වසර 8ක් තුළ බොලිවුඩයෙන් නිර්මාණ සඳහා ඇරයුම් නොලැබුණු බව ඒ.ආර්. රහ්මාන් පවසයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, හරූන් රෂීඩ්
- Role, බීබීසී ආසියානු ජාලය
බොලිවුඩ් චිත්‍රපට රැසක් සඳහා සංගීත නිර්මාණයෙන් දායක වූ ඔස්කාර් සම්මානලාභී සංගීඥ ඒ.ආර්. රහ්මාන්, පසුගිය වසර අට තුළ ඔහුට බොලිවුඩයෙන් නිර්මාණ සඳහා ඇරයුම් නොලැබුණු බව පවසා තිබේ.
බීබීසීය සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්, ඔහු තම සංගීත ගමන, වෙනස්වන සිනමාව, අනාගත සැලසුම් සහ සමාජයේ වත්මන් පරිසරය පිළිබඳව විවෘතව අදහස් පළ කළේ ය.
ඉදිරියේදී තිරගත වීමට නියමිත නිතේෂ් තිවාරිගේ "රාමායණය" චිත්‍රපටයේ සංගීතය නිර්මාණය කිරීමට ද ඔහු දායක වී ඇත. වෙනස් ආගමක් නියෝජනය කළ ද, මෙම චිත්‍රපටයේ සංගීතය නිර්මාණය කිරීම සම්බන්ධයෙන් යොමු කළ ප්‍රශ්නවලට ඔහු පිළිතුරු දුන්නේ ය.
ඉකුත් වසරේ, ඒ.ආර්. රහ්මාන් විසින් සංගීත නිර්මාණය කරන ලද "චාවා" චිත්‍රපටය තිරගත විය. චිත්‍රපටය ඉතිහාස තොරතුරු විකෘති කළ බවට සහ ප්‍රේක්ෂකයින් අතර බෙදීමක් ඇති කළ බවට බොහෝ ඉතිහාසඥයෝ විවේචනය කළහ. චිත්‍රපටය නිකුත් වූ අවස්ථාවේ මහාරාෂ්ට්‍රයේ ඇතැම් ප්‍රදේශවල ප්‍රචණ්ඩ ක්‍රියා පවා සිදුවිය.
මෙම සම්මුඛ සාකච්ඡාවේදී ඒ.ආර්. රහ්මාන් ද පිළිගත්තේ චාවා චිත්‍රපටය "බෙදීම් ඇති කරනවනසුලු" චිත්‍රපටයක් බව ය.
මෙම සම්මුඛ සාකච්ඡාවේදී, ඔහු තම සංගීත දිවිය ආරම්භයේදී මුහුණ පෑ දුෂ්කරතා සහ බටහිර සහ ඉන්දියානු සංගීතය තුලනය කර ගැනීමේ අභියෝග පිළිබඳව විස්තරාත්මකව කතා කර ඇත.
'රෝජා ට්‍රැක් එක චිත්‍රපටයකට අරන් තියෙන්නේ මගෙන් අහන්නෙවත් නැතුව'

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
රෝජා චිත්‍රපටයේ සංගීත ඛණ්ඩයක් "ඇනිමල්" චිත්‍රපටයේ භාවිත කර ඇත්තේ, නව පරම්පරාවට ඒ.ආර්. රහ්මාන්ගේ සංගීතය හඳුන්වා දෙමිනි.
දැන් රහ්මාන් "චෝටි සී ආශා' ගීතය ඇනිමල් චිත්‍රපටයෙන් අසද්දී මිනිසුන් එය ඉන්ස්ටග්‍රෑම්, ටික්ටොක්වල භාවිත කරති. එය නොඇසෙන තැනක් නැත. වසර 33කට පෙර ඔහු නිර්මාණය කළ දෙයක් අද නව ජීවයක් ලබා තිබීම ගැන ඔහුට හැඟෙන්නේ මොනවා ද?
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
මෙම ප්‍රශ්නයට පිළිතුරු දෙමින් රහ්මාන් මෙසේ පැවසීය: "ඒක අතීතය සිහිපත් කරනවා. එයාලා කවදාවත් මගෙන් ඇහුවේවත් නෑ. නිකුත් කළාට පස්සේ එයාලා කිව්වා අපි ඒක පාවිච්චි කරනවා කියලා. ඒක ඔරිජිනල් එක. අපි උත්සහ කරනවා Atmos මික්ස් එකක් කරන්න. ඒත් තාමත් එදා වගේ ම යි."
නමුත් මීට වසර 33කට පෙර මෙම ගීතය නිකුත් කළ දිනය තවමත් ඔහුගේ මතකයේ තිබේ.
