ජය ශ්‍රී මහ බෝධිය, 'ජාතිවාදය සහ වෛරය පැතිරවීම': ජනාධිපති යාපනයේදී සැබවින් ම කී දේ සහ ඊට ලැබුණු ප්‍රතිචාර

ජනාධිපති අනුර කුමාර දිසානායක, යාපනය නාග විහාරාධිපති ස්වාමීන් වහන්සේ බැහැ දකින ලද අවස්ථාව

ඡායාරූප මූලාශ්‍රය, PMD

ජනාධිපති අනුර කුමාර දිසානායක ඉකුත් ජනවාරි 16 වන දා යාපනය තාක්ෂණ විද්‍යාලයීය ක්‍රීඩා පිටියේ පැවති විෂ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා වන 'රට ම එකට' ජාතික මෙහෙයුමේ උතුරු පළාත් වැඩසටහනට එක්වෙමින් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ මෙන් ම සමාජ මාධ්‍ය තුළ ද බොහෝ දෙනාගේ අවධානය යොමු වී ඇත.

ආගමික සිද්ධස්ථානයක් මුල් කර ගනිමින් නැවත ජාතිවාදය සහ වෛරය ව්‍යාප්ත වන බවට ජනාධිපතිවරයා සිදුකළ එම ප්‍රකාශය සම්බන්ධයෙන් විපක්ෂ දේශපාලන පක්ෂ නියෝජිතයින් අප්‍රසාදය පළකර තිබිණි.

එසේ වුව ද ජනාධිපතිවරයා සිය කතාවේදී පැවසුවේ, නැවත රට තුළ ජාතිවාදය පැතිරවීමට කිසිදු විටක ඉඩක් නොතබන බව ය.

ජනපති යාපනයේදී පැවසුවේ කුමක් ද?

ජනාධිපති අනුර කුමාර දිසානායක 'රට ම එකට' ජාතික මෙහෙයුමේ උතුරු පළාත් වැඩසටහනට එක්වෙමින් කියා සිටියේ, අනුරාධපුරය ශ්‍රී මහා බෝධීන් වහන්සේ පසු කරමින් ඇතැමුන් පොහොයට සිල් සමාදන්වීමට යාපනයට පැමිණෙන බවත් එහි ඇත්තේ සීලය නොව වෛරය බවත් ය.

ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ, කිසිදු විටක ජාතිවාදය පැතිරවීමට කිසිදු අයෙකුට ඉඩක් ලබා නොදෙන බව ය.

"සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනා සහෝදරත්වයෙන් ජීවත්වන හොඳ රටක් අපිට අවශ්‍ය යි. දශක ගණනාවක් අපි වෛරයෙන්, ක්‍රෝධයෙන් ජීවත් වුණා. අපිට කිසිවක් ලැබුණේ නැහැ. යුද්ධය නිසා උතුරේත්, දකුණේත් දෙමාපියන්ගේ දරුවන් අහිමි වුණා. එහි අවසාන ශේෂ පත්‍රය මහා ව්‍යසනයක්. ඒ නිසා යළි ගැටුම් ඇති නොවන සහෝදරත්වයෙන් සහ ළෙංගතුකමින් ජීවත්වන ජාතියක් අපි ගොඩනැගිය යුතු යි. ඒ නිසා කිසිදු තැනක, කිසිදු ආකාරයක ජාතිවාදයට යළි නැගිටීමට අපි ඉඩ දෙන්නේ නැහැ."

"මම දන්නවා තැනින් තැන සුළි කැරකෙනවා. පොහොයට සිල් ගන්න ශ්‍රී මහා බෝධීන් වහන්සේ පහු කරලා යාපනයට එනවා. එතන තියෙන්නේ සීලය නෙමෙයි එතන තියෙන්නේ වෛරය. පන්සල් පූජනීය ස්ථාන විශාල සංඛ්‍යාවක් පහුකරගෙන යාපනයේ එක තැනකට එනවා සිල් ගන්න. සීලය වෙනුවෙන් නෙමෙයි වෛරය වෙනුවෙන්.

