Game of Thrones සහ Lord of the Rings:නැවත ආගමනයෙන් වැඩි ජනාදරයට පත්වනු ඇත්තේ කුමක්ද?

A scene from the first episode of Rings of Power shows a boat sailing

ඡායාරූප මූලාශ්‍රය, Amazon Studios

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇමසන් සමාගම, Rings ඔෆ් Power සීසන් පහක් සඳහා අවම වශයෙන් ඩොලර් බිලියන 1ක් වැයකරනු ඇති අතර, එය මෙතෙක් නිදපවන ලද මිල අධිකම ටෙලිකතාව බවට පත්වනු ඇත

ෆැන්ටසි චිත්‍රපට රසිකයන්ට මින් පෙර කිසිදා මෙතරම් තෝරාගැනීම් ලැබී නැත.

මසකට අඩු කාලයක් තුළ දී ෆැන්ටසි ෂානරයේ ඉතිහාසයේ වඩාත්ම සාර්ථක කතා මාලාවන් දෙකක නව නිෂ්පාදනයන් ද්විත්වයක් එළිදැක්වීමට නියමිත ය: Game of Thrones කතා මාලාවේ අතීත කතාවක් ගෙන එන House of the Dragon ටෙලිකතාව මෙන්ම Lord of the Rings චිත්‍රපට මාලාවේ The Rings of Power කතා මාලාව ඉදිරි සතිවල දී එළිදැක්වීමට නියමිත අතර, වඩාත් ජනාදරයට පත්වනු ඇත්තේ කුමක් ද යන්න පිළිබඳව ලොව පුරා රසිකයෝ උන්මාදයෙන් පසුවෙති.

මෙම කතා මාලාවන් ද්විත්වයෙහිම බොහෝ සමානකම් දකින්නට ඇති බැවින් එකිනෙක අතර ඇති තරගය වැඩි ය. House of the Dragonහි පළමු කථාංගය අගෝස්තු 21 වනදා විකාශයවීමට නියමිත අතර, The Rings of Power විකාශයවන්නේ සැප්තැම්බර් 2 වැනිදා ය.

කුතුහලය වඩාත් උග්‍ර කරන්නේ මෙතෙක් කලක් මෙම කතා මාලාවන් දෙක පැවැතියේ එකිනෙකට වෙනස් මාධ්‍ය විශ්වයන් දෙකක වීම යි. Game of Thrones ටෙලිකතා මාලාවක් ලෙස විකාශය වූ අතර, Lord of the Rings පැමිණියේ චිත්‍රපට මාලාවක් ලෙස පමණි.

ඉතින්, මේ සම්බන්ධයෙන් දැනට හෙළිවී ඇති කරුණු මොනවා ද? එකිනෙක පරයා යමින් ෆැන්ටසි සිහසුන හිමිකර ගැනුමට තරම් ඒවා සතු සුවිශේෂී ලක්ෂණ මොනවා ද?

House of the Dragon සහ The Rings of Powerහි වස්තු බීජයන් මොනවා ද?

British actor Paddy Considine in a scene of the upcoming HBO Max series House of the Dragon

ඡායාරූප මූලාශ්‍රය, HBO Max

ඡායාරූප ශීර්ෂ වැකිය, The Rings of Power මෙන්ම House of the Dragon ද පවතින කතාවන්ට වඩා අතීත කතාවක් ගෙනහැර දක්වනු ඇත

නව එළිදක්වීම් ද්විත්වයම, එම කතා මාලාවන්හි මෙතෙක් පෙන්වූ කතාවට පූර්වකාලීන කතාවක් ගෙන එයි.

මෙතෙක් Game of Thrones හරහා අප දුටු කතාව සිදුවූ සමයට අවුරුදු 300කට පෙර කතාවක් House of the Dragon තුළින් දකින්නට ලැබෙන අතර, වෙස්ටරෝස්හි බලය අල්ලා ගන්නට වෙර දරන ටාගේරියන් පවුලේ නැග්ම හා බැස්ම එහි අඩංගු වනු ඇත.

