ශ්‍රී ලංකාව: බලහත්කාරයෙන් ඉඩම් අල්ලා ගැනීම් වැඩිවෙලා ද?

ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමේ සිද්ධීන් ගණනාවක් මේ දිනවල ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කීපයකින් වාර්තා වෙමින් පවතී.
මෙහි ආසන්නතම සිදුවීම වන්නේ නැගනහිර පළාතේ මඩකලපුව කේන්ද්‍ර කරගනිමින් මහා පරිමාණයෙන් බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කර ගැනීමය.
"මේ ක්‍රියාව සිදුකරන්නේ නීතියට පිටින්. මේ මහා පරිමාණ ජාවාරම් ගැන වගකිවයුත්තන් නිහඬව බලා ඉන්න එක පුදුමයට කරුණක්," බව ප්‍රදේශවාසීහු පවසති.
දශක ගණනාවක යුද්ධය නිමාකර වසර දහයක් ඉක්ම ගොස් ඇතත් ඒ සමග ආ පීඩනයෙන් තව දුරටත් උතුරු නැගෙනහිර මෙන්ම රටේ ප්‍රදේශ රැසක ජනතාව පීඩා විඳිති. ඉඩම් ගැටළු මේ අතරින් ප්‍රමුඛ ස්ථානයක් ගනී.
යුද සමයේ ඉඩම් අහිමි වූ ජනතාවට ඒවා නිරවුල් කර දීමට ක්‍රමවත් වැඩපිළිවෙලක් නොමැති කම සහ පෞද්ගලික ඉඩම්වලට විවිධ කණ්ඩායම් අයිතිවාසිකම් කීමට ඉදිරිපත් වීම මෙයට හේතු වේ.
පසුගිය දිනවල වරින් වර ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය හේතුවෙන් ඉඩම් අල්ලා ගැනීමට ඉඩ සැලසී ඇති අතර, නැගෙනහිර පළාත පුරා සිද්ධීන්වලට දේශපාලන, ආගමික හා පතාල සම්බන්ධකම් ද යොදා ගෙන තිබෙන බව ප්‍රදේශවාසීහු පවසති.
එවන් සිද්ධීන් කිහිපයක් පිළිබඳව තොරතුරු බීබීසී සිංහල සේවයට වාර්තා වී තිබේ.
මඩකලපුව, මන්මුනෙයි උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ඉඩම් අක්කර පන්සියයක් වංචනික ලෙස අත්පත් කර ගැනීමට එරෙහිව ඉඩම් හිමියන් මේ වන විට නීතිමය ක්‍රියාමාර්ගවලට යොමු වී තිබීම එවන් එක සිද්ධියකි.
රජයේ නිලධාරීන් ඇතුළු ඉඩම් විකිණීම හා සම්බන්ධ වෘත්තීන් කීපයකට අයත් නිලධාරීන් මේ ජාවාරම් සදහා සම්බන්ධ බවට ඉඩම් හිමියන් චෝදනා කරයි.
මොවුන් ඉඩම් සඳහා ව්‍යාජ ලිපි ලේඛන සකස් කිරීම, නීතිමය ක්‍රියාවන් ප්‍රමාද කිරීම ඇතුළු ක්‍රියාකාරකම්වලට හවුල් බවට ඔවුන් පවසයි.
මේ අතර එකම ඉඩම කීපවතාවක් යම් පුද්ගලයන්ට විකුණා ඔවුන් මුදල් උපයා ඇති බව ද ඉඩම් හිමියෝ පවසති.
මුල් ඉඩම් හිමිකරුවන්ගේ ඔප්පු වෙනස් කර අක්කර ගණනාවක් අත්පත් කර ගැනීමට ප්‍රාදේශීය ආගමික නායකයෙකු ලෙසින් පෙනී සිටින පුද්ගලයෙකු ද මැදිහත්වී ඇතැයි ඔවුහු පවසති.
මේ ගැන පොලීසිය, ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු වගකිව යුතු ආයතන වෙත දැනුම් දුන්න ද ඔවුන් ඒ පිළිබඳ කිසිදු තැකීමක් නොකරන බව ද ඉඩම් හිමියෝ පැවසූහ.
සංවිධානාත්මක කණ්ඩායමක් වංචනික ලෙස සිය පවුලේ ඉඩම් ද අත්පත් කරගෙන ඇති බව නැගෙනහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන ශෂීදරන් පැවසීය.
"මගේ මස්සිනා කැනඩාවේ පදිංචියට යද්දි ඇටෝනී බලපත්‍රයකින් ඔහු සතු ඉඩම් මට පවරලා ගියා. මඩකලපුව මන්මුනෙයි ප්‍රාදේශි ලේකම් කොට්ඨාසයේ එක් ස්ථානයක අක්කර 25ක් සහ තවත් ස්ථානයක අක්කර 10ක් වශයෙන් මගේ මස්සිනාගේ ඉතා වටිනා පොල් ඉඩම් බලහත්කාරයෙන් අත්පත්කර ගෙන තිබෙනවා.
