Squid Game: Netflix මිලියන ගණන් මුදල් හොයන නිර්මාණවල හිමිකරුවන්ට වන 'අසාධාරණය'

The dystopian Korean drama became a global sensation when it was first released in 2021

ඡායාරූප මූලාශ්‍රය, Netflix

ඡායාරූප ශීර්ෂ වැකිය, ස්ක්විඩ් ගේම් නමැති පරිකල්පනීය කොරියානු නාට්‍යය 2021 දී පළමු වරට නිකුත් වූ විට එය ගෝලීය අවධානයට පාත්‍ර විය
    • Author, ෂෝන් මැකෙන්සි
    • Role, සෝල් වාර්තාකරු

පළමු කතා මාලාව රූගත කිරීම් අතරතුරදී මහත් පීඩාවකට ලක්ව දත් හයක් අහිමි වූ බවට පළ වන වාර්තා පිළිබඳව ජනප්‍රිය ස්ක්විඩ් ගේම් කතා මාලාවේ නිර්මාණකරුවාගෙන් මා විමසූ විට ඔහු වහා ම මා නිවැරදි කළේ ය. "අටක් නැත්නම් නවයක්," ඔහු සිනාසෙමින් කීය.

දැවැන්ත මුදල් ත්‍යාගයක් සඳහා ණය බරින් පෙළෙන තරගකරුවන් සිය ගණනක් ජීවිතය සහ මරණය අතර සටන් කරන ළමා ක්‍රීඩාවක් පාදක කර ගත්, පරිකල්පනීය නෙට්ෆ්ලික්ස් ත්‍රාසජනක කතා මාලාවේ දෙවන අදියර රූගත කරද්දී එම දර්ශන තලයේදී හ්වෑං ඩොං-හ්‍යුක් මා සමග කතා කළේ ය.

එහෙත්, තවත් අදියරක කතාමාලාවක් ගැන කිසිදු සැලසුමක් තිබුණේ නැත. එක් තැනකදී, ඔහු එය නිර්මාණය නොකරන බවට ද ප්‍රතිඥා දුන්නේ ය.

එය ඔහුට ඇති කර ඇති ආතතිය සැලකිල්ලට ගෙන, ඔහුගේ අදහස වෙනස් වුණේ කුමකින්දැයි මම අසමි.

"මුදල් නිසා," ඔහු දෙගිඩියාවකින් තොරව පිළිතුරු දුන්නේ ය.

"පළවෙනි කතා මාලාව ගෝලීය වශයෙන් මෙතරම් ජනප්‍රිය වුණත්, ඇත්තට ම මට ඒක දැනුණෙ නෑ," ඔහු මට පැවසුවේ ය. "ඒ නිසා දෙවැනි කතා මාලාවක් කරන එක පළවෙනි එකේ සාර්ථකත්වයට හිලව් කරන්න මට උදව්වක් වෙනවා."

"මම කතාව සම්පූර්ණයෙන් ම අවසන් කරලත් නෑ," ඔහු සඳහන් කළේ ය.

දකුණු කොරියාව තුළ නිර්මාණය වූ රූපවාහිනී නාට්‍යය දැඩි අවධානයකට ලක්වූ අතර, එහි පළමු කතා මාලාව නෙට්ෆ්ලික්ස්හි මෙතෙක් පැවති සාර්ථක ම කතා මාලාව විය. එහි ධනවත්භාවයේ අසමානතාව පිළිබඳව නිරූපණය කෙරුණු අඳුරු විවරණය ලොව පුරා ප්‍රේක්ෂකයන්ගේ හදවත් ස්පර්ශ කළේ ය.

නමුත් සෑම චරිතයක් ම පාහේ මරා දැමුණු නිසා, හ්වෑංට නව නළු නිළි පිරිසක් සහ ක්‍රීඩා පෙළක් සමග දෙවන අදියර මුල සිට ම ආරම්භ කිරිමට සිදු වූ අතර, මෙවර ප්‍රේක්ෂක අපේක්ෂාවන් අහස උසට විහිදී තිබේ.