The Rings of Power ඊටත් වඩා අතීතයට ගමන් කරයි. ඒ අනුව, The Hobbit සහ ඔස්කාර් සම්මානයට පවා පාත්‍ර වුණු The Lord of the Ringsවල දැක්වුණු කතා ද්විත්වයේම කාලයන්ට වඩා පෙර කලක සිදුවූ කතාවක් එහි දැක්වෙයි.

එම කතාවට පදනම්ව ඇත්තේ භයංකර සෞරොන්ගේ පිබිදීම ය.

A scene from Rings of Power shows British actor Morfydd Clark, who plays the part of elf Galadriel

ඡායාරූප මූලාශ්‍රය, Amazon Studios

ඡායාරූප ශීර්ෂ වැකිය, තමන්ගේ තරගකාරී ස්ට්‍රීමින් සේවාවන්ට එරෙහිව The Rings of Power මැජික් ආයුධයක් වනු ඇතැ යි ඇමසන් බලාපොරොත්තු වේ

House of the Dragon සහ The Rings of Powerහි දකින්නට ලැබෙන නළු නිළියන් කවුද?

Rings of Power කතා මාලාවට සාපේක්ෂව House of the Dragonට රංගනයෙන් දායකවන ප්‍රසිද්ධ නළුනිළියන් සංඛ්‍යාව ඉහළ ය. Peaky Blindersහි සිටි පැඩී කොන්සිඩීන්, Dr. Who සහ The Crownහි සිටි මැට් ස්මිත් ඊට උදාහරණ ලෙස දැක්විය හැක.

The Rings of Power සතුව අලුත් මුහුණු රැසක් තිබේ. මීට පෙර Lord of the Ringsහි කේට් බ්ලැන්චට් විසින් රඟපෑ ගැලැඩ්‍රියල් නමැති එල්ෆ්වරියගේ චරිතය බ්‍රිතාන්‍ය නිළි මෝෆිඩ් ක්ලාක් රඟපානු ඇත.

Matt Smith (right) in a scene of House of the Dragon

ඡායාරූප මූලාශ්‍රය, HBO Max

ඡායාරූප ශීර්ෂ වැකිය, The Crown සහ Dr. Who වැනි කතාමාලාවන්හි ප්‍රධාන චරිත නිරූපණය කළ මැට් ස්මිත්, House of the Dragon හා පැමිණෙන ප්‍රසිද්ධ මුහුණුවලින් එකකි

දැනට වැඩිම කතාබහට ලක්ව ඇත්තේ කුමක්ද?

ට්‍රේලර් පට නිකුත්වීමත් සමඟ කතා දෙක වටාම විශාල කතාබහක් ගොඩනැගී ඇති අතර, එම වීඩියෝවලට ද මිලියන ගණනක නැරඹීම් සංඛ්‍යාවක් ලැබී ඇත.

2021 ඔක්තෝබර් මස නිකුත් වූ HBOහි House of the Dragonහි මුල් නිල ටීසර් පටයට මිලියන 17ක නැරඹුම් සංඛ්‍යාවක් ලැබී තිබුණි.

පෙබරවාරි මාසයේ දී, ඇමරිකානු සුපර් බෝල් තරගයට පෙර විකාශය වන වෙළඳ දැන්වීමක් ලෙස මුලින්ම විකාශය කෙරුණු The Rings of Powerහි පළමු ටීසර් පටයට YouTubeහි දී මිලියන 30ක නැරඹුම් සංඛ්‍යාවක් ලැබුණි.

Scene from the first Lord of the Rings movie shows the characters Gandalf and Frodo

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, The Lord of the Rings චිත්‍රපට වාණිජමය වශයෙන් සාර්ථක වූවා සේම, සමස්ත චිත්‍රපට මාලාව ඔස්කාර් සම්මාන 17ක් දිනාගත්තේ ය

මේ නිෂ්පාදන දෙකෙහිම දැවැන්තභාවය සහ වියදම සම්බන්ධයෙන් ද මාධ්‍ය අවධානය දැඩි ලෙස ලැබී ඇති අතර, The Rings of Power යනු රූපවාහිනී ඉතිහාසයේ ඉහළම මිලක් වැය කළ චිත්‍රපටය වනු ඇත. ඇමසන් සමාගම එහි නිෂ්පාදන කටයුතු සඳහා ඩොලර් බිලියනයක් වැයකර ඇතැ යි කියවේ.