"රෝජා හදද්දී ගොඩක් බලාපොරොත්තු සුන්වීම් සිද්ධ වුණා. මම නිකම්, 'හරි මම මේක කරනවා. ඊට පස්සේ මම මගේ ම ඇල්බම්ස් කරනවා'. මට චිත්‍රපටවලට සම්බන්ධ වෙන්න ඕන වුණේ නැහැ. මොක ද මගේ ළමා කාලය ම ගත කළේ චිත්‍රපට නරඹමින්. වාසනාවකට, හැම දේ ම මට අවශ්‍ය විදිහට සිද්ධ වුණා. Dolby ආවා. ඊටපස්සේ DTS. ශබ්ද කියන දේ වඩාත් හොඳින් ඇහෙන්න පටන් ගත්තා."
"මම තරමක් අශුභවාදීව හිටියේ. ඒත් ඊට පස්සේ හැම දේ ම වෙනස් වුණා. තාක්ෂණය හරි ම ඉක්මනට ආවා. DTS Digital සහ Dolby අවුරුදු පහකින් වගේ ආවා. ඒක මට සාර්ථකත්වයක් සහ සම්මාන අරන් දුන්නා. ඒ නිසා මම කිව්වා, 'හරි, මම නවත්තන්න කලින් තව ටිකක් කරගෙන යනවා කියලා. ඊට පස්සේ අවුරුදු දහයකට පස්සේ, මම කිව්වා, නෑ, මම නවත්තන්නේ නැහැ කියලා."
රෝජා චිත්‍රපටය සඳහා සංගීතය රචනා කිරීමේදී ඔහුගේ මුලදී මුහුණ දුන් දුෂ්කරතා ගැන ඔහු මෙසේ පැවසීය: "මට ට්‍රැක්ස් 16ක රෙකෝඩ් කරන්න පටන් ගනිද්දී, අනිත් ස්ටූඩියෝවල රෙකෝඩ් කරන්න පුළුවන් වුණේ, ට්‍රැක්ස් 3ක් විතර යි. මම හිතුවේ මේ සංගීතය හැම දා මත් ඒ විදියට ම ඇහෙයි කියලා. ඒවා නරක් වෙන්නේ නැහැ. මට ඒවා ගබඩා කරන්න, සංරක්ෂණය කරන්න සිද්ධ වුණා. ටේප් ගන්න මට සල්ලි තිබුණේ නැහැ. ඒ නිසා මට මගේ පසුබිම් සංගීත සහ පරණ ගීත මකලා දාන්න සිද්ධ වුණා. ගීතවල ටේප් මගේ ගාව තියෙනවා. පසුබිම් සංගීත නැහැ. මොකද චිත්‍රපටවලට මට ගෙව්වේ පොඩි ගාණක් නිසා. මට ජිංගල් එකකට ලැබුණේ මාස හයක චිත්‍රපට වැඩකට ලැබෙන ගාණ. නමුත් මම ක්‍රමයෙන් වර්ධනය වෙනවා කියලා මම තේරුම් ගත්තා."
බොලිවුඩයේ තැනක් දිනා ගැනීමේ අරගලය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
'දිල් සේ' චිත්‍රපටයෙන් පසුව ද ඒ.ආර්. රහ්මාන්ට ඉන්දියාව පුරා පිළිගැනීමක් ලැබුණේ?
මීට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ: "මම හිතන්නේ රන්ගීලා. රාම් ගෝපාල් වර්මා, මනි රත්නම්ගේ මිතුරෙක්. ඔහු දවසක් ඇවිත් කිව්වා චිත්‍රපටයක් කරනවා කියලා. ඔහුගේ 'ශිවා' චිත්‍රපයට අතිශය ජනප්‍රිය වුණු චිත්‍රපටයක්. ඔහු කිව්වා, 'මම ඔයාගේ සංගීතයට කැමති යි. මට ඔයත් එක්ක වැඩ කරන්න ඕන,' කියලා. ඔහු මනිරත්නම්ට වඩා සම්පූර්ණයෙන් ම වෙනස් කෙනෙක්. චිත්‍රපට තුනක වැඩ කරලත්, මම තාමත් පිටස්තරයෙක්. ඒත් ඒ සංගීතය හැම ගෙදරකට ම ළඟා වුණා. හැම කුස්සියක ම ඇහුණා. අදත් ඒක උතුරු ඉන්දියානුවන්ගේ ලේවල තියෙනවා. මොක ද ඒකෙ පන්ජාබි, හින්දි සහ පහාරි සංගීතය ගැබ් වෙලා තිබුණ නිසා."
