9/11 ප්‍රහාරය: නිව්යෝර්ක් නගරයේ සිටි ශ්‍රී ලාංකිකයන්ගේ අත්දැකීම්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, දැහැමි රණවීර
- Role, බීබීසී සිංහල
"නිව්යෝර්ක්හි ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය කියන්නේ අපි ඉස්සර යාලුවොත් එක්ක කාලා බීලා ෂොපින් කරලා එන්න යන ලස්සන තැනක්. එතන කලින් තිබුණ ඒ සුන්දරත්වයට මම අදටත් කැමතියි," නිව්යෝක්හි දිවිගෙවන ශ්‍රී ලාංකිකයෙකු වන සමාරා බීබීසී සිංහල සේවයට පැවසීය.
මින් වසර විස්සකට පෙර සැප්තැම්බර් මස අද වැනි දිනයක සමාරා ඇතුළු දස දහස් ගණනක් නිව්යෝක් වැසියන් බියෙන් සලිත වී ගිය හැටි ඈ සිහිපත් කළේ ඉතාමත් හැඟුම්බරවය.
සමාරාගේ රැකියා ස්ථානය පිහිටා ඇත්තේ නිව්යෝර්ක්හි ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය අසලමය. ඇය වෙනදා මෙන්ම 2001 සැප්තැම්බර් මස 11 වෙනිදා ද උමං දුම්රියේ නැගී රැකියා ස්ථානය බලා පිටත් වී තිබිණි.
"මේ සිද්ධිය වෙන්නත් කලින්, ඒ දවස පටගත්තේම අමුතු විදිහට. එදා හැම කෝච්චියම ආවේ සෑහෙන වෙලාවක් පරක්කු වෙලා. මට කාර්යාලයට යන්න වෙනදාට වඩා සෑහෙන වෙලාවක් ගියා. වැඩ පටන් ගත්තෙම මහන්සියෙන් දවස එපා වෙලා."
"උදේ නමය කිට්ටු වෙනකොට අපිට දැනගන්න ලැබුණා අපේ ගොඩනැගිල්ලෙන් ටිකක් එහා ගුවන්යානයක් කඩා වැටිලා කියලා. ඒත් එක්කම හැමෝම ටීවී එක ළඟට දිව්වා. එතකොට තමයි ඇඟ හිරිවැටෙන තරම් භයංකර මේ සිද්ධිය දැක්කේ," සමාරා පැවසීය.
කෙටි කාලයක් ඇතුළත එදින නිව්යෝර්ක් නගරයේ සිදු වූ ප්‍රහාර මාලාවකින් පුද්ගලයන් 2,977 දෙනෙකු (ප්‍රහාරකයන් 19 දෙනා හැර) ජීවිතක්ෂයට පත්විණි. මරණයට පත්වූවන් අතර රටවල් 77කට අයත් පුරවැසියෝ වූහ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මගී ගුවන් යානා හතරක සිටි අල් ඛයීඩා අන්තවාදී ඉස්ලාමීය ජාලයට අයත් කුඩා කණ්ඩායම් එම යානා උඩුගුවනේ දීම පැහැරගත්හ.
නිව්යෝර්ක් සහ වොෂින්ටන් නුවර පිහිටි සුප්‍රසිද්ධ ගොඩනැගිලිවලට පහර දීම සඳහා එම යානා දැවැන්ත මිසයිල ලෙස යොදා ගැනීමට ඔවුහු ක්‍රියා කළහ.
මින් යානා දෙකක් නිව්යෝර්ක් නුවර ලෝක වෙළඳ මධ්‍යස්ථාන, ද්විත්ව ගොඩනැගිල්ලට ගැටීමට සැලැස්වුණි.
උදෑසන 08.46ට පළමු යානය උතුරුදිග කුළුණේ ගැටිණි. දෙවෙනි යානය දකුණුදිග කුළුණෙහි ගැටුණේ උදෑසන 09:03ට ය.
ගොඩනැගිල්ලට ගිනි ඇවිලිණි. ඉහළ මහල් තුළ සිටි මිනිසුන් කොටු විය. නගරය දුමෙන් වැසුණි. දෙපැයක් ගතවන්නට පෙර මහල් 110කින් සමන්විත ද්විත්ව ගොඩනැගිල්ල බිමට සමතලා වූයේ දැවැන්ත දූලි වලා ඇතිකරමිනි.
