යුක්තියේ මෙහෙයුම මැද මහ දවල් ජනාකීර්ණ නගරවල වෙඩි තැබීම් සිදුවන්නේ කෙසේද?

යුද හමුදාවේ ද සහය ඇතිව ජුලි මස 4 වෙනිදා 'යුක්තියේ මෙහෙයුම - දෙවන අදියර' ආරම්භ කළ බවට පොලිසිය විසින් නිවේදනය කරන ලදී.

ඡායාරූප මූලාශ්‍රය, Ministry of Public Security

යුද හමුදාවේ ද සහය ඇතිව ජුලි මස 4 වෙනිදා 'යුක්තියේ මෙහෙයුම - දෙවන අදියර' ආරම්භ කළ බවට පොලිසිය විසින් නිවේදනය කරන ලදී.

යුක්තියේ මෙහෙයුමේ දෙවන අදියර ආරම්භ කොට දින 04ක් ගතවද්දී මහජනයා විශාල වශයෙන් ගැවෙසෙන අතුරුගිරිය නගර මධ්‍යට සමීපව පිහිටි වෙළඳ ආයතනයක් තුළදී ( ජුලි මස 08) සිදුවූ වෙඩි තැබීමෙන් ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා සහ තවත් පුද්ගලයෙකු මිය යෑමේ සිද්ධිය ගැන බොහෝ දෙනාගේ අවධානය යොමු වූ කරුණක් විය.

මෙම වෙඩි තැබීමේ සිදුවූ වෙළෙඳ සැල පිහිටි ස්ථානයේ සිට අතුරුගිරිය පොලිසිය පිහිටා ඇත්තේ කිලෝමීටරයක පමණ දුරකින්ය.

'මේක නිකම් චිකාගෝ වගේ'

වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ ස්ථානීය පරීක්ෂණය සඳහා (ජුලි 08 වෙනිදා) පැමිණි කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් ටි.පී.ජී. කරුණාරත්න එහිදී පොලිසියට පැවසුවේ ජනතාවට ආරක්ෂාවක් නොමැති බවයි.

"මෙච්චර ජනාකීර්ණ තැනක සිද්ධ වුණ මේවගේ සිද්ධියක් නිසා මුළු රටම හෙල්ලුම්කාපු සිද්ධියක් මේක."

"වහාම අත්අඩංගුවට ගන්න කටයුතු කරන්න. නැත්නම් පොලිස් දෙපාර්තමේන්තුවටත් ලැජ්ජයි. මහා දවල් මේ වෙන්නේ. මේක නිකම් චිකාගෝ වගේ. ඉක්මනටම හොයන්න, මේක හරි භයානක සිද්ධියක්."

"ජනතාව කිසිම කෙනෙකුට ආරක්ෂාවක් නැහැ නේ. ආවා, තිබ්බා, ගියා." කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත්වරයා විමර්ශන කරන පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබා දෙමින් පැවසුවේය.

‘රටේ මහජන ආරක්ෂාව බරපතල කඩා වැටීමක’

අතුරුගිරියේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය ද ඇතුළුව මීට පෙර සිදුවූ වෙඩි තැබීමේ සිදුවීම් සලකා බලන විට රටේ මහජන ආරක්ෂාව බරපතල කඩා වැටීමක් පෙන්නුම් කරන බව රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ නීතිඥ දුලාන් දසනායක බීබීසී සිංහල වෙත පැවසූවේය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

“මේ වගේ වෙඩි තැබීම් සිදුවීම් ගණනාවක් මීට කලිනුත්, පාතාල ලෝකෙන් හරි මොකෙන් හරි ඇවිල්ලා පුහුණු වෙඩික්කරුවන් විසින් වෙඩි තබන සිදුවීම් ගණනාවක් මේ අවුරුද්ද තුළ සැලකිය යුතු ගණනක් වාර්තා වුණා."

"වාහන වලින් එනවා, ප්‍රසිද්ධියේ වෙඩි තියලා යනවා. ඒක නිකම් පැටර්න් එකක් වගේ."

"මේ සිදුවීම වෙන්නේ ටික කාලයකට පස්සේ. මාස 2-3 කට කලින් ළඟ ළඟ සිද්ධ වුණා."

"මේක රටේ මහජන ආරක්ෂාව භාර වෙලා තියෙන්නේ පොලිසියට. රටේ මහජන ආරක්ෂාවේ බරපතල කඩා වැටීමක් කියලයි මට නම් පෙන්නේ."

"පාතාලය, මත්ද්‍රව්‍ය මර්දනය කරනවා කියලා ආණ්ඩු වලින් පොලිසිය භාර ඇමතිවරුන්ගෙන් විවිධ අවස්ථාවල කරන මෙහෙයුම් ගැන අපි දැක්කා."

