ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා විය හැකි මොජ්තාබා කමේනි යනු කවුද?

Mojtaba Khamenei, with a black turban and a brown robe, looks away from the camera

ඡායාරූප මූලාශ්‍රය, Tasnim News Agency

    • Author, බීබීසී පර්සියානු සේවය
  • කියවීමේ කාලය: මිනිත්තු 6

ඉරානයේ උත්තරීතර නායක අලි කමේනි එක්සත් ජනපද-ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් මිය යාමෙන් අනතුරුව බොහෝ දෙනෙකු නැගූ ප්‍රශ්නයක් වූයේ, ඔහුගේ බලවත් පුත්‍රයා වූ මොජ්තාබා මිය ගියේ ද? යන්න ය.

දින කිහිපයක් ගත වන තුරු ඔහු පිළිබඳව වාර්තා නොවී ය. නමුත් අඟහරුවාදා [මාර්තු 3] ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ, මොජ්තාබා කමේනි ජීවතුන් අතර සිටින බව සහ රටේ වැදගත් කටයුතු පිළිබඳ උපදේශන සහ සමාලෝචන කටයුතුවල නිරත වී සිටි බව ය. කෙසේ වෙතත් ඔහු මේ දක්වා ප්‍රසිද්ධියේ පෙනී සිට නොමැත.

ඉරාන ආරංචි මාර්ග දෙකක් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කළේ, මොජ්තාබා දැන් නායකත්වය වෙනුවෙන් ඉදිරිපත් වන ප්‍රධානතම අපේක්ෂකයා ලෙස සැලකෙන බව ය. කෙසේ වෙතත් මෙවැනි ප්‍රකාශ සත්‍යාපනය කිරීම දුෂ්කර වේ.

මේ අතර, උත්තරීතර නායකයා තෝරා ගැනීමේ කාර්යය පැවරී ඇති සාමාජිකයින් 88 දෙනෙකුගෙන් යුත් පූජක මණ්ඩලයක් වන විශේෂඥයින්ගේ සභාව "අවසාන තීරණයකට එළඹීමට ආසන්න" බව පැවසේ. නමුත් ප්‍රභූ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායට (IRGC) සම්බන්ධ අර්ධ-නිල ෆාර්ස් ප්‍රවෘත්ති ඒජන්සිය අනුව අලි කමේනිගේ අවමංගල්‍යයට පෙර නිවේදනය නිකුත් කිරීමට අපේක්ෂා නොකෙරේ.

තම පියා මෙන් නොව, මොජ්තාබා බොහෝවිට ප්‍රසිද්ධ චරිතයක් ලෙස පෙනී සිටීමට උත්සහ දරා නොමැත. ඔහු කිසිදු දිනෙක රජයේ තනතුරක් හොබවා නොමැත. කිසිදු අවස්ථාවක ප්‍රසිද්ධියේ දේශන පවත්වා හෝ සම්මුඛ සාකච්ඡා සඳහා සහභාගී වී නොමැති අතර, ප්‍රකාශයට පත්ව ඇත්තේ ද ඔහුගේ සීමිත ඡායාරූප සහ වීඩියෝ සංඛ්‍යාවක් පමණි.

කෙසේ වෙතත්, ඔහුගේ පියා දැරූ බලවත් තනතුරට ප්‍රවේශ වීමට සඳහා ඔහුට එල්ල කළ හැකි බලපෑම පිළිබඳව දීර්ඝ කාලයක සිට කටකතා පවතී. 2000 දශකයේ අගභාගයේදී විකිලීක්ස් වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කරන ලද ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රික රහස් ලේඛනවල ඔහු පිළිබඳ විස්තර කර තිබුණේ "පූජක ලෝගුවලට පිටුපසින් සිටින බලවතා" ලෙස වන අතර ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවයට අනුව රජය තුළ ඔහු "දක්ෂ හා බලගතු නායකයෙකු" ලෙස පුළුල් ලෙස පිළිගැනීමට ලක්ව සිටියේ ය.

An Iranian man, in a black suit jacket and white shirt, holds a picture of Mojtaba Khamenei, as he takes part in celebrations of the 47th anniversary of the Islamic Revolution in Tehran on 11 February 2026.