උදෑසන 09:37ට තවත් ගුවන් යානයකින් පෙන්ටගනයේ බටහිර මුහුණතට කඩා වැදී එම ප්‍රදේශය විනාශ කෙරුණි. එක්සත් ජනපදයේ හමුදා මුලස්ථානය වූ මෙම දැවැන්ත ගොඩනැගිල්ල පිහිටියේ වොෂින්ටන් අගනුවරට නුදුරිනි.
පැහැර ගැනීමට ලක්වූ හතරවැනි යානයේ සිටි මගීන් පැහැර ගත්තවුන්ට එරෙහිව යානය තුළදී ම සටන් වැදුනි. එහි ප්‍රතිඵලයක් වශයෙන් එම යානය පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ පිට්ටනියකට කඩා වැටුණි. එම යානය වොෂින්ටන් නුවර කැපිටල් ගොඩනැගිල්ලේ ගැටීමට සැලැස්වීම පැහැරගත්තවුන් ගේ අරමුණ වී තිබුණු බවට විශ්වාස කෙරේ.
අල් ඛයීඩා සංවිධානය, ඇෆ්ගනිස්ථානයේ සිට මෙම ප්‍රහාරය සැලසුම් කර තිබිණි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
"අපිට ඉක්මනට ගෙවල්වලට යන්න කිව්වා. කාර්යාලයෙන් එළියට බැස්සාම පුදුම කලබලයක් දැක්කේ. මිනිස්සු හැමතැනම දුවනවා. මුළු පළාතම දුමෙන් වැහිලා. හැම මිනිහෙක්ගේම මූණේ විශාල බයක් තිබුණා."
"එදා මගේ තාත්තා හිටියෙත් මේ සිද්ධිය වුණ තැන කිට්ටුව. දුරකථන ජාලයත් සම්පූර්ණයෙන් බිඳ වැටිලා. අපිට එකිනෙකා සම්බන්ධ කර ගන්න බැරි වුණා. කොහොමහරි මම තාත්තා හිටිය තැනට ගියා. ඒ වෙලාවේ නගරයේ පොදු ප්‍රවාහන සේවා ඔක්කොම නැවතිලා තිබුණේ."
"අපි ගෙදර යන්න සෑහෙන දුරක් පයින් ගියා. මගේ කකුල තුවාල වුණා සපත්තුවට කැපිලම. අතර මඟදී ඩොලර් තුනක් දීලා සෙරෙප්පු කුට්ටමක් ගත්තා මතකයි තවත් දුර ඇවිදගෙන යන්න තියෙන නිසා."
"මිනිස්සු ට්‍රක්වල එල්ලිලා පවා නගරයෙන් යනවා අපි දැක්කා. ඒ අතර, ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය එකම ගිනි ජාලාවක් විදිහට පෙනුණා. අපේ අම්මා රැකියාව කරන්නෙත් මේ කිට්ටුව. වාසනාවකට එදා අම්මා රැකියාවට ගියේ නැහැ. එයා ගෙදර ඉඳන් අපි ගැන හිතලා හොඳටම බය වෙලා හිටියේ. අපි කලබල අස්සෙම බොහොම අමාරුවෙන් පොදු දුරකථනයකින් එයාට කෝල් එකක් දීලා අපි හොඳින් ඉන්නවා කිව්වා," සමාරා තවදුරටත් තම අත්දැකීම් පැවසුවාය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මේ තොරතුරු ද කියවන්න:
ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ විදුලි සෝපානය අලුත්වැඩියා කිරීමේ කටයුත්තක් සඳහා 2001 සැප්තැම්බර් මස 11 වෙනිදා නිවසින් පිටත් වී ගිය සිය සොහොයුරා ගැන විස්තරයක් එක්සත් ජනපදයේ දිවිගෙවන තවත් ශ්‍රී ලාංකිකයෙක් බීබීසී සිංහල සේවයට පැවසීය.
"මගේ සහෝදරයා මේ සිද්ධිය වුණ දවසේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට ගියා. ඒකේ ලිෆ්ට් එක අලුත්වැඩියා කරන වැඩකට. එයා ඒ කිට්ටුවට යනකොටම තමයි මේ දේ සිද්ධ වෙලා තියෙන්නේ. එදා එයා නූලෙන් බේරුනා. හැබැයි ඊට අවුරුදු තුනකට පස්සේ එයා වෙන හේතුවකින් මැරුණා. නමුත් ඒ මතක අදටත් අපිට මහා දුකක්," ඇය කීවාය.
