2024 වසරේ පළමු මාස 11 තුළ පොලිස් නිලධාරීන් 298ක ගේ වැඩ තහනම්

Police

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

මහජන ආරක්ෂාව සහ සාමය සුරක්ෂිත කිරීම සම්බන්ධයෙන් වැදගත් ම රාජකාරියක් පැවරී ඇත්තේ පොලීසිය වෙත ය.

ශ්‍රී ලංකාවේ පොලිස් ආඥා පනත අනුව, රටේ වෙසෙන මහ ජනතාව, ඔවුන්ගේ දේපළ ආරක්ෂා කර දීම වෙනුවෙන් 'සියලු ම අපරාධ, වැරදි, පොදු හිරිහැර වැළැක්වීම, සාමය ආරක්ෂා කිරීම' ආදී යුතුකම් සහ වගකීම් පැවරී ඇත්තේ පොලිසියට ය.

එවැනි වගකීමක් පැවරී ඇති පොලිස් නිලධාරීන් බොහෝ විට මහ ජනතාවගේ ගෞරවයට පාත්‍ර වනවා මෙන් ම විවේචනවලට ලක්වන අවස්ථා ද දැකිය හැකි ය.

පොලිසියට මෑත කාලයේදී එල්ල වූ චෝදනා

පොලිස් දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් බලය අයුතු ලෙස පාවිච්චි කරන බවට මහ ජනතාවගෙන් චෝදනා එල්ල වූ අවස්ථා රැසක් තිබේ. විවිධ අවස්ථාවලදී තමන්ට මුහුණ දීමට සිදුවූ එවැනි සිදුවීම් සම්බන්ධයෙන් සිවිල් වැසියන් මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ පැමිණිලි කළ අවස්ථා විරල නොවේ.

එමෙන් ම, ඇතැම් පොලිස් නිලධාරීන් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ඔවුන්ගේ අනන්‍යතාව හෙළි වන ආකාරයෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් ද පොලිස් නිලධාරීන්ට එරෙහිව චෝදනා එල්ල විය.

අතුරුගිරිය ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකු වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා සහ තවත් පුද්ගලයෙකු ඝාතනයට ලක් කරමින් සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ ටැටූ ව්‍යාපාරික ස්ථානයේ හිමිකරුගෙන් පොලිසිය ප්‍රශ්න කරන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් (ජූලි මස 10) මෙරටේ ප්‍රධාන මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ අතර, ඒ පිළිබඳව රටේ විශාල කතාබහක් ද ඇති විය.

එමෙන් ම, ඉකුත් ජූලි මාසයේදී කොල්ලුපිටිය ප්‍රදේශයේ පොලිස් රථවාහන පරීක්ෂාවක් අතරතුර මෝටර් රථයක් තුළට මත්ද්‍රව්‍ය පාර්සලයක් දමා තරුණයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට උත්සහ කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ වීඩියෝවේ සිටි පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව පියවර ගත්තේ ය.

ඊට අමතරව, විවිධ අසත්‍ය චෝදනා නගමින් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම් සහ නඩු පැවරීම්, අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයින්ට පහරදීම් සහ හිංසා කිරීම්, මෙන් ම පොලිසිය භාරයේ සිටියදී මිය යාම් සම්බන්ධයෙන් ද නොයෙකුත් අවස්ථාවලදී පොලිස් දෙපාර්තමේන්තුවට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයින්ට පහරදීම සහ හිංසා සිදුකිරීම සම්බන්ධයෙන් ද නොයෙකුත් අවස්ථාවලදී පොලිස් දෙපාර්තමේන්තුවට එරෙහිව චෝදනා එල්ල විය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයින්ට පහරදීම් සහ හිංසා කිරීම්, මෙන් ම පොලිසිය භාරයේ සිටියදී මිය යාම් සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුවට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

දින 28කදී පොලිස් නිලධාරීන් 15ක් අත්අඩංගුවට

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ගතවූ දින 28ක කාලය ඇතුළතදී පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කරනු ලබන නිලධාරීන් රැසක් වැඩ තහනමට ලක්වීමට මෙන් ම බන්ධනාගාරගත වීමට සිදුවූ පුවත් වාර්තා විය.

පොලිසිය විසින් ම නිකුත් කරන ලද වාර්තා අනුව, ගතවූ දින 28ක කාලය තුළදී විවිධ විෂම ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පොලිස් නිලධාරීන් 15 දෙනෙකුට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට ගැනීමට සහ වැඩ තහනම් කිරීමට කටයුතු කර තිබේ.

