බ්‍රිතාන්‍යයේදී නිරෝධා නිවුන්හැල්ල ඝාතනයට සැකකරු අධිකරණයේදී වරද පිළිගනී

ඡායාරූප මූලාශ්‍රය, Family photo
- Author, ඩෑන් මොෆාට්
- Role, බීබීසී වේල්ස්
බ්‍රිතාන්‍යයේ, කාඩිෆ්හි වීදියකදී ශ්‍රී ලාංකික කාන්තාවක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුව සිටි 37 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු අධිකරණය හමුවේ වරද පිළිගෙන තිබේ.
නිවුන්හැල්ලගේ දෝන නිරෝධා නිවුන්හැල්ල නොහොත් නිරෝධා ලෙස හඳුන්වනු ලබන, 32 හැවිරිදි කාන්තාව 2025 අගෝස්තු 21 වන දින රිවර්සයිඩ් හි දකුණු මෝගන් හිදී ඝාතනය කොට තිබුණි.
නිරෝධාගේ මව මීට පෙර බීබීසී සිංහල වෙත පැවසූ පරිදි ඇය ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා සමග ඇය විවාහ වී ඇත්තේ, 2017 වසරේදී ය. ඔවුන් 2022 වසරේ බ්‍රිතාන්‍යය බලා ගොස් තිබිණි.
බ්‍රිතාන්‍යයේ පෙන්ට්වින් හි, වෙසෙන සැකකාර තිසර වේරගලගේ මීට පෙර මෙම ඝාතනය ප්‍රතික්ෂේප කළ නමුත් පසුගිය සඳුදා නිව්පෝර්ට් ක්‍රවුන් අධිකරණයේ පැවති නඩු විභාගයකදී ඔහු එම වරද පිළිගත්තේය.
ඔහු මීට පෙර තලයක්/තුඩ සහිත ආයුධයක් ළඟ තබා ගැනීමේ චෝදනාව පිළිගෙන තිබිණි.

ඇයගේ මරණයත් සමඟ නිකුත් කරන ලද සටහනක, නිරෝධාගේ පවුලේ අය ඇය පිළිබඳව විස්තර කර තිබුණේ, "ආදරණීය දියණියක, පවුලේ සාමාජිකාවක සහ බොහෝ දෙනෙකුට ආදරණීය වූ මිතුරියක්" ලෙසයි.
"නිරෝධා සදහට ම ආදරයෙන් සිහිපත් වෙනවා"
"ඇය ඇගේ කරුණාවෙන් හා උණුසුමෙන් බොහෝ ජීවිත ස්පර්ශ කළා, ඇගේ මතකය අපට ධෛර්යක්. ඇගේ දිවි ගමන කෙටි වුවද, ඇය බෙදාගත් ආදරය හැම මොහොතක ම අප සමඟ පවතිනවා." ඔවුහූ පැවසූහ.
පසුගිය වසරේ ඇයගේ මරණය පිළිබඳ පරීක්ෂණයකදී අසන්නට ලැබුණේ ඇගේ සිරුර දකුණු මෝගන් හිදී මෝටර් රථ දෙකක් අතර තිබී හමුවූ බවයි.
පශ්චාත් මරණ පරීක්ෂණයෙන් ඇයගේ මරණයට මූලික හේතුව ලෙස හෙළි වූයේ බහුවිධ තියුණු තුවාල සිදුවී තිබීමයි.
ඝාතක තිසර වේරගලට ලබන පෙබරවාරි 20 වැනිදා එරට අධිකරණය මඟින් දඬුවම් නියම කිරීමට නියමිතය.
අතිරේක වාර්තාකරණය : බීබීසී සිංහල














