කොස්තාපල් නිලයේ සිට පොලිස්පති දක්වා පැමිණි ප්‍රියන්ත වීරසූරිය කවුද?

Priyantha Weerasooriya

ඡායාරූප මූලාශ්‍රය, Facebook

ශ්‍රී ලංකාවේ 37 වන පොලිස්පතිවරයා ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පත් කිරීමට ජනාධිපතිවරයා කළ නිර්දේශයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලැබී තිබේ.

කතානායක ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (අගෝස්තු 12 වන දා) රැස්වූ අවස්ථාවේදී ඒ සඳහා අනුමැතිය ලැබී ඇත.

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයෙන් නෙරපා හැරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මත වීමෙන් පසු ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ප්‍රියන්ත වීරසූරියගේ නම පොලිස්පති ධූරය සඳහා ඉකුත් දා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත නිර්දේශ කරනු ලැබ තිබිණි.

2024 වසරේ ජූලි 24 වන දා දේශබන්දු තෙන්නකෝන්ට පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ අතර එතැන් සිට මාස 3කට අධික කාලයක් පොලිස්පති ධූරය හිස්ව පැවතීමෙන් අනතුරුව ප්‍රියන්ත වීරසූරිය එම වසරේ ම සැප්තැම්බර් මස වැඩබලන පොලිස්පති ධූරය සඳහා පත් කළේ ය.

එතැන් සිට නව පොලිස්පතිවරයා ලෙස අනුමැතිය ලැබීම දක්වා ඔහු වැඩබලන පොලිස්පති ධූරයේ කටයුතු කළේ ය.

නව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය යනු කවුද?

1969 වසරේ පෙබරවාරි මස 9 වන දා දොඩංගොඩ ප්‍රදේශයේදී උපත ලැබූ වීරසූරිය ලියන ආරච්චිගේ සමන් ප්‍රියන්ත පොලිස් දෙපාර්තමේන්තුවට එක්වූයේ 1988 වසරේදීයි.

ඔහු සිය ප්‍රාථමික අධ්‍යාපනය දොඩංගොඩ නෑහින්න ද්විතීයික පාසලෙන් ලබා ද්විතීයික අධ්‍යාපනය සඳහා කළුතර ඥානෝදය මහා විද්‍යාලයට ඇතුළු විය.

නව පොලිස්පතිවරයා වෘත්තියෙන් නීතිඥවරයෙකු ද වෙයි.

වසර 37ක දීර්ඝ සේවා කාලයකට හිමිකම් කියන ඔහු කොස්තාපල්වරයෙකු ලෙස පොලිස් සේවයට එක්වන්නේ 1988 වසරේ මැයි මාසයේදී ය.

කොස්තාපල්වරයෙකු ලෙස පොලිස් සේවයට එක්වූ ඔහු 1988 වසරේ සිට 1992 දක්වා වූ කාල සීමාවේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ රථවාහන සහ අපරාධ කොට්ඨාශයන් හි සේවය කරන ලදී

ඡායාරූප මූලාශ්‍රය, Facebook

ඡායාරූප ශීර්ෂ වැකිය, කොස්තාපල්වරයෙකු ලෙස පොලිස් සේවයට එක්වූ ඔහු 1988 වසරේ සිට 1992 දක්වා වූ කාල සීමාවේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ සහ රථවාහන සහ අපරාධ කොට්ඨාසයන්හි සේවය කළේ ය

දැරූ නිලතල

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

1989 වසරේදී ඔහු විශේෂ කාර්ය බළකායේ සන්නිවේදන අංශයේ සේවය සඳහා එක් වූ අතර පසුව අම්පාර කොට්ඨාසයට අයත් සංගමන්කන්ද ප්‍රදේශයේ සේවය කළේ ය.

1990 වසරේදී ප්‍රියන්ත වීරසූරිය උසස් පෙළ විභාගයට මුහුණ දී කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට ඇතුළු වීමට වරම් ලබා ගත්තේ ය.

ඔහුගේ වෘත්තීය ජීවිතයේ තීරණාත්මක අවස්ථාවක් උදා වූයේ 1992 අගෝස්තු 2 වන දින ඔහු පරිවාස උපපොලිස් පරීක්ෂකවරයෙකු ලෙස බඳවා ගැනීමත් සමග ය.

ඔහු පෙන්වා දෙන්නේ, තම විමර්ශන කුසලතා සහ නායකත්ව ගුණාංග වැඩි දියුණු කර ගැනීමට අවස්ථාව ලබා දුන් බැවින් මෙය තම වෘත්තීය ජීවිතයේ සැලකිය යුතු හැරවුම් ලක්ෂ්‍යයක් වූ බව ය.

මෙම කාලය තුළ ඔහු රථවාහන කළමනාකරණය, අපරාධ විමර්ශනය සහ විවිධ විමර්ශන ඇතුළු විවිධ වගකීම් දැරුවේ ය.

1993 ජූලි 1 වන දින, කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට ඇතුළත් වීමෙන් ඔහු නව අධ්‍යයන ගමනක් ආරම්භ කළේ ය.

