9/11 ප්‍රහාරය: සැප්තැම්බර් 11 සිදුවූයේ කුමක්ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
2001 වසරේ සැප්තැම්බරයේ 11 වැනිදා, අඟහරුවාදාවකි. මරාගෙන මැරෙන ප්‍රහාරකයෝ එක්සත් ජනපදයේ මගී ප්‍රවාහන ජෙට් යානා තම ග්‍රහණයට ගෙන නිව්යෝර්ක් නුවර උසැති ගොඩනැගිලි දෙකක ගැටෙන්නට සැලැස්වූහ. දහස් ගණනකට ජීවිත අහිමි විය.
ඇමරිකාවේ පමණක් නොව මුළු ලොවටම බලපෑ, ශතවර්ෂය තුළ සිදුවූ දරුණුතම සිද්ධියක් ලෙස එය තවමත් වර්තාගතය.
ඉලක්කයන් මොනවාද?
එක්සත් ජනපදයේ නැගෙනහිර අහසේ පියාසර කෙරෙමින් තිබූ ගුවන් යානා හතරක් එකවර පැහැරගැනීමට ලක්විය. ඒ සඳහා ක්‍රියාත්මක වූයේ කුඩා කණ්ඩායමකි.
නිව්යෝර්ක් සහ වොෂින්ටන් නුවර පිහිටි සුප්‍රසිද්ධ ගොඩනැගිලිවලට පහර දීම සඳහා මෙම යානා දැවැන්ත මිසයිලයන් ලෙස යොදා ගන්නා ලදී.
නිව්යෝර්ක් නුවර ලෝක වෙළඳපොල, ද්විත්ව ගොඩනැගිල්ලට ගුවන් යානා දෙකක් ගැටීමට සැලැස්වුණි.
පළමු යානය ගැටුණේ උතුරුදිග කුළුණට ය. ඒ උදෑසන 08;46ට ය. (ග්‍රිනිච් වේලාවෙන් 13:46)
දෙවන යානය දකුණුදිග කුළුණෙහි ගැටුණේ උදෑසන 09:03ට ය.
ගොඩනැගිල්ලට ගිනි ඇවිලිණි. ඉහළ මහල් තුළ සිටි මිනිසුන් කොටු විය. නගරය දුමෙන් වැසුණි. දෙපැයක් ගතවන්නට පෙර මහල් 110කින් සමන්විත ද්විත්ව ගොඩනැගිල්ල බිමට සමතලා වූයේ දැවැන්ත දූලි වලා ඇතිකරමිනි.
උදෑසන 09:37ට තවත් ගුවන් යානයකින් පෙන්ටගනයේ බටහිර මුහුණත විනාශ කෙරුණි. එක්සත් ජනපදයේ හමුදා මුලස්ථානය වූ මෙම දැවැන්ත ගොඩනැගිල්ල පිහිටියේ වොෂින්ටන් අගනුවරට නුදුරිනි.
පැහැර ගැනීමට ලක්වූ හතරවැනි යානයේ සිටි මගීන් පැහැර ගත්තවුන්ට එරෙහිව යානය තුළදී ම සටන් වැදුනි. එහි ප්‍රතිඵලයක් වශයෙන් එම යානය පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ පිට්ටනියකට කඩා වැටුණි. එම යානය වොෂින්ටන් නුවර කැපිටල් ගොඩනැගිල්ලේ ගැටීමට සැලැස්වීම පැහැරගත්තවුන් ගේ අරමුණ වී තිබුණු බවට විශ්වාස කෙරේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
කී දෙනෙකු මරණයට පත්වුණි ද?
පුද්ගලයින් 2,977 දෙනෙකු (ප්‍රහාරකයන් 19 දෙනා හැර) ජීවිතක්ෂයට පත් විය. ඉන් වැඩි පිරිස මරණයට පත්වී තිබුණේ නිව්යෝර්ක් නුවර දී ය.
- ගුවන්යානා හතර තුළ සිටි සියලුම මගීන් සහ කාර්ය මණ්ඩල මරණයට පත් වූහ.