එක්සත් ජනපදයේ සිටින ශ්‍රී ලාංකිකයෝ කීපදෙනෙක් මා සමග සිය අත්දැකීම් බෙදා ගන්නා අතරතුර පැවසුවේ, එකළ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ රැකියාව කළ ශ්‍රී ලාංකික කාන්තාවක් ද සිටි බවය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
"එයා රස්සාව කලේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ. හැබැයි වාසනාවකට මේ සිද්ධිය වෙන දවසේ එයා රස්සාවට ගිහින් තිබුණේ නැහැ. එදා ගියානම් අනිවාර්යයෙන් එයාගේ පුංචි දරුවෝ තුන්දෙනාට අම්මා නැති වෙනවා. දැන් ඒ පවුලේ අය මේ පළාතේ නැහැ," එක් කාන්තාවක පැවසුවාය.
ප්‍රහාරය සිදු වී මාසයක් ගත වන්නට පෙර එවක ජනාධිපති ජෝර්ජ් බුෂ් ගේ නායකත්වයෙන් යුක්තව ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළේය. මේ සඳහා ජාත්‍යන්තර ඒකාබද්ධ හමුදාවක් යෙදවුණු අතර එම ආක්‍රමණයේ අරමුණ වූයේ අල් ඛයීඩා ජාලය ලොවින් තුරන් කිරීම සහ එහි නායක බින් ලාඩන් අල්ලා ගැනීම ය.
නමුත් 2011 වනතුරු බින් ලාඩන් අල්ලා ගැනීමට නොහැකි විය. අවසානයේ බරක් ඔබාමා පාලනය යටතේ බින් ලාඩන් පකිස්ථානයේ සැඟව සිටියදී මරා දැමුණි.
සැප්තැම්බර් 11 ප්‍රහාරය සැලසුම් කළ බවට චෝදනා ලත් ඛලීඩ් ශේයිඛ් මොහමඩ් 2003 දී පකිස්තානයේදී අත්අඩංගුවට පත් වූ අතර, ඔහුට එරෙහිව නඩු විභාගයක් පැවැත්වීමට නියමිතය.
"සිද්ධියට පසුදා මම ආයෙත් රැකියාවට ගියා. මම යන ගමන් ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය ළඟටත් ගියා. එතන එකම යුද්ධයක්. ගොඩනැගිල්ල කාඩ්බෝඩ් පෙට්ටියක් වගේ කෑලිවලට කැඩිලා තිබුණා. ඒකේ කණු තැන තැන විසිරිලා තිබුණා. මැරුණු, තුවාල වුණ මිනිස්සු ඒ වෙනකොටත් එළියට ගන්න උත්සහ කරනවා."
"මම අරගෙන ගිය කුකීස් පාර්සලයක් එතන වැඩ කරන පොලිසියේ අයට දීලා ආවා. මට ඒ සිද්ධිය මතක් වෙනකොටත් සෑහෙන දුකක් දැනෙනවා. මගේ ජීවිතයට ඒ දවස් අමතක වෙන්නේ නැහැ," සමාරා ඉතා හැඟුම්බරව පැවසුවාය."
"එදා සිද්ධියට මුහුණ දුන්න මිනිස්සු තාම ජීවත් වෙන්නේ ඒ බය හිතේ තියාගෙන. සමහරුන්ට මානසිකව මේ දේ බලපාලා තියෙනවා. ඒ වගේම දැන් තියෙන තත්වයත් එක්ක ආයෙත් ප්‍රහාරයක් ගැනත් බයක් මිනිස්සු අතර තියෙනවා."

ඡායාරූප මූලාශ්‍රය, Samara
අල් ඛයීඩා තවමත් ක්‍රියාකාරීව පවතින අතර එය උප සහරා අප්‍රිකානු රටවල ඉතා ශක්තිමත්ය. එමෙන්ම, ඇෆ්ගනිස්ථානය තුළ ද මේවන විට එහි සාමාජිකයෝ සිටිති.
විසි වසරකට පසුව එක්සත් ජනපද හමුදා මේ වසරේදී ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වූ බැවින් අල් ඛයීඩා සංවිධානය නැවත වතාවක් ශක්තිමත් විය හැකි බවට බොහෝ දෙනා තුළ බියක් ඇතව තිබේ.
"අපි අලුත් ගොඩනැගිල්ල සහ ඒ හරියේ හදපු අනුස්මරණ ගොඩනැගිල්ල සහ කෞතුකාගාරය බලන්න ගියා. ආයෙත් මිනිස්සු එදා වගේම වැඩ. නමුත් 9/11 සිද්ධිය කවදාවත් කාටවත් අමතක නම් වෙන්නේ නැහැ," සමාරා සිය කතාව අවසන් කරමින් පැවසීය."









