ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම: මාකඳුරේ මධුෂ් කී දේශපාලනඥයන්ගේ නම් හෙළි කිරීම පොලිසිය ප්‍රතික්ෂේප කරයි

මාකඳුරේ මධුෂ්

ඡායාරූප මූලාශ්‍රය, facebook/priyantha jayakody

    • Author, සරෝජ් පතිරණ
    • Role, BBC සිංහල

සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙසින් පොලිසිය විසින් හඳුන්වනු ලැබූ සමරසිංහ ආරච්චිලාගේ මධූෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධුෂ් පසුගිය ඔක්තෝබර් 20 වෙනි දින උදෑසන කොළඹ දී වෙඩි තබා මරා දමා තිබුණි.

පොලිසිය පැවසුවේ, සඟවා තිබෙන කුඩු කිලෝ 22ක් පෙන්වීමට මාළිගාවත්ත නිවාස සංකීර්ණයකට රැගෙන ගිය අවස්ථාවේදී ඇතිවූ වෙඩි හුමාරුවකදී ඔහු මරුමුවට පත් වූ බවය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් විසින් ඔහු ඝාතනය කරන ලද බව ඉහළ පොලිස් නිලධාරීන් සඳහන් කළ නමුත් ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන ඇති බවක් වාර්තා වී නැත.

ඔහුගේ මරණය සිදුවූ ආකාරය ප්‍රබන්ධයක් බවත් මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කළ යුතු බවත් මධුෂ් ගේ බිරිඳ වෙනුවෙන් පෙනී සිටින නීතිඥ චමින්ද අතුකෝරාල මාධ්‍ය අමතමින් සඳහන් කළේය.

පසුගිය වසරේ පෙබරවාරි 04 වෙනි දින ඩුබායි හිදී පොලිස් අත්අඩංගුවට ගනු ලැබූ මාකඳුරේ මධුෂ් ඝාතනය කරනු ලැබීමට ප්‍රථම මාස 18 ක් පොලිස් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව යටතේ රඳවාගනු ලැබ සිටියේය.

මාකඳුරේ මධුෂ් කටුනායක ගුවන් තොටුපොළේ

ඡායාරූප මූලාශ්‍රය, Twitter

එසේ රඳවාගෙන ප්‍රශ්න කළ අවස්ථාවේ ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ දේශපාලනඥයන් 80 කගේ පමණ විස්තර ඔහු විසින් හෙළි කරන ලද බව පොලිස් ප්‍රකාශකවරයා මෙන්ම විපක්ෂ දේශපාලනඥයන් ද වරින්වර සඳහන් කර තිබේ.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ, "මාධ්‍ය විටින් විට වාර්තාකරල තිබුණ සමහර දේශපාලකයින් පිළිබඳව මධුෂ් වමාරපු බව. සමහර ව්‍යාපාරකයින් ගැන මධුෂ් වමාරපු බව. ඒ වගේම සමහර දේශපාලකයන්ට මුදල් පොම්ප කරපු ආකාරය පිළිබඳ සමාජයේ ආන්දෝලනයට තුඩු දී තිබුණ," යනුවෙනි.

අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා තවදුරටත් පැවසුවේ මදූෂ් හරහා මේ පාතාල ජාලයත්, එම කුඩු ජාලයට සම්බන්ධ දේශපාලකයිනුත්, කුඩු ජාලයට සම්බන්ධ ව්‍යාපාරිකයිනුත් එළිදරව් කර අත්අඩංගුවට ගැනීමට හැකි වනු ඇතැයි බලාපොරොත්තුවක් සමාජයේ තිබුණ නමුත් ඔහුගේ මරණයත් සමගම ඒ සියල්ලම යට ගැසීමට ඉඩ තිබෙන බවය.

ඔහු මරා දමනු ලැබුවේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ දේශපාලකයන් ආරක්ෂා කරගැනීම පිණිස දැයි සැක සිතෙන බව විජිත හේරත් මන්ත්‍රීවරයා ද මාධ්‍ය හමුවේ පැවසීය.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

මාකඳුරේ මධුෂ් එසේ හෙළි කළ දේශපාලකයන් කවුරුන්ද?

ඔහු එසේ හෙළි කළ නම් සහ එසේ හෙළි කළ කරුණු සම්බන්ධයෙන් පොලිසිය ගත් පියවර කවරේ දැයි විමසමින්, තොරතුරු දැනගැනීමේ පනත යටතේ බීබීසී සිංහල සේවය පසුගිය ඔක්තෝබර් 27 වෙනි දින පොලිස්පතිවරයාට ද පිටපතක් සහිතව පොලිසියෙන් ඉල්ලීමක් කළේය.

බීබීසී සිංහල සේවය පසුගිය ඔක්තෝබර් 27 වෙනි දින යොමු කළ ඉල්ලුම් පත්‍රය

පහත දැක්වෙන්නේ බීබීසී සිංහල සේවය, පොලිසිය වෙත යොමු කළ තොරතුරු දැනගැනීමේ එම ඉල්ලුම්පතේ සඳහන් කරුණුය:

Presentational grey line

"ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන්, මහජනතාවගේ ආරක්ෂාව සහ යහපත පිණිස මහජනතාව දැනුවත් කළ යුතු කරුණු යයි අප විශ්වාස කරන පහත සඳහන් කරුණු පිළිබඳව තොරතුරු දැනගැනීමේ පනත යටතේ තොරතුරු ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි.

