සජීවී., දින 30කට රුසියාවෙන් තෙල් මිල දී ගැනීමට ඉන්දියාවට ඇමෙරිකාවෙන් ඉඩ

දින 30ක මෙම සහනය මගින් ගෝලීය වෙළෙඳපොළ තුළ තෙල් ගලා යාමට ඉඩ සැලසෙන අතර "ගෝලීය බලශක්ති ප්‍රාණ ඇපයට ගැනීමට ඉරානය දරන උත්සහය නිසා ඇතිවන පීඩනය සමනය වන" බව භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් පවසයි.

සාරාංශය

  • රුසියාවෙන් තෙල් මිල දී ගැනීමට ඉන්දියාවට ඇමෙරිකාවෙන් ඉඩ
  • ඉරානය බහරේනයේ හෝටලයක් ඉලක්ක කළ බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය කියයි.
  • ඉරානයට එරෙහි ප්‍රහාර "ඉදිරියේදී තවත් දැඩි වනු ඇති බවට" එක්සත් ජනපද ආරක්ෂක ලේකම් පවසයි.
  • ඊශ්‍රායල හමුදා ප්‍රධානියා පවසන පරිදි, රට යුද්ධයේ "ඊළඟ අදියර කරා ගමන් කරමින් සිටින" අතර එක්සත් ජනපදය ඉරාන ඩ්‍රෝන සහ මිසයිල පද්ධති වෙත "සෑම පැයකදී ම" පහර දෙන ඩොනල්ඩ් පැවසීය.
  • ඊශ්‍රායලය ටෙහෙරාන් සහ බේරූට් වෙත ප්‍රහාර එල්ල කර තිබේ; මීට පෙර දකුණු ලෙබනනයේ විශාල රථවාහන පෝලිම් දක්නට ලැබුණේ, ඊශ්‍රායලය පදිංචිකරුවන්ට ඉවත් වන ලෙස දැන්වීමත් සමග ය.
  • යුද්ධය හත්වන දිනටත් ඉරානයට එරෙහි ඇමෙරිකානු-ඊශ්‍රායල ප්‍රහාර අඛණ්ඩව සිදුවේ.

සජීවී වාර්තාකරණය

  1. බේරූට් වෙත 'පුළුල් පරිමාණයේ ප්‍රහාර රැල්ලක්' සිදු කළ බව ඊශ්‍රායල ආරක්ෂක හමුදා පවසයි

    බේරූට්හි දකුණු තදාසන්න ප්‍රදේශවල ප්‍රහාරවලින් පසු දුමාරයක් නැගුණා.

    ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) පවසන්නේ ඔවුන් එක රැයක් තුළ බේරූට් නගරයට එරෙහිව "පුළුල් පරිමාණයේ" ප්‍රහාර රැල්ලක් දියත් කළ බවයි.

    ප්‍රහාරවලින් පසු දුමාරයක් නැගුණා.

    ඡායාරූප මූලාශ්‍රය, Reuters

  2. ඉරානයට ඇමරිකානු හමුදා ගොඩබිමින් යැවීම 'කාලය නාස්ති කිරීමක්' බව ට්‍රම්ප් පවසයි

    ඉරානයට ඇමරිකානු හමුදා යැවීම දැනට "කාලය නාස්ති කිරීමක්" බවත්, ඒ ගැන ඔහු දැන් සිතමින් සිටින දෙයක් නොවන බවත් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එන්බීසී ප්‍රවෘත්ති සේවයට පවසා තිබෙනවා.

    "එය කාලය නාස්ති කිරීමක්. ඔවුන්ට සියල්ල අහිමි වී වෙලා. ඔවුන්ට ඔවුන්ගේ නාවික හමුදාව අහිමි වී වෙලා.

    ඔවුන්ට අහිමි විය හැකි සියල්ල ඔවුන්ට අහිමි වී වෙලා," ට්‍රම්ප් බ්‍රහස්පතින්දා [මාර්තු 05] එන්බීසී වෙත පැවසුවා.

    ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අගාචි එන්බීසී වෙත මීට පෙර කළ ප්‍රකාශය "වැඩකට නැති ප්‍රකාශයක්" බව ඔහු තවදුරටත් පැවසුවා.

    වත්මන් ඉරාන නායකත්ව ව්‍යුහය "පිරිසිදු කිරීමට" අවශ්‍ය බව ට්‍රම්ප් පැවසුවා.