"දැන් නම් මට දැනෙන පීඩාව පළවෙනි අදියරට වඩා ලොකු එකක්," ඔහු පවසයි.

පළමු කතා මාලාව විකාශය කර වසර තුනකට පසු ලෝකයේ වත්මන් තත්ත්වය පිළිබඳව හ්වෑං දකින්නේ වඩාත් අශුභවාදී ආකාරයකිනි.

වර්තමාන යුද්ධ, දේශගුණික විපර්යාස සහ ගෝලීය ධන [හිමිකාරීත්වයේ] වෙනස පුළුල් වීම ගැන ඔහු කරුණු දක්වයි. වෙනස් පරම්පරා, පුද්ගල සමාජභාවයන් සහ දේශපාලන කඳවුරු අතර ඔවුන් තීව්‍ර ලෙස රඟ දක්වන නිසා ගැටලු පවතින්නේ තවදුරටත් ධනවතුන් සහ දුප්පතුන් අතර නොවන බව ඔහු පවසයි.

"අලුත් සීමා ඉරි ඇඳිලා. අපි ඉන්නේ අප සහ ඔවුන් අතර තරගකාරී යුගයක. කවුද හරි සහ කවුද වැරදි?"

The creators of the series say the second season will see more factionalism and fights among the contestants

ඡායාරූප මූලාශ්‍රය, Netflix

ඡායාරූප ශීර්ෂ වැකිය, කතා මාලාවේ නිර්මාණකරුවන් පවසන්නේ දෙවැනි කතා මාලාව කල්ලි ගැසීම් සහ ගැටුම්වලින් යුක්ත බව ය
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

එහි සුවිශේෂී දීප්තිමත් වෛවර්ණ පියගැටපෙළ මතින් මම නාට්‍යයේ දර්ශන තලයේ සංචාරයක නිරත වෙද්දී, මෙවර අධ්‍යක්ෂකවරයාගේ අපේක්ෂාභංගත්වය නිරූපණය වන ඉඟි කිහිපයක් එකතු කර ගත්තෙමි.

මෙම කතා මාලාවේ, පසුගිය ජයග්‍රහකයා වූ ගී-හුන්, ක්‍රීඩාව පිළිබඳ අධෛර්යක් ඇති කිරීම සහ නවතම වටයේ තරගකරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා නැවත ක්‍රීඩාවට ප්‍රවේශ වේ.

ප්‍රධාන චරිතය රඟ දක්වන ලී ජං ජේ පවසන පරිදි, ඔහු පෙරට වඩා "වඩාත් අපේක්ෂාභංගත්වයට සහ අධිෂ්ඨානශීලීභාවයට," පත්ව සිටී.

තරගකරුවන් රාත්‍රියේදී නිදාගන්නා ශාලා දෙකට බෙදා තිබේ.

එහි අඩක් දැවැන්ත රතු නියෝන් X සලකුණකින් සහ අනෙක් කොටස නිල් රවුමකින් සලකුණු කර තිබිණි.

ඔවුන්ගෙන් එක් අයෙකු හැර අනෙක් සියල්ලන් ම මිය යනු ඇතැයි යන අවබෝධය තුළ, ඔවුන්ට තරගය කලින් අවසන් කර දිවි ගලවා ගැනීමට අවශ්‍ය ද නැතිනම් දිගට ම ක්‍රීඩා කිරීමට අවශ්‍ය ද යන්න මත පදනම් ව, දැන් සෑම තරගයක් අවසානයේ දී ම ක්‍රීඩකයන් පැත්තක් තෝරා ගත යුතු ය. බහුතරයේ තීරණය බලාත්මක වේ.

මෙය කල්ලි ගැසීම් සහ ගැටුම්වලින් යුක්ත බව මට පැවසීය.