- නිව්යෝර්ක් නුවර ද්විත්ව ගොඩනැගිල්ලට එල්ලවූ ප්‍රහාරයෙන් 2,606 දෙනෙක් මරණයට පත් වූහ. (ඒ මොහොතේම හෝ තුවාල ලැබීමෙන් පසුව)
- පෙන්ටගනයට එල්ල වූ ප්‍රහාරයෙන් 125 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
දිවි අහිමි වූ ලාබාලම වින්දිතයා වූයේ දෙහැවිරිදි ක්‍රිස්ටීන් ලී හැන්සන් ය. ප්‍රහාරයට යොදා ගත් ගුවන් යානයක් තුළ සිටි ඇය මරණයට පත් වූයේ සිය දෙමාපියන් ද සමඟය.
මරණයට පත් වූවන් අතර සිටි වයස්ගත ම පුද්ගලයා 82 හැවිරිදි රොබට් නෝටන් ය. ඔහු සිය බිරිඳ සමඟ ගුවන් යානයට ගොඩවී සිටියේ විවාහ මංගලෝත්සවයකට සහභාගී වීම සඳහා යාමට ය.
පළමු ගුවන් යානය ද්විත්ව ගොඩනැගිල්ලෙහි ගැටෙන අවස්ථාවේ දී එම ගොඩනැගිල්ල තුළ 17,400 දෙනෙකු පමණ සිටි බවට ඇස්තමේන්තු කර තිබේ. පළමු යානය ගැටුණු ස්ථානයට ඉහළින් පිහිටි මහල් තුළ සිටි කිසිවෙකුට දිවි බේරා ගැනීමට නොහැකි විය. නමුත් දෙවැනි යානය දකුණු කුලුනෙහි ගැටීමට පෙර එම යානය ගැටුණු ස්ථානයට ඉහළින් සිටි 18 දෙනෙකු එම ස්ථානයෙන් පහලට දිව යාමට සමත් විය.
ජීවිතක්‍ෂයට පත්වූවන් අතර රටවල් 77කට අයත් පුරවැසියෝ වූහ. අනතුරට පත්වූවන් බේරාගැනීමේ කටයුතුවල නිරත වී සිටි සේවකයන් 441 දෙනෙකු නිව්යෝර්ක් නුවරට අහිමි විය.
විෂ දුම් සහිත සුන්බුන් අතර රාජකාරි කරමින් සිටි ගිනි නිවන භටයන් ඇතුළු සහන සේවකයන් දහස් ගණනක් තුවාල ලැබීම හෝ පසුව රෝගාතුර වීම සිදු විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ප්‍රහාරකයෝ කවරහුද?
අල් ඛයීඩා නමැති අන්තවාදී ඉස්ලාමීය ජාලය, ඇෆ්ගනිස්ථානයේ සිට මෙම ප්‍රහාරය සැලසුම් කළේය.
මුස්ලිම් ලෝකයේ පවතින ගැටුම් වලට එක්සත් ජනපදය සහ එහි මිත්‍ර පාර්ශව වගකිව යුතු බවට ඔසාමා බින් ලාඩන්ගේ නායකත්වයෙන් යුක්ත වූ අල් ඛයීඩා සංවිධානය චෝදනා කළේය.
ගුවන් යානා පැහැර ගැනීම සඳහා 19 දෙනෙකු ක්‍රියාත්මක වී තිබුණි. ඔවුහු කණ්ඩායම් හතරකට බෙදී කටයුතු කළහ. ඒ, පස්දෙනෙකුගෙන් යුත් කණ්ඩායම් තුනක් සහ හතර දෙනෙකුගෙන් යුත් එක් කණ්ඩායමක් ලෙසිනි. පෙන්සිල්වේනියාවට කඩා වැටුණු යානය පැහැර ගන්නා ලද්දේ හතර දෙනාගෙන් යුත් කණ්ඩායම විසිනි.
ගුවන් නියමුවෙකු ලෙස පුහුණුව ලත් පුද්ගලයෙකු සෑම කණ්ඩායමකට ම ඇතුළත් කොට තිබුණි. ඔවුන් පුහුණුව ලබා තිබුනේ ද එක්සත් ජනපදයේ වූ ගුවන් යානා පියාසර පුහුණු පාසලකිනි.
ප්‍රහාරකයන් 15 දෙනෙක් සෞදි ජාතිකයෝ වුහ. බින් ලාඩන් ද උපන්නේ සෞදි අරාබියේ ය. ප්‍රහාරකයන් දෙදෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පුරවැසියන් විය. ඉතිරි දෙදෙනාගෙන් එක් අයෙකු ඊජිප්තු ජාතිකයෙකු වූ අතර අනෙකා ලෙබනන් ජාතිකයෙකි.