ඒ වගේ ම සෑම පෝයකට ම ගිහිල්ලා එතන පන්සල ළඟ වට වෙනවා. ඉඩම් වෙනුවෙන් නෙමෙයි ජාතිවාදය වෙනුවෙන්. මම අපේ බුද්ධි අංශවලට කිව්වා එතනට හැම පෝයකට ම ඇවිල්ලා හැම දා ම කෑගහන අයට එතන ඉඩමක් තියෙනව ද කියලා, ඒ නිසා බලය අහිමි වී තිබෙන ජාතිවාදී කණ්ඩායම් කුඩා කුඩා තැන්වල ජාතිවාදය පතුරුවන්න හදනවා. ඒ කිසි ම කෙනෙක්ට ජාතිවාදය පතුරුවන්න ඉඩ දෙන්නේ නැහැ," ජනාධිපතිවරයා සිය කතාවේදී ප්‍රකාශ කළේ ය.

එමෙන් ම, ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ, අනෙකා කෙරෙහි වෛරයෙන් බලන මනස ඉවත් කළ යුතු බව ය. තෙතමනය ඇති සහ අනෙකා කෙරෙහි සහකම්පනය සහිත සමාජයක් ඇති කළ යුතු බව ද ඔහු පැවසුවේ ය.

ජනාධිපති අනුර කුමාර දිසානායක නාගදීප රජමහා විහාරය වැදපුදා ගැනීමට පැමිණි අවස්ථාව.

ඡායාරූප මූලාශ්‍රය, PMD

ඡායාරූප ශීර්ෂ වැකිය, අනෙකා කෙරෙහි වෛරයෙන් බලන මනස ඉවත් කළ යුතු බවත් තෙතමනය ඇති සහ අනෙකා කෙරෙහි සහකම්පනය සහිත සමාජයක් ඇති කළ යුතු බවත් ජනාධිපතිවරයා පැවසීය.

'සමාජ වෛරයක් හදලා දේශපාලනය තුළ රැකෙන්න බැහැ'

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

කවුරුන් හෝ ජාති, ආගම්, කුලමල භේද කේන්ද්‍ර කර ගනිමින් සමාජ වෛරයක් නිර්මාණය කිරිම හරහා දේශපාලනය තුළ රැකෙන්න උත්සහ කරන්නේ නම් එය දේශපාලන මිථ්‍යාවක් බව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

"අපිට ඇහුණා පසුගිය දවසක ජනාධිපතිවරයා ප්‍රකාශ කරන කාරණාවක්. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ පසුකරගෙන ඉන් ඔබ්බට ස්ථානවල වන්දනා කිරීම වෛරය ප්‍රමුඛ කරගෙන කරන ක්‍රියාවලියක් කියලා. මම ඒක තරයේ ප්‍රතික්ෂේප කරනවා. අපේ රටේ බෞද්ධ ජනතාවට රට පුරාවට විහිදිලා තියෙන බෞද්ධ ආගමික සිද්ධස්ථාන වන්දනාමාන කරන අය සැදැහෑ සිතින් ඒ කටයුතු ඉෂ්ට සිද්ධ කරන්නේ. වෛරය මුල් කරගෙන නෙමෙයි. ආගමික කටයුතුවල නිරතවීම ප්‍රදේශය කුමක් වුණත්, පළාත කුමක් වුණත්, එය වෛරය මුදුන්පත් කරගෙන කරනවා කියන කාරණාව වැරදි යි. කවුරු හරි හිතනවා නම් ජාති, ආගම්, කුලමල භේද කේන්ද්‍ර කරගෙන සමාජ වෛරයක් නිර්මාණය කරලා දේශපාලනය තුළ රැකෙන්න පුළුවන් කියලා. ඒක මිථ්‍යාවක්." විපක්ෂ නායකවරයා එහිදී කියා පැවසුවේ ය.

මේ අතර, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පැවසුවේ, ජනතාව සිල් සමාදන් විය යුත්තේ කොහේ ද යන්න තීරණය කිරීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බව ය.

"දැන් ජනාධිපතිවරයා උතුරට ගියා ම එයා ආකර්ෂණය දිනා ගන්න හදනවා උතුරේ ජනතාවගේත් ඩයස්පෝරා එකෙත්. ඒ නිසා එයාට අනිත් ජන කොටස් ගැන ඒ අයට තියෙන අයිතිවාසිකම් ගැන අමතක වෙනවා. ජාතිවාදය ගැන කතා කරන්නෙ ම උතුරට ගිහිල්ලා යාපනයට ගිහිල්ලා. වෙන කොහෙවත් නැහැ. දැන් රටේ ජනාධිපතිට තියෙන අයිතිය මොකක් ද බෞද්ධයා යන්න ඕන ස්ථාන ගැන තීරණය කරන්න? ගමේ පන්සලේ විතර ද සිල් ගන්න ඕන. ඒ භක්තිවන්ත ක්‍රියාවලිය තීරණය කරන්න, ඒක කොහේ ද වෙන්නේ කියලා තීරණය කරන්න ජනාධිපතිට කිසි ම බලයක් නැහැ," ඔහු පැවසුවේය.

සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පැවසුවේ, ජනාධිපතිවරයා කළ ප්‍රකාශය මෙරට ජනාධිපතිවරයෙකු විසින් සිදුකරන ලද ඉතා නරක දේශද්‍රෝහී කතාවක් බව ය.

"සිල් ගන්න එක වෛරයෙන් කරන්නේ කොහොම ද කියලා ජනාධිපතිතුමා පැහැදිලි කරන්න වෙනවා. ජනාධිපතිතුමා හිතනවා නම් සිල් ගැනීම අනුරාධපුරයෙන් අවසන් වෙන්න ඕන, අනුරාධපුරයෙන් ඔබ්බට සිල් ගන්න යන්න එපා කියලා ඒ අදහස සමාන වෙන්නේ ප්‍රභාකරන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයට. මම හිතනවා මේ රටේ ජනාධිපතිවරයෙකු කිව්ව ඉතා ම නරක ම දේශද්‍රෝහී කතාව ඒක කියලා," මන්ත්‍රීවරයා එලෙස ප්‍රකාශ කළේ ය.

'ඒක ජාතිවාදය නෙවෙයි, ඒ තමයි විශ්වාසය'

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ස්වාමින්වහ්න්සේ නමක් අසල සිටින අයුරු

ඡායාරූප මූලාශ්‍රය, Namal Rajapaksa

ආගමික ක්‍රියා වාර්ගික හෝ ජාතිකවාදී හැසිරීම් ලෙස අර්ථකථනය නොකළ යුතු බවත් දීර්ඝ කාලීන වන්දනා සම්ප්‍රදායන් ප්‍රදේශ සහ ප්‍රජාවන් පුරා පැතිරී ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පසුගිය දා තඹුත්තේගම ප්‍රදේශයේදී පැවති ජනහමුවකට එක්වෙමින් පැවසුවේ ය.

"ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ පහුකරගෙන තමයි අපි නාගදීපයට යන්නේ. දැන් යුද්දේ නැහැ නේ. ඒත් යන්න පුළුවන්. ඒ වගේ ම තමයි පල්ලි බොහොමයක් පහුකරන් තමයි මඩු මෑණියන් වඳින්න යන්නේ, යාපනයේ නල්ලූර් කෝවිලේ ඉඳලා කෝවිල් ගොඩක් පහුකරන් තමයි පාගමනින් ඇවිත් කතරගම පුදබිමට වඳින්නේ. ඒක ජාතිවාදය නෙමෙයි ඒ විශ්වාසය."

"ජනාධිපතිතුමනි ඔබ විශ්වාස කරනවා නම් බෞද්ධ දර්ශනයට ඇඟිල්ල දික් කරලා ඔබේ දේශපාලන බලය උතුරේ ගොඩ නගා ගන්න දමිළ ජනතාව ඒකට සූදානම් නැහැ. අපිත් සංස්කෘතිය විශ්වාස කරනවා. සියලු ම ආගම් රැකිලා තියෙන්නේ බෞද්ධ සංස්කෘතිය මත මේ ජාතිය ගොඩනැගිලා තියෙන නිසා. වෛරය පතුරුවන්න එපා කියමින් ඔබ මේ රටේ ජාතීන් අතර අසමගිය පතුරුවන්න උත්සාහ කරනවා," නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ ය.

'අනුර කියපු එක හරි'

කෙසේ වෙතත්, ජනාධිපති අනුර කුමාර දිසානායක පළ කළ අදහස් නිවැරදි බවට මත පළ කරන පිරිසක් ද සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළ කර තිබිණි.

ජය ශ්‍රී මහ බෝධි කතාවට ප්‍රතිචාර

ඡායාරූප මූලාශ්‍රය, Facebook

අනුරගේ කතාවට ප්‍රතිචාර

ඡායාරූප මූලාශ්‍රය, Facebook