එය වඩාත් තීව්‍ර වන ගෝත්‍රික සමාජයක් තුළ ජීවත් වීමේ අවදානම හෙළිදරව් කිරීම සඳහා අධ්‍යක්ෂ හ්වෑංගේ සැලැස්මේ කොටසකි. මිනිසුන්ට පැත්තක් තෝරා ගැනීමට බල කිරීමෙන් ඔහු සිතන්නේ ගැටුම අවුළුවන බව ය.

කම්පනසහගත ස්ක්විඩ් ගේම් කතා වෘතාන්තයට ආකර්ෂණය වූවන් විශාල පිරිසක් වන අතර, එය නිකරුණේ ප්‍රචණ්ඩකාරී වූවක් සහ නැරඹීමට අපහසු කතා මාලාවක් බවත් සිතන පිරිසක් ද සිටිති.

නමුත් හ්වෑං සමග කතා කීරීමේදී, ප්‍රචණ්ඩත්වය සිතා මතා කළ එකක් බව පැහැදිලි වේ. ඔහු ලෝකය පිළිබඳව වඩාත් ගැඹුරින් සිතන සහ සැලකිලිමත් වන හා නොසන්සුන්තාවයෙන් පෙළෙන පුද්ගලයෙකි.

"කතා මාලාව හදන විට මම දිගට ම මගෙන් ඇහුවා 'මිනිස්සු වන අපට මේ අගාධයට යන පාරෙන් ලෝකය ඉවතට අරගෙන යන්න අවශ‍ය ද?' කියලා. අවංකව ම මම දන්නේ නෑ," ඔහු පවසයි.

"දෙවන කතා මාලාව නරඹන්නන්ට මෙම විශාල ජීවිත ප්‍රශ්නවලට පිළිතුරු නොලැබෙන්න පුළුවන් වුණාට, ක්‍රීඩාව පවතින්නේ ඇයි සහ වෙස්මුහුණක් සහිත ෆ්‍රන්ට් මෑන් එය ක්‍රියාත්මක කිරීමට පොළඹවන්නේ ඇයි? වැනි ඇතැම් සිදුරු පුරවනු ඇතැයි ඔවුන්ට අවම වශයෙන් සැනසිය හැකි ය.

"මිනිස්සු ෆ්‍රන්ට් මෑන්ගේ අතීතය, ඔහුගේ කතාව සහ චිත්තවේග ගැන තව දේවල් දකිනවා," ගුප්ත චරිත නිරූපණයක යෙදෙන රංගන ශිල්පී ලී බ්‍යං-හුන් හෙළි කරයි.

"මේකෙන් නරඹන්නන් ඔහුට ළං වෙයි කියලා මම හිතන්නේ නැති වුණත්, ඔහුගේ තේරීම් ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න ඒක උදව්වක් වෙයි.

කොරියාවේ වඩාත් ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන ලී පවසන්නේ, පළමු කතා මාලාව මුළුල්ලේ ම ඔහුගේ මුහුණ සහ ඇස් ආවරණය කර සහ කටහඬ විකෘති කර තිබීම ගැන "ටිකක් විතර අතෘප්තිමත්," වී සිටි බව ය.

ඔහුට නොලැබුණු අවස්ථාවක් වන ඔහුට තමන්ව සම්පූර්ණයෙන් ම නිරාවරණය කළ හැකි, මෙම කතා මාලාවේ තිබෙන වෙස් මුහුණක් නොමැති දර්ශනවලට ඔහු කැමැත්තක් දක්වයි.