"දකුණේ පාතාල මර්දනය වගේ විවිධ මෙහෙයුම් සිදුකළා. නමුත් අපිට පේනවා මෙහෙයුම් වලින් එහෙම දෙයක් මර්දනය වෙලා නැහැ කියලා.විවිධ පාතාල කණ්ඩායම් අතරත් ගැටුම් තියෙනවා.”

"පොලිසිය විවිධ අවස්ථා වලදී මේවාට සම්බන්ධ අය අත්අඩංගුවට ගැනීම් සිදුකර තිබෙනවා. නමුත් එහෙම අත්අඩංගුවට ගත්ත අය ගැන පොලිසිය හරියට විමර්ශන කරලා තියෙනවද කියන ප්‍රශ්නය මතුවෙනවා."

"ඒ කියන්නේ පොලිසිය දියුණු, නවීන තාක්ෂණය භාවිත කරලා විමර්ශන කරන ශක්තිමත් ආයතනයක් ද කියන ප්‍රශ්නය තියෙනවා."

"පොලිසිය සමහර දේවල් හොයා ගන්නවා. සමහර කාලයක් තිබ්බා ආයුධ පෙන්වන්න ගිහිල්ලා, පොලිසිය දෙසට බෝම්බ ගහන්න ගිහිල්ලා අත්අඩංගුවේ පසුවූ සැකකරුවන්ට වෙඩි තැබීමේ විවිධ සිදුවීම් වුණා මීට පෙර."

"මේ නිසා සිද්ධ වුණේ අපරාධකරුවන් ගැන නිසි විමර්ශනය කෙරුණේ නැහැ."

"මාකඳුරේ මධුෂ් වගේ සැකකරුවන්ගෙන් හරියට ප්‍රශ්න කරලා විමර්ශනය කළා නම් තව තොරතුරු හොයාගෙන ඒවා අනුව කටයුතු කරන්න තිබ්බා. ඒකෙන් පේන දේ තමයි පොලිසිය නිසි විමර්ශනය කරන්න අසමත් වුණා කියන එක."

"ඒකෙන් වුණේ නැවත නැවතත් අපරාධකරුවන් ඇතිවෙන එක."

"මහජනතාව ගේ ආරක්ෂාව උදෙසා පොලිසිය නිසි ලෙස ක්‍රියාත්මක වෙන්න අවශ්‍යයි මෙවැනි විමර්ශන නිසි පරිදි සිදුකරලා අපරාධ මර්දනය කරන්න." නීතිඥ දුලාන් දසනායක පැවසීය.

‘පසුගිය කාලයේ අපරාධ වල පාලනයක් තිබුණා’

මේ අතර බීබීසී සිංහල කළ විමසීමේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව පැවසුවේ යුක්තියේ මෙහෙයුම හරහා පසුගිය කාලයේ අපරාධවල පාලනයක් සිදුවූ බවය.

“යුක්තියේ මෙහෙයුමෙන් සිදුකරන්නේ මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ පාලනය කරන එකයි."

"යුක්තියේ මෙහෙයුම හරහා සංවිධානාත්මක අපරාධ පාලනය නොකලා කියලා කියන්න බැහැ. පසුගිය මාස එකහාමාරක දෙකක වගේ කාලයක් පුරාවට රටේ තැන තැන සිදුවූ වෙඩි තැබීම ආදිය ගොඩක් අඩුවුණා."

"නමුත් ඊයේ එක සිදුවීමක් වුණා. ඒ සිදුවීමට සම්බන්ධ කවුද කියලා අපි හොයාගෙන යනවා. ඉතා ඉක්මණින් ඒ සිදුවීමට සම්බන්ධ අය කවුද කියලා හොයාගෙන අත්අඩංගුවට ගන්න කටයුතු කරනවා."

"රටේ සිදුවන සියලුම අපරාධ වළක්වන්න හැකියාවක් නැහැ එක පාරටම. හැබැයි කාලයක් යද්දී අපිට මේ තත්ත්වය පාලනය කරන්න පුළුවන්." පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

මේ අතර අතුරුගිරියේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් පලා යෑමේදී ආරක්ෂක අංශ මාර්ග බාධක වලට හසු නොවී පලා ගියේ කෙසේදැයි බීබීසී සිංහල පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ගෙන් විමසීමක් කළේය.

ඔහු ඊට ලබා දුන්නේ මෙවන් පිළිතුරකි. "මේ වගේ අපරාධයක් සිදුකරන විට ඒවාට සම්බන්ධ පිරිස් මාර්ගයන් ගැන හොඳ අවබෝධයක් ලබා ගන්නවා."

"විශේෂයෙන් අපරාධකරුවන් පලා යද්දී ඔවුන්ට පෙර වෙනත් වාහනයක් හෝ පුද්ගලයෙක් ගිහින් සොයා බැලීමක් කරනවා ඒ මාර්ගයේ මාර්ග බාධක යොදලා තියෙනවාද කියලා."

"ඒ වගේ දෙයක් මේ සිදුවිමේදීත් වුණාද කියලා අපි සොයා බලනවා." පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව පැවසුවේය.