පුද්ගලයින්ට පහර දීම, මාර්ග බාධකවලදී මුදල් එකතු කිරීම, බලය අනිසි ලෙස භාවිත කිරීම සහ මැතිවරණ නීති උල්ලංඝණය වන ආකාරයෙන් කටයුතු කිරීම ආදී චෝදනා හමුවේ මෙම පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් කිරීම සහ ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සිදුකර ඇත.

මේ අතරින් කුලියාපිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ලබන 22 වන දා දක්වා රිමාන්ඩ් භාරයේ තබන්නැයි කුලියාපිටිය අතිරේක දිසාවිනිසුරුවරයා නියෝග කළේජය.

මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගනු ලැබුවේ, කොළඹ උතුර පොලිස් අපරාධ කොට්ඨාසය විසිනි.

ඉකුත් නොවැම්බර් මස 19 වැනිදා කඩවත අධිවේගී මාර්ගයේදී විදුලි පහන් නොමැතිව පැමිණි ජීප් රථයක රියදුරෙකුගෙන් අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ටික්ටොක්හි පළවූ වීඩියෝවක් පිළිබඳව සිදුකරන විමර්ශනයකට අදාළව පොලිසියේ සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන වැඩ තහනම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.

චෝදනා එල්ල වූ පොලිස් නිලධාරීන් 13 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සහ වැඩ තහනම් කිරීමට කටයුතු කර තිබේ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

'වැඩ තහනම් කිරීම පමණක් ප්‍රමාණවත් නෑ'

පොලිසියේ නිලධාරීන්ගේ වැරදි සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම ඉතා යහපත් දෙයක් බව මානව හිමිකම් ක්‍රියාකාරී රුකී ප්‍රනාන්දු බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් පැවසුවේ ය.

ඔහු පැවසුවේ, විනය විරෝධී කටයුතු සිදුකරන නිලධාරීන්ගේ වැඩ තහනම් කිරීම මූලික ක්‍රියාමාර්ගයක් වුව ද ඉන්පසුව වරදේ ස්වභාවය අනුව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම ද සිදුකළ යුතු බව ය.

"වැඩ තහනම් කිරීමක් කියන්නේ විනය ක්‍රියාමාර්ගයක් ගැනීමක්. යම්කිසි මානව හිමිකම් උල්ලංඝණය කිරීමක් හෝ යම් අපරාධයක් කළා කියලා දැන ගත්ත ම අදාළ නිලධාරියාට එරෙහිව ගන්න මූලික ක්‍රියාමාර්ගය තමයි වැඩ තහනම් කිරීම කියන්නේ. දැන් එහෙම දෙයක් සිද්ධ වෙනවා කියන්නේ හොඳ දෙයක්. එතනින් පස්සේ යන්න වෙනවා නීතිමය පැත්තට. පුද්ගලයෙකුට එරෙහිව වධ හිංසාවක් තියෙනව නම්, ඝාතන සිද්ධියක් නම් නෛතික ක්‍රියාමාර්ග ගන්න වෙනවා. ඒවා සම්බන්ධයෙන් සාක්ෂි තියෙනව නම්, නීතිපතිවරයා ඒ සම්බන්ධයෙන් චෝදනා ගොනු කිරීමක් සිදුකරන්න වෙනවා," ඔහු පැවසීය.

මානව හිමිකම් උල්ලංඝණය කිරීමක් හෝ යම් අපරාධයක් කළා කියලා දැන ගත්ත ම අදාළ නිලධාරියාට එරෙහිව ගන්න මුලික ක්‍රියාමාර්ගය තමයි වැඩ තහනම් කිරීම කියන්නේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

පොලිසිය සුද්ද කරන්න පටන් අරන් ද?

අන් කවරදාකටත් වඩා පොලිස් නිලධාරීන්ගේ විනය විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට හේතුව කුමක් දැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූවගෙන් බීබීසී සිංහල සේවය විමසීමක් කළේ ය.

එහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, "වැරදි කරන පොලිස් නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය උපදෙස් ලබා දී ඇති," බව ය.

මෙම වසරේ මේ දක්වා කාලය තුළ පොලිස් නිලධාරීන් 298 දෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

"සමස්තයක් විදිහට සමාජයේ සිදුවෙලා තියෙන විපර්යාසයත් සමග පොලිස් නිලධාරීන්ට මේ සිදුවීම්වලට මුහුණ දෙන්න වෙලා තියෙනවා. ඒ වගේ ම නව වැඩබලන පොලිස්පතිවරයා විනය විරෝධී කටයුතුවලට එරෙහිව දැඩිව ක්‍රියා මාර්ග ගන්නවා. වැරදි කරන කිසි ම කෙනෙකුට සමාවක් දෙන්න එපා කියල යි එතුමා කියලා තියෙන්නේ," ඔහු පැවසීය.