එක්සත් ජනපදය ප්‍රතිචාර දැක්වූයේ කෙසේද?
ප්‍රහාරය සිදු වී මාසයක් ගත වන්නට පෙර එවක ජනාධිපති ජෝර්ජ් බුෂ් ගේ නායකත්වයෙන් යුක්තව ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළේය. මේ සඳහා ජාත්‍යන්තර ඒකාබද්ධ හමුදාවක් යෙදවුණු අතර එම ආක්‍රමණයේ අරමුණ වූයේ අල් ඛයීඩා ජාලය ලොවින් තුරන් කිරීම සහ බින් ලාඩන් අල්ලා ගැනීම ය.
නමුත් 2011 වනතුරු බින් ලාඩන් අල්ලා ගැනීමට නොහැකි විය. අවසානයේ ඔහු පකිස්ථානයේ සැඟව සිටියදී මරා දැමුණි.
සැප්තැම්බර් 11 ප්‍රහාරය සැලසුම් කළ බවට චෝදනා ලත් ඛලීඩ් ශේයිඛ් මොහමඩ් 2003 දී අත්අඩංගුවට පත් වූයේ පකිස්තානයේදී ය. එතැන් පටන් ඔහු ග්වන්තනමෝ සිර කඳවුරේ රඳවා තැබුණි. ඔහුට එරෙහිව නඩු විභාගයක් පැවැත්වීමට නියමිතය.
අල් ඛයීඩා තවමත් ක්‍රියාත්මක ය. උප සහරා අප්‍රිකානු රටවල එම සංවිධානය ඉතා ශක්තිමත් ය. එමෙන්ම, ඇෆ්ගනිස්ථානය තුළ ද මේවන විට එහි සාමාජිකයෝ සිටිති.
විසි වසරකට පසුව එක්සත් ජනපද හමුදා මේ වසරේදී ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වූ බැවින් අල් ඛයීඩා සංවිධානය නැවත වතාවක් ශක්තිමත් විය හැකි බවට බොහෝ දෙනා තුළ බිය ඇති විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
9/11 පසු ගෙවී ගිය කාලය
9/11 ප්‍රහාරයෙන් පසුව ගෙවී ගිය කාලය ඇතුළත ගුවන් ගමන් පිළිබඳ ආරක්ෂාව තව තවත් දැඩි කිරීමට මුළු ලෝකයම පියවර ගත්තේය.
ගුවන් යානා සහ ගුවන් තොටුපොල ආරක්ෂාව තර කිරීම සඳහා Transportation Security Administration නමැති ආයතනය එක්සත් ජනපදය තුළ පිහිටවන ලදී.
බිමට සමතලා වූ ද්විත්ව ගොඩනැගිල්ල පිහිටි ස්ථානයේ වූ සුන්බුන් ඉවත් කිරීම සඳහා මාස අටක කාලයක් ගත වූ අතර එම භුමිය "Ground Zero" ලෙස නම් කෙරුණි.
දැන් එම භුමියේ පවතින්නේ අනුස්මරණ ගොඩනැගිල්ලක් සහ කෞතුකාගාරයකි. එම ස්ථානයේ නැවතත් වෙනස් හැඩයකින් යුත් ගොඩනැගිලි ඉදි කෙරුණි.
එහි ඉදිවුණු ප්‍රධාන ගොඩනැගිල්ල වන One World Trade Center නම් කර ඇත්තේ "Freedom Tower" යනුවෙනි. ප්‍රහාරයෙන් කඩා වැටුණු ලෝක වෙළඳපොල ද්විත්ව ගොඩනැගිල්ලේ උතුරුදිග කුළුණට (අඩි 1,368) වඩා මෙය උසින් වැඩිය. "Freedom Tower" අඩි 1,776ක් උසැති ය.
පෙන්ටගනයේ නැවත ඉදිකිරීම් නිමා වීමට වසරකට ආසන්න කාලයක් ගත විය. 2002 වසරේ අගෝස්තු මාසයේ දී පෙන්ටගනයට නැවත කාර්ය මණ්ඩලය යොදවනු ලැබුණි.
(බීබීසී පුවත් සේවයේ පැට්‍රික් ජැක්සන් ගේ වාර්තාවක් ඇසුරෙනි.)