බීබීසීය මෙසේ ඇසීය: "1999 වන තුරු රහ්මාන් තමා පිටස්තරයෙක් විදිහට හැඳින්වීම සුත්ගන්නාසුලු කරුණක්. 1992 රෝජා ඇවිල්ලා තියෙද්දී, අවුරුදු 7-8ක් ඔබ රටේ ජනප්‍රිය ම සංගීත නිර්මාණ කරමින් සිටි බොම්බේ, රන්ගීලා, දිල් සේ, තාල් වගේ චිත්‍රපට ඇවිල්ලා තියෙද්දිත් ඔබ තවමත් ඒ තැනට අයිති නැහැ කියල දැනෙන එක?"
රහ්මාන් ඊට මෙලෙස පිළිතුර දුන්නේ ය: "මම හින්දි කතා කළේ නැහැ. දෙමළ භාෂාව එක්ක තියෙන ප්‍රබල බැඳීම නිසා දෙමළ කෙනෙකුට හින්දි ඉගෙන ගන්න එක අමාරු දෙයක්. නමුත් සුභාෂ් ඝායි කිව්වා, 'මම ඔබේ සංගීතයට කැමති යි, නමුත් මට ඔබ දිගු කාලයක් [ක්ෂේත්‍රයේ] රැඳී සිටීමට අවශ්‍ය යි, ඒ නිසා හින්දි ඉගෙන ගන්න' කියලා. මම කිව්වා, 'හරි මම හින්දි ඉගෙන ගන්නම්,' කියලා. ඊට පස්සේ මම තවත් පියවරක් ඉදිරියට ගිහින් 60 සහ 70 දශකවල හින්දි සංගීතයේ මව වන උර්දු භාෂාව ඉගෙන ගන්නවා. ඊට පස්සේ මම උර්දු භාෂාවට සමාන උච්ඡාරණයක් තියෙන අරාබි භාෂාව ඉගෙන ගත්තා. ඊට පස්සේ මට නුස්රත්ගේ ගීතවලින් සහ සුක්වින්දර් සිංගෙන් ආභාෂය නිසා පන්ජාබි ගැන උනන්දුව ඇති වුණා."
ඔහු මෙසේ ද පැවසීය: "පුදුමයට කරුණ තමයි, මම කර්ණාටක සංගීතය සමග බොහෝ කාලයක් වැඩ කරලා තිබුණ නිසා මම ඒ තරම් එය භාවිත කළේ නැහැ. ඒ ඕනෑ ම තනුවක් ස්පර්ශ කරද්දී මට දැනුණේ, මම ඒක මීට කලින් අහලා තියෙනවා කියලා. ඒක යි මම දේශ්, පීලු, දර්බාරි වගේ හින්දුස්ථානි රාග තෝරා ගත්තේ. මේ රාග දෙමළ හෝ දකුණු ඉන්දියානු සංගීතයේ එතරම් භාවිත වුණේ නැහැ. ඒ නිසා ඒවා ගොඩක් උතුරු ඉන්දියානුවන්ගේ සිත් ගත්තා. කර්ණාටක සංගීතය භාවිත නොකිරීමට ගත්ත තීරණය සවිඥානිකව ගත්ත එකක්."
'චාවා කියන්නේ බෙදුම්වාදී චිත්‍රපටයක්'
බොලිවුඩයේ සංගීත නිර්මාණ අතර, ඒ.ආර්. රහ්මාන් බොහෝ ගීත සර්ව කාලීන නිර්මාණ ලෙස සැලකෙන අතර වසර ගණනාවක් තිස්සේ ජනප්‍රියව පවතී.
මෑතකදී ඔහු සංගීත අධ්‍යක්ෂකවරයා ලෙස චාවා චිත්‍රපටයේ කටයුතු කළේ ය. මෙම චිත්‍රපටයේ සංගීතය ද බෙහෙවින් පැසසුමට ලක් විය.
කෙසේ වෙතත්, චිත්‍රපටය නිකුත් වූ දා සිට එය මතභේදවලට තුඩු දුන් අතර මහාරාෂ්ට්‍රයේ ඇතැම් ස්ථානවල ප්‍රචණ්ඩ ක්‍රියා පවා සිදුවිය.
බීබීසී ආසියානු ජාලය සමග සම්මුඛ සාකච්ඡාවකදී රහ්මාන්ගෙන් එය බෙදුම්වාදී චිත්‍රපටයක් දැයි විමසූ විට, ඔහු පැවසුවේ, "එය බෙදුම්වාදී චිත්‍රපටයක්" යනුවෙනි.
