වැලිකඩ පොලිස් භාරයේදී මිය ගිය සත්සර නිමේෂ්ගේ මරණයේ සාක්ෂි විභාගයට දින නියම වෙයි

Sathsara Nimesh

ඡායාරූප මූලාශ්‍රය, Sathsara Nimesh | X

    • Author, බීබීසී සිංහල

වැලිකඩ පොලිසිය භාරයේ සිටියදී මිය ගිය සත්සර නිමේෂ් නමැති තරුණයාගේ මරණයට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි විභාගය මැයි මස 16 වන දා ආරම්භ කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (අප්‍රේල් 30) නියම කළේ ය.

එම පරීක්ෂණයේදී සාක්ෂි දීම සඳහා සාක්ෂිකරුවන් පස් දෙනෙකුට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ ය.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව ය.

සාක්ෂිකරුවන් 22 දෙනෙක්

එහිදී එම දෙපාර්තමේන්තුවේ නිලධාරීහු අධිකරණයට කරුණු දක්වමින් මීට පෙර අධිකරණය විසින් නිකුත් කරන ලද නියෝගයකට අනුව මියගිය තරුණයාගේ දේහය යළි ගොඩගත් බව සඳහන් කළහ.

ඒ අනුව, ත්‍රිපුද්ගල වෛද්‍ය මණ්ඩලයක් විසින් එම දේහය යළි පශ්චාත් මරණ පරීක්ෂණයකට භාජනය කරන ලද බවත් එහි මූලික වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.

තව ද, පශ්චාත් මරණ පරීක්ෂණයේදී මරණකරුගේ දේහයෙන් ලබා ගත් ඇතැම් කොටස් ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාට යොමු කර ඇති බව ද පොලිසිය පැවසීය.

ඒ අනුව, මෙම මරණයට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී සාක්ෂිකරුවන් විසි දෙදෙනකුගෙන් සාක්ෂි සටහන් කර ගැනීමට අපේක්ෂා කරන බවත් ඉන් සාක්ෂිකරුවන් පස් දෙනෙකුට මීළඟ දින අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

එම ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සාක්ෂිකරුවන්ට මැයි මස 16 වන දා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙස නියම කළේ ය.

පසුබිම

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

බදුල්ල, මීගහකිවුලේ පදිංචිව සිටි 26 හැවිරිදි තරුණයෙකු වන මුතුවාඩිගේ සත්සර නිමේෂ් වැලිකඩ පොලිස් භාරයේ සිටියදී මරණයට පත්ව තිබුණේ අප්‍රේල් මස මුලදී ය.

නර්තන ශිල්පයෙකු හා නිරූපණ ශිල්පියෙකු වූ සත්සර නිමේෂ් ඊට අමතරව පෞද්ගලික රෝහලක සාත්තු සේවා පුහුණුවක් ද ලබමින් සිටි බව පොලිසි විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.

සත්සර පොලිස් භාරයට ගැනීම සහ ඔහු මිය යාමේ සිදුවීම මාධ්‍ය හරහා වාර්තා වීමෙන් පසුව පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් අප්‍රේල් 3 වන දා නිවේදනයක් නිකුත් කර කළේ ය.

එහි දක්වා තිබුණේ, අප්‍රේල් මස 1 වන දින රාත්‍රී කාලයේදී වැලිකඩ පොලිස් වසමේ නාවල ප්‍රදේශයේ නිවසකට පුද්ගලයෙකු ඇතුළු වී සිටින බවට වැලිකඩ පොලිසියට ලද තොරතුරක් අනුව වැලිකඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් එම ස්ථානයට ගොස් විමර්ශන ආරම්භ කර තිබුණු බව ය.

එම පුද්ගලයා පොලිස් නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීමේදී ඔහු "යම් මානසික අබාධයකින් පෙළෙන පුද්ගලයෙකු බවට නිරීක්ෂණය වන ආකාරයෙන් හැසිරීම හේතුවෙන්" ඔහුගේ ආරක්ෂාව සඳහා වහා ම පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කළ බව ද එම නිවේදනයේ සඳහන් කර තිබිණි.

පොලිස් ස්ථානයේදී එම පුද්ගලයා "කලහකාරී ලෙස හැසිරෙමින් සිර මැදිරිය ආශ්‍රිතව බිත්තේ ඔහුගේ ශරිරයේ කොටස් වද්දා ගනිමින් නිලධාරින්ට පාලනය කර ගත නොහැකි ආකාරයෙන් හැසිරීම" හේතුවෙන් පොලිස් නිලධාරීන් "මහත් පරිශ්‍රමයක් දරා" ඔහු මුල්ලේරියාවේ පිහිටි ජාතික මානසික සෞඛ්‍ය ආයතනයට ඇතුළත් කිරීමට පියවර ගත් බව පොලිසිය පැවසීය.

"මෙම සැකකරු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට පසුදින අළුයම් කාලයේදී මියගොස් ඇති අතර මෘත දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතව ඇත," යනුවෙන් පොලිස් මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබිණි.

මිය ගිය සත්සරගේ පාර්ශවය සඳහන් කරන්නේ, ඔහු රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් තිබුණු බවට වෛද්‍යවරු පැවසූ බව ය.

අනතුරුව, සිය නිවස ඉදිරිපිට භූමදාන කර තිබුණු 26 හැවිරිදි සත්සර නිමේෂ්ගේ දේහය අප්‍රේල් 23 වන දා බදුල්ල මහේස්ත්‍රාත් නුජිත් ද සිල්වා ඉදිරියේදී ගොඩගත්තේ ය.

ත්‍රිපුද්ගල විශේෂඥ අධිකරණ වෛද්‍ය මණ්ඩලයක අධීක්ෂණය යටතේ ගොඩගත් ඔහුගේ දේහය පසුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පොලිස් ආරක්ෂාව යටතේ කොළඹට රැගෙන ආවේ ය.