රූපවාහිනී කතා මාලාවක් බවට පත්වන හැරී පොටර්හි රොන්, හර්මයිනි ඇතුළු චරිතවලට තෝරාගත් අලුත් නළු නිළියන් මෙන්න

Arabella Stanton (L) , Dominic McLaughlin and Alastair Stout

ඡායාරූප මූලාශ්‍රය, HBO

ඡායාරූප ශීර්ෂ වැකිය, හර්මයිනි, හැරී සහ රොන්ගේ චරිත නිරූපණය කිරීමට නියමිත ඇරබෙලා ස්ටැන්ටන්, ඩොමිනික් මැක්ලවුලින් සහ ඇලෙස්ටෙයාර් ස්ටවුට්
    • Author, යස්මින් රූෆෝ
    • Role, සංස්කෘතික කටයුතු වාර්තාකරු

ජේ.කේ. රෝලිංගේ ප්‍රබන්ධ කතා මාලාවක් වන හැරී පොටර් ප්‍රබන්ධ කතා මාලාවෙන් අනුවර්තනය කරන ලද රූපවාහිනී කතා මාලාවේ ප්‍රධාන භූමිකා සඳහා රංගනයෙන් දායක වන ළමා නළු නිළියන් තිදෙනා කවුරුන් දැයි HBO නාලිකාව නිවේදනය කර තිබේ.

ඩොමිනික් මැක්ලවුලින්, ඇරබෙලා ස්ටැන්ටන් සහ ඇලෙස්ටෙයාර් ස්ටවුට් යන ළමා නළු නිළියන් පිළිවෙළින් හැරී පොටර්, හර්මයිනි ග්‍රැන්ජර් සහ රොන් වීස්ලි යන චරිත සඳහා තෝරාගෙන තිබේ.

පසුගිය වසරේදී මෙම චරිත සඳහා නළු නිළියන් තෝරා ගැනීමේ විවෘත පරීක්ෂණයක් කරනු ලැබූ අතර, ළමුන් 30,000කට වැඩි පිරිසක් තිර පරීක්ෂණයට ලක් කරන ලදී.

රේඛීය නිෂ්පාදක ෆ්‍රැන්සිස්කා ගාර්ඩිනර් සහ විධායක නිෂ්පාදක හා අධ්‍යක්ෂක මාක් මයිලෝඩ් නිකුත් කළ නිවේදනයක දැක්වුණේ, "මේ අතිවිශිෂ්ට රංගන ශිල්පීන් තුන් දෙනාගේ හැකියාව දැකීම අපූරු දෙයක්. ඒ වගේ ම තිරය මත ඔවුන් තිදෙනාගේ එකතුවේ අපූර්වත්වය ලෝකයට පෙන්වන තුරු අපට ඉවසිල්ලක් නෑ," යනුවෙනි.

එම ළමා නළු නිළියන් සමග ජෝන් ලිත්ගෝ හොග්වාර්ට්ස් නමැති රංගන ශිල්පියා ප්‍රධානාචාර්ය ඇල්බස් ඩම්බල්ඩෝර්ගේ භූමිකාව රඟ දක්වන අතර, පාසලේ ප්‍රධාන මහාචාර්යවරුන් වන මිනර්වා මැක්ගොනගල් ලෙස ජැනට් මැක්ටියර් හා සෙවරස් ස්නේප් ලෙස පාපා එස්සියඩු රංගනයෙන් දායක වෙති.

කතා මාලාවට අදාළ දැනට තහවුරු කරන ලද සෙසු චරිත සඳහා තෝරා ගත් රංගන ශිල්පීන් අතර කාරුණික ආයතන පාලක රූබියස් හැග්‍රිඩ් ලෙස නික් ෆ්‍රොස්ට්, මහාචාර්ය ක්විරිනස් ක්විරල් ලෙස ලූක් තැලන් සහ භාරකාරු ආර්ගස් ෆිල්ච් ලෙස පෝල් වයිට්හවුස් වෙති.

අනෙකුත් චරිත සඳහා තෝරාගත් රංගන ශිල්පීන් නුදුරු අනාගතයේදී නිවේදනය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Paapa Essiedu, Janet McTeer and Nick Frost

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, පාපා එසියුදු, ජැනට් මැක්ටියර් සහ නික් ෆ්‍රොස්ට් පිළිවෙළින් සෙවරස් ස්නේප්, මිනර්වා මැක්ගොනගල් සහ රූබියස් හැග්‍රිඩ්ගේ චරිත නිරූපණය කරති

අතිසාර්ථක චිත්‍රපටවල රඟපෑ ඩැනියෙල් රැඩ්ක්ලිෆ්, එමා වොට්සන් සහ රූපර්ට් ග්‍රින්ට් මීට පෙර රංගනයෙන් දායක වූ චරිත සඳහා තෝරාගෙන ඇති ළමා නළු නිළියන් තිදෙනා සාපේක්ෂව ගත් කල නවකයෝ වෙති.

ඉදිරියේදී පැමිණීමට නියමිත Sky comedy Grow චිත්‍රපටයේ ස්කොට්ලන්ත ජාතික රංගන ශිල්පී මැක්ලවුලින්, නික් ෆ්‍රොස්ට් සහ ගෝල්ඩා රොෂුවෙල් සමග රංගනයෙන් දායක වී ඇති අතර, ඉදිරියේදී නිකුත් වීමට නියමිත බීබීසී ක්‍රියාදාම ත්‍රාසජනක කතා මාලාවක් වන Giftedහි ද පෙනී සිටිනු ඇත. Matilda: The Musical in the West End කතා මාලාවේ මැටිල්ඩාගේ චරිතය ස්ටැන්ටන් නිරූපණය කර තිබේ.

මෙම අතිශය ජනප්‍රිය නවකතා රචනා කළ කතුවරිය වන ජේ.කේ. රෝලිං, මෙම රූපවාහිනී කතා මාලාවේ විධායක නිෂ්පාදකවරියක ලෙස කටයුතු කරනු ඇති අතර, එය ඇගේ නවකතාවල "විශ්වාසනීය අනුවර්තනයක්" වනු ඇතැයි HBO නාලිකාව පවසා තිබේ.

අවම වශයෙන් දශකයක කාලයක් පුරා දිවෙන මෙම රූපවාහිනී කතා මාලාව හරහා, චිත්‍රපටයේ පැවති කාලය පිළිබඳ සීමාවන් නොතකා නවකතා පොත්වල කතා වස්තු වැඩිදුරටත් ගවේෂණය කිරීමට වැඩි ඉඩකඩක් ලැබෙනු ඇත.

මෙම ගිම්හාන කාලයේදී එක්සත් රාජධානියේ Warner Bros. සමාගමේ Studios Leavesden හිදී මෙහි රූගත කිරීම් ආරම්භ කිරීමට නියමිත අතර, මෙහි පළමු කතා මාලාව 2026 වසර මුලදී HBO Max ඔස්සේ විකාශය කරනු ඇත.