"මම හිතන්නේ ඒක භේදයෙන් ප්‍රයෝජන ගත්තා කියලා, ඒක නිර්භීතකම පෙන්වීමක් වෙන්න ඇති, මොක ද මම අධ්‍යක්ෂවරයාගෙන් මේ චිත්‍රපටයට මාව අවශ්‍ය ඇයි කියලා ඇහුවා. ඔහු කිව්වා, 'මේකට අපිට ඔයාව විතර යි ඕනේ' කියලා."
රහ්මාන් මෙසේ පැවසීය: "මම හිතන්නේ ඒකට ගොඩක් දේවල් තියෙනවා, අවසානයත් බලන්න වටිනවා, නමුත් මම හිතන්නේ මිනිස්සු ඊට වඩා දක්ෂ යි. "චිත්‍රපටවලින් මිනිස්සුන්ට බලපෑමක් ඇති වෙනවා කියලා ඔයා හිතනව ද? මිනිස්සුන්ට දැනීම තියෙනවා මොකක් ද ඇත්ත මොකක් ද වංචාව කියලා තේරුම් ගන්න."
'රාමායණය' සඳහා සංගීතය රචනා කිරීමේදී ආගමික විශ්වාසයන් බාධාවක් වුණා ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
චිත්‍රපට අධ්‍යක්ෂ නිතේෂ් තිවාරිගේ රාමායණය චිත්‍රපටය මෙම වසර අවසානයේදී තිරගත වීමට නියමිත අතර එහි සංගීතය නිර්මාණය සඳහා ඒ.ආර්. රහ්මාන් දායක වී තිබේ.
මෙම චිත්‍රපටයේ සංගීතය නිර්මාණය කරන අතරතුර ඔහුගේ ආගමික විශ්වාසයන් ගැන කුමන අවස්ථාවක හෝ ප්‍රශ්නයක් ඇති වුණා ද?
මෙම ප්‍රශ්නයට ඔහු මෙසේ පිළිතුරු දුන්නේ ය. "මම ඉගෙන ගත්තේ බ්‍රාහ්මණ පාසලක. හැම අවුරුද්දක ම රාමායණය සහ මහා භාරතය ගැන ඉගැන්නුවා. ඒ නිසා මම කතාව දන්නවා, පුද්ගලයෙකුගේ ගුණාංග පිළිබඳ කතාව. මම සෑම යහපත් දෙයක් ම අගය කරනවා."
"දැනුම යනු ඔබට සෑම දිනක ම ඉගෙන ගත හැකි දෙයක්, හැම තැනකදී ම, අපි පටු ආකල්ප සහ ආත්මාර්ථකාමිත්වයෙන් ඔබ්බට නැගී සිටිය යුතු යි."
'බලය තියෙන්නේ නිර්මාණශීලීත්වයක් නැති අයට'
බොලිවුඩයේ දෙමළ ප්‍රජාවට එරෙහි වෙනස්කම් කිරීම් බහුලව පවතින බව බොහෝ චිත්‍රපට නිෂ්පාදකයින් සහ නළු නිළියන් ප්‍රකාශ කර තිබේ. නමුත් 1990 දශකයේ එය කෙබඳු ද?
මේ ප්‍රශ්නයට පිළිතුරු දෙමින්, ඔහු පැවසුවේ, "මම මේ සියල්ල දැනගෙන හිටියේ නැහැ, නැත්නම් සමහර විට එය මගෙන් සැඟවිලා තියෙන්න ඇති. මට කවදාවත් එහෙම දැනුණේ නැහැ."
කෙසේ වෙතත්, ඔහු පවසන්නේ, "පසුගිය වසර අට තුළ, බලයේ වෙනස්කම් සිදුවුණා. ඵලදායී නොවන අය තමයි තීරණ ගනිමින් ඉන්නේ. සමහර වාර්ගික කතාත් තියෙන්න ඇති, නමුත් කවුරුත් මට එහෙම කිව්වේ නැහැ."
"ඔව්, සමහර දේවල් මට අහන්න ලැබුණා. මාව බුක් කරලා, පස්සේ වෙන මියුසික් කම්පැනි එකක් සල්ලි ගෙවලා එයාලාගේ මියුසීෂියන්ස්ලා දාගෙන තිබුණා. මම කිව්වා, 'හරි මම විවේකයක් ගන්නම්, පවුල එක්ක පොඩි කාලයක් ඉන්නම්,' කියලා. මම වැඩ හොයන් යන්නේ නැහැ. මට ඕනේ වැඩ මාව හොයාගෙන එන එක යි. මට අවශ්‍ය මගේ කැපවීම සහ අවංක බව නිසා මගේ ළඟට වැඩ අරගෙන එන එක යි. දේවල් හොයන එක අවාසනාවක් කියලා මම හිතනවා. දෙවියන් වහන්සේ මට මගේ දේ දෙයි."