ඡායාරූප මූලාශ්‍රය, Tasnim News Agency

ඡායාරූප ශීර්ෂ වැකිය, දශක දෙකකට වැඩි කාලයක් තිස්සේ මොජ්තාබා කමේනි ඊළඟ නායකයා ලෙස යෝජනා වී තිබේ

නමුත් මොජ්තාබා කමේනිගේ අනාගත තෝරා පත් කර ගැනීමේදී මතභේදාත්මක තත්ත්වයක් ඇති විය හැකි ය. එරට පැවති රාජාණ්ඩුව පෙරළා දැමීමෙන් අනතුරුව 1979දී ඉරාන ඉස්ලාමීය ජනරජය පිහිටුවනු ලැබූ අතර, එහි මතවාදය පදනම් වී ඇති මූලධර්මය වන්නේ උත්තරීතර නායකයා තෝරා ගත යුත්තේ ඔහුගේ ආගමික තත්ත්වය සහ ඔප්පු කරන ලද නායකත්ව හැකියාව මත මිස, පාරම්පරා උරුමයට නොවන බව ය.

අලි කමේනි ඉස්ලාමීය ජනරජයේ අනාගත නායකත්වය පිළිබඳව කතා කළේ, පොදු කරුණු මත පදනම්ව පමණි.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

අනාගත නායකත්වය සඳහා මොජ්තාබා අපේක්ෂකයෙකු වීමේ අදහසට කමේනි විරුද්ධ වූ බව විශේෂඥයින්ගේ සභාවේ සාමාජිකයෙක් වසර දෙකකට පෙර පැවසීය. නමුත් ඔහු ඒ පිළිබඳව පවතින අනුමාන සම්බන්ධයෙන් කිසි දිනෙක ප්‍රසිද්ධියේ අදහස් දක්වා නොතිබිණි.

මොජ්තාබා කමේනි යනු කවුරුන් ද?

1969 වසරේ සැප්තැම්බර් මස 08 වනදා ඊසානදිග මෂාඩ් නගරයේ උපත ලැබූ මොජ්තාබා, අලි කමේනිගේ දරුවන් 06 දෙනාගෙන් දෙවන දරුවා ය.

ඉරාන මාධ්‍ය වාර්තා අනුව වයස අවුරුදු 17ක පසුවූ මොජ්තාබා එවක පැවැති ඉරාන-ඉරාක යුද්ධය අතරතුර කෙටි කාලයක් සඳහා හමුදාවට අනුයුක්තව සේවය කළේ ය. වසර අටක් පුරා පැවති ලේ වැගිරීම් ඉරාකය සඳහා සහය දුන් ඇමෙරිකා එක්සත් ජනපදය සහ බටහිර රටවල් පිළිබඳ ඉරාන පාලන තන්ත්‍රයේ සැකය තවත් තීව්‍ර කළේ ය.

ඔහුගේ ආගමික අධ්‍යයන කටයුතු පවත්වාගෙන යාමට 1999 වසරේදී මොජ්තාබා ෂියා දේවධර්මයේ වැදගත් මධ්‍යස්ථානයක් ලෙස සැලකෙන ශුද්ධ නගරයක් වන කොම් වෙත ඇතුළු විය. මේ කාලවකවානුව වන තුරු ඔහු පූජක ඇඳුමින් සැරසී නොසිටීම කැපී පෙනෙන අතර, තරුණ වියේදී එලෙස සිදු කිරීම සාමාන්‍ය දෙයක් වුව ද ඔහු වයස අවුරුදු 30දී සෙමනේරියකට ඇතුළු වීමට තීරණය කළේ මන්දැයි පැහැදිලි නැත.

මොජ්තාබා තවමත් මධ්‍යම මට්ටමේ පූජකයෙකු ලෙස රැඳී සිටින අතර, එය ඔහු උත්තරීතර නායකයා ලෙස පත්වීමට බාධාවක් විය හැකි ය.

Wearing a black turban and spectacles, Mojtaba Khamenei is pictured during a visit to Hezbollah's office in Tehran in 2024.

ඡායාරූප මූලාශ්‍රය, West Asia News Agency Via Reuters

පසුගිය දිනවලදී ඉරානයේ ඇතැම් මාධ්‍ය ආයතන සහ බල කේන්ද්‍රයට සමීප නිලධාරීන් මොජ්තාබා කමේනි ජ්‍යෙෂ්ඨ පූජක පදවියක් වන "අයතුල්ලා" යන නමින් හැඳින්වීම ආරම්භ කර තිබේ. ඇතැම් නිරීක්ෂකයින් මෙම වෙනස දකින්නේ, ඔහුගේ ආගමික තත්ත්වය ඉහළ නැංවීමට සහ රටේ ඉහළ ම නායකත්වය සඳහා සුදුසු අපේක්ෂකයෙකු ලෙස ඔහුව ඉදිරිපත් කිරීමට දරන උත්සාහයක් ලෙස ය.