"මේ ඉඩම් දෙකටම මුල් ඔප්පු මං ලග තිබෙනවා. එහෙම තියෙද්දි හොර ඔප්පු හදලා මුළු ඉඩමම වට කරලා කොන්ක්‍රීට් කණු දාලා තහඩු ගහලා වටකරලා. එක තැනක Army place කියලත් සඳහන් කරලා. අනුන්ගේ ඉඩම් වලට බලහත්කාරයෙන් රිංගලා දැඩි ආරක්ෂාව යටතේ ඔවුන් ඒ ඉඩම් වල ඉන්නවා.
"මේ සබන්ධව මම පොලීසියට පැමිණිලි කළා. නමුත් පැමිණිල්ල ලියා ගත්ත සාජන්වරයා ඒක හරියට ලියාගෙන නැහැ. මම මේ වෙන කොට නීතිමය ක්‍රියා මාර්ගවලට යොමු වෙලා ඉන්නවා. රටේ අධිකරණය ගැන පමණක් මට විශ්වාස කරන්න පුළුවන්. එච්චරයි ඉතිරි වෙලා තියෙන්නේ," හිටපු මන්ත්‍රීවරයා පැවසුවේය.
ශෂිදරන් පැවසූ එම ස්ථානය නිරීක්ෂණය කිරීමේදී දැකගන්නට ලැබුණේ යුද හමුදා ස්ථානයක් යනුවෙන් එම භුමියේ සඳහන් කර ඇති අයුරුයි.
ඊට අමතරව, සැලකිය යුතු පිරිසක් එම භූමියේ සිටි අතර ඔවුන් එහි සංවර්ධන කටයුතුවල නිරතව සිටින අයුරු දක්නට ලැබිණි.

මේ තොරතුරු ද කියවන්න:
නාවල්අඩි පදිංචිකරුවෙකු වන කුමාර්සාමි කදාහර් ද මෙවැනිම සිද්ධියකට මුහුණ දී තිබේ.
රජයේ නිලධාරියෙකු වන කුමාර්සාමි අක්කර පහක ඉඩමක් තමන්ගේ සොහොයුරාගේ නමින් මිල දී ගෙන තිබේ. රුපියල් කෝටියකට වැඩි මුදලක් ඒ වෙනුවෙන් වැය කර ඇත.
"මම විද්‍යා හා තාක්ෂණ නිලධාරියෙක් ලෙස වැඩ කරනවා. මම කලින් ඉඳන්ම සිද්ධියට අදාළ පුද්ගලයා දන්නවා. ඔහු කිව්වා ඉඩම් අක්කර පහක් තියනවා මිළදී ගන්න කියලා. මම රජයේ නිලධාරියෙක් නිසා මට ඉඩම් මිලදී ගැනීමේදී තිබෙන ගැටළු ගැන හිතලා මගේ සහෝදරයා නමින් මම මේ අක්කර පහ මිලදී ගත්තා."
"මම දැනගෙන හිටියේ නැහැ මේ ඉඩම් හොර ඉඩම් කියලා. ලාභෙට දෙන නිසා තමයි ගත්තේ. අද මම මිලදී ගත් ඉඩම්වලට මටම යන්න බැරි තත්ත්වයක් ඇති වෙලා. දැන් ඒ ඉඩම්වලට ඇත්ත අයිතිකාරයෝ ඉන්නවා. මම මේ ඉඩමට සල්ලි දුන්නේ මගේ තියන දේවල් විශාල ප්‍රමාණයක් විකුණලා."
"කොටින්ම කිව්වොත් මම හිටපු ගේ පවා විකුණුවා, ඊළගට අවුරුදු 13ක් පැදපු කාර් එක විකුණුවා. සල්ලිවලට අමතරව වායු සමීකරණ යන්ත්‍රයක්, රූපවාහිනියක් හා ළමයගේ කරේ තිබුණු චේන් පොටත් දුන්නා. දැන් මට සිද්ධ වෙලා තියෙන්නේ පාරට බහින්න. අනෙක් කාරණය තමයි මට විකුණපු ඉඩම ඔහු තවත් කෙනෙකුටත් විකුණලා," කුමාර්සාමි පැවසීය.
මෙවැනි ජාවාරම්කරුවන්ට තවත් මෙවැනි අපරාධ කරන්නට නොහැකි වන ලෙස විධිමත් වාර්තාවක් සකස් කරන ලෙස ද කුමාර්සාමි වගකිව යුතු නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කළේය.
මෙවැනි ජවාරම්කරුවන්ට විරුද්ධව මඩකලපුව පොලිසියේ පැමිණිලි මෙන්ම මඩකලපුව අධිකරණයේ විභාග වන නඩු කීපයක් ද පවතී.
එලෙස නීතිය හමුවට ගිය කාන්තාවක් තමන් මුහුණ දුන් සිද්ධිය පැහැදිලි කළ අතර, සිය නම හෙළි නොකරන ලෙස ඉල්ලීමක් කළාය.