අනාගත සැලසුම්?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මෙම සම්මුඛ සාකච්ඡාවේදී රහ්මාන් තම අනාගත සැලසුම් පිළිබඳව ද කතා කළ අතර, තම ප්‍රවේශය තවදුරටත් පුළුල් කිරීම සඳහා බටහිර කලාකරුවන් සමග සහයෝගයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව පැහැදිලි කළේ ය.
ඔහු පැවසුවේ, "මම Secret Mountain නමින් අතථ්‍ය මෙටා සංගීත කණ්ඩායමක් නිර්මාණය කර තිබෙනවා. එයට විවිධත්වයක් තිබෙනවා. එහි ඇමෙරිකානු චරිත, අයර්ලන්ත චරිත, අප්‍රිකානු, උතුරු ඉන්දියානු, දකුණු ඉන්දියානු සහ චීන චරිත තියෙනවා. ඒක මුළු ලෝකය ම එකට ගෙන ඒමේ උත්සහයක්."
"නමුත් කාරණය තමයි, මම ඉන්දියානු සංගීතය නිර්මාණය නොකළා නම් මම කුමක් කරන්න තිබුණා ද? නමුත් මගේ සංගීතය සම්පූර්ණයෙන් ම ඉන්දියානු නෙවෙයි. මම සංගීතය නිෂ්පාදනය කරන ආකාරය සම්පූර්ණයෙන් ම ඉන්දියානු නෙවෙයි."
හොලිවුඩයේ ඉන්දියානු සංගීතය සම්බන්ධයෙන් කටයුතු නොකිරීමට හේතු රහ්මාන් පැහැදිලි කළේ ය. ඔහු මෙසේ පැවසීය: "ඉන්දියානු දේවල් ගැන හොලිවුඩයේ සිදුවන ඕනෑ ම දෙයක් මට ප්‍රමුඛතාවක් නෙවෙයි. මොක ද මම දැනටමත් ඉන්දියානු සංගීතය කරනවා. මට අවශ්‍ය ගැඹුරු දෙයක් කරන්න. අපට නිදහස තියෙන නිසා වගේ ම ප්‍රශ්න නැති නිසා සංගීත කණ්ඩායම ඉන්නේ ඒ ගැන සතුටින්."
බටහිර කලාකරුවන් සමග කටයුතු කිරීම ගැන ඔහු මෙසේ පැවසීය: "බටහිර කලාකරුවන් ඉන්දියානු කලාකරුවන් සමග සහයෝගයෙන් කටයුතු කිරීම විශිෂ්ට දෙයක්. අලුත් පරම්පරාවේ තියෙන හොඳ දේ තමයි අපිට තිබුණු බර එයාලට නැති එක. එයාලට කවුරුත් ගැන ගාණක් නෑ."
'තුම් සාත් හෝ' ගීතයේ අල්කා යාග්නික් සමග සහ 'රාම්තා ජෝගි' ගීතයේ සුක්වින්දර් සිං සමග සහයෝගයෙන් කටයුතු කිරීම ඔහුගේ හොඳ ම අත්දැකීම් කිහිපයක් ලෙස ඔහු සලකයි.
ආශා බෝස්ලේ සමග කරන ලද 'තන්හා තන්හා යහා පේ ජීනා' ගීතයේදී සහයෝගීතාවයෙන් කටයුතු කළ ආකාරය ද ඔහු විස්තර කරයි.
ඔහු මෙසේ පවසයි: "ආශා බෝස්ලේ කියන්නේ ලෙජන්ඩ් කෙනෙක්. ඇයගේ වයස දැන් අවුරුදු 90ටත් වැඩි යි. තාමත් ගීත ගයනවා. තවමත් ජීවතුන් අතර ඉන්න ඒ වගේ ලෙජන්ඩ් කෙනෙක් අපි අගය නොකර ඉන්නේ ඇයි? මම ඇය ළඟට ගිහින් කිව්වා මට ඔබ එක්ක තව ගීතයක් කරන්න ඕන කියලා, ඇය කිව්වා ඇයි බැරි කියලා. අපි ගීතය නිෂ්පාදනය කළා, මේ අවුරුද්දේ ඒක එනවා."

ඡායාරූප මූලාශ්‍රය, Getty Images