House of the Dragonහි පළමු කථා මාලාවේ එකේ මුල් කථාංග 10න් සෑම කතාංගයටම ඩොලර් මිලියන 20 බැගින් වැයවනු ඇතැ යි අනුමානකර තිබේ.

කතා දෙකම ජනප්‍රියවේවි නේද?

A scene from the Rings of Power shows an orc

ඡායාරූප මූලාශ්‍රය, Amazon Studios

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇමේසන්හි කතා මාලාව Lord of the Rings ත්‍රිත්වයේ අවසාන පොත වන The Return of the Kingහි අඩංගු සටහන්වලින් අනුප්‍රාණයක් ලබාගනියි

කතා දෙකටම විවිධ අභියෝගවලට මුහුණදීමට සිදුවන බැවින්, බොහෝ රසිකයින්ගේ සිත් තුළ පැනනැගී ඇති ගැටලුව මෙය යි.

The Rings of Power ගත්කල, එය මුහුණපානා පළමු අභියෝගය නම් චිත්‍රපට මාලාවක සිට ටෙලිකතා මාලාවක් වෙත මාරුවීම යි. එසේම, අතිසාර්ථක චිත්‍රපට මාලාවේ මෙන් මෙහි කැමරාව පසුපස ඔස්කාර් සම්මාන දිනූ අධ්‍යක්ෂ පීටර් ජැක්සන් හෝ ඒවායේ සිටි නළු නිළියෝ ද නොවෙති.

තවත් අභියෝගයක් එල්ලවන්නේ Lord of the Rings ලෝකය නිර්මාණය කළ, 1973 දී මෙලොවින් සමුගත්, ජේ. ආර්. ආර්. ටොල්කීන් හා සබැඳිව ය.

J.R.R. Tolkien

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, Lord of the Rings විශ්වයේ නිර්මාතෘ ජේ. ආර්. ආර්. ටොල්කීන් එහි චිත්‍රපට මාලාවේ දැවැන්ත සාර්ථකත්වය දැකීමට ජීවත්නොවීය

ඒ, The Hobbit සහ The Lord of the Rings පොත්වලට අතීත කතා සපයන, ටොල්කීන්ගේ මරණයෙන් පසු 1977 දී ප්‍රකාශයට පත්වූ 'ද සිල්මැරිලියන්' (The Silmarillion) නම් ග්‍රන්ථය වෙත ඇමසන් සමාගම කතු හිමිකම් ලබාගෙන නොමැතිවීම යි.

ඒ වෙනුවට නිෂ්පාදකයන් සිදුකර ඇත්තේ The Lord of the Ringsහි අවසාන පොත වූ The Return of the Kingහි උපග්‍රන්ථයන්හි සඳහන් දෑ පාදකකර ගනිමින් අනුප්‍රාණය ලැබීම යි.

මෙම පොත් ආගමක් සේ අදහන රසිකයන්ට මෙය කෙසේ බලපානු ඇති ද යන්න අපැහැදිලි ය.

මූලාශ්‍රවලින් බැහැරව කළ මේ නිර්මාණය ටෝල්කින් රසිකයන්ගේ අනුමැතිය දිනාගැනීමට සමත්වේ ද? මෙම නිෂ්පාදනය ටොල්කීන් නිර්මාණය කළ ලෝකය තරම්බව දැඩි ටොල්කීන් රසිකයින්ට ඒත්තු යන ආකාරයට එය සැකසීමට නම්, කතාවේ ඇති ආකාරයේම මැජික් පාවිච්චි කරන්නට නිෂ්පාදකයන්ට සිදුවනු ඇත.

George R.R. Martin during a panel at the 2022 San Diego Comicon convention

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, Game of Thrones කතා මාලාවට පාදක වූ ග්‍රන්ථවල කතුවරයා වන ජෝර්ජ් ආර්. ආර්. මාටින් House of the Dragon නිෂ්පාදනයට ද සම්බන්ධ ය

Game of Thrones රසිකයන්ට මෙය ගැටලුවක් නොවන්නේ House of the Dragon කතා මාලාව ජෝර්ජ් ආර්. ආර්. මාටින් විසින් එනමින්ම රචිත කෘතිය පාදක කරගත්තක්වීම නිසා යි.