"මට රටේ අධිකරණය ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. අපි අධිකරණයට ගරු කල යුතුයි. මට සාධාරණයක් වෙනවා කියලා ලොකු විශ්වාසයක් තියෙනවා. නමුත් මම මේ ගැන කියන්න හිතුවේ තවමත් මේ ජවාරම් නැවතිලා නැති නිසයි.
මේ ගැන පොලිසියේ අවධානය යොමු වෙන්න ඕනෑ. ඒ වගේම දිසාපතිවරයාගේ අවධානය යොමු වෙන්න ඕනෑ .
"රජයේ නිලධාරීන් මේ ජාවාරම්වලට සම්බන්ධයි. රජයේ නිලධාරීන් තමන්ගේ ඥාතීන් ඉස්සරහට දාලා ඉඩම් මිලදී ගෙන තිබෙනවා. මේ ගැන විධිමත් පරීක්ෂණයක් පවත්වන්න ඕනෑ. මේ සියලු දෙනාට දඩුවම් දෙන්න ඕනෑ. අපි රජයකින් බලාපොරොත්තු වන්නේ එයයි," ඇය තවදුරටත් පැවසුවාය.

මඩකලපුව දිස්ත්‍රික්කයේ මේ වන විට ඉඩම් ගැටළු ඇති බවට වාර්තා වී ඇතැයි මඩකලපුව දිස්ත්‍රික් ලේකම්වරයා වන කනපතිපිල්ලේ කරුණාකරන් පැවසීය.
මේ සම්බන්ධයෙන් මඩකලපුව අතිරේක දිස්ත්‍රික් ලේකම් නවරූබ රන්ජනීගෙන් සිදුකළ විමසීමක දී කියා සිටියේ පෞද්ගලික ඉඩම් ගැටළු පිළිබඳ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට වර්තා නොවන බවය.
"අපිට වාර්තා වෙන්නේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට හා රජයට කෙලින්ම අයිති ඉඩම් ගැටළු තමයි. ඒ වගේ ගැටළු විසිපහකට වැඩි ප්‍රමාණයක් දැනට තියනවා. ඒ ප්‍රමාණය වැඩි වෙන්නත් පුළුවන්. අපි රජයේ ඉඩම් ගැටළු ගැන නිසියාකාරයෙන් කටයුතු කරනවා. නමුත් අපිට පෞද්ගලික ඉඩම්වලට මැදිහත්වෙන්න පුළුවන් කමක් නැහැ," ඇය තවදුරටත් පැවසීය.
රජයට අයත් ඉඩම් ගැටළු සොයා බැලීම සදහා ප්‍රාදේශීය ලේකම්, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම ඇතුළු රජයේ ආයතන කීපයක් ඇති අතර පෞද්ගලික ඉඩම් පිලිබදව ගැටලුවක් සිදුවුවහොත් එය ඉදිරිපත් කල හැක්කේ අධිකරණයට පමණික් වන අතර ඒ සඳහා වෙනත් රාජ්‍ය ආයතනයක් නොමැති බවට නීතිඥයින් පවසයි.
මේ පිලිබදව කල විමසීමේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව ප්‍රකාශ කලේ මේ පිලිබදව තොරතුරු ලබා දිය හැක්කේ ලේඛන පරීක්ෂාවකින් පසුව බවයි.
"මේ කොවිඩ් තත්ත්වය යටතේ රාජකාරි වැඩිවීම නිසා මේ සදහා කාලයක් ගත වෙන්න පුළුවන්. මෙවැනි තත්ත්වයක් පිලිබදව විමසීම වැදගත් ඉඩම් සම්බන්ධව, යම්කිසි ලබා ගැනීමක් පිළිබඳ, ලොකු වංචා කිරීමක් සම්බන්ධව, අපරාධ සම්බන්ධව පැමිණිලි පොලිසියට ලැබී තිබෙනවා නම් ඒ සම්බන්ධව අපි හරි විදියට විමර්ශනය කරනවා."
"ඒ විතරක් නෙවෙයි මෙවැනි තත්ත්වයක් තියෙන බව මම පොලිසිය තවදුරටත් දැනුවත් කරනවා. මම මේ සම්බන්ධව මඩකලපුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාත්, නැගෙනහිර භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාත් කොට්ඨාස භාර නිලධාරිවරුනුත් දැනුවත් කරනවා," යනුවෙන් ඔහු බීබීසී සිංහල සමග පැවසීය.
"සිවිල් කාරණා සම්බන්ධව පොලීසියේ මැදිහත් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් අපරාධමය වරදක් පිලිබදව පැමිණිල්ලක් සිදුකර ඇත්නම් එවැනි දෙයක් අනාවරණය වෙනවා නම් ඒ සම්බන්ධව ඉදිරිපත් වී කටයුතු කරන්න පොලිසිය සුදානම්."