Squid Game director Hwang Dong-hyuk says Netflix paid him a modest upfront amount for the show

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ස්ක්විඩ් ගේම් කතා මාලාව හරහා පවුම් මිලියන 650ක් පමණ ඉපැයූ බව කියන නෙට්ෆ්ලික්ස් ඔහුට ගෙවා ඇත්තේ මුලින් කතා කර ගත් සාමාන්‍ය මුදලක් පමණක් බව අධ්‍යක්ෂක හ්වෑං ඩොං හ්‍යුක් පවසයි

Netflix කතා මාලාව ආරම්භ කිරීමට පෙර, ඔහුගේ පවුල රැකබලා ගැනීමට විශාල ණය මුදල් ගනිමින්, ස්ක්විඩ් ගේම් නිර්මාණය කිරීමට හ්වෑං වසර දහයක් උත්සහ කළේ ය.

ඔවුන් ඔහුට සාමාන්‍ය මට්ටමේ පූර්ව මුදලක් ගෙවා ඇති අතර, එය එම වේදිකාවෙන් උපයා ඇතැයි තක්සේරු කර ඇති පවුම් මිලියන 650ට සාපේක්ෂව ප්‍රමාණවත් නැත.

ජාත්‍යන්තර විකාශන වේදිකා සමග වර්තමානයේ දකුණු කොරියානු චිත්‍රපට සහ රූපවාහිනී ආයතන අතර ඇති ආදර-වෛරී සම්බන්ධය මෙයින් පැහැදිලි වේ.

පසුගිය වසර කිහිපය තුළ, කර්මාන්තය ගෝලීය පිළිගැනීම සහ ආදරයට ගෙන එමින්, නෙට්ෆ්ලික්ස් කොරියානු වෙළඳපොළට ඩොලර් බිලියන ගණනක ආයෝජන සමග ප්‍රවේශ වී ඇති නමුත්, ක්ෂණික වෙනසක් සිදුව ඇතැයි නිර්මාණකරුවන්ට දැනෙයි.

ඔවුන්ගේ කර්තෘ අයිතිය සහ ආදායමට ඇති අයිතිය අත්හරින ලෙසට ඔවුන් ගිවිසුම් අත්සන් කරන විට රූපවාහිනී වේදිකාව [නෙට්ෆ්ලික්ස්] බල කරන බවට ඔවුහු චෝදනා කරති.

මෙය ගෝලීයව පවතින ප්‍රශ්නයකි.

අතීතයේදී බොක්ස් ඔෆිස් වාර්තා තැබූ හෝ රූපවාහිනියේ නැවත පෙන්වීමකට තෝරා ගැනුණු නිර්මාණයක ආදායමින් කොටසක් නිර්මාණකරුවන්ට ලැබෙනු ඇතැයි විශ්වාසය තැබිය හැකි වුවත්, විකාශන දැවැන්තයන් මෙම ආකෘතිය අනුගමනය කර නැත.

ප්‍රශ්නය කොරියාවේදී සංකීර්ණ වන අතර, නිර්මාණකරුවන් පවසන්නේ ඔවුන්ව ආරක්ෂා නොකරන එහි ප්‍රකාශන අයිතිය යල් පැන ගිය එකක් බව ය.

මේ ගිම්හානයේදී, නළුවන්, රචකයන්, අධ්‍යක්ෂකවරුන් සහ නිෂ්පාදකයින් එකතුවී කණ්ඩායමක් ලෙස එක්ව සටන් කළ හ.

"කොරියාවේදී චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වෙන එක නිකන් ම රැකියාවේ නමක් මිසක් ජීවත් වෙන්න මුදල් උපයන මාර්ගයක් නෙවෙයි," යනුවෙන් සෝල්හි පැවති උත්සවයකදී කොරියානු චිත්‍රපට අධ්‍යක්ෂ සංසදයේ උපසභාපති ඕ කී-හ්වාන් ප්‍රේක්ෂකයන් පිරිසක් ඉදිරියේ පැවසුවේ ය.

ඔහු පවසන්නේ, ඔහුගේ ඇතැම් අධ්‍යක්ෂ මිතුරන් ගබඩාවල සහ කුලී රථ රියැදුරන් ලෙස අර්ධ කාලීන රැකියාවල නිරත ව සිටින බව ය.