සෙමනේරි ක්‍රමය තුළ, "අයතුල්ලා" පදවිය දැරීම සහ උසස් පන්ති සඳහා ඉගැන්වීම් කටයුතුවල නිරත වීම පුද්ගලයෙකුගේ විද්වත් මට්ටම සහ දැනුම පිළිබඳ දර්ශක ලෙස සැලකෙන අතර අනාගත නායකයෙකු තෝරා ගැනීමේදී මෙය අත්‍යවශ්‍ය මූලික සුදුසුකමක් ලෙස සලකනු ලබයි.

ඒ සඳහා දැනටමත් පූර්වාදර්ශයක් පවතී. 1989 වසරේදී අලි කමේනි දෙවන උත්තරීතර නායකයා ලෙස පත්වීමෙන් අනතුරුව ඉක්මනින් "අයතුල්ලා" ලෙස උසස් කර තිබිණි.

දේශපාලන මැදිහත්වීම් පිළිබඳව එල්ල වන චෝදනා

එවක නියෝජ්‍ය අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මොස්තාෆා ටජ්සාදේ ඡන්ද ප්‍රතිඵල "මැතිවරණ කුමන්ත්‍රණයක්" ලෙස පැවසුවේ ය. ඔහු වසර හතක් සිරගත කළ අතර, ඔහු එම දඬුවම පෙන්වා දුන්නේ මොජ්තාබා කමේනිගේ ඍජු කැමැත්ත අනුව සිදු කරන ලද්දක් ලෙස ය.

2009 වසරේදී පැවති මැතිවරණයෙන් අනතුරුව ප්‍රතිසංස්කරණවාදී අපේක්ෂකයින් වූ මීර්-හොසේන් මූසාවි සහ මෙහ්දි කරූබි නිවාස අඩස්සියට පත් කර තිබිණි. 2012 පෙබරවාරි මාසයේදී මොස්තාෆා මුසාවි හමුවූ බවත්, ඔහුගේ විරෝධතා අතහරින ලෙස ඉල්ලා සිටි බවත් ඉරාන මූලාශ්‍ර බීබීසී පර්සියානු පුවත් සේවයට පවසා තිබේ.

බොහෝ දෙනෙකු අපේක්ෂා කරන්නේ, මොජ්තාබා අනුප්‍රාප්තිකයා ලෙස තේරී පත්වුවහොත් ඔහු තම පියාගේ දැඩි මතධාරී ප්‍රතිපත්ති අඛණ්ඩව පවත්වාගෙන යනු ඇති බව ය. එමෙන් ම, ඇතැමුන් විශ්වාස කරන්නේ එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් පියා, මව සහ බිරිඳ අහිමි වූ පුද්ගලයෙකු බටහිර බලපෑම් හමුවේ යටත් නොවනු ඇති බව ය.

Protesters gathering during the 2009 protest, with some individuals blowing smoke into each other's eyes to lessen the impact of tear gas.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2009 ජනාධිපතිවරණයෙන් පසුව හරිත ව්‍යාපාරය ලෙස හැඳින්වූ විරෝධතා ඇති විය

නමුත් ඉස්ලාමීය ජනරජයේ පැවැත්ම තහවුරු කිරීම සහ දේශපාලන හා ආර්ථික පරිහානියෙන් රට මුදා ගැනීමට සුදුසු ම පුද්ගලයා තමන් බව ජනතාවට ඒත්තු ගැන්වීමේ අතිදුෂ්කර කාර්යයට ඔහුට මුහුණ දීමට සිදුවනු ඇත.

නායකත්වය හෙබවීම සඳහා ඔහු සතු හැකියාව මෙතෙක් පරීක්ෂාවට ලක්වී නොමැති අතර, ජනරජය පවුල් උරුමයෙන් පාලනය වන ක්‍රමයකට හැරෙමින් පවතින බවට පවතින මතය සඳහා පවතින ජනතා අප්‍රසාදය තවදුරටත් දැඩි විය හැකි ය.

ඕනෑ ම අනුප්‍රාප්තිකයෙකු "තුරන් කිරීම සඳහා නිසැක ඉලක්කයක්" වනු ඇතැයි ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා පවසා ඇති හෙයින් එම තනතුරට තේරී පත්වුවහොත් මොජ්තාබා ඉලක්කගත පුද්ගලයෙකු වනු ඇත.