ප්‍රධානම පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට චෝදනා ලැබ මාස 18 ක පමණ කාලයක් පොලිස් අත්අඩංගුවේ පසු වූ සමරසිංහ ආරච්චිගේ මදූෂ් ලක්ෂිත නොහොත් 'මාකඳුරේ මදූෂ්' නමැති සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ දේශපාලකයන් 80 දෙනෙකුගේ පමණ නම් පොලිස් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව (CID) කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි කරන ලද බව පොලිස් ප්‍රකාශකවරයා මීට ඉහතදී සඳහන් කළේය.

ඒ බව ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු විරුද්ධ පක්ෂවල මන්ත්‍රීවරුන් ද පාර්ලිමේන්තුවේදී සහ මාධ්‍ය හමුවලදීත් සඳහන් කර තිබේ.

ඉල්ලා සිටින තොරතුරු:

1. 'මාකඳුරේ මදූෂ්' අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව වෙත එවැනි නම් හෙළිදරව් කර ඇත්නම් එසේ හෙළි කළ නම් මොනවාද?

2. 'මදූෂ්' හෙළි කළ තොරතුරු ඇසුරෙන් ඔහු නම් කළ දේශපාලකයන් කිසිවෙකු හෝ අත්අඩංගුවට ගෙන තිබේද?

3. 'මදූෂ්' විසින් එසේ නම් හෙළි කළ දේශපාලකයන්ගෙන් පොලිසිය ප්‍රශ්න කර තිබෙන්නේ ද?

3.1 ඔවුන් අත්අඩංගුවට නොගත්තේ නම් සහ ඔවුන් කිසිවෙකුගෙනුත් ප්‍රශ්න නොකළේ නම් ඒ දේශපාලන බලපෑම් නිසාද?

4. 'මදූෂ්' නම් සඳහන් කළ දේශපාලකයන් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට පොලිසිය විමර්ශන පවත්වන්නේ ද?

4.1 එසේ විමර්ශන පවත්වන්නේ නම් එම විමර්ශනවල ප්‍රගතිය කවරේ ද?

5.' මදූෂ්' විසින් නමින් සඳහන් කළ දේශපාලකයන් පිළිබඳව පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබේ ද?

5.1 මෙතෙක් අධිකරණයට වාර්තා නොකළේ නම් නුදුරු අනාගතයේ දී එසේ වාර්තා කිරීමට බලාපොරොත්තු වන්නේ ද?"

Presentational grey line

එම ඉල්ලීමට කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණ බැවින් යළිත් වරක් නොවැම්බර් 16 වෙනි දින සිහි කැඳවීමක් කරන ලද අතර එයට ප්‍රතිචාර දක්වමින් නොවැම්බර් 20 වෙනි දින අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජී නිශාන්ත ද සොයිසා දැනුම් දී තිබුණේ සති දෙකක් ඇතුළත එයට ප්‍රතිචාරයක් දක්වන බවය.

තොරතුරු ඉල්ලීම ලැබුණ බව දැන්වීම

සති දෙකකට වැඩි කාලයක් ඉකුත්ව යාමෙන් අනතුරුව බීබීසී සිංහල සේවය යළිත් විමසීමක් කළ අතර, සඳුදා (දෙසැම්බර් 21) ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජී නිශාන්ත ද සොයිසාගේ අත්සන සහිතව බීබීසී සිංහල සේවය වෙත යොමු කර තිබුණු පිළිතුරක දැක්වෙන්නේ අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලද බවය.

"2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනතේ වගන්ති 5 (1) ආ (i), 5 (1) ඌ (i) වගන්ති අනුව ප්‍රතික්ෂේප කරන ලද බව දන්වමි," යනුවෙන් ද ලිපියේ සඳහන් වේ.

එම තීරණය සම්බන්ධයෙන් දින 14 ක් ඇතුළත පොලිස්පතිවරයා වෙත අභියාචනයක් යොමු කළ හැකි බව ද එහි දැක්වේ.

පොලිසියේ ප්‍රතිචාරය

මාකඳුරේ මධුෂ් ඝාතන පරීක්ෂණයේ ප්‍රගතිය සහ ඔහු හෙළි කළ කරුණු සම්බන්ධයෙන් ගන්නා පියවර විමසීම පිණිස පොලිස් ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ඇමතීමට බීබීසී සිංහල සේවය කළ උත්සහය ද සාර්ථක නොවීය.

මේ අතර, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වූ බවට එල්ලවන චෝදනා පිළිබඳව බීබීසී සිංහල සේවය සමඟ පසුගියදා අදහස් දක්වමින් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න කියා සිටියේ, ශ්‍රී ලංකා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සේවය කරන සහ සේවය කළ සියලුම නිලධාරීන්ගේ වත්කම් පිළිබඳ වහාම පූර්ණ විමර්ශනයක් (Asset investigation) පැවැත්විය යුතු බවය.

ඕනෑම නිලධාරියෙකු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සේවය කරන උපරිම කාලය වසරකට සීමා කළ යුතු බව ද ඔහු පැවසීය.

Presentational grey line

කියවන්න: