ඉරාන නැවට එල්ල වූ ප්‍රහාරය සහ ලංකාවට ආසන්නයේ ඇති තවත් ඉරාන නැවක් ගැන පාර්ලිමේන්තුවේදී හෙළිවූ කරුණු

ඡායාරූප මූලාශ්‍රය, AP
- Author, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 5
ගාල්ලට ඔබ්බෙන් වූ මුහුදේදී ඇමෙරිකාව, ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවකට ප්‍රහාර එල්ල කිරීමේ සිදුවීම සම්බන්ධව අද (මාර්තු 05) පාර්ලිමේන්තුවේදී සංවාදාත්මක තත්ත්වයක් ඇති විය.
එම සිදුවීම සම්බන්ධව පෙබරවාරි 05 වන දා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් ප්‍රශ්න කළහ.
ගාල්ල වරාය ආසන්න මුහුදු සීමාවේ, ඉන්දීය සාගරය තුළ ඉරාන නෞකාවකට එල්ල කරන ලද මෙම ප්‍රහාරය සිදුවූ නිශ්චිත ස්ථානය ශ්‍රී ලංකා මුහුදු සීමාවට හෝ අනන්‍ය ආර්ථික කලාපයට සම්බන්ධ ද? යන්න සහ රජය විසින් ගනු ලැබූ ආරක්ෂක රාජ්‍යතාන්ත්‍රික පියවර සම්බන්ධව මෙතෙක් නිල ප්‍රකාශයක් සිදුකර නැති බවට විපක්ෂ නායකවරයා විශේෂ ප්‍රකාශයක් කරමින් චෝදනා කළේ ය.
'රජය විශේෂිත වූ නිල ප්‍රකාශයක් කරන්න ඕන'
මෙවැනි සංවේදී ජාත්‍යන්තර යුද සිදුවීමක් රටට ආසන්නයේ සිදුව තිබියදී, ඒ පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් නොකිරීම මන්ත්‍රීවරුන්ගේ ව්‍යවස්ථානුකූල වගකීම ඉටු කිරීමට බාධාවක් බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පෙන්වා දුන්නේ ය.
ජාත්‍යන්තර මාධ්‍ය විසින් මෙරට ආරක්ෂක අමාත්‍යංශය උපුටා දක්වමින් සබ්මැරීන් ප්‍රහාරයක් සිදුවූ බවට වාර්තා කළ ද, ආරක්ෂක අමාත්‍යංශය එවැන්නක් සිදුනොවූ බව ප්‍රකාශ කළ බව ඔහු කියා සිටියේ ය.
"ජාත්‍යන්තර මාධ්‍යවල මෙහෙම සබ්මැරීනයකින් ටෝපිඩෝ ඇටෑක් එකක් වුණයි කියලා වාර්තා කළා. ජාත්‍යන්තර මාධ්‍ය එසේ කියනකොට අපේ ආරක්ෂක අමාත්‍යංශයේ තොරතුරු උපුටා දක්වමින්, අපේ රටේ ආරක්ෂක අමාත්‍යංශය කියනවා නෑ එහෙම ටෝපිඩෝ ඇටෑක් එකක් වුණේ නැහැ කියලා. ඊට පස්සේ ඇමෙරිකාවේ ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් මහත්මයා ප්‍රකාශ කරනවා, ඔව් අපේ සබ්මැරීනයකින් ටෝපිඩෝ ප්‍රහාරයක් එල්ල කළා කියලා. ඒ නිසා මේ ප්‍රශ්නය පිළිබඳව රජය විශේෂිත වූ නිල ප්‍රකාශයක් කරන්න ඕන," විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
එමෙන් ම කොළඹ වරායට තදාසන්නව තවත් ඉරාන නැවක් මෙරට මුහුදු සීමාවේ පවතින බව කී විපක්ෂ නායකවරයා ඒ පිළිබඳව ද පැහැදිලි ප්‍රකාශයක් අවශ්‍ය බව සඳහන් කෙළේ ය.
"වර්තමාන රජය දන්නේ නැහැ අපේ රටේ මුහුදු සීමාවේ, අපේ රටේ අනන්‍ය ආර්ථික කලාපයේ සිදුවෙන දේවල් මේ රජය දන්නේ නැහැ."
'ඒ මිනිස්සු හරියට ගෙනල්ලා මැරුවා වගේ වැඩක් තමයි මේ කළේ' - චාමර සම්පත්
ඉරාන නාවික හමුදා නෞකාව ඉන්දියාවේ පැවති යුද අභ්‍යාසයකට පැමිණි බව පැවසූ චාමර සම්පත් මන්ත්‍රීවරයා, එම නෞකාවට එල්ල කරන ලද ප්‍රහාරය විවේචනයට ලක් කළේ ය.
"විශාඛාපට්නම්වල තමයි තිබුණේ මේ යුද අභ්‍යාසය, ලෝකේ ඔක්කොම ආවා. හැබැයි මේ කරපු බලු වැඩේ අපිව පටලන්න, අපේ රට පටලන්න කරපු බලු වැඩක් මේක. ඒ මිනිස්සු ඒ රටට ආරාධනා කරලා, ඒ රටට ගෙන්නලා යුද අභ්‍යාසයට. ගෙන්නලා ඉවර වෙලා ඒ මිනිස්සුන්ට අනිත් රටවල මිනිස්සු එළියට යනකොට ඒ මිනිස්සුන් කොහෙට යන්න ද? ආරාධනා කරලා ගෙන්නපු රටේ මිනිස්සු, ඒ මිනිස්සු එළියට දාපු හින්දා තමයි ඔය පැත්තෙන් නැව අපේ පැත්තට ඇදුණේ. මේක මහා බලු වැඩක්, අපි පොඩි රටක් වුණත් එහෙම බලු වැඩ කරන්න බැහැ. ඒ මිනිස්සු හරියට ගෙනල්ලා මැරුවා වගේ වැඩක් තමයි මේ කළේ. මේක හරි ම ආසාධාරණ වැඩක්."
'ඇයි ගාල්ල වරායට ඒ නැවට එන්න නොදුන්නේ?'
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ප්‍රහාරයට ලක්වූ නෞකාව ශ්‍රී ලංකා මුහුදු සීමාවට පැමිණීමට අවසර ඉල්ලා පැය 11ක් ගාලු වරායට අසාන්නයේ නවතා තිබූ බවත් එම නෞකාව පහර දී විනාශ කරනු ලැබුවේ එම කාලය තුළදී බවත් මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"ඇමෙරිකන් යුද නැව් තිබෙනවා ගල්ෆ් කලාපයේ, ඒ නිසා ඉරානයට යන්න බැහැ මේ නැවට. ඒ යන්න බැරි හින්දා නැව හරෝගෙන ගාල්ල වරායට නාවික සැතපුම් 40ක වගේ දුර ප්‍රමාණයක නැව පැය 11ක් තියාගෙන හිටියා. ඒගොල්ලෝ ලංකා ආණ්ඩුවෙන් අවසර ඉල්ලුවා ඒ නැව ගාල්ල වරායට එන්න. මොක ද මේ යන ගමන් නෙමෙයි ගැහුවේ. නැව තිබුණේ මුහුද මැද නවත්තගෙන මොක ද ඒගොල්ලනට යන්න බැහැ ඉරානයට."
ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් පැය 11ක් එම නැවට ගාලු වරායට ඇතුළු වීමට අවසර නොදුන් බවත්, ඒ අතරතුර එම තොරතුර ඇමෙරිකානු හමුදාව වෙත ලැබී ඇති බවත් මන්ත්‍රීවරයා පැවසීය.
"ඒගොල්ලන්ගේ සබ්මැරීන් එක මේ අවට තිබුණේ නැහැ. සබ්මැරීන් එක තිබුණේ ගල්ෆ් කලාපයේ. ඒ ගල්ෆ් කලාපයේ ඉඳන් මෙතනට ආවා මේකට පහර දෙන්න."
"ඉන්දියාව සාම කලාපයක් එක්ක තියෙන ගිවිසුම් රාශියක් තිබෙනවා. එහෙම ජාත්‍යන්තර ප්‍රඥප්තිවලට අපි අත්සන් කරලා තියෙද්දී ඇයි ගාල්ල වරායට ඒ නැවට එන්න නොදුන්නේ කියන ප්‍රශ්නය මතු වෙලා තිබෙනවා," මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා සඳහන් කළේ ය.
'මෘත ශරීර පාවෙන බවට ලැබුණ පණිවිඩයෙන් පසු' දියත් කළ මෙහෙයුම
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී මෙම ප්‍රහාරය සම්බන්ධව අදහස් දක්වමින් මෙම සිදුවීම ගාලු වරායේ සිට නාවික සැතපුම් 19ක දුර සීමාවෙන් සිදුවූ බව කියා සිටියේ ය.
"මේ සිදුවීම සම්බන්ධයෙන් ඉස්සෙල්ලා ම ඊයේ උදෑසන 5.08ට නාවික හමුදාවට අයිති මැරිටයිම් රෙස්කියු කොර්ඩිනේටින් සෙන්ටර් එකට තමයි ඉස්සෙල්ලා ම පණිවිඩයක් ලැබෙන්නේ. ඒ ලැබෙන්නේ ප්‍රහාරයක් එල්ල කළා ද? නැද්ද? කියන එක මත නෙමෙයි. ඒ මුහුදු කලාපය තුළ යම් මෘත ශරීර ප්‍රමාණයක් පාවෙමින් තියෙනවා කියන පණිවිඩය තමයි ඉස්සෙල්ලා ම ලැබෙන්නේ. ඒ අනුව පැයක් ගත වෙන්නට මත්තෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවත්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවත් මේ බේරා ගැනීමේ මෙහෙයුම් දියත් කරනවා."
එම මෙහෙයුමෙන් අනතුරට ලක්ව දිවි බේරාගත් 32 දෙනෙකු ගාල්ල ජාතික රෝහලට රැගෙන ආ බවත් ඉන් එක් අයෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව කී අමාත්‍යවරයා 84 දෙනෙකු ගේ මෘත ශරීර ගොඩබිම වෙත ගෙන එන ලද බව ද පැවසීය.
'ජාත්‍යන්තර නීතියට අනුකූලව සහ මානුෂීය පදනම ඇතුළේ මැදිහත් වෙමින් ඉන්නවා'
ඉන්දියානු සාගර කලාපයේ සාමය වෙනුවෙන් කළ හැකි මැදිහත් වීම සිදු කරමින් සිටින බවත්, විපක්ෂය සඳහන් කළාට වඩා සිදුවීම් එම කලාපය තුළ සිදුවන බව ද නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා සඳහන් කළේ ය.
"රජයක් හැටියට ජාත්‍යන්තර නීතියට අනුකූලව සහ මානුෂිය පදනම ඇතුළේ මැදිහත් වෙමින් ඉන්නවා ඒක තමයි අපිට කරන්න පුළුවන් වැඩේ. ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා, ගැටුම් අවම කර ගැනීම සඳහා, ඒ වගේ ම කලාපීය සාමය ආරක්ෂා කර ගැනීම සඳහා අපේ මැදිහත්වීම් සිදුවෙමින් පවතිනවා."
මේ පිළිබඳව විශේෂ ප්‍රකාශයක් සිදුකරන බවත් නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ශ්‍රී ලංකා මුහුදු කලාපය ආසන්නයේ තවත් ඉරාන නැවක්
විපක්ෂ නායකවරයා යළිත් වරක් ප්‍රශ්න කරමින් තවත් ඉරාන නැවක් කොළඹ වරායට තදාසන්නයේ තිබේ දැයි ප්‍රශ්න කළේ ය.
"විපක්ෂ නායකවරයා ඉදිරිපත් කරන කරුණුවලට වඩා බොහෝ කරුණු අපි දන්නවා. රජය ඒ ගැන දැනගෙන තමයි කටයුතු කරන්නේ. ජනාධිපතිතුමා ආරක්ෂක ඇමතිවරයා හැටියට, ආරක්ෂක මණ්ඩලය සහ රජය ඒ සම්බන්ධයෙන් කරුණු දන්නවා, දැනගෙන මේ ප්‍රශ්නය නිරාකරණය කර ගැනීම සඳහා, ජීවිත හානි අවම කර ගැනීම සඳහා, කලාපීය සාමය ආරක්ෂා කර ගැනීම සඳහා මැදිහත්වීම කරමින් ඉන්නවා. මේ කියන නැව තවමත් තිබෙන්නේ අපේ ජාතික ජල තීරය තුළ නොවෙයි. එය තිබෙන්නේ ජාතික ජල තීරයට ආසන්න අනන්‍ය ආර්ථික කලාපයේ. අපි ඒ ජීවිත සම්බන්ධයෙන් උපරිම මැදිහත්වීම කරමින් ඉන්න බව මට කියන්න පුළුවන්. මේ කටයුතු අවසන් වුණා ම සවිස්තර වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා," නලින්ද ජයතිස්ස ඇමතිවරයා පැවසීය.































