්, රාජ්‍ය ලේකම් බ්ලින්කන් කියා සිටින්නේ මෙය චීනය සහ එක්සත් ජනපදය අතර තරගයක් නොවන බව යි.

"මට එක දෙයක් ගැන පැහැදිලිව කියන්නට ඉඩ දෙන්න. නීති මත පදනම් වූ නියෝගය ආරක්ෂා කිරීමේ අරමුණ කිසිම රටක් පහත්කර තැබීම නොවේ. ඒ වෙනුවට, එය බලහත්කාරයෙන් තොරව, බිය ගැන්වීම්වලින් තොරව තම තමන්ගේ මාවත තෝරා ගැනීමට ඇති අයිතිය ආරක්ෂා කිරීම යි. එය එක්සත් ජනපද කේන්ද්‍රීය කලාපයක් හෝ චීනය කේන්ද්‍ර කරගත් කලාපයක් අතර තරගයක් ගැන නොවේ. ඉන්දු පැසිෆික් කලාපය ඔවුන්ටම අයත් කලාපයකි. ඒ වෙනුවට, එය මෙම කලාපය සහ ලෝකය මෙතෙක් අත්විඳින ලද වඩාත්ම සාමකාමී සහ සමෘද්ධිමත් කාල පරිච්ඡේදය සඳහා වගකිව යුතු අයිතිවාසිකම් සහ ගිවිසුම් තහවුරු කරනු ඇති," ඔහු පැවසුවේ ය.

බීජිංහි ආක්‍රමණශීලී ක්‍රියාවන් නිසා සෑම වසරකම ඩොලර් ට්‍රිලියන 3කට වඩා වටිනා වාණිජ්‍ය සංචලනයට තර්ජනයක් වන දකුණු චීන මුහුදේ නාවික නිදහස සහතික කිරීමට එක්සත් ජනපදය අධිෂ්ඨාන කරගෙන සිටින බව ද රාජ්‍ය ලේකම්වරයා ජකර්තා නුවර දී කියා සිටියේ ය.

"එම දැවැන්ත ඩොලර් ට්‍රිලියන 3 ට බැඳී ඇත්තේ ලොව පුරා සිටින දශලක්ෂ සංඛ්‍යාත මිනිසුන්ගේ සැබෑ ජීවනෝපාය සහ යහපැවැත්ම බව මතක තබා ගැනීම වටියි. වාණිජ්‍යයට විවෘත මුහුද හරහා යාමට නොහැකි වූ විට, එයින් අදහස් වන්නේ ගොවීන්ට තම නිෂ්පාදන නැව්ගත කිරීම අවහිර වී ඇති බව යි. කර්මාන්තශාලාවලට ඔවුන්ගේ මයික්‍රොචිප් නැව්ගත කළ නොහැකි බවයි; ජීවිත සුරක්ෂාකරණ ඖෂධ ලබා ගැනීම රෝහල්වලට අවහිර කර ඇති බව යි."

ශ්‍රී ලංකාව වරායකට අයිතියක් නැති දූපතක් වෙයි ද?

ආචාර්ය කන්දඋඩහේවා සඳහන් කළේ, චීනයට හම්බන්තොට වරාය ලබා දීමෙන් අනතුරුව නිදහස් හා විවෘත ඉන්දු- පැසිෆික් ප්‍රතිපත්තියට සහය පළ කරමින් ශ්‍රී ලංකාව ඉන්දියාවට, ජපානයට හා එක්සත් ජනපදයට රටේ නාවික සම්පත් පැවරීමට යාම දිගු කාලීනව මෙරටට තර්ජනයක් විය හැකි බව යි.

ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමලය වරාය සහ තෙල්ටැංකි සංකීර්ණය මේ වන විටත් ඉන්දියාව විසින් ඉල්ලා ඇති බව කියා සිටින ඔහු, ත්‍රිකුණාමලය වරාය ඉන්දියාව හා ජපානය ඒකාබද්ධව සංවර්ධනය කිරීමේ කතිකාවක් ඇතැ යි ද පැවසුවේ ය.

"ලංකාව පෙන්වන්න උත්සහ කරන්නේ කොළඹ, හම්බන්තොට, ත්‍රිකුණාමලය, හා යාපනය වරායන් විවිධ රටවලට ලබාදීම මඟින් අපි හැමෝටම සමානව සලකනවා කියලා. මේකෙ තියෙන බැරෑරුම්කම තියෙන්නේ දැන්ම නෙවේ තව අවුරුදු 10ක් 15ක් යන විට. ශ්‍රී ලංකාව දූපතක් වුව ද වරායකට අයිතියක් නොමැති දූපතක් බවට පත් විය හැකියි," ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා අනතුරු අඟවා සිටියේ ය.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය , ආචාර්ය හසිත් කන්දඋඩහේවා සඳහන් කළේ, එක්සත් ජනපදය කලාපයේ බලවතුන් වන දකුණු ආසියාවේ ඉන්දියාව, පැසිෆික් කාලපයේ ඔස්ට්‍රේලියාව යන බලවතුන් සමග එකතුවෙලා තමන්ගේ බලය යොදවන්න, හැකියාව ප්‍රදර්ශනය කරන්න උත්සහ කරමින් සිටින බවයි. "ඒ හරහා ඔවුන් බලා පොරොත්තු වෙනවා තමන්ගේ හෙජමොනික බලය පවත්වාගෙන යන්න. ඒක තමා සරල විදේශ සබඳතා සංකල්පය මේක ඇතුලේ තියෙන."

ආචාර්ය කන්දඋඩහේවා ප්‍රකාශ කරන්නේ, එක්සත් ජනපදය දකුණු ආසියාවේ ඉන්දියාව, පැසිෆික් කාලපයේ ඕස්ට්‍රේලියාව යන කලාපීය බලවතුන් සමග එකතුවී සිය බලය යොදවන්න, හැකියාව ප්‍රදර්ශනය කරන්නට උත්සහ කරමින් සිටින බව යි.

"ඒ හරහා ඔවුන් බලා පොරොත්තු වෙනවා තමන්ගේ හෙජමොනික බලය පවත්වාගෙන යන්න. ඒක තමා සරල විදේශ සබඳතා සංකල්පය මේක ඇතුළේ තියෙන."

ජකර්තා නුවර දී කලාපීය සහයෝගීතාව පිළිබඳ අදහස් දක්වමින්, "අපි කලාපය තුළ සහ ඉන් ඔබ්බට ශක්තිමත් සම්බන්ධතා ගොඩනඟමු. අපි ජපානය, කොරියානු ජනරජය, ඕස්ට්‍රේලියාව, පිලිපීනය සහ තායිලන්තය සමග අපගේ ගිවිසුම් සන්ධාන පුළුල් කරන්නෙමු. එම බැඳීම් දිගු කලක් තිස්සේ කලාපයේ සාමය, ආරක්ෂාව සහ සමෘද්ධිය සඳහා පදනම සපයා ඇතැ"යි එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා ද පවසා සිටියේ ය.

එක්සත් ජනපදය දැනටමත් ඉන්දු පැසිෆික් කලාපයට ඩොලර් ට්‍රිලියන 1කට වැඩි සෘජු විදේශ ආයෝජනයක් ලබා දී ඇතිබව සඳහන් කරන ඔහු, එම "මිත්‍ර පාක්ෂිකයින් අතර වැඩි සහයෝගීතාවයක්" ඇති කරන බවත්, වෙළඳාම සහ ඩිජිටල් ආර්ථිකය, තාක්‍ෂණය, සැපයුම් දාම, පිරිසිදු බලශක්ති, යටිතල පහසුකම්, සේවක ප්‍රමිතීන් සහ අනෙකුත් ක්ෂේත්‍ර ඇතුළුව හවුල් අරමුණු සාක්ෂාත්කර ගැනීම සඳහා පුළුල් ඉන්දු-පැසිෆික් ආර්ථික රාමුවක් සංවර්ධනය කරන බවත් අවධාරණය කළේ ය.

"ඉන්දු පැසිෆික් කලාපයේ රටවලට වඩා හොඳ යටිතල පහසුකම් අවශ්‍යයි. නමුත් බොහෝ දෙනෙකුට එය මිල අධිකයැ යි හැඟේ. නැතහොත් කිසිදු ගනුදෙනුවක් නොමැතිව අන් අය විසින් නියම කරන ලද කොන්දේසි මත නරක ගනුදෙනු කිරීමට ඔවුන්ට පීඩනයක් වේ. එබැවින් මිනිසුන්ට ලැබිය යුතු උසස් තත්ත්වයේ, උසස් ප්‍රමිතියෙන් යුත් යටිතල පහසුකම් සැපයීමට එක්සත් ජනපදය කලාපයේ රටවල් සමග කටයුතු කරන්නෙමු. ඇත්ත වශයෙන්ම, අපි දැනටමත් එය කරමින් සිටිමු," ඔහු පවසයි.

ඔහු ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවේ Advocata ආයතනය වැනි කලාපය පුරා සිටින දූෂණ විරෝධී කණ්ඩායම්, ගවේශනාත්මක මාධ්‍යවේදීන්, විද්වතුන් සඳහා එක්සත් ජනපදය අඛණ්ඩව සහය ලබා දෙන බව යි.

විශාල පාඩු ලබමින් ක්‍රියාත්මක වන බැංකු සහ ගුවන් සේවා වැනි රාජ්‍ය ව්‍යවසායන් පිළිබඳ පොදු ලේඛනයක් නිර්මාණය කිරීමට එක්සත් ජනපද සහාය ලද එම ආයතනය, ඒවා ප්‍රතිසංස්කරණය කිරීමට ක්‍රම යෝජනා කර ඇති බව ද එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරය කියා සිටියේ ය.