පාක් හී යං එම උත්සවයේ සිටි රචිකාවියකි. ඇගේ 'My Liberation Notes' කතා මාලාව නෙට්ෆ්ලික්ස් විසින් මිල දී ගනු ලැබූ පසු, එය ගෝලීය වශයෙන් ජනප්‍රිය වූ එකක් විය.

"මම මගේ මුළු ජීවිත කාලය ම ලියමින් හිටියේ. ඉතින් ලෝකය පුරා නිර්මාණකරුවන් එක්ක තරග කරමින් ගෝලීය අවධානයක් ලබා ගැනීම ප්‍රීතිමත් අත්දැකීමක් වුණා," ඇය මා හට පැවසුවා ය.

නමුත් පාක් පවසන්නේ, වත්මන් විකාශන ආකෘතිය නිසා ඇගේ මීළඟ කතා මාලාව සඳහා "ඇගේ සියලු හැකියාවන් දැමීමට,"පසුබට වී ඇති බව ය.

"මම සාමාන්‍යයෙන් අවුරුදු හතරක් හෝ පහක් නාට්‍යයක් කරන්න ගන්නේ, ඒක සාර්ථක වුණොත් මගේ අනාගතය ඒකෙන් තරමක් දුරට ආරක්ෂා වෙන්න මට මගේ හිලව්වට සාධාරණ කොටසක් ලැබෙයි කියන විශ්වාසය තුළ ඉඳලා. එහෙම නැතිනම් මහන්සි වෙලා වැඩ කරන එකේ තේරුම මොකක් ද?"

ඔවුන්ගේ ලාභය බෙදා ගැනීමට නිෂ්පාදන සමාගම්වලට බල කිරීමට ඔවුන්ගේ ප්‍රකාශන හිමිකම් නීති වෙනස් කරන ලෙස දකුණු කොරියානු රජයට ඇය සහ අනෙක් නිර්මාණකරුවෝ බල කරමින් සිටිති.

නිවේදනයක් නිකුත් කරමින් දකුණු කොරියානු රජය බීබීසීයට පැවසුවේ, හිලව් ක්‍රමය වෙනස් විය යුතු බවට එය හඳුනාගෙන ඇති අතර, ප්‍රශ්නය විසඳා ගැනීම කර්මාන්තය සතු කාර්යයක් බව ය. මේ අතර, අදහස් දැක්වීම සඳහා අප කළ ඉල්ලීම නෙට්ෆ්ලික්ස් ඉවත දැමීය.

ස්ක්විඩ් ගේම්හි හ්වෑං බලාපොරොත්තු වන්නේ, ඔහුගේ ම ගාස්තු සම්බන්ධ අරගලයේ අවංකභාවය එම වෙනස ආරම්භ කරනු ඇති බව ය.

ඔහු සැබැවින් ම සාධාරණ ගෙවීම් සම්බන්ධ සංවාදයක් අවුළුවා ඇති අතර, මෙම දෙවන කතා මාලාව නිසැකව ම කර්මාන්තයට තවත් තල්ලුවක් ලබා දෙනු ඇත.

කෙසේවුවත්, රූගත කිරීම් අවසානයේ අපි ඔහුව හමු වූ විට ඔහු පැවසුවේ, ඔහුගේ දත් නැවතත් රිදුම් දෙන බව ය.

"මම මගේ දන්ත වෛද්‍යවරයාව තව ම මුණ ගැසුණේ නැති වුණාට මට අනිවාර්යයෙන් ම ඉතා ඉක්මනින් තවත් කීපයක් ගලවගන්න වෙයි."

ස්ක්විඩ් ගේම් දෙවන අදියරේ කතා මාලාව, 2024 දෙසැම්බර් 26 නෙට්ෆ්ලික්ස් හරහා නිකුත් කෙරෙනු ඇත.