ඇත්තෙන්ම, මේ කතාව 2018 දී එළිදැක්වුණු මාටින්ගේ Fire and Blood පොතෙහි කොටස් අනුසාරයෙන් සකසා තිබේ.

ඉහළ ජනාදරයකට පත්වෙමින් 2019 දී කථා මාලා 8ක් දක්වා දිවුණු Game of Thrones ලද ජනප්‍රියතාව තවමත් නැවුම්ව පැවතීම ද House of the Dragonහි වාසියට හේතුවනු ඇත.

එනමුත් මෙහි ද විශාල ගැටලුවක් තිබේ: අටවැනි කථා මාලාව අවසන්වූයේ රසිකයින් බොහෝදෙනෙකු නොරිස්සුමට පත්කරමිනි.

A scene from season 8 of Game of Thrones shows the character Arya Stark walking through burning rubble

ඡායාරූප මූලාශ්‍රය, HBO Max

ඡායාරූප ශීර්ෂ වැකිය, දැවැන්ත සාර්ථකත්වයක් ලබා තිබියදීත්, 2019 දී Game of Thronesහි අටවන සහ අවසාන කථා මාලාව රසිකයින් සහ විචාරකයින්ගේ බලාපොරොත්තු සුන්කළේ ය

එසේ නම් මේ දෙකෙන් කුමක් වැඩිම ජනාදරයට පාත්‍රවනු ඇතිද?

අන්තර්ජාල සෙවුම් සංඛ්‍යා අනුව ගත්කල House of the Dragon වෙත වැඩි වාසියක් දක්නට ලැබේ.

ලොව පුරා වැඩි පිරිසක් The Rings of Powerවලට වඩා House of the Dragon පිළිබඳව ගූගල්කර තිබුණි - අඩුම තරමින් ඉංග්‍රීසි බසින් පමණක් හෝ වැඩිම වශයෙන් ගූගල් කර තිබුණේ එය යි. එය වෙත ලැබුණු අවධානය විශාල වශයෙන් බිඳී තිබුණේ The Rings of Power ට්‍රේලරය නිකුත්වූ සමයේ දී සහ පෙබරවාරියේ සුපර් බෝල් දැන්වීම් ප්‍රචාරණය වූ සමයේ දී පමණි.

සම්පූර්ණ කතා මාලාව අතින් ගත්කල පවා Game of Thrones අන්තර්ජාල සෙවුම් අතරින් (ඉංග්‍රීසි බසින්) ඉදිරියෙන් සිටියි.

නමුත් මෙය හා නැරඹුම් සංඛ්‍යාවන් අතර සම්බන්ධයක් තිබේ ද? ද්විත්වයටම ඒවාට අනන්‍ය ප්‍රේක්ෂකයින් සිටින්නේ නම්, කතා මාලාවන් දෙක සසඳන්නේ ඇයි?

රසිකයන් කෙසේ වෙතත්, ජෝර්ජ් ආර්. ආර්. මාටින් කළ පරස්පර ප්‍රකාශ නිසා නිෂ්පාදකයන් විසින්ම එය කරන බව දකින්නට ලැබේ. වරක් මාටින් පැවසුවේ "House of the Dragon සහ The Rings of Power දෙක සංසන්දනය කරන එක පටු අදහසක්," කියා ය.

"ප්‍රබන්ධ කතා එකකට වඩා හොඳවෙයි කියලා හිතන්නේ ඇයි? දෙකම සාර්ථක වෙයි කියලා මම හිතනවා," ඔහු වැඩිදුරටත් පැවසීය.

තවත් වරෙක ඔහු එක්සත් රාජධානියේ The Independent පුවත්පත වෙත අදහස් දක්වමින් කීවේ, "එයාලා එමී සම්මාන 6ක් දිනුවොත්, එහෙම දිනේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා, අපි 7ක් දිනන්න ඕන," කියා ය.

මේ අනුව පෙනෙන්නට ඇත්තේ දෙපසම යුද්ධයට අවතීර්ණ වී ඇතිබව යි.