ඔසාමා ඝාතන මෙහෙයුම් කෘතියේ ඉපැයුම පෙන්ටගනයට

'නෝ ඊසි ඩේ' ('No Easy Day')

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඔසාමා බින් ලාඩන් ඝාතන මෙහෙයුමේ කතාව ඇතුළත් කෘතිය මගින් ඉපැයූ ආදායමෙන් ඇමරිකානු ඩොලර් හැත්තෑ ලක්ෂයක මුදලක් රාජ සන්තක කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.

2012 වසරේ ඇමරිකාවේ වැඩියෙන්ම අලෙවි වූ කෘතිය එයයි.

'නෝ ඊසි ඩේ' ('No Easy Day,') කෘතිය ලියා ඇත්තේ ඔසාමා බින් ලාඩන් ඉලක්ක කොට දියත් කළ මෙහෙයුමේ ක්‍රියා කළ ඇමරිකානු නාවික හමුදාවේ හිටපු නිලධාරියෙකු වූ මැට් බිස්සොනෙට් (Matt Bissonette) විසින් සිය අත්දැකීම් මත පදනම්වයි.

කෘතිය 2012 ප්‍රකාශයට පත් කිරීමට පෙර ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් (පෙන්ටගනය) නිසි අවසරයක් ලබා නොගැනීම හේතුවෙන් එම මුදල රාජ සන්තක කළ බවයි ඇමරිකානු බලධාරීන් පවසන්නේ.

'මාර්ක් ඕවන්' යන ආරූඪ නමින් සිය පොත ප්‍රකාශයට පත් කළ නාවික හමුදා හිටපු නිලධාරී මැට් බිස්සොනෙට් එමගින් ඉපැයූ සියලුම ආදායම්, ප්‍රකාශන හිමිකම සහ පොත සිනමාකරණයට ඇති අයිතිය පෙන්ටගනය විසින් ඔහුට අහිමි කරනු ලැබ ඇත.

ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව (පෙන්ටගනය)

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව (පෙන්ටගනය)

මෙම තීන්දුව ලබා දී තිබෙන්නේ ඇමරිකානු නාවික හමුදාවේ සේවයට බැඳෙන අවස්ථාවේ ඔහු විසින් අත්සන් කරනු ලැබූ තොරතුරු අනාවරණය නොකිරීමට බැඳ තබන ගිවිසුමක් සහ ප්‍රකාශයට පත් කිරීමට පෙර ග්‍රන්ථ විචාරය වෙනුවෙන් සිය කෘතිය පෙන්ටගනයට ඉදිරිපත් කිරීමට අසමත් වූ බවට කළ පාපොච්චාරණයක් පදනම් කර ගෙනයි.

'නෝ ඊසි ඩේ' ('No Easy Day,') ග්‍රන්ථයෙන් ලද සියලුම ඉපැයුම් සහ එහි පූර්ණ ප්‍රකාශන අයිතිය රජයට පැවරීමට එකඟ වීම නිසා මැට් බිස්සොනෙට්ට එරෙහිව රජය විසින් ගොනු කොට තිබූ අනෙකුත් චෝදනා ඉවත් කර ගැනීමට පෙන්ටගනය එකඟ විය.