‘ඔසාමා ඝාතනයට පකිස්තානයත් හවුල්’ - ඇමෙරිකානු මාධ්‍යවේදියෙක්

ඡායාරූප මූලාශ්‍රය, Reuters
අල් කයිඩා නායක ඔසාමා බීන් ලාඩන් මරා දමනු ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් බරක් ඔබාමා පරිපාලනය ඉදිරිපත් කරන කරුණු ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රවීණ ගවේෂනාත්මක මාධ්‍යවේදියකු වන සෙයිමෝර් හර්ෂ් (Seymour Hersh) විසින් ව්‍යාකූල තත්වයකට පත් කරනු ලැබ ඇත.
ඔසාමා බින් ලාඩන් පකිස්තානයේ සැඟවී සිටි ස්ථානය සොයා ගනිමින් ඔහු ඝාතනය කරනු ලැබීම හුදෙක් ඇමෙරිකානු ක්‍රියාවක් හැටියට වොෂින්ටනය කරන තක්සේරුවයි මාධ්‍යවේදී හර්ෂ් විසින් විසංවාදී තත්වයකට පත් කරන්නේ.

ඡායාරූප මූලාශ්‍රය, AP
මෙයින් වසර හතරකට පෙර බින් ලාඩන් ඝාතනය කෙරුණේ පකිස්තානයේ ‘ඇබටාබාද්’ නගරයේ දී.
එය සහමුලින්ම සිය මෙහෙයුමක් හැටියට වොෂින්ටන් බලධාරීන් විසින් කරනු ලබන ප්‍රකාශන අසත්‍ය බව කියා සිටින මාධ්‍යවේදී සෙයිමෝර් හර්ෂ්, එවකට පකිස්තාන් යුද හමුදා ප්‍රධානීන් සහ එරට බුද්ධි අංශ විසින් ද ඔසාමා බින් ලාඩන් සොයා යාමේ මෙහෙයුම පිළිබඳව දැන සිටි අතර ඒ සඳහා ඇමෙරිකානු මධ්‍යම රහස් ඔත්තු අංශයට උදව් කර ඇති බවයි ‘ලන්ඩන් පොත් විමසුම’ (London Review of Books) සංග්‍රහයට ලියා තිබෙන්නේ.
පකිස්තාන් ආණ්ඩුවේ ප්‍රකාශය

ඡායාරූප මූලාශ්‍රය, AFP
එහෙත් ඔසාමා බින් ලාඩන් දඩයම් කිරීමේ මෙහෙයුම සිදු වූ වකවානුවේ පාකිස්තානය එම ක්‍රියාව හෙලා දකිමින් කියා සිටියේ එම ක්‍රියාව රටේ ස්වාධිපත්‍යය උල්ලංඝනය කිරීමක් වූ බවයි.
එම ඇමෙරිකානු මැදිහත් වීම නිසා පකිස්තාන් ආණ්ඩුව රට තුල දුෂ්කර තත්වයකට පත් වූ අතර, වසරක පමණ කාලයක් දෙරට අතර සබඳතා පිරිහුණ තත්වයකයි පැවතුණේ.
‘ඇබටාබාද්’ඇමෙරිකානු ආක්‍රමණය සම්බන්ධයෙන් පිරික්සීමට කොමිසන් සභාවක් ද පිහිටවනු ලැබුනත් එමගින් අනාවරණය කර ගත් කරුණු රාජ්‍ය රහසක් වශයෙනුයි තවමත් පවතින්නේ.