අධ්‍යයන කටයුතුවලට අමතරව ඔහු මරදාන අපරාධ අංශයේ වැඩබලන පොලිස් ස්ථානාධිපති හා ස්ථානාධිපති මෙන් ම මාලිගාවත්ත සහ කුරුඳුවත්ත පොලිස් ස්ථානවල ස්ථානාධිපති යන ධූර දැරීය.

ඊට අමතරව, යුද්ධ සමයේදී උපායමාර්ගිකව වැදගත් ස්ථානයක් වූ කොක්එළිය පොලිස් මුරපොළේ ස්ථානාධිපතිවරයා ලෙස ද ඔහු සේවය කළේ ය.

අධ්‍යයන කටයුතුවලින් පසු ඔහු කිරුළපන සේවාස්ථ පුහුණු මධ්‍යස්ථානයේ කථිකාචාර්යවරයෙකු ලෙස ද කටයුතු කළේ ය. ඒ, ඔහු නීතිඥවරයෙකු ලෙස දිවුරුම් දීමට පෙර ය.

1999 මාර්තු 5 වන දින ඔහු (පරිවාස) සහකාර පොලිස් අධිකාරී ධූරයට පත් කෙරිණි.

2007 ජනවාරි 1 වන දින, එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග ඔහුට නැගෙනහිර ටිමෝරයේ සේවය කිරීමට අවස්ථාව ලැබුණු අතර ඔහු 2008 මාර්තු දක්වා එහි සේවය කළේ ය.

එවකට ඔහු ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් අධිකාරී තනතුර දැරුවේ ය.

නැවත දිවයිනට පැමිණි පසු, ඔහු මඩකලපුව කොට්ඨාසය භාර නිලධාරියා ලෙස පත් කෙරිණි.

මෙම කාලයේදී එල්ටීටීඊ පිස්තෝල කණ්ඩායමක් විසින් පොලිස් නිලධාරීන් 20 දෙනෙකු ඛේදජනක ලෙස ඝාතනය කරනු ලැබීමත් සමග ඇති වූ අස්ථාවර තත්ත්වය ඔහුට අභියෝගාත්මක විය.

එම තත්ත්වය සමනය කර ගැනීමට සමත් වීම හේතුවෙන් ඔහුගේ සුවිශේෂී කාර්ය සාධනය අගයමින් ඔහු වෙත පොලිස්පතිවරයා විසින් පොලිස්පති ප්‍රශංසා දෙකක් ප්‍රදානය කෙරිණි.

ඉන් අනතුරුව ඔහු සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයාගේ භූමිකාව භාර ගත්තේ ය.

2010 අප්‍රේල් 10 වන දින සිට 2011 අප්‍රේල් 14 වන දා දක්වා ප්‍රියන්ත වීරසූරියට නැවත වරක් එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග සම්බන්ධ වී හෙයිටි රාජ්‍යයේ සේවය කිරීමට අවස්ථාව ලැබිණි.

නැවත දිවයිනට පැමිණි ඔහු සැපයුම් අංශයේ අධ්‍යක්ෂ ධූරයේ කටයුතු කළේ ය.

ඔහු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ධූරයට පත් වන්නේ 2012 වසරේදී ය.

2016 මැයි 12 වන දින, ඔහු නියෝජ්‍ය පොලිස්පති තනතුර භාර ගත් අතර, 2020 දක්වා එම තනතුර දැරීය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයට උසස්වීම

අනතුරුව 2020 පෙබරවාරි 12 වන දින ඔහු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයේ වැඩ භාරගත්තේ ය.

කෙටි කලක් ඔහු අපරාධ අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුර දැරූ අතර පසුව සහය සේවා අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුර දැරුවේ ය.

එම සේවා කාලය තුළ ඔහුගේ සේවය අගයමින් පොලිස්පති ප්‍රශංසා තුනක් ප්‍රදානය කෙරිණි.

ඊට අමතරව, ඔහු 2019 ජනාධිපතිවරණය සහ 2020 මහ මැතිවරණය කළමනාකරණ කටයුතු අධීක්ෂණය කළේ එම කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ය.

ඉන් අනතුරුව ඔහු ප්‍රියන්ත වීරසූරිය 2022-2023 කාලය තුළ උතුරු සහ මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ලෙස සේවය කළේ ය.

අධ්‍යාපන සුදුසුකම්

කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ අධ්‍යාපනය හැදෑරීමට අමතරව ප්‍රියන්ත වීරසූරිය ඉදිකිරීම් කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාව, වෘත්තීය රාජ්‍ය තාන්ත්‍රිකභාවය සහ ගෝලීය කටයුතු පිළිබඳ ඩිප්ලෝමාව, රාජ්‍ය ප්‍රසම්පාදන හා කොන්ත්‍රාත් පරිපාලනය පිළිබඳ ඩිප්ලෝමාව, වෘත්තිකයින් සඳහා වන ඉංග්‍රීසි ඩිප්ලෝමාව, නීතිය පිළිබඳව ශාස්ත්‍රපති උපාධිය (සර් ජෝන් කොතලාවල විශ්වවිද්‍යාලය) සහ කොළඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය හදාරා තිබේ.