    "අපිට ඔවුන්ට හොඳ නායකයෙක් අවශ්‍යයි. හොඳට වැඩ කරයි කියලා මම සිතන සමහර අය අපට ඉන්නවා," ඔහු කිසිවෙකු නම් නොකර පැවසුවා.

  3. රුසියාවෙන් තෙල් මිල දී ගැනීමට ඉන්දියාවට ඇමෙරිකාවෙන් ඉඩ

    ඉන්දියාවට රුසියානු තෙල් මිල දී ගැනීමට ඉඩ සැලසීම සඳහා ඇමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව තාවකාලිකව සම්බාධක ලිහිල් කර තිබෙනවා.

    දින 30ක මෙම සහනය මගින් ගෝලීය වෙළෙඳපොළ තුළ තෙල් ගලා යාමට ඉඩ සැලසෙන අතර "ගෝලීය බලශක්ති ප්‍රාණ ඇපයට ගැනීමට ඉරානය දරන උත්සහය නිසා ඇතිවන පීඩනය සමනය වන" බව භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් පැවසුවා.

    මෙම පියවර "මනා අවබෝධයෙන් ගත් කෙටිකාලීන පියවරක්" වන අතර එය "රුසියානු රජයට මූල්‍ය ප්‍රතිලාභයක් ලබා නොදෙනු ඇත," මන්ද එය අදාළ වන්නේ මුහුදේ දැනටමත් සිරවී ඇති තෙල් නෞකාවලට පමණක් බව බෙසන්ට් Xහි සටහනක් තබමින් සඳහන් කළා.

    රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පසු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියානු තෙල් සඳහා සම්බාධක පැනවූ අතර, ඒ හේතුවෙන් ගැනුම්කරුවන්ට විකල්ප සෙවීමට වුණා.

    රුසියානු බලශක්ති නිෂ්පාදනවල ප්‍රධාන ගැනුම්කරුවෙකු වන ඉන්දියාවට, යුක්‍රේන ආක්‍රමණයට ගලා එන මුදල් අඩු කිරීමේ උත්සහයක් ලෙස, එරට තෙල් මිල දී ගැනීම නතර කරන ලෙස වොෂින්ටනය විශේෂ පීඩනයක් එල්ල කර තිබෙනවා.

  4. ඉරානය බහරේනයේ හෝටලයක් ඉලක්ක කළ බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය කියයි

    ප්‍රහාරයකින් මනමා අගනුවර හෝටලයක් සහ නේවාසික ගොඩනැගිලි දෙකක් ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වූ බව බහරේන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය පවසනවා.

    මෙම නවතම ප්‍රහාරයෙන් "ගොඩනැගිලිවලට හානි සිදුවී ඇති නමුත් ජීවිත හානි සිදු වී නැතැයි" යනුවෙන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය Xහි සටහනක් තබමින් සඳහන් කර තිබුණා.

    මෙම සතිය මුලදී, බහරේනයේ පිහිටා ඇති ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදා කඳවුර ඉරාන මිසයිල මගින් ඉලක්ක කර ගත්තා.

  5. ආයුබෝවන් !

    බීබීසී සිංහල සජීවී පිටුවට ඔබ සාදරයෙන් පිළිගන්නවා.

    බීබීසී සිංහල අප කණ්ඩායම විසින් අද උදෑසන 9 සිට පස්වරු 7 දක්වා ඉරානයට එරෙහි ඇමෙරිකා-ඊශ්‍රායල් යුද්ධය සහ ඉරානය විසින් මැදපෙරදිග රටවලට එල්ල කරන ප්‍රතිප්‍රහාර හේතුවෙන් වර්ධනය වන ආතතීන්ගේ ඔබට වැදගත් වන ප්‍රවෘත්ති මෙමගින් ගෙන එනවා.

    ඊයේ දිනයේ අප ගෙනා ආ සජීවී පිටුව කියවීමට මෙම ලිනික් ක්ලික් කරන්න

    මේ සම්බන්ධයෙන් අපගේ වෙබ් අඩවියේ පළවී ඇති තවත් වැදගත් ලිපි කියවන්න

    මේ සම්බන්ධයෙන් ඔබට අපගේ සමාජ මාධ්‍ය ඔස්සේ නැරඹිය හැකි